Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

රත්න සහල් ගැන කියන කතා ඇත්තද…?

මේ දවස්වල හාල් ගැන ලොකු කතාවක් යනවා. විශේෂයෙන්ම නිව් රත්න හාල් ගැන. ඉතිං අපි ටිකක් මේ ගැන හොයලා බැලුවා. රත්න හාල් මෝල පටන්ගන්නේ දැනට වසර ගානකට කලින් පොලොන්නරුවේ වැලිකන්ද පැත්තේ තියෙන සිංහපුර නම් දුෂ්කර ප්‍රදේශය ආශ්‍රිතවයි.. වැඩේ පටන්ගන්නකොට ගොඩාක් අය කිව්වේ මේක එච්චර හරියන බිස්නස් එකක් නෙමෙයි කියලා ඒත් රත්න සහල් ව්‍යාපාර පටන් අරන් ඉතාම කෙටි කාලයක් තුල රටටම බත සපයන දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වුණා. ප්‍රදේශයේ දුප්පත් මිනිසුන් 1200 කට වැඩි පිරිසකට රැකියා ලබාදෙනවා. එපමණක් නොව ප්‍රදේශයේ හා ජනතාවගේ සමාජීය,ආර්ථික සංවර්ධනයේ නියමුවා බවට පත් වෙනවා.ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ සංඛ්‍යාලේඛන අනුව පසුගිය වසර 05 ක කාලය තුළ ඉතා සීඝ්‍රයෙන් මෙම ප්‍රදේශයේ මිනිසුන්ගේ මන්දපෝෂණ තත්වය අඩු වෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. තම ආයෝජනය තුළින් සාධාරණව ලාභය උපයා ගන්නා අතරම,රටක පවත්නා රජයේ වගකීම් වන ප්‍රාදේශීය ආර්ථික,සාමාජීය බලගැන්වීම් සඳහාද පුද්ගලික ව්‍යාපාරිකයෙකු ලෙස ලබා දෙන අති දැවැන්ත දායකත්වය අගයනු වස් පසුගිය ඔක්තෝම්බර් 01 දින සමස්ථ ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාර අතුරින් හොඳම ව්‍යවසායකයා ලෙස රන් සම්මානයෙන් නිව් රත්න සහල් පිදුම් ලබනවා. ඒත් එක පාරටම පහුගිය දවස්වල රත්න සහල් ව්‍යාපාරය පිළිබඳ කසුකුසුවක් මාධ්‍ය හරහා කරලියට එනවා.  එක්තරා නාලිකාවක ප්‍රධාන පුවත් විකාශය අතරතුර කුරුල්ලෙකුගේ නමක් යොදා ගත් වැඩ සටහනක් අංගයක් ඔස්සේ රත්න සහල්වල පනුවන් ඉන්නාබවත් , රසායනික ද්‍රව්‍ය යොදන බවත් කියවෙනවා. මේ ගැන හරිම කතාව තමයි අපි දැන් කියන්න යන්නේ.

මෙම වීඩියෝව හරහා සහ සමාජ මාධ්‍ය මඟින් වඩ වඩාත් ඉස්මතු කිරීමට උත්සහ දැරූ ප්‍රධාන කාරණා 02 කි. 01 නිව් රත්න සහල් වල පණුවන් සහ මැස්සන් ඇති බව  02 සහල් සඳහා රසායනික ද්‍රව්‍යක් යොදන බව. එම කරුණු ඉස්මතු කිරීමට පෙන්වනු ලබන වීඩියෝ දර්ශන හිතා මතා ප්‍රධාන වීඩියෝව හා එක් කළ වෙනත් ව්‍යාජ දර්ශන බව හැගී යනවා. සහල් වල පණුවන් සහ මැස්සන් සිටින බවට පෙන්වන වීඩියෝ දර්ශන සමීප ඡායාරූප ගත කිරීමකින් ලබා ගන්නා ඒවා වන අතර,මෙම වීඩියෝවේ කුමන හෝ තැනකදී සහල් වල පණුවන් සහ මැස්සන් සිටින බව ආයතනික තොරතුරු සමඟ එකට පෙන්නුම් නොකරයි.වෙන් වෙන් වශයෙන් එම වීඩියෝ දර්ශන පෙන්වන අතර,අවම වශයෙන් ආයතනයේ සහල් බෑගයක් හෝ සමඟ එම දර්ශන නොපෙන්වයි.ඒ අනුව ඉතාමත් පැහැදිලි ලෙස වටහා ගත හැක්කේ එම සමීප ඡායාරූප ව්‍යාජව සම්බන්ධ කර ඇති බවයි. දකුණු ආසියාවේම විශාලතම සම්පූර්ණ ස්වයංක්‍රීය සහල් නිෂ්පාදන අංගනයට හිමිකම් කියන නිව් රත්න සහල් ආයතනයේ සහල් තොග රැඳවුම් ගබඩාවේ ප්‍රමාණය වර්ග අඩි 200,000 කින් පමණ සමන්විතයි.මෙහි දෛනික සහල් නිෂ්පාදනය ආසන්න වශයෙන් 300,000 KG පමණ සිදු කරනු ලබයි. මෙම වීඩියෝ දර්ශන වල හෝ මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පසු ආයතනයට පැමිණි පාරිභෝගික අධිකාරියේ නිළධාරි මහතුන් විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබු දර්ශන තුළ ඉහත සමස්ථ ගබඩා පද්ධතිය තුළ අලෙවියට සුදානම් කර තිබු හොද සහල් තොග පිලිබඳ දර්ශන පෙන්වීම සිදු කරන්නේ නෑ.
ඒ වෙනුවට යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ ඒකායන අරමුණ මත වරින් වර මහා ව්‍යවසනයක් යැයි හුවා දක්වමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද්දේ සහල් නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනයන් වන කළු ඇට,සුණුසහල්.සහල් කුඩු ආදී සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සත්ත්ව ආහාර අමුද්‍රව්‍යක් ලෙස ඇසුරුම් කිරීමට ආයතන සේවකයින් කටයුතු කරනු ලබන දර්ශනයි.

එම වීඩියෝවේ නමක් ගමක් නැති සහලක් ලෙස ආයතනය විසින් සහල් නිකුත් කරනු ලබන බව පවසමින් පෙන්වන්නේ සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය බහාලුම් බෑග් වේ.වෙළඳපොල තුළ ප්‍රධානතම ආහාර මාධ්‍ය වන සහල් වැනි වෙළඳ භාණ්ඩයක් නමක් ගමක් නැතිව වෙළඳපොළට දැමිය හැකිද ? නමක් ගමක් නැති හාලක් මුදල් ලබා දී මිලදී ගැනීමට තරම් සහලින් ස්වයංපෝෂිත ව තිබු රටක පාරිභෝගිකයින් නොදැනුවත් ද ? යන ප්‍රශ්න මතු වේ.
යම් පුද්ගලයෙකු අපැහැදිලි පසුබිමක යන්ත්‍රෝපකරණ සඳහා තෙල් ඉසින දර්ශනයක් මෙම වීඩියෝවේ අන්තර් ගත වන අතර,එමඟින් උත්සහ කළේ සහල් සඳහා කිසියම් රසායනික ද්‍රව්‍යක් මිශ්‍ර කරනු බව පෙන්වීමටයි.ඇත්තටම රත්න සහල් සඳහා රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර ඇත්දැයි තවත් නොබෝ දිනකදීම නිව් රත්න සහල් වල ප්‍රමිතිය සම්බන්ධව අධිකරණය වෙත ලබා දෙන රස පරීක්ෂණ වාර්තාව සමඟ මුළු රටටම දැන ගත හැකි වනු ඇත.මෙහිදී විමසා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක් පවතී.

මෙතරම් අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ ආධාරයෙන් බිලියන ගණනක ආයෝජනයෙන් අඩියෙන් අඩිය ගොඩනැගුන ආයතනයකට රුපියල් දෙතුන් සීයක ලාභයක් ගැන සිතා කටයුතු කිරීමේ ඵලය කුමක්ද ? සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනු ලබන ආකාරයට මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළඳපොළට යැව්වේ නම් අඛණ්ඩව වසර 30 ක් තුළ රත්න සහල් වෙළඳ නාමය පවත්වා ගැනීමට ඇත්තටම පුලුවන්ද ?
ඒ සියල්ලටම වඩා තේරෙන සරළ කරුණකි.අප දන්නා ආකාරයට ඕනෑම අවස්ථාවක රසායනික ද්‍රව්‍යක් භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන්නේ යම් කෘමී මර්ධනයකි. සහල් සමඟ රසායනික ද්‍රව්‍ය ඔය කියන ආකාරයට මිශ්‍ර කර ඇත්නම් වීඩියෝවල පෙන්වන දඟලන පණුවන් සහල් වල සිටින්නේ කොහොමද ? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මෙම ව්‍යාජ සිදුවීම ආරම්භයේ පටන් ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියකි.මෙම සිදු වීම සමාජ ගත කිරීමට මෙම කාලවකවානුවම තෝරා ගැනීමද එම සැලසුම් සහගත ක්‍රියාවලියේ කොටසකි. මෙම වීඩියෝව 2017 වර්ෂයේ ලබා ගත්තකි.එය තහවුරු වන්නේ මෙම වීඩියෝවේ එක් අවස්ථාවකදී පෙන්වන සහල් බෑග්වල අලවන මිල සඳහන් ස්ටිකර් වල දිනය සඳහන් වන්නේ 2017/12/06 දිනය.මෙම වීඩියෝව රහසිගතව ලබා ගත් පුද්ගලයා පිලිබඳ සියළු තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර,ඔහු නමින් උපාලි රත්නායකය.මීට වසර 02 කට පමණ පෙර නිව් රත්න සහල් ආයතනයේ නිෂ්පාදන අංශයේ සුපරීක්ෂක වරයෙක් වශයෙන් කටයුතු කර ඇත.ඔහු යටතේ සේවය කළ කාන්තාවන් තම සුපරීක්ෂක තනතුරේ බලය භාවිතා කරමින් මෙහෙයවමින් මෙම වීඩියෝව ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.අවස්ථා කිහිපයකදීම රාජකාරි කටයුතු අතර තුර මෙම පුද්ගලයා ආයතයේ ඡායාරූප ගන්නා බව රත්න සහල් කළමනාකාරිත්වය දැනුවත් වී ඇති අතර,ඒ පිලිබඳ ඔහුගෙන් විමසීමේදී පවසා ඇත්තේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිය වැඩිමහල් දියණියට මෝලේ තොරතුරු පෙන්වීමට වීඩියෝ කර ගන්නා  බවයි.

ආරක්ෂක අංශයේ සේවය කර සේවය හැර ගොස් සිටින මොහු විවාහක අයෙකි.දරුවන් තිදෙනෙකුගේ පියෙකි.ආයතනයේ තමන් යටතේ සේවය කළ කාන්තාවන් සමඟ අයතා සම්බන්ධතා ඇති කර ගැනීම නිසා ආයතනයෙන් නෙරපා දැමූ අයෙකි.මෙහිදී ඔබ දැනගත යුතු ප්‍රධානම කරුණ වන්නේ මොහු දැනට පොළොන්නරුවේ ප්‍රසිද්ධ සහල් මෝලක වී මිලදී ගැනීම් අංශයේ කටයුතු කිරීමයි.ඉහතින් සඳහන් කළ කුහක ව්‍යාපාරමය අරමුණ මෙම සිදු වීම හා සම්බන්ධ වන්නේ ඒ අනුවය.මේ වන විටදී අදාළ පුද්ගලයා එම සහල් මෝලේ උදව් උපකාර ඇතිව ප්‍රදේශය හැරදා ගොස් සැඟව සිටින බවට වාර්තා වී ඇත. දෙසැම්බර් යනු ලංකාවේ පමණක් නොව බොහෝ රටවල ප්‍රධාන උත්සව සමයක් වශයෙන් සළකන කාල සීමාවකි.මෙම කාල සීමාව තුළ සහල් පරිභෝජන අවශ්‍යතාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යන අතර වෙළඳපොල තුළ ඉල්ලුමට සරිලන සහල් තොග වෙළඳපොල වෙත නොලැබුණහොත් අප දන්නා පරිදි ප්‍රධාන වශයෙන් සිදු වන සිදුවීම් දෙකකි. වෙළඳපොල තුළ සහල් මිල අධික ලෙස ඉහළ යාම  සහල් මිල පාලනය සඳහා රජය මැදිහත් වී සහල් ආනයනය කිරීම. එම කාරණා වෙයි. මෙම උත්සව සමය ආරම්භ කාල සීමාව තුළ රටේ ප්‍රධානම සහල් නිෂ්පාදන ආයතනයක් වෙත වසර 30 ක අතීතය තුළ පෙර කිසිදා නොවූ විරූ අභූත චෝදනා නගමින් රත්න සහල් වෙළඳපොළට පැමිණීම නතර කිරීමේ කූට ක්‍රියාදාමය මේ තුළ ක්‍රියාත්මකය.

මෙම සිදුවීම සැළසුම් කළ පිරිසට සහ සහල් වෙළඳපොල සහල් හිඟයක් හිතා මතාම රට තුළ ඇති කිරීමට අවශ්‍ය වී ඇති කණ්ඩායමට රත්න සහල් අභියෝගයක් උනේ රත්න සහල් කිසිදු විටක සහල් තොග රඳවා ගනිමින් සහල් මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක කිරීමට කිසිදා දායක නොවී සීමා කිරීමකින් තොරව වෙළඳපොළට සහල් නිකුත් කරන බැවිනි. රට තුළ විශාල බල පෙරළියක් වෙමින් දේශපාලන යාන්ත්‍රණයේ සිදු වූ වෙනස් කමට ද නියමයෙන් හෝ අනියමින් සිදු කළ දැවැන්ත අභියෝගයක්,අපහසුතාවයට පත් කිරීමක් ලෙසද මෙය හැදින්විය හැකිය.ඒ සඳහාද සාධාරණ හේතු සාධක ඇත.වත්මන් ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යතුමා වැඩ භාරගත් දිනයම මෙම වීඩියෝව මුදා හැරීමට තෝරාගෙන තිබීම ඊට ප්‍රධානම හේතුවයි.
රටේ යම් සහල් හිඟයක් ඇති වුවහොත් පිටරටින් සහල් ආනයනය කිරීමට සිදු වීම තුළ වත්මන් රජයට දැඩි ප්‍රහාරයක් විපක්ෂයෙන් එල්ල කිරීමට පදනම සකස් කිරීම ද මෙම සැළසුමේ තවත් එක් පැතිකඩකි. රත්න සහල් යනු අභියෝගයම ඉලක්කය කර ගත් දේශීයත්වය අගයන ආයතනයකි.රත්න සහල් ආයතනය විනාශ කිරීමේ අරමුණින් දියත් කළ මෙම කූට මඩ නාටකයේ හෙළුව දැන් මුළු රටම දැනගෙන හමාරය.මේ වන විටත් නිව් රත්න සහල් ශ්‍රී ලාංකීය වෙළඳපොළට දිනකට සහල් 300,000 Kg ක් පමණ නිකුත් කරමින් පාරිභෝගිකයින්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් සිටී.
මේ වැඩේ ඇත්ත මේ වෙනකොට එළිවෙලා ඉවරයි. නුදුරු අනාගතයේදී අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. කෙසේ වෙතත් රත්න සහල් සදහා පාරිභෝගික ඉල්ලුම තවමත් පෙර තිබූ තත්ත්වයෙන්ම පවතින බව නොකියාම බැරි කරුණකි.