ලංකාවේ බුදු දහම රැකගන්න වෙර දරන වචනයෙන් විස්තර කෙරීමට නොහැකි වටිනා පුද්ගලයික් කිහිප දෙනෙක් පිළිබඳවයි අපෙ මේ කතාව රජි වෙල්ගම රචිත සුනිල් එදිරිසිංහ ගයන මේ ගීතයේ අරුත නියම ලෙස දැකිය හැකි තවත් තැනක් පිළිබඳ පසුගියදා අපට අසන්නට ලැබුණේ පල්ලබැද්ද ප්‍රදේශයෙනි. පල්ලේබැද්ද ගල්පාය පිහිටි බඹරගල ආරණ්‍යයේ බුදුගෙයක් ඉදිකරන්නට ගල් ඉරන යන්ත්‍ර, ගල් කැටයම් කරන යන්ත්‍ර, ‍දොඹකර සිය දෑතින්ම නිපදවා පිළිම නෙළන හිමි නමක් ගැන අපට දැනගන්නට ලැබිණි. ඒ වෙන කවුරුත් නොව වෙහෙරවත්තේ ඉන්ද්‍රසුමන නායක හිමිපාණන්ය. මෙම ආරාමයේ සේනාසනාධිපතිව වැඩ සිටි ගොතටුවේ ධම්මානන්ද හිමියන්ගේ උත්සාහය හා බලාපොරොත්තුව වූයේ ආරණ්‍යයේ විහාරගෙයක් තනා පිළිම වහන්සේ තැන්පත් කිරීමය. නමුත් උන්වහන්සේ අසනීපව සිටි නිසා මේ ඉලක්කය සපුරාගත නොහැකි විය. නායක හිමියන්ගේ ඉලක්කය සපුරාලීමේ බර කරට ගත්තේ වත්මන් සේනාසනාධිපති වෙහෙරවත්තේ ඉන්ද්‍රසුමන හිමියන් විසිනි. ඒ අනුව කිරිගරුඬ පාෂාණයෙන් පිළිම වහන්සේත් රැස් මාලාවත් රහතන් වහන්සේලාත් නෙළා බුදුගෙය නිර්මාණ කිරීම වෙහෙරවත්තේ ඉන්ද්‍රසුමන නායක හිමියන්ගේ එකම අරමුණයි. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට වසර ගණනක සිට කරන වෑයම තවම නිමා වී නැත. එය පහසු කාර්යයක්ද නොවේ. මේ ඒ ගැන සොයා පල්ලේබැද්ද ගල්පාය බඹරගල ආරණ්‍යයට ගිය ගමනේ කතාවයි.

පල්ලේබැද්ද ගල්පාය බඹරගල ආරාමයේ ඉතිහාසය ක්‍රි.පූ. තුන්වැනි සියවස දක්වා දිවයයි. තවමත් පුරාවිද්‍යාවේ කිසිදු ගවේෂණයක්ද කර නැත. මේ ආරණ්‍යයේ පැරැණි ශිලා ලේඛන දෙස බලන විට පෙනී යන්නේ රහතන් වහන්සේ වැඩ සිටි භූමියක් බවයි. මෙම ආරණ්‍ය සේනාසනය කැලැවෙන් වැසී ගොස් තිබිණි. එහෙත් බඹරගල ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය නැවත සොයා ගත්තේ වසර 70කට පමණ පසුවයි. අතීතයේදී මෙම ආරණ්‍යයේ පෝය විනයකර්ම කිරීමට පෝය සීමාවන් තිබෙන්නට ඇත. එහෙත් ආරණ්‍ය නැවත ආරම්භ කිරීමෙන් පසු පෝය කර්ම කිරීමට පොහොය සීමාවන් ලකුණු කර තිබුණේ නැත. පැරැණි පොහොය කර්ම කෙරුණු ස්ථානද අදවන විට සොයාගෙන නැත. ඒනිසා පොහොය සීමාවක් සම්මත කර ගනිමින් මහ සංඝරත්නයේ විනය කර්මය කිරීමට තැනක් තිබීම වැදගත් විය. අනුරාධපුර යුගයේදී පොහොය විනය කර්ම කළේ ලෝවාමහ ප්‍රාසාදය තුළය. නව මහලකින් යුත් එම ගොඩනැඟිල්ලේය. පොළොන්නරු යුගයේදී පොහොය සීමාවන් පිහිටුවා තිබුණේ හාමුදුරුවරු 12,000කට වැඩ සිටිය හැකි විධියටය. ඒ නිසා මහ පරිමාණයෙන් නැතත් පොහොය සීමාවක් බඹරගල ආරණ්‍ය සේනාසනය තුළද හැකි පමණ පොහොය සීමාවක් පිහිටුවීමට සේනාසනාධිපති ඉන්ද්‍රසුමන හිමියන්ගේ අභිප්‍රාය විය. එහිදී අපවත් වී වදාළ ද්විතීක මහ නායක පදවිය දැරූ පතමියවෙල රෝහණ ශ්‍රී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එදා බඹරගල ආරණ්‍යයේදී හතළිස් නමකට හිමිවරු වඩමවා පොහොය සීමාව සලකුණු කළේය.

එදා සලකුණු කළ පොහොය සීමාව මැද විහාරයක් කරවීමට ඉන්ද්‍රසුමන නායක හිමියන්ගේ අභිප්‍රාය විය. එම විහාරගෙය කිරිගරුඬ ගලින් නෙළන ලද පිළිම වහන්සේ තැන්පත් කොට වසර දහස් ගණනක් පැවැතීමට විහාරගෙය කරවීම උන්වහන්සේගේ එකම අරමුණ වූහ. එහිදී බෞද්ධයාට වසර දහස් ගණනක් ගියත් වැඳ පුදා ගත හැකි පරිදි විහාරගෙය කරවීම මූලික අරමුණ විය. බුද්ධ ප්‍රතිමා වහන්සේ, වජ්‍රාසනය, බුද්ධ රශ්මි මාලාව, පිළිම වහන්සේ, මුරගල්, කොරවක් ගල්, ඇත්පවුර, හංස පේළිය, බහිරව රූප, වාමන රූප සියල්ලම සම්පූර්ණයෙන්ම ගල් කැටයමෙන් නිම කිරීමට ඉන්ද්‍රසුමන හිමිගේ අදහස විය. අදහසක් තිබූ පළියට හැමදේම හරි යන්නේ නැත. මේ නිසා වත්මන් නායක හිමියන් මේ ගැන පර්යේෂණ කරමින් යම් යම් අත්දැකීම් ලබා ගත්තේය. ඉන් පසු විහාරගෙය කරවීම ආරම්භ කළේය. පොහොය සීමා සම්මත කරපු භූමියේ ලොකු විහාරයක් කිරීමට තරම් ඉඩකඩ මදිවිය. ඒ නිසා විහාරගෙය ආරම්භ කිරීමට පෙර අදාළ භූමිය සකසා ගත යුතු විය. විහාරගෙය කරවීමට සුදුසු ස්ථානයේ විශාල කළුගලක් විය. මුලින්ම එය ඉවත් කරවීම පළමුව සිදුවිය. පසුව වටේ පරිසරයද හදාගෙන විහාරගෙය තැනීම ආරම්භ විය. විහාරගෙය සඳහා සිමෙන්ති කොට්ට 200ක පමණ අත්තිවාරම් දමා පාදම සවිශක්තිමත් කිරීම මුලින්ම සිදුවිය. මේ ආකාරයට වැඩ ඇරැඹි විහාර ගෙය නිම කිරීමට ගල් පුවරු, ගල් ලෑලි විශාල ප්‍රමාණයක් අවශ්‍ය විය. හංසපේළිය, මුරගල්, කොරවක් ගල්, ඇත් පවුර සඳහා මේ ගල් පුවරු අවශ්‍ය විය. ඒ සඳහා විශාල ගල් ලෑලි ප්‍රමාණයක් අවශ්‍ය විය. ගල් ලෑලි සොයා ගැනීම අපහසු නිසා ඉන්ද්‍රසුමන හිමියන්ට අපූරු අදහසක් පහළ විය.

ඒ ගල් ඉරීම සඳහා යන්ත්‍රයක් නිපදවීමටය. ඉන්ද්‍රසුමන හිමියෝ තමන්ගේ හිතට ආ අදහස ක්‍රියාත්මක කළහ. අඩි 11ක් දිග අඩි 9ක් පමණ උස ගලක් ඉරිය හැකි පරිදි මේ ගල් ඉරන යන්ත්‍රය නිපදවීමට අවශ්‍ය විය. මේ කර්මාන්තය පිළිබඳ දැනුම අති අයකුගේද සහාය ඇතිව ගල් ඉරීමේ යන්ත්‍රය නිෂ්පාදනය විය.මේ ගල් ඉරන යන්ත්‍ර දැනට භාවිත කරන්නේ කළුගලින් ටයිල් නිපදවන තැන්වලය. එම යන්ත්‍රයද විදේශ නිපැයුමකි. අද වන විට ලංකාවේ භාවිත කරන එවැනි යන්ත්‍ර බොහොමයක් චීනයේ නිෂ්පාදිත යන්ත්‍රය. මුදලින් රුපියල් කෝටි 4 – 4 1/2ක් පමණ වෙයි. මෙවැනි යන්ත්‍ර කිහිපයක් මුලින් දැක තිබූ හිමියෝ ඒ අනුසාරයෙන් තම විහාරයේ වැඩට අවශ්‍ය කළුගල් ඉරීමට මේ යන්ත්‍රය නිපදවා ඇත. ඒ හිමියන්ගේ දෑතිනි. හිමියන්ගේ සංකල්පයක් මත නිපදවූ මේ ගල් ඉරීමේ යන්ත්‍රය ලංකාවේ නිර්මාණය කළ පළමු ගල් ඉරීමේ යන්ත්‍රයද විය හැකිය. යන්ත්‍රය තැනීමේදී මේ සඳහා සුදුසු කියතක් සොයා ගත යුතුව තිබිණි. මේ කියත ගල් ඉරීම සඳහා සුදුසු විය යුතුය. ඊට අදාළ කියත ඉන්දියානු ජාතික ‘සතිසන්’ මහතා විසින් ලබා දුනි. යන්ත්‍රය තනා මාස ගණනක් තිස්සේ අත්හදා බැලීම සිදුවිය. යන්ත්‍රය නිෂ්පාදනය කර විනාඩි දෙකක් දුවන විට එය අක්‍රිය වීමට පටන් ගැනුණි. ඒ ආරණ්‍ය සේනාසනයට ඇති විදුලි ධාරාව ප්‍රමාණවත් නොවන හෙයිණි. යන්ත්‍රය ක්‍රියා කළේ හෝස් පවර් දහය මෝටරයකිනි. මේ සඳහා තෙකලා විදුලිය ලබාගෙන ක්‍රමයෙන් ගල් ඉරීම දක්වා යන්ත්‍රය සකස් විය.

මේ යන්ත්‍රය මඟින් අදටත් විහාරගෙය සඳහා අවශ්‍ය ගල් ඉරීම සිදුකරනු ලබයි. මුලින්ම ගල් ලෑලි ටික ඉරා ගනු ලැබීය. පැයකට අඟල් 6ක් පමණක් ඉරිය හැකි නිසා මනා සංයමයකින් ඉවසීමෙන් යුතුව ගල් ඉරන යන්ත්‍රය ක්‍රියාත්මක විය. ලෑලි ගල් ඉරීමෙන් පසු විහාරගෙයි පිළිම වහන්සේ තැන්පත් කිරීමට අවශ්‍ය වජ්‍රාසන ගලක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු ගලක් තෝරාගෙන ඉන්ද්‍රසුමන හිමියන් නිපදවූ යන්ත්‍රය මඟින් එයද ඉරා ගනු ලැබිණි. ඉරාගත් වජ්‍රාසන ගල පිහිටුවීම මුලින්ම අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු ගලක් ළඟ පාතක නැති විය. එහෙත් ළඟ පාතකින් ඊට සුදුසු ගලක් තිබුණේ නැත. අන්තිමට සොයාගෙන සොයාගෙන යන විට සුදුසු ගලක් ලැබුණේ ඇහැළියගොඩ ප්‍රදේශයේ මැණික් පතලකිනි. එම පතලේ පොළොව යට තියෙන ගල් ගොඩදමන බවට තොරතුරු ලැබීමෙන් පසු ඉන්ද්‍රසුමන හිමියෝ ඇහැළියගොඩ ප්‍රදේශයේ පතල් පොළට වැඩම කළහ. මෙම පතල අයිතිව තිබුණේ ඇහැළියගොඩ ප්‍රදේශයේ ‘බණ්ඩාර මහතාගේ පතලේය. එම පතලට ගොස් හිමියන් බණ්ඩාර මහතා මුණගැසී අවශ්‍යතාව ප්‍රකාශ කළේය. එහිදී බණ්ඩාර මහතා සිය පතලේ තිබූ වජ්‍රාසානය සඳහා සුදුසු ගලක් තිබී එය ආරණ්‍යයට පූජා කළේය. පතලේ වැඩද නවත්වා ස්කැවේටර් යන්ත්‍ර තුන හතරක් යොදාගෙන ගලක් පළා දුන්නේය. පසුව එම ගල ආරණ්‍ය වෙත ගෙනැවිත් යන්ත්‍රයෙන් ඉරා ගනු ලැබීය. ඉරා ගනු ලැබූ ගල ඔප දැමීමටද අවශ්‍ය විය. ඒ සඳහාද ඉන්ද්‍රසුමන හිමියන් යන්ත්‍රයක් නිපදවා තිබේ.

එම යන්ත්‍රය මඟින් ගල ඉරා ඔප දමා වජ්‍රාසන ගලක් නිෂ්පාදනය කර ගැනීමට සති ගණනක් ගත විය. අඩි 10 දිග අඩි 6ක් පළල, අඩි 4ක් උසට එම වජ්‍රාසන ගල සකස් කෙරුණි. ඇහැළියගොඩ ප්‍රදේශයේ සිට ගෙන එන විට වජ්‍රාසන ගල බරින් ටොන් 25ක් පමණ විය. එය ඉරා ඔප දැමූ පසු ටොන් 10ක් පමණ විය. වජ්‍රාසන ගල නිර්මාණය කිරීමෙන් පසු එය පිහිටුවීමට සුදුසු නැකැත්ද සකස් කෙරුණි. ඉන් පසු නිදන් වස්තු තැන්පත් කොට පින්කමක්ද පැවැත්විය. මේ පින්කම් මාලාව පවත්වා වජ්‍රාසන ගල පිහිටුවීමට යෑමේදීද ගැටලු මතුවිය. ඒ උස් භූමියක වජ්‍රාසන ගල තැන්පත් කර ගැනීමේදී ටොන් 10ක බරක් එසවීමට යන්ත්‍රයක් තිබුණේ නැත. මෙහිදී උඩවලවේ මහවැලි අධිකාරියේ තිබූ ටොන් 50ක ‍ෙදාඹකරයක් ගෙනැවිත් වජ්‍රාසන ගල ස්ථාපනය කළේය. මේ කාර්යයේදී මහවැලි අධිකාරියේ නිලධාරීන්ගෙන් සේවක මහත්වරුන්ගෙන් ද උපරිම සහායක් ලැබිණි. මූලික අඩිතාලම දැමූ පසු කිරීමට ඇත්තේ පිළිම වහන්සේ නෙළීම සඳහා චන්ද්‍රකාන්ත පාෂාණයක් තෝරා ගැනීමය. ඒ සඳහා සෑහෙන කලක් ගතවිය. වුවත් ඒ වෙනුවෙන් ගත් වෙහෙස සුළු පටු නොවීය. වැසිබර කාලගුණයක් පවතින කාලයේ පිළිම වහන්සේ නෙළීම අපහසුය. ඒ නිසා එම කාලයේදී වටේ ඇත් පවුර, බහිරව රූප, මුරගල් සකස් කිරීමට තීරණය විය. ඒ සඳහාද යන්ත්‍රයක් නිර්මාණය කිරීමට හිමියන්ට හැකි විය.  මෙම යන්ත්‍රයෙන් මුරගල්, ඇත් පවුර, බහිරව රූප නෙළීම කළේ ත්‍රිමාන තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. එය ලංකාවේ පළමුවරට කළ ක්‍රියාවකි. ත්‍රිමාන රූප ගලක නෙළීමට හැකි පරිදි යන්ත්‍රයක් නිපදවීමට ඉන්ද්‍රසුමන හිමියන්ට හැකි විය. මේ සඳහා සෙන්සර් භාවිත කරමින් ත්‍රිමාන විධියට කැටයම් කැපිය හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ඉන්ද්‍රසුමන හිමියන්ට හැකි විය. ඉන් පසු කාර්යය වූයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ගැනීමය. ඒ සඳහා සුදුසු චන්ද්‍රකාන්ත පාෂාණයක් සොයා ගැනීම ඊළඟ අභියෝගය විය. චන්ද්‍රකාන්ත පාෂාණය ආරාණ්‍යයට ගෙන ඒමට ‍ෙදාඹකරයක් නිපද වූ හැටි ලබන සතියට විශේෂ ස්තුතිය තොරතුරු සොයා ගැනීමට උපකාර කළ නිමල් සේනාධීර මහතා