මගේ පෙනුමට තමයි මේ චරිත ලැබුණේ – චරිත කිහිපයක්ම මට අත්හරින්න සිදු වුණා

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දකින තිළිණි පෙරේරා පුවත්පතකට මෙසේ සඳහන් කර තිබුණා.නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණය වූවද තිළිණි වර්තමානය වනවිට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ රංගන කටයුතුවලටය. ඇය ඉදිරියේදී සිනමා නිර්මාණ හරහාද ප්‍රේක්ෂක ඔබවට දැගත හැකිය.

රංගන ශිල්පිනියක් ලෙස තරමක් කාර්ය බහුලයි නේද? ‘ඉරුදේවි’, ‘සිද්ධාර්ත් ගෞතම’ ටෙලි නාට්‍යය දැනට විකාශය වෙනවා. මේ දිනවල මේ හැම ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් සඳහා දායක වෙනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලයි.

තිළිණි ඇයි මේ රජකතාවලට කොටු වෙලා?  ඵෛතිහාසික කතා ඇතුළත් ටෙලි නාට්‍යයවලට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ මගේ පෙනුමට තමයි මේ චරිත ලැබුණේ. නමුත්, මෑත කාලයේ දී මම වර්තමානයට ගැළපෙන කතා ඇතුළත් ටෙලි නාට්‍යය කිහිපයකටත් සම්බන්ධ වුණා.

ඔබ ටෙලි නාට්‍යයවලට පමණක් සීමා වෙලාද ඉන්නේ?  ආරාධනා නම් ලැබෙනවා. මේ වසරේ දී මා රංගනයෙන් දායක වුණ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ වගේම තව චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනත් ලැබිලා තියෙනවා. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයකුත් තිබුණා. නමුත්, මට ඒ නිර්මාණය තුළ කරන්න තිබුණ චරිතය මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අකමැත්තෙන් වුණත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න මට සිද්ධ වුණා. ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මට අත්හරින්න සිදු වුණා. නමුත්, හොඳ නිර්මාණයක්, හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ සිනමා නිර්මාණය භාර ගන්නවා. මොකද, ටෙලි නාට්‍යයවලට වගේම චිත්‍රපටවලටත් මගේ තියෙන්නේ ලොකු කැමැත්තක්.

බුද්ධික සේනාධීර

සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය කාන්තාව ජගුවරයෙක්ගේ ගොදුරක් වූ හැටි

කාන්තාවක් සත්ත්ව උද්‍යානයක බාධකයකින් පැන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමෙන් ජගුවර් සත්ත්වයෙකුගෙන් පහර කෑ සිද්ධියක් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සත්ව උද්‍යානයකින් වාර්තා වනවා.මෙම අනතුර පසුගිය සෙනසුරාදා දින සිදුවී තිබෙන අතර ඇයගේ ජීවිතයට බරපතල අනතුරක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. සත්ත්වයා සිටින කූඩුවේ බාධකයෙන් පැන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ජගුවර් සත්වයා ඇගේ අතට පහර දී ඇති අතර උද්‍යානයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ මිනිසුන් එසේ බාධක වලින් පැනීම නතර කිරීමට හැකියාවක් නොමැති බවයි. මෙම සත්වයා මීට පෙරත් බාධක වලින් පැන ආ නරඹන්නෙකුට පහර දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ සත්ත්ව උද්‍යානයේ සිටි අයෙක් එම සිදුවීම වීඩියෝගත කර ටිව්ටර් සමාජ ජාලායට මුදා හැර තිබෙනවා. එම විඩීයෝව මෙතනින් …..

මවට අමතකවු දරුවා සොයා ගුවන් යානයක් යළි හදිස්සියේ ගුවන් තොටුපළට ගොඩබායි

ගුවන් යානාවක ගමන් කරමින් සිටි කාන්තාවකට ඇයගේ බිළිදා ගුවන් තොටුපළේ දී අමතකවී දමා යාම හේතුවෙන් එම ගුවන් යානය යළි ගුවන් තොටුපළට ගොඩබෑමේ පුවතක් වාර්තා වනවා. සෞදි අරාබියේ ජෙඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැලේසියාව බලා ගමන් කරමින් තිබු ගුවන් යානයක් හදිස්සියේ යළි ජෙඩා ගුවන් තොටුපළට ගොඩ බෑමට සිදුවූ බවයි වාර්තා වන්නේ. මැලේසියාව බලා ගමන් කිරීමට සිටි මෙම කාන්තාව සිය බිළිදා සමග ගුවන් තොටුපළේ රැඳී සිටීමේ පර්යන්තයේ ගත කර ඇති අතර ගුවන් යානයට මගින් ඇතුලත් කර ගැනීමේ නිවේදනය බළධාරීන් නිකුත් කිරීමෙන් අනතුරුව ඇය ගුවන් යානයට ගොඩවී ඇත්තේ සිය බිළිදා අමතක කරමින්ය. ජෙඩා ගුවන් තොටුපළෙන් ගුවන් යානය පිටත්වී සුළු මොහොතකට පසුව ඇයට තම බිළිදා අමතකව ඇති බව තේරුම් යාමත් සමග යළි ගුවන් තොටුපළට ගුවන් යානය හරවන මෙන් ඇය හඬමින් ආයාචනා කර ඇති අතර ඇතිවූ තත්ත්වය පිළිබඳව ගුවන් යානයේ නියමුවන් ගුවන් ගමන් පාළක මැදිරිය වෙත දැනුම් දීමට පියවර ගන්නා ලදී. කාර්ය බහුල තත්ත්වයේ පසුවූ ජෙඩා ගුවන් තොටුපළට යළි එම ගුවන් යානය ගොඩ බෑමට ඉඩ ලබා දීම සඳහා ගුවන් ගමන් පාළකවරුන් සාකච්ජා කොට අවසර ලබාදී ඇත්තේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවේදී ගුවන් නියමුවන් හා ගුවන් ගමන් පාළකවරුන් අතර ඇතිවූ සංවාදය මේ වන ලොව පුරා සිඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතියි. කෙසේ වුවත් අවසානයේ ගුවන් තොටුපළ නිළධාරීන්ගේ භාරයේ සිටි බිළිදා යළි සිය මවට භාරදීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.

අන්තර්ජාලය කළඹලා ආශාවරීගේ වීඩියෝව ලීක් වුණ හැටි

මම දැන් වසර හතක විතර කාලයක් තිස්සේ facebook ගිණුමක් පවත්වාගෙන යනවා. ඔය කාලය තුළ facebook නිසා විවිධ විදියේ අත්දැකීම් වලට මුහුණ දෙන්න මට සිදු වෙලා තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ ආදර යෝජනා, විවාහ යෝජනා විතරක් නමෛයි විවිධාකාර මානසික මට්ටම්වල ඉන්න අයගෙන් නොයෙක් විදිහේ පණිවුඩත් facebook හරහා ඇවිත් තියෙනවා. රසිකයන් විදයට මම අදහස් දක්වන හැමෝටම මම අඩුම තරමින් Thanks කියලා හෝ පිළිතුරු දුන්නට මේ කිව්ව විදියේ පණිවුඩ එවන අයට නම් කිසිම පිළිතුරක් යවන්නේම නැහැ. ඒ විදියට දිගින් දිගට කරදර කරන අයව මගේ facebook ගිනුමෙන් Block කරලා දාන එක තමයි කරන එකම දේ. මුහුණු ‍පොත හරහා ඔය විදියේ පුංචි පුංචි සිදුවීම්වලට අමතරව කවදාවත් අමතක නොවෙන එක් ප්‍රබල සිදුවීමකටත් මම මුහුණ දීලා තියෙනවා. ඒක හරියට පැය කීපයක් තුළ සිදු වූ මහා විප්ලවයක් වගෙයි මට දැණුනේ. මෙන්න මේකයි ඔය කියන සිදුවීම. මීට ටික කාලයකට කලින් “ආශාවරීගේ වීඩියෝවක් ලීක්වේ” කියලා මගේ හැඩරුවට බොහෝ සමාන යුවතියකගේ සම්පූර්ණයෙන්ම නිරුවත් ඡායාරූපයක් facebook හරහා Share වෙන්න පටන් ගත්තා. ඒ Post එක කොයි තරම් වේගයෙන් පැතිරුණාද කියනවා නම් පැයක් තුළ 2000ක් පමණ දෙනා ඒක Share කරලා තිබුණා. ඒක දැකපු මගේ හිතවතුන් දිගට හරහට Call දීලා ඒ ගැන අහන්න ගත්තා.

ය අතරේ ඔය කියන Post එකට බලාගෙන ඉද්දී දහස් ගණනින් ඛිධථථඥදබ වැටෙනවා. ඔය අතරේ ටික දෙනයි අහන්නේ “මේ ඔයාමද” කියන ප්‍රශ්නේ. බහුතරයක් තීරණය කරලා ඉවරයි ඒ පින්තූරේ ඉන්නේ මමයි කියලා. ඒ අය රචනා වගේ දිගට හරහට ලියලා එවන Comment වල සඳහන් වන විදියට මම තමයි ලෝකේ ඉන්න ලොකුම පව්කාරිය. ඒ වෙලාවේ ඒ අයගේ විවේචන වලට මගේ හිත රිදුනේ නෑ කිව්වත් ඒක වැරදියි. ඒවා බලලා මම පුදුමාකාර විදියට හිත රිදවා ගත්තා. හැබැයි මට මා ගැන ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. මොකද ඒ ඉන්නේ මම නොවන බව දන්නා නිසා. මගේ නිර්දෝෂි භාවය ගැන මම හරියටම දන්න නිසා මම ඒ සිදුවීම පසුපස ගියා. අදාළ තැන් වලට පැමිණිලි කළා. ගත යුතු පියවරත් ගත්තා. කොහොම කොහොම හරි සිද්ධිය වෙලා පැය 4ක් යන්න කලින් මගේ පෙම්වතා අන්තර් ජාලය පීරලා පින්තූර අයත් Original Video එක හොයා ගත්තා. ඒකේ ඉන්නේ මගේ පෙනුමට ගොඩක් සමාන ලතින් ගැහැණු ළමයෙක්. ඒ Video එකේ පින්තූර කැප්චර් කරලා තමයි කවුරු හරි අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ. ඒ මොහොතේම අපි ඒ මුල් Video WY facebook හරහා Share කළා. පැය හතරක් යන්න කලින් මට මගේ නිර්දෝෂි භාවය ඔප්පු කරන්න හැකිවුණා. මගේ සමීපතමයන් වගේම, තාක්ෂණයේ බල මහිමයෙන් අද ලෝකයේ මේ වගේ දේවල් විය හැකි බව වටහාගත හැකි බුද්ධිමත් අය ඒ වෙලාවේ මම නිර්දෝෂියි කියලා තේරුම් ගත්තා.

ඒත් හැමෝම එහෙම නැහැනේ. නිතරම මිනිසුන්ට බණින, කාට හරි ඇඟිලි දිගු කරලා නැති වැරදි මතු කරන අය අපේ සමාජයේ සුලබයි. මං හිතන්නේ ඒ වගේ මිනිස්සු වැඩි පුරම ඉන්නේ ලංකාවේ වෙන්න ඇති. ඒ වගේ අය Original Video එක දැක්කට පස්සේවත් තමන්ගේ පහත් ප්‍රතිචාර ගැන කනගාටු වුණාද කියන්න මම දන්නේ නැහැ. නිර්දෝෂි බව ඔප්පු වුණාට පස්සෙත් දිගටම මට ඇඟිලි දිගුකළ අයත් සමහර විට ඒ අය අතර ඉන්න ඇති. මට ලොකු මානසික කම්පනයක් ඇති කළ ඒ සිදුවීමට මුල්වුණේ කවුද කියලා මම හොයලා බැලුවා. ඒත් facebook කියන්නේ අතිශය සංකීර්ණ ජාලයක්. ඒ වගේ තැනක මේ විදියේ වැරදි වැඩ කරන අය හොයා ගන්න එක පිදුරු ගොඩක වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්. මේ වැඩේට මුල්වුණ අය කවුද කියලා අදටත් මං දන්නේ නැහැ. මේ විදියේ පහත් වැඩ කරලා, අනිත් අයව මානසිකව පීඩාවට පත්කරලා තෘප්තියක් ලබන විදිහේ විකෘති මානසික මට්ටම් ඇති අයට කාගෙන් ගැළවුණත් සොබාදහමින් නම් ගැළවෙන්න බැහැ. කවදා හරි දවසක ඒ අය කළ කර්මවල ප්‍රතිඵල ඒ අයට අත් විඳින්න වෙනවාම තමයි.

අම්මගෙ හිතේ තිබුණ අහිංසක හීනයක් සැබෑ කරමින් චාමර ස්ලිම් නීල්සන් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උළලේදී වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනා ගැනීමට ඊයේ (05) සමත් වුනා. කෙසේ නමුත් සම්මානය ලබා ගැනීමෙන් අනතරුව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහහනක් තබා තිබුණේ පසුගියදා මියගිය සිය මෑණියන්ගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමට තමන්ට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බව සඳහන් කරමින්. එසේම “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙළ සඳහා සිය නම යෝජනා කළ සියළු දෙනා වෙනුවෙන් සිය ස්තුතියද ප්‍රකාශ කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්. ‘‘හිතාගන්නවත් බැරි මොහොතක මගේ අම්මා මගෙන් ඈතට ගියත් අම්මගෙ හිතේ තිබුන අහින්සක තව එක හීනයක් මට සැබෑ කරන්න පුලුවන් උනා. 2019 අවුරුද්දෙත් වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය මට දැන් ලැබුනා.වෙනද මෙහෙම මම ගෙදර එද්දි මම එනකන් මග බලාගෙන ඉන්න මගේ අම්මා අද නෑ කියල දැනෙද්දි හිතට එන පාලුව,තනිකම,වේදනාව කියා ගන්න බැරිතරම්.දුක තිබුනත් නිහතමානී සතුටක් දැනෙනවා අම්මගේ මේ හීනෙත් සැබෑවක් කරන්න පුලුවන් උනාට.. ස්තුතියි මගේ නම යෝජනා කලාට.ස්තුතියි මෙතුවක් මා වෙනුවෙන් ගීත ලිවූ,තනු නිර්මාණය කල, සංගීතය සැපයූ හැම හදවතකම.ස්තුතියි හදවතින්ම මෙතුවක් මා සමග සිටි ආදරණීය රසික ඔබ සැමට.තෙරුවන් සරණයි‘‘

සියල්ලන්ම හඬවමින් ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සිය මව වෙනුවෙන් තැබූ සංවේදී සටහන

ප්‍රසංග වේදිකාවේ දැවැන්ත චරිතයක් වුණු, ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ රටේම ආදරය දිනාගත් කලා ශිල්පියෙක්. පසුගිය දිනෙක චාමරගේ මව හෘදයාබාදයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. එම සිදුවීම චාමර වීරසිංහගේ හඬට ආදරය කළ සියලු දෙනා සංවේදී කළ පුවතක්. කෙසේ වෙතත් චාමර වීරසිංහගේ මවගේ අවසන් කටයුතු ඊයේ(03) දින සිදු කෙරුණු බව අපිට දැනගන්නට ලැබුණා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව සංවේදී සටහනක් තබා තිබෙනවා. පිපෙන හැම මලක්ම පවසාවි ජීවිතය යනු පරවීම බව.. , අහිමි පිය සෙනෙහසේ අඩුව නොදැනෙන්නට , අවසන් හුස්ම පොද නිදහස් වාතලයට මුදා හරිනතෙක් ,  මමත් මල්ලීත් අයියත් අක්කලා තුන්දෙනාත් සිය සුස්මමෙන් රැකබලාගත් මගේ අම්මාට උත්තම නිවන් සුව..!! එමෙන්ම චාමර සිය මව වෙනුවෙන් ඔහුගේම සුරතින් බැනරයක් නිර්මාණය කර තිබුණා.

 

ක්‍ෂේත‍්‍රයේ අය සෑක කරන අනූෂාගේ ඈත්ත වෙඩින් එක මෙන්න

හැමදාම මාධ්‍ය මෙයාගෙන් ඇහැව්වේ පෙම්වතියක්ද? එහෙමත් නැතිනම් කවදාද විවාහ උත්සවය ගන්නේ කියලා. එයත් කිව්වේ ලබන අවුරුදේදේ, ලබන අවුරුද්දේ කියලා. ඔන්න දැන් ඒ අවුරුද්ද ඇවිල්ලා. දිනත් නියම වෙලා. හැබෑවට මනාලියක් වෙනවා. කවුද ඒ. වෙන කවුරුවත් නෙමෙයි, අනූෂා දමයන්ති. වෙඩින් එකේ සියලූ විස්තරේ හීන් සීරුවේ දැනගත්තා. ඒවා ඔයාලට නොකියා ඉන්න එන හරි නැහැනේ.

අනූෂාගේ නම මේ දවස්වල හරියට කියැවෙනවා නේද?  නම කියැවෙලා කතාවෙන්නේ කලාවට පැත්තට වඩා මගේ විවාහය පැත්ත වෙන්න ඇති.

එතකොට ඒ ආරංචිය ඇත්තක් ?  ඔව්. අවුරුදු ගණනාවක් විවාහ වෙන්න ඕනෑ කිය කියා හිටියා. ගෙදරින් විවාහ වෙන්නම කියලා බලකළා. ඉතිං ඒක හින්දා විවාහ වෙන්න ඕනෑ කියලා තීරණය කළා. කාලය හරි කියලා හිතුවා. ඉතිං මැයි මාසයට මාගේ විවාහය තීරණය වුණා.

හැමදාම මනාලියක් විදිහට ඇඳපු අනූෂා සැබෑවට මනාලියක් වීම දකින්නේ ?  ඒක ඇත්තටම කියන්න බැරි තරම් හැඟීමක්. දැන් අපි ෂූටින්වලට ඕනෑතරම් මනාලියන්ට ඇදලා තියෙනවා. ජීවිතයේ සැබෑ මනාලියක් වෙනවා කියන්නේ ජීවිතයේ දෙවැනි දෙවැනි පටන්ගැන්මක්, දෙවැනි උප්පත්තියක් වගේම හිතේ චූටි බයකුත් තියෙනවා. එදාට ඕනෑම ගැහැණු ළමයෙක් ලස්සනට ඉන්න ආසයිනේ.

සැබෑ මනමාලියක් විදිහට එදාට හැඩ ගැන්වෙන්නේ මොන විදිහටද?  ගොඩක් වෙලාවට ඔයාට ලස්සනට උඩරට මනමාලිය කියලා තමයි හැමෝම කිව්වේ. ඒ වගේම මගේ සාම්ප‍්‍රදායික කටයුතු එදාට ඒ විදිහටම කරන්න ඕනෑ කියලා කිව්වා. අපේ සංස්කෘතියට අදාල සියලූම දේවල් උඩරට විදිහට තමයි කරන්න ලෑස්ති කරලා තියෙන්නේ.

අනූෂාව හැඩගැන්වීමට නිරූපණ ශිල්පියෝ පොරකනවා කියන්නේ ඇත්තද?  ඒ කතාව නම් ඇත්ත තමයි. මට දුකයි. ගොඩක් අය මට යෝජනා කළා සියලූම දේවල් ඔයාට දීලා අපි අනූෂව මනාලියක් විදිහට හැඩ ගැන්වීම් සිදුකරන්නම් කියලා. ඉතිං මට එක්කෙනෙක් තෝරාගන්න හරිම අමාරුයි. හැමෝම හිතුවේ මම තනියම මනමාලියට අඳීවි කියලා. අන්තිමේ චන්දිමාල් තමයි මම තෝරාගත්තේ.

සැබෑ මනමාලියගේ ජීවිතයේ ඉදිරි ගමන කොහොම වේවිද?  ඒක දැන්ම කියන්න බැරිවේවි. මම හිතන්නේ හැඟීම කියන දේ මට පුරුදුම නැති දෙයක්. විවාහ වුණහම මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා මට ලොකු සැලසුමක් තිබුණේ නැහැ. මට දැනෙනවා ලොකු වගකීමක් ගන්න තියෙනවා කියලා. මම කොයි තරම් නිළියක් කිව්වත් බිරිද කියන වගකීම් කොටස මට එනවා. හැබැයි මට ජීවිතයේ කළමනාකරණය හරියට සිදුකරන්න පුළුවන්.

අනූෂා සැබෑ මනාලියක් විදිහට දකින්න ගොඩක් හිතවතුන් ඇති නේද?  පැහැදිලිවම. ඇත්තටම ඔය කාරණාව හින්දා අපේ අම්මාට කිව්වා ලොකු විවාහ උත්සවයක් ගන්න මම කැමැති නැහැ කියලත් කිව්වා. මම කැමැති නැහැ කාගේවත් හිත රිද්දන්න. අපි මේක පවුලේ කට්ටියත් එක්ක විතරක් කරමු කියලා යෝජනාවක් කළා.

අම්මා ඒකට කැමැති වුණේ නැතිද?  නැහැ. එයා විතරක් නෙමෙයි මගේ අනාගත සැමියාගේ ඥාතීන් එහෙම කරන්න කැමැතිවුණේ නැහැ. ජීවිතයේ මංගල්ල දෙකක් ගන්නේ නැහැනේ. ජීවිතයේ එක වතාවයි බඳීන්නේ. ඒක ඔයාට කැමැති විදිහට සිදුකරන්න කියලා කිව්වා.

ඇත්තටම මේ විවාහ උත්සවය සිදුකරන්නේ කොහේද?  සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තමයි ගන්නේ.

අනූෂාගේ විවාහ උත්සවයේ දෙවැනි මනමාලයෝ මනමාලියෝ කවුද?  දෙවැනි මනමාලයෝ ටිකයි මනමාලියෝ ටිකයි මම චන්දිමාල්ට භාරදුන්නා. මම ක්‍ෂේත‍්‍රයේ ඉන්න හින්දා කට්ටිය තෝරන්න මට බැහැ. ඔයා අන්දන හින්දා ඔය කැමැති කට්ටිය ගන්න කියලා.

අනූෂා මනාලියක් වෙන දවසට කාගේවත් හිත රිද්දන්න කැමැති නැහැ ?  අනිවාර්යයෙන්ම. මම කාගෙවත් හිත රිද්දන්න කැමැති නැහැ.

මේ මනමාලිය කැන්දාගෙන යන්නේ කවුද කියලා තවම කිව්වේ නැහැනේ ? එයා ව්‍යාපාරිකයෙක්. මීට ඉස්සරනම් රගපාලත් තියෙනවා. අවුරුදු දහයක සම්බන්ධයක්. එයා මගේ රසිකයෙක්. මේ සම්බන්ධය පටන්ගන්නේ 2008 අවුරුද්දේ අග භාගයේදී. ඩාන්සින් ස්ටාර් නිසා තමයි එයා මට මුලින්ම කතා කරන්නේ. රසිකයෙක් හැටියට කතා කරලා එයා මට එස්. එම්. එස් කළ. ඒ එස්. එම්. එස්. හරි වෙනස්. හරි වැදගත් එස්. එම්. එස්. වුණා. ඒකේ පොඩි අමුත්තක් තිබුණා. මාස හයක් විතර අපි දුරකථනයෙන් කතා කළා. දවසක් මම කිව්වා දකින්න ආසයි කියලා.

ඊට පස්සේ එයා ආවද? මම අපේ ගෙදර පාර පැත්තට එන්න කිව්වා. හරි ආවා කිව්වහම ආවනම් වාහනයෙන් බහින්න කිව්වා. බැස්සට පස්සේ කිව්වා ඇවිදින්න කියලා. ඊට පස්සේ යන්න කියලා කිව්වා.

එතැනින් එහාට දුරදිග ගිය කතාව? ඔයා මට කැමැති නම් කෙලින්ම ගෙදරින් ඇවිත් අහන්න කියලා කිව්වා. මම එළියේ පහළ හම්බවෙන්න කැමැති නැහැ කියලත් කිව්වා.

අම්මාගෙන් ඇහැව්වාද? එයා කෙලින්ම ඇවිත් අම්මාගෙන් ඇහැව්වා. අපේ අම්මා කිව්වා ඔයාට එහෙම අදහසක් තියෙනවා නම් දෙමව්පියන්ට එන්න කියන්න කියලා. අනේ අම්මයි තාත්තයි ඇවිත් කතාබහ කරලා අන්තිමේ දන්නේම නැතිව අවුරුදු දහයක් ගෙවුණා. අවුරුදු දහයකට පස්සේ මම මනාලියක් වුණා.

අනූෂාව මනාලියක් කරන ඔහුගේ නම තවත් රහසක්ද? එයාගේ වාසගම විතරක් කියන්නම්. ජයතිලක කියලා දැනට ලියන්නකෝ. තව මාස තුනයිනේ. එතකොට ඔක්කොම දැනගත්තහැකිනේ.

බිරිදක් වුණාට පස්සේ රඟපෑමට මොකද වෙන්නේ ? අනේ මොකුත් වෙන්නේ නැහැ. මම හරි වාසනාවන්තයි. එයා කලාවට හරි ආදරෙයි. මගේ නර්තනය විඳීන්න හරි කැමැතියි. මම ලස්සනට ඉන්නවාට, ලස්සනට අදිනවාට තමයි එයා කැමැති.

අනූෂා මනාලියක් වෙනවා කිව්වහම ක්‍ෂේත‍්‍රයේ අය මොනවාද කිව්වේ ?  සමහර අයට විශ්වාසත් නැහැ. කෝල් කරලා අහනවා මේ යන කථාව ඇත්තක්ද?, ඔයා බඳීනවාද කියලා. මම කිව්වා ඔව් කියලා. හැමෝගෙන්ම එන්නෙ සුභපැතුම් තමයි.

විජේවීරව කරළියට ගේන්න කෝටි ගාණක් සල්ලි දාපු කවුද මේ චමත්කා?

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන ගින්නෙන් උපන් සීතල මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල අති සාර්ථක ලෙස තිරගත වෙන සිනමා පටයක්. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ චරිතය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබෙන ගින්නෙන් උපන් සීතල සිනමා පටය සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙන්නේ ‘Cinepro Lanka International’ ආයතනය වෙනුවෙන් චමත්කා පීරිස්. මෙරට සිනමා පටයක් සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදුන් ළාබාලතම නිෂ්පාදකවරිය ලෙස මේ දිනවල නිතර නම කියැවෙන චමත්කා යනු කවරෙක්ද? ඇත්තටම ඇගේ අරමුණ මොකක්ද? රිද්ම අපේ ප්‍රශ්න කිරීම ඒ පිළිබඳවයි. ලංකාවේ ළාබාලම චිත්‍රපට නිෂ්පාදකවරිය විදිහට ඔබව හැඳින්වුවොත් නිවැරදිද? ඔව්. මම හිතන්නේ ඒ හැඳින්වීම නිවැරදියි. ඔබේ වයස කීයද? මගේ වයස අවුරුදු 20 යි.

මේ තරම් ළාබාල වයසකදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඔබට හැකිවුණේ කොහොමද? මම ‘Cinepro කියන නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂවරියක්. මගේ තාත්තා ජයලත් පීරිස් තමයි එම ආයතනයේ සභාපතිවරයා. තාත්තා මීට කලින් සිනමාවට සහ ටෙලි නාට්‍ය කර්මාන්තයට නිෂ්පාදන දායකත්වය ලබාදීලා තියෙනවා. අනුරුද්ධ ජයසිංහ මහතා මුලින්ම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ තිරපිටපත අරගෙන ඇවිත් මාව හමුවෙලා කිව්වා ඒක සිනමාවට ගෙනාවොත් ලංකාවේ සිනමාවේ පෙරළියක් ඇති කරන්න පුළුවන් වේවි කියලා. ඒ අනුව තමයි මට අවස්ථාව සැලසුණේ මේ චිත්‍රපටය හරහා නිෂ්පාදකවරියක් විදිහට කරළියට එන්න.

ඒ වෙද්දී ඔබට රෝහණ විජේවීර කියන චරිතය ගැන මොන වගේ අවබෝධයක්ද තිබුණේ? රෝහණ විජේවීර ගැන ඒ වෙනකොට මම අහලා තිබුණා. ඒත් ඔහු ගැන ලොකු දැනුමක් මට තිබුණේ නැහැ. මම ඉපදුණේ 1998 අවුරුද්දේ. මම හිතන්නේ නැහැ මගේ වයසේ කාටවත් විජේවීර කියන චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. මගේ සමහර යාළුවෝ රෝහණ විජේවීර කියලා කෙනෙක් ගැන අහලවත් තිබුණේ නැහැ. අනික අපේ වැඩිහිටියෝ වුණත් අපට හඳුන්වා දීලා තිබුණේ රෝහණ විජේවීරගේ නරක පැත්තක් පමණයි. නමුත් මේ චිත්‍රපටයේ තිරපිටපතෙන් ඔහු ගැන මීට කලින් කතාබහට ලක් නොවුණු විදිහේ කතාවක් හෙළිකරන නිසා මම කැමැති වුණා චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායක වෙන්න. මුලින් දැනගෙන නොසිටියාට පසුව මම රෝහණ විජේවීර මහතා ගැන ලියවුණු දේවල් කියවලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හොඳ අවබෝධයක් ලබාගත්තා.

චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්න ඔබට මුදල් කොහෙන්ද? මුලින්ම චිත්‍රපටයේ පිටපත අධ්‍යයනය කරලා මම තාත්තට ඒ ගැන කිව්වා. තාත්තා කිව්වා කමක් නෑ චිත්‍රපටය කරන්න කියලා. ඊට පස්සේ මම ‘Cinepro ආයතනය හරහා මූල්‍ය පහසුකම් සපයා දීලා චිත්‍රපටය තිරයට ගේන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා.

චිත්‍රපටයට කොච්චර මුදලක් වැය වුණාද? රුපියල් මිලියන 120 ක් විතර වියදම් වුණා. ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදීත් තවත් මුදල් වැයවේවි.

දැනට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ වැයවූ මුදල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් උපයා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවාද? හුඟක් අය චිත්‍රපටය නරඹලා ඒක හොඳයි කියලා කියනවා. ඊට වඩා වෙනස් අදහස් දරන අයත් නැතුවා ‍නෙවෙයි. තවම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන නිසා ආදායම මොන වගේ වේවිද කියලා දැන්මම කියන්න අමාරුයි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරිය වුණාට එහි මංගල දර්ශනයටවත් ඔබ සහභාගි වුණේ නැහැ. ඇයි ඒ? මේ වෙද්දී මම ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. නිවාඩුවට තමයි මේ වතාවේ මම ලංකාවට ආවේ. මම ඕස්ට්‍රේලියාවට ගියේ උසස් පෙළ අවසන් වූ විගසමයි. ඒ යද්දී මම චිත්‍රපටය නරඹලා තිබුණේ නැහැ. මේ වතාවේ ලංකාවට ආවම තමයි මට චිත්‍රපටය නරඹන්න ලැබුණෙත්. මේ දවස්වල මම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට මගේ දායකත්වය ලබාදෙනවා.

මින් ඉදිරියටත් සිනමාවට දායක වෙන්න හිතාගෙන ඉන්නේ නිෂ්පාදකවරියක් විදිහට විතරද? මට තව අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් ‘Cinepro ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. රඟපාන්න නම් මගේ කැමැත්තක් නැහැ. ඒත් කවදා හරි අධ්‍යක්ෂණයට පිවිසෙනවා නම් ඒ ගැන හොඳට හදාරලා තමයි ඒ දේ කරන්නේ. මෙවැනි චිත්‍රපටයක් මුදල් යෙදවීම පිටුපස වෙනත් දේශපාලන කතාවක් තිබෙනවා යැයි කෙනකු කීවොත් ඒ කිසිවක් ඇත්ත නමෛයි. මේ චිත්‍රපටයට මුදල් යෙදවීම පිටුපස දේශපාලන අරමුණක්වත්, වෙනත් කිසිම බලා‍පොරොත්තුවක්වත් නෑ.

දුප්පත්කමේ අන්තයටම ගිලී බැටළුවන් දක්කාගෙන ගිය ඇය අද ප්‍රංශයේ උසස් අධ්‍යාපන ඇමැතිනියයි

අප්‍රිකානු මහාද්වීපයේ මොරොක්කෝ රාජ්‍යයේ නාදෝර් නම් පිටිසරබද ගම්මානයේ දිළිඳු අහිංසක පවුලක් ජීවත් වුණා. මේ පවු‍ලේ සිටියා දරු දැරියන් හත්දෙනෙක්. එයින් දෙවැන්නා දියණියක්. ඇය උපන්නේ 1977 ඔක්තෝබර් 4 වැනිදායි. ඇයට නම් තැබුණේ නජට් බෙල්කසම් ලෙසින්. දුප්පත්කම නිසා මේ දැරියට හරිහමන් ඉගෙනීමක් ලබන්න පුළුවන් වුණේ නැහැ. පවු‍ලේ ජීවත්වීමට වුවමනා මුදල් හදල් සොයාගන්නට ළාබාල වයසේදීම ඇයටත් උරදෙන්නට සිදුවුණා. ඒ වෙනුවෙන් ඇය කළේ බැටළුවන් රැකබලා ගැනීමයි. නජට්ගේ පියා රැකියාව කළේ ප්‍රංශයේ. ඔහු එහි ගොඩනැගිලි ඉදිකිරීම් කම්කරුවකු විදියට සේවය කළා. තවදුරටත් මොරොක්කෝවේ හිටියොත් නම් මගේ දරුවන්ට යන කල දසාවක් නැහැ. හැමදාමත් දුක විතරයි විඳින්න වෙන්නේ. ඒ නිසා මගේ පවුලම ප්‍රංශයට ගෙන්වා ගන්නවා නජට්ගේ පියා අනාගතය ගැන බොහෝ දුරට සිතා බලා තීරණයක් ගත්තා. ඒ අනුව 1982 දී මේ පවුල ප්‍රංශයට සංක්‍රමණය වුණා. ඒ වෙද්දී නජට්ගේ වයස අවුරුදු පහයි. එහිදී ඇය මුල සිටම ක්‍රමානුකූලවම පාසල් අධ්‍යාපනය ලැබුවා.

මට දැනුණේ මාව අමුතුම ලෝකයකට වැටුණා වගෙයි. ප්‍රංශයේ සංස්කෘතිය මොරොක්කෝවට හාත්පසින්ම වෙනස්. ප්‍රංශයේ මා ඉගෙන ගත්ත පාස‍ලේ ළමයි මට සැලකුවේ ඉතාමත් නරක විදියට. ඔවුන් මගේ ඇඳුම් පැලඳුම්වලට හිනා වුණා. මට දරුණු විදිහට අපහාස කළා. සෙල්ලම් කරන්නවත් ඔවුන් මාව ගත්තේ නැහැ. මට මං ගැනම දැනුණේ දරාගන්න බැරි තරමේ මහා දුකක්. ඒත් මට පුංචි කා‍ලේ ඉඳන්ම වැදගත් අරමුණක් තිබුණා. ඒ තමයි මොන විදිහේ කරදර, බාධක ආවත් හොඳින් ඉගෙන ගන්නවා කියන කාරණය. ඒ නිසා මට එල්ල වුණු අපහාස උපහාස නොතකා ඉන්න මම හිත ශක්තිමත් කරගත්තා නජට් පවසනවා. නජට් හට මේ තරම් ඉහළ තලයකට යන්න ජවය, සවිය ලැබුණේ මේ වෙනස් නොවූ, දැඩි අධිෂ්ඨානය නිසයි. නජට් වඩාත් ප්‍රිය කළේ දේශපාලනයටයි. ඒ සිතුවිල්ල ඇය තුළ උපන්නේ ප්‍රංශයේදී තමන් ලැබූ මුලින් කී අතිශය අමිහිරි අත්දැකීම් නිසාමයි. දුප්පතුන්ට එල්ල වෙන සමාජ අසාධාරණයන්ට විරුද්ධව, එක් එක් ජන කොටස්වලට ලැබෙන වෙනස් වෙනස් සැලකිලිවලට විරුද්ධව සටන් කළ යුතුයි කියන සිතුවිල්ල ඇයගේ සිත තුළ රෝපණය වුණා. කෙළවරක් නැති අමාරුකම් මැද ඇය හොඳින් ඉගෙන ගත්තා. 2002 දී ඇය දේශපාලන අධ්‍යාපනය පිළිබඳ පැරිස් ආයතනයෙන් උපාධිය ලබාගත්තා. නජට් දේශපාලන ගමනට මුල්ම පියවර තැබුවේ ප්‍රංශ සමාජවාදී පක්ෂයට බැඳීමෙන්. ඇය ඒ පක්ෂය හරහා සැමට සමානව මානව අයිතිවාසිකම් අහිමි වීම, විවිධ ජන කොටස්වලට විවිධාකාරයෙන් සැලකිලි ලැබිම යනාදී කාරණාවලට එරෙහිව සටන් කළා. මගේ සම වයසේ අය පුහු දේවලට මුල් තැන දෙද්දී මම සැබෑම සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කළා නජට් අතීතය සිහිපත් කළා.

2008 දී නජට් ජෝන් ඇල්පයින්ස්හි සභිකවරියක ලෙසින් තේරී පත්වුණා. ඒ වසරේදීම ඇය රෝන් අංශයේ කවුන්සිල් ජෙනරාල් නම් තනතුරට තේරී පත්වුණේ තම දේශපාලන ගමනේ තවත් පියවරක් ඉදිරියට තබමින්. 2012 දී පැවැති ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නජට් බහුතර ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසින් තේරී පත්වුණා. ඇයගේ කැපවීම හා කාර්යක්ෂමතාව ගැන හොඳින් දැන සිටි ප්‍රංශ රජය ඇයට විවිධ අමාත්‍ය ධුර පැවැරුවා. කාන්තා කටයුතු අමාත්‍ය ධුරය, නාගරික කටයුතු අමාත්‍ය ධුරය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරය ඒ අතර වූවා. නජට් වෙත වැදගත්ම අමාත්‍ය ධුරයක් ලැබුණේ 2012 දීයි. ඒ, එවකට ප්‍රංශ ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්සින් හොලැන්ඩේ වෙතින්. එය නම් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා ගවේෂණ අමාත්‍ය ධුරයයි.
ඉගෙන ගන්න කාලෙදී වගේම දේශපාලනයට එක්වුණු මුල් කාලයේදීත් ප්‍රංශයේදී මට බොහෝ කෙණෙහිලිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශපාලනයේදී මා පිටස්තරයකු කියා මට අපහාස කළා. මගේ ගමන නතර කරවන්න විවිධ උපක්‍රම යෙදුවා. ඒත් ඒ එකකින්වත් මාව වට්ටවන්නට ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ඒ හැම දෙයින්ම වුණේ මම තව තවත් ශක්තිමත් වීම පමණයි. මම මගේ අරමුණට ගියේ හැම බාධකයකටම ඉතාමත් සාර්ථකව මුහුණ දෙමින් නජට් තම ගමනේ සාර්ථකත්වය පසුකලෙක විස්තර කළේ ඒ විදියටයි.

යාළුකම කොච්චරද කීවොත් මගේ බබා බලන්න එයා ආවෙ නෑ…

හිමාලිට මුලින්ම මනෝහාරිව මුණගැහුණේ කොයි කාලේදීද…?  මනෝ අක්කාව මට මුලින්ම මුණගැහුණේ “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයෙනුයි. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ සමන් කුමාර ලියනගේ මහතායි. ඒ ටෙලිනාට්‍යයේ මනෝ අක්කත් වැඩ කළා.

ඒ රංගන ශිල්පිනියක් විදිහට හිමාලි ක්ෂේත්‍රයට ආපු අලුත… මනෝහාරිගෙන් ලැබුණු සහයෝගය කොහොමද…? ඔව්… ඒ ගැනනම් කියන්නට ඕනේ. සමන් කුමාර ලියනගේම අධ්‍යක්ෂණය කරපු සඳගලතැන්න ටෙලිනාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ “සඳගිරි පව්ව රඟපාද්දීත් අපි ක්ෂේත්‍රයට ආගන්තුකයි. බොහෝම අලුත්. ඒ කාලෙදීත් මනෝ අක්කා බොහෝ නිර්මාණවලට දායක වුණු ප්‍රවීණයෙක්. මගේ පළවෙනි නාට්‍යයේ ඉඳන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියන් ශිල්පීන් එක්ක වැඩ කරද්දී මම හරිම බයයි. ඒ හැමෝටම මගේ ගෞරවයක් තිබුණා. ඔවුන් ඉදිරියේ වැරදි කරන්න පොඩි බයක් තිබුණා. සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේදී මනෝ අක්කා වගේම මොරින් අක්කාගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. අපිට වඩා වැඩිමල් වුණාට යාළුවෝ වගේ අපිත් එක්ක හිනාවෙලා විහිළු කරමින් ඒ අය හිටියා. ඒ නිසා තමයි අදටත් ඒ යාළුකම ඒ විදිහට තියෙන්නේ. මම හිතන විදිහට “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ ඒ රංගනය සාර්ථක වෙන්නත් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා වැදගත් වුණා.

මනෝහාරි මොන වගේ කෙනෙක්ද…? අදටත් මනෝ අක්කා මට එදා හම්බුවුණ කෙනාම තමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ යාළුකම අවුරුදු ගාණනාවක් අදටත් ඒ විදිහටම තියෙනවා. මම මනෝ අක්කා එක්ක ගොඩාක් නිර්මාණවල වැඩ කරලා නැහැ. හැබැයි අපි නිතරම වගේ ෆෝන් එකෙන් කතා කරනවා. අපේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. පෞද්ගලික දේවල් ගැන අපි කතා කරනවා. නිතරම අපි මුණගැහුණේ නැති වුණත් අපි අපේ දුක සැප බෙදා ගන්නවා. ඒ නිසා එදා මට මුණගැහුණු අක්කාම තමයි අදටත් මම ළඟ ඉන්නේ.

මනෝහාරිගේ ඔයා ආස කරන ගතිගුණ මොනවාද…? ඇත්තටම මනෝ අක්කා කියන්නේ වැඩ පස්සේ දුවගෙන යන කෙනෙක් නෙමේ. එයා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එයාට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් ඒ චරිතයට එයාට යමක් කරන්න පුළුවන්නම් විතරක් අක්කා බාරගන්නවා. ඒ බාරගත්ත චරිතයට හරි සාධාරණයක් එයාගෙන් ලැබෙනවා. හැමවෙලේම මහන්සිවෙලා ඒ චරිතයට යමක් කරන්න අක්කා උත්සහ ගන්නවා. තිරයේ නිකන් පෙනී සිටින්න අක්කා කැමති නැහැ. ලැබෙන සුළු චරිතයක් වුණත් යමක් කරන්න තියෙනවා නම් විතරයි එයා බාරගන්නේ. මමත් ඒ වගේ කෙනෙක්. ඒ නිසාම වෙන්නත් ඇති අපේ යාළුකම මෙහෙම තියෙන්නේ. මම දන්නේ නැති, මම වැඩකරලා නැති අධ්‍යක්ෂකවරයෙකු නිර්මාණයකට මට කතා කළොත් මම මුලින්ම ඒක අක්කට කියනවා. “අක්කෙ… මේ කෙනා කොහොමද… මට වැඩ කරන්න පුළුවන්ද…? කියලා අහනවා. මගේ හැටි අක්කා හොඳටම දන්න නිසා “නංගී ඔයාට මෙයා එක්ක වැඩකරන්න පුළුවන්… මෙයා එක්ක බැරිවේවී. කියලා එයා මට කියනවා. ඒ වගේ උපදෙසුත් මනෝ අක්කාගෙන් මට ලැබෙනවා. ඒ නිසා එයා මට හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරියක්.

මනෝහාරිට කේන්ති යනවාද…? ඔව්… ඔව්… කේන්තිත් යනවා. එහෙම කේන්ති යන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ හැමදේටම වැඩිය මනෝ අක්කට ඉක්මනට දුක හිතෙනවා. එයා හරිම සංවේදී චරිතයක්. කවුරු හරි කෙනෙක් එයාට හරි කාට හරි වරදක් කළොත් එයාට දුක හිතෙනවා. සමහර වෙලාවට කාත් එක්ක හරි හිත රිද්දවා ගත්තොත් “ඕන නැහැ මම කතා කරන්නේ නැහැ… එයාට ඕන නම් කතා කරපුදෙන්… කියලා පැත්තකට වෙලා ඉන්න වෙලාවලුත් තියෙනවා.

රූගත කිරීම් කරද්දී ලැබෙන පොඩි විවේකයේදී දෙන්නා එකතුවෙලා මොනවද කළේ…? ඒ වෙලාවට ඉතින් අපිට පසුගිය කාලේදී වෙච්චි දේවල් කිය කියා අපි පැත්තකට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපි දෙන්නාගේ හිනා වීම වැඩිවෙලා අධ්‍යක්ෂවරුන්ගෙන් බැණුම් අහපු වෙලාවලුත් තිබුණා. විශේෂයෙන් සමන් කුමාර ලියනගේ මහතාගෙන් නම් අපි එහෙම හිනාවෙලා බැණුම් අහලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් සද්ද නැතිව දෙන්නා ආයේ පැත්තකට වෙනවා.

ඔහොම රූගත කිරීම් කරද්දී අමතක නොවන සිදුවීමක් එහෙම මතක් කළොත්…? එහෙම සිදුවීමක් නම් තියෙනවා. හැබැයි ඒ සිදුවීම වුණේ මනෝ අක්කටයි. “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ මනෝ අක්කා වයසක අම්මා කෙනෙක්ගේ චරිතයක් තමයි කළේ. බොහෝම දුෂ්කර පළාතක ජීවත් වෙන වයසක, රෙදි හැට්ට අඳින අම්මා කෙනෙක්ගේ චරිතය මනෝ අක්කා හරි අපූරුවට කළා. ඔන්න එක කොටසක මනෝ අක්කා (වයසක අම්මා) ලෙඩ වෙන කොටසක් රූගත කිරීම් කළා. ඒ වයසක අම්මාගේ පුතාට රඟපෑවේ සරත් අයියා. ඉතින් එක තැනකදී පුතාට අර වයසක අම්මාව උස්සගෙන බෙහෙත් ගන්න යන දර්ශනයක් රූගත කිරීම් කරන්න තිබුණා. කැමරා රෙඩි, අධ්‍යක්ෂකවරයාත් රෙඩි. දැන් ඔන්න සරත් අයියා එකපාරටම අර වැරහැලි ඇඳගත්තු මනෝ අක්කව හරහට උස්සගත්තා. මනෝ අක්කගේ හරි අපූරුවට මුණෙන් අර ලෙඩ පාට පෙන්නුවා. ඒත්… එකපාරටම අධ්‍යක්ෂවරයා “කට්… කට්… කියලා කෑ ගැහුවා. දැන් අපිටත් පුදුමයි. බලද්දී තමයි අපිට සිද්ධිය තේරුණේ. මනෝ අක්කා අර වැරහැලි වගේ ඇඳපු රෙද්ද යටින් කළු පාට ජීන්ස් එකක් ඇඳලා. ගමේ ආච්චිලා එහෙම ජීන්ස් අඳිනවාද… එදානම් මනෝ අක්කා හොඳටම බැණුම් ඇහුවා. අපිට නම් හරි හිනා. තාමත් මනෝ අක්කව මුණගැහුණාම “අර වයසක උන්දා ඇඳපු ජීන්ස් එක කෝ… කියලා අහන වෙලාවලුත් තියෙනවා.

හිමාලිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මනෝහරිට කිව්වේ දුරකතනයෙන්ද…? ඔව්… මම කෝල් කරලා මනෝ අක්කට කිව්වා. එදා එයා ගොඩාක් සතුටු වුණා. අපේ යාළුකම කොච්චරද කියනවා නම් මේ වෙනකන් තාම එයා බබා බලන්න ආවේ නැහැ. ඉතින් හැමදාම කෝල් කළාම. “අනේ නංගියෝ… මම එන්නම් කියලා කියනවා. කොහොම හරි මම මගේ දරුවා අරගෙන ළඟදීම එයාට පෙන්නන්න මනෝ අක්කගේ ගෙදරට යනවා. අක්කගේ කාර්යබහුලකමත් එක්ක එහෙම ආවේ නැතිවුණාට මගේ කිසිම තරහක් නැහැ.

මනෝහාරි වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණු එකගැන හිමාලිට මොකද හිතෙන්නේ…? ඇත්තටම ගොඩාක් සතුටුයි. ක්ෂේත්‍රයේ බොහෝ දේවල් මම මනෝ අක්කාගෙන් ඉගෙන ගත්තා. මනෝ අක්කා කියන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඒ වගේම මට හොඳ සහෝදරියක් වගේම මට හොඳ මිතුරියක්.ඔන්න ඔහොම තමයි හිමාලි මනෝහරි ගැන කිව්වේ. දැන් අපි බලමුද මනෝහරි හිමාලි ගැන කියන්නේ මොනවද කියලා…

මනෝහාරිට මතකද මුලින්ම හිමාලි මුණගැහුණ කාලය…? මට මුලින්ම හිමාලිව මුණගැහුණේ “අයාල් කියන ටෙලිනාට්‍යයෙනුයි. ඒ වෙනකොට හිමාලි “සඳගලතැන්න ටෙලිනාට්‍යය රඟපාලා ජනප්‍රිය වෙලයි තිබුණේ. හැබැයි ඊට කලින් මම හිමාලිව මුණගැහිලා තිබුණේ නැහැ. ඉතින් අයාල් ටෙලිනාට්‍යයේ එක තැනකදී මම හිමාලිව මුණගැහිලා “අනේ… නංගී… මේ ඔයාගේ කියලා හිමාලිට කතා කළා. ඒ වෙද්දීත් මම “සඳගලතැන්න නාට්‍යය බලලා තිබුණා. ඊට පස්සේ තමයි “සඳගිරි පව්ව නාට්‍යයෙන් අපි ගොඩාක් කිට්ටු වුණේ.

හිමාලි කියන්නේ මොන වගේ කෙනෙක්ද…? මම මේ ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන අය හරි අඩුයි. හිමාලිට වඩා මම වැඩිහිටියෙක්. නමුත් හිමාලි කියන්නේ හරිම ආදරණීය චරිතයක්. එයා හරිම ළයාන්විතව හරිම ආදරණීයව කතා කරනවා. මට මුණගැහුණු මුල් කාලයේදී එයා ක්ෂේත්‍රයට ටිකක් අලුත්. හැබැයි හිමාලි කියන්නේ හරි අවංක කෙනෙක්. එයා කතා කරන වචනයක් ගානේ ඒ අවංකකම තේරෙනවා. සුන්දර හිතක් තියෙන, හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම සුන්දර චරිතයක්.

ඔය සුන්දර චරිතයට කේන්ති යන්නේ නැද්ද…? එහෙම දැනිලා නැහැ. හැබැයි සමහර දේවල්වලදී “මම ඒවාට කැමති නැහැ අක්කා… කියලා මට කියලා තියෙනවා. එයා ඕනෑම දේකට කැමති කෙල්ලෙක් නෙමේ. එයා එක්ක කතා කරද්දීත් හරි සැනසිල්ලක් තියෙනවා.

හිමාලි රංගනයට එකතු වෙන්න කලින් හොඳ නර්තන ශිල්පිනියක්. ඒ ගැන මනෝහරිට මොකද හිතෙන්නේ… වැඩිපුරම දක්ෂ මොකටද…? ඇත්තටම හිමාලි නංගී ඒ දෙකටම එක වගේම දක්ෂයි. නර්තනය කරද්දී හිමාලි රංගනයටත් මේ වගේම දක්ෂයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එයාගේ රංගනය හරිම තාත්විකයි. එයා නර්තනය කියන දේ සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරලා තමයි “සඳගිරිපව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. එයා නර්තන ශිල්පිනියක් කියලා කාටවත් හිතන්න බැරි විදිහට රඟපෑවා. ඉතාම දුප්පත්, කටුක ජීවිතයක් ගතකරන චරිතයක් තමයි හිමාලි “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මම ගොඩාක් අය චරිතයක් කරන්න හදද්දී ටිකක් ලස්සනට ඉන්න තමයි බලන්නේ… චරිතය කරන්න ආසවෙන්නේ… හැබැයි හිමාලි ඒ චරිතයට අවශ්‍ය විදිහට මුහුණ වෙනස් කරගත්තා. මට මතකයි එදා සමහර තැන්වලදී අඬද්දී සමහර දේ කෑ ගහලා කියද්දී මුහුණෙන් පෙන්නපු ඉරියව් මට තාමත් මතකයි. ඒවා අපිට දැනුණා. බෙල්ලේ නහර පවා ඇදෙන විදිහට හරි අපූරුවට ඒ චරිතය රඟපෑවා. ඒක මට හරියට දැනුණා.

නවක පරපුරයේ බොහෝ රංගන ශිල්පිනියන් එක්ක මනෝහරි වැඩකරලා තියනවානේ… ඒ අතරින් හිමාලිගේ ඇති විශේෂත්වය මොකක්ද…? හිමාලිට ඕනෑම දෙයක් ගැන හරි අවබෝධයක් තියෙනවා. හිමාලි කවදාවත් චරිත පස්සෙන් දුවපු, ජනප්‍රිය වෙන්න දඟලපු චරිතයක් නෙවේ. ඒ වගේම හිමාලි ප්‍රවීණයන්ට වගේම හැමෝටම ගරු කරනවා.

හිමාලිගේ විලාසිතා ගැන මනෝහරිට මොකද හිතෙන්නේ…? හිමාලිට ගැලපෙන විලාසිතා එයා කරනවා. එයා හරි ලස්සනට අඳිනවා. එයා හරි හැඩයි. ඒ වගේම හරි පිළිවෙළට අඳිනවා. එහෙත් මෙහෙන් එල්ලාගෙන එයා අඳින්නේ නැහැ. එයා ඇත්තටම ප්‍රියමනාප කලාකාරියක්. එයාගේ තරුණ කාලේදී එයා එයාගේ විලාසිතා උපරිමයෙන් කරනවා.

ජේන් ජීන්ස් එකක් ඇඳලා රඟපෑවේ ඇයි…? ඇත්තටම ඒකේදී මම වැරදියි. ඒක මගේ වැරදීමකින් වෙච්චි දෙයක්. කබල් ඉරිච්චි චීත්තයක් යටින් මම ජීන්ස් එක ඇඳලා හිටියේ. මාව පුතා වඩාගෙන යද්දීම ඒක එළියට පෙනුණා. ඇත්තටම ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ…

හිමාලිගේ දරුවව බලන්න මනෝහාරි ගියේ නැත්තේ ඇයි…? අනේ… ඔව්… මම ඉක්මනට එයාගේ දරු පැටියාව බලන්න යන්න ඕනේ. ඒක මගේ වැරැද්දක්. හෙට අනිද්දාම ඒ පැටියාව බලන්න යන්න ඕනේ. මම දන්නවා හිමාලි කියන්නේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.

හිමාලි වගේ කෙනෙක් ජීවිතයට සමීප වීම ගැන මනෝහරී මොකද හිතන්නේ…? ඇත්තටම ඒක සතුටක්… මතක් කර කර සතුටු වෙන්න පුළුවන් හොඳ කාලයක් අපිට තිබුණා. ඉදිරියේදීත් මම මගේ දේවල් හිමාලිට කියයි. හිමාලිත් මට කියයි. අපි පුළුවන් වෙලාවට මුණගැහේවී. ඒ සුහඳකම ඉදිරියට තියේවී. හිමාලි මට හොඳ ආදරණීය සහෝදරියක්.