කේක් කන්නේ බලාගෙනයි

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

එබැවින් කේක් අලෙවි කරන සියලු වෙළඳුන් ශීතකරණවල හෝ වියළි සිසිල් ස්ථානවල ගබඩා කර කේක් අලෙවි කළ යුතු බව එම සංගමයේ සභාපති, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කේක් මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වීමට අමතරව
කේක්වල පිටත ස්වරූපය පිළිබඳ පාරීභෝගික ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට කේක් තබා අලවි කරන ස්ථාන දිනවල විශාල වශයෙන් දැකගත හැකි බවත්, දැඩි අව් රශ්මියට කේක් නිරාවරණය වීම හරහා එහි ප්‍රමිතිය වෙනස් විය හැකි බවත් පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳ ව්‍යාපාරිකයන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් සිදු කරන විශේෂ වැඩපිළිවෙළට අනුව මේ මස පළමුවැනිදා සිට හත්වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා මෙහයුම් 514ක් සිදුකර තිබෙන බවත්, එහිදී වෙළෙඳසැල් පන්සිය හැත්තෑඅටකට අවවාද ලබාදී තිබෙන බවත් පැවසූ ඒ මහතා, ස්ථාන 194කට නඩු පවරා තිබෙන බවත්, තවත් ස්ථාන 21කට මුද්‍රා තැබූ බවත් ප්‍රකාශ කළේය.

කේක් පිළිබඳ පැමිණිලිවලට අමතරව පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, මීට අමතරව කල් ඉකුත් වීමේ දින වෙනස් කිරිම හා පලතුරුවලට රසායනික ද්‍රව්‍ය යෙදීම පිළිබඳවද තම සංගමයට පැමිණිලි ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ධර්මප්‍රිය ඩයස්

ධර්මප්‍රිය ඔබ වඩාත් කැමැත්තෙන් රංගන කාර්යයේ යෙදෙන මාධ්‍යය කුමක්ද?

මම චිත්‍රපටවලට තමයි කැමති. නමුත් මට අඩුවෙන්ම දායක වෙන්න ලැබිලා තියෙන්නෙ සිනමාවටයි. මම නළුවෙක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි මට කරුමෙට සිද්ධ වුණේ නළුවෙක් වෙන්නයි. අධ්‍යක්ෂවරයෙක් වෙන්න තවම මට බැරිවුණා. තව ටිකක් ලොකුවෙලා බලනව අධ්‍යක්ෂවරයෙකුත් වෙන්න.

ඇයි ඔබට මෙතෙක් අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව කරා යන්න නොහැකි වෙන්නෙ?

ඒකටත් වැඩ කරගන්න අපිම දැනගන්න ඕනෑ. මම ඒ ගැනත් හිතල ඉන්නෙ. ඒ සඳහා මේ වෙද්දි වැඩ කරගෙන යනවා

ප්‍රබල රංගන ශිල්පියෙක් වන ඔබට රංගනයේ වඩාත් අසීරු ලෙස දැනෙන මාධ්‍යය කුමක්ද?

වේදිකාවෙදි ටිකක් බරපතළයි. අනිත් ඒව බරපතළ නැහැ කියනවා නෙවෙයි. හැබැයි වේදිකා නාට්‍යයක චරිතය අවබෝධ කරගන්න නාට්‍යයේ පිටපත වටහා ගන්න එක ඉතා වැදගත්. මට මගේ රංගන දිවියේ ගොඩක් අභ්‍යාසගත වෙන්න ලැබිලා තියෙන්නෙ වේදිකාවෙ. රාජිත දිසානායකගේ නාට්‍යවලදි ඔහු අලුත් අලුත් මාතෘකා ඔස්සේ ඔහුගේ ශෛලියේ නාට්‍ය ලියනව. ඒවයෙ වෙනස් වෙනස් චරිත තියෙනවා. ඒ චරිතවල තියෙන ගුණාංග හඳුනාගන්න ඒ චරිත කියවන්න ඕනෑ. ඒක පුදුම විදිහට මනසට වදදෙන කාර්යයක්. අපට සිනමාවෙත් එවැනි චරිත හමුවෙනවා. හැබැයි මම වැඩියෙන් අභ්‍යාසගත වෙලා තියෙන්නෙ වේදිකා නාට්‍ය එක්ක.

ටෙලි නාට්‍ය තුළ රංගනය කියන්නෙ සරල දෙයක්ද?

අද ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන සරල කරගෙන තියෙනව. හැබැයි ඒක සරලම කරගත යුතු නැහැ. අපි රංගනයෙදි කාලයක් තිස්සෙ අභ්‍යාසගත වීම් එක්ක චරිතයක් වටහා ගන්න පුළුවන් වෙලා තියෙනව.

එකම කාල සීමාවක චරිත වැඩි ප්‍රමාණයකින් දකින්න ලැබීම ශිල්පියාගේ වටිනාකම අඩුවෙන්න බලපානව කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නෙ කලාකරුවෙක් නළුවෙක් විතරක් නෙවෙයි අධ්‍යක්ෂවරයෙක් හැටියට වුණත් තෘප්තිමත් නොවෙන තරමට තමයි හොඳ දේවල් කරන්න පුළුවන්. මමත් එහෙම තමයි. මම කොච්චර හොඳ චරිත කරල තියෙනව කියලා ප්‍රේක්ෂකයො කිව්වත් මට තව තව විවිධ චරිත ලැබෙනව නම් තමයි මම කැමති. අපි චරිතවලට හරි ලෝබයි.

අද ටෙලි නාට්‍යය ඉතාමත් හරසුන් තැනකට තල්ලුවෙලා කියන චෝදනාව ගැන ඔබගේ අදහස කුමක්ද?

ප්‍රේක්ෂකයාට ඉතා හොඳ නිර්මාණයක් ලැබෙනව නම් ඔවුන් ඒක ඉතා කැමැත්තෙන් භාරගන්නවා. ඒ වගේම හොඳ නැති නිර්මාණයක් මෙම මාධ්‍ය මගින් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන යනව නම් ඔවුන් විනෝදාස්වාදයක් හොයන පිරිසක් විදිහට ඔවුන්ට විඳින්න ඉතුරුවෙලා තියෙන්නෙ කුණු ජරාව නම් ඔවුන් ඒව විඳින්න හුරුවෙනව. මේකෙ වගකීම තියෙන්නෙ නිර්මාණකරුවා අතේ.

ටෙලි නිර්මාණකරුවන් හොඳ නිර්මාණවලින් දුරස් වීමට හේතුව මොකක් කියලද හිතන්නෙ?

ඒක විශාල ප්‍රශ්නයක්. සමහර නිර්මාණකරුවන්ට ඉතා හොඳ නිර්මාණයක් කරලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්න සිද්දධවෙලා තියෙනව. චැනල්වලින් මේවා විකාශය කරන්න ගන්නෙ නැහැ. එයාලට වෙළෙඳ දැන්වීම් එන්නෙ නැතිවෙයි කියලා බයවෙනවා. දහදුක් විදලා හොඳ නිර්මාණයක් කරලා අවුරුදු ගාණක් ගිහින් තමන් වියදම් කරපු මුදලවත් බේරගන්න සටන් කරන්න තමයි සමහරුන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. ඔන්න ඔය හේතුව මතයි මිනිස්සු දහජරාව බලන්න හුරුවෙලා තියෙන්නෙ. හැබැයි හොඳ දෙයක් කරලා මිනිස්සු ඒක බලන්න හුරුවුණොත් චැනල් එකට මිලියන ගණන් ලාබයි. ඒත් අද බය නැතිව තීරණ ගන්නා අලුත් තීරණ ගන්න තියෙන ඉඩකඩ ඇහිරිලයි තියෙන්නෙ.

දෙවෙනි ඉනිමට ඇගයීම් වගේම චෝදනාත් සාධාරණයි කියලා හිතනවද?

ඕනම නිර්මාණයකට හොඳ කියන අයත් ඉන්නව. නරක කියන අයත් ඉන්නව. ඕනම දෙයක් දිගින් දිගට පාවිච්චි කරන්න ගියහම ඒක එපාවෙලා එවිට ඒ දේ හැරයන අයත් ඉන්නව. ඒ අතර අලුතින් එකතුවෙන අයත් ඉන්නවා. ඔය කාරණාව මට හොඳට පුරුදුයි. සමහර අය කාලයකදි අත්හරිනව. හැබැයි අලුතින් අය වැලඳ ගන්නව. ඒකෙ ස්වරූපය ඒකයි හැබැයි දෙවෙනි ඉනිම තවම නොසැලී ඉදිරියට යනව. මේක ප්‍රේක්ෂකයන්ටත් මටත් ලංකාවේ ටෙලි නාට්‍යයටත් වෙනස් අත්දැකීමක්. මෙතරම් ප්‍රේක්ෂක පිරිසක් ටෙලි නාට්‍යයක් වැලඳගත් පළවෙනි අවස්ථාව තමයි මේ.

දෙවෙනි ඉනිමේ මුල් අවදියේ සිටි නළුවන් බොහොමයක් නාට්‍යය හැරගියත් තවමත් ඔබ නම් දෙවෙනි ඉනිම සමගයි. මට යන්න තවම හේතුවක් නැහැ. මට යන්න සාධාරණ හේතුවක් ආවොත් යන්න වෙනව. මේ ජිවිතයෙනුත් එහෙමනෙ. අපි හැමදාම ඉන්න ආව අය නෙවෙයිනෙ.

වෘත්තියෙන් පාසැල් ගුරුවරයෙක් වන ඔබ දරුවන්ට උගන්වන්නෙ නාට්‍ය හා රංග කලාවද?

මගේ විෂය චිත්‍ර කලාව. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර මූර්ති අංශයෙ විශ්ව සන්නිවේදන සැලසුම් උපාධිය ලබලා තියෙනව. ඒ අනුව මට චිත්‍ර විෂය උගන්වන්න පත්වීමක් ලැබිලා තියෙනව.

රංගනයේ ප්‍රවීණයෙකු වන ධර්මප්‍රිය නාට්‍ය හා රංගකලාව උගන්වන්නෙ නැත්තෙ ඇයි?

මගෙන් ගොඩක් දෙනා අහනව ඇයි රඟපාන්න උගන්වන්නෙ නැත්තෙ කියලා. මම එක දෙයක් කියනවා හරියට රඟපාන්න උගන්වන්න අමාරුයි, මේක තුළ ඉන්නයි ඕන. අවුරුදු පහක් හයක් එක දිගට වැඩ කළොත් අපිට සුපිරියට හිතන්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් බිහිකරගන්න පුළුවන්. මාස තුනේ හයේ රංගන පාඨමාලාවලින් නළුවන් බිහිකරන්න අමාරුයි කියන එකයි මගේ අදහස. ඒක හරියට කාලය මිඩංගු කරලා විනයක් ඇතිව කරන්න ඕන දෙයක්.
නළු නිළියන් බිහිවෙන්න අද පවතින තියෙන ක්‍රමවේදය ගැන ඔබ අපැහැදීමෙන්ද?

අද විශ්වවිද්‍යාලවලත් නාට්‍ය හා රංගකලාව උගන්වනවනෙ. මට හොඳටම තේරෙන එක තමයි විශිෂ්ට නළුවන් හරි නිර්මාණශීලීව හිතන අය හැම තැනකම මදි ඒකට වෙනමම අභ්‍යාසගත වෙන්න ඕන ඒක උගන්වන්න පුළුවන් අය ඉන්නත් ඕනනෙ. මම හොඳටම දන්නව මේ කාලෙ විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව උගන්වන්නෙ මෑතදි නාට්‍ය හා රංගකලාව උපාධිය ගත්ත අය. මම දන්න දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත විදිහේ අභ්‍යාස නම් කෙරෙනවද කියල සැකයක් තියෙනව.

උසස් අධ්‍යාපන ආයතනවලින් ඔබලාගේ දැනුමට හා අත්දැකීම්වලට ලැබෙන ප්‍රතිචාර යහපත්ද?

ඉඳල හිටල දැනුම බෙදා දෙන්න ඇරයුම් තියෙනව. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයත් දවසක් දෙකක් විතර මට අඬගහල තියෙනව. කැලණිය විශ්ව විද්‍යාලයෙ හැම අවුරුද්දකටම වතාවක් ආරාධිත කථිකාචාර්ය කෙනෙක් විදිහට ඇරයුමක් ලැබෙනව. ඒවට ගිහින් මට ලැබුණ අද්දැකිම් වලින් තමයි මම ඉහත කරුණු පැවසුවේ. ඇත්තටම ශිල්පියෙක්ව හදනව කියන එක බරපතළ කාරණාවක්

සුරංජි පතිරණ

ධම්මික පෙරේරා

ලාංකීය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ අංක එකේ චරිතයක් ලෙස ඔහු හඳුනා ගත හැකිය. ව්‍යාපාර ජාලයක් හිමි මහ පුරුකක් වන ඔහු ධම්මික පෙරේරා යැයි ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ප්‍රකෝටිපති ව්‍යවසායකයකු ලෙස ඔබ ඔහු හඳුනාගෙන සිටින බව සැබෑවකි. එහෙත් ධම්මික පෙරේරා යනු ඒ ප්‍ර​කෝටිපති ව්‍යවසායකත්වයට එහා ගිය දැනුමින් පොහොසත් වූ චරිතයකි. ආර්ථිකයෙන් සන්නද්ධ වීමට වඩා දැනුමින් පොහොසත් වීමේ පිපාසයෙන් කටයුතු කරන ඒ මහා ව්‍යවසායකයා ධම්මික පෙරේරා, ලබාදුන් පිළිසඳරකි මේ. ඔහුගේ මෙම අදහස් කාලිනව සමාජයට වඩාත්ගැ ළපෙන්නේ යැයි අපි විශ්වාස කරමු.

ජිවිතය දැනෙන්න පටන් ගත්තෙ මොන වයසේදීද?

වයස අවුරුදු 11 සිට කිව්වොත් නිවැරැදියි.

එදා කොහොමද ජීවිතය දැනුණෙ?

සමහරක් දෙනාට බොහෝ දේ කරන්න පුළුවනි. ඒත් එයාලා නොකර ඉන්නවා. මට එය වැටහුණේ පොඩි කාලයේදීමයි. මහන්සි වෙලා වැඩ කළොත් උඩට එන්න පුළුවනි. ඉගෙනීම එහි එක කොටසක් කියලා විශ්වාස කළා.

හොඳින් ඉගෙනීමේ අරමුණුද එදා ඔබට තිබුණෙ?

ඉගෙනීමම තමයි.

ඉගෙන ගෙන කවුරු වෙන්න ඕනෑ කියලද හිතුවෙ?

ඉංජිනේරුවෙක් වෙන්න.

ඒකට විශේෂ හේතුවක් තිබුණද?

අපේ පවුලේ ඔක්කොටම වගේ ගණන් තමයි වැඩිපුර පුළුවන්.

ඒ පවුලේ ගණන් වලට දක්ෂතා පෙන්වූ ඔක්කෝම කී දෙනෙක්ද?

මල්ලිලා දෙන්නයි, නංගියි, මමයි. අපි හතර දෙනාටම ගණන් පුළුවනි. එය අම්මා තාත්තා දෙදෙනාගේ සංකලනයෙන් ආ දෙයක් වෙන්න ඇති.

වෙලාවෙ, ඉරණමේ මොනවද ලියැවිලා තිබුණෙ?

ඒ ගැන දන්නේ නැහැ. එකම අභිප්‍රාය වුණේ මහන්සි වෙලා වැඩ කිරීමයි.

පාසල් ගමන කොහොමද?

මුලින්ම පාසල් ගමන පටන් ගත්තේ අනුරාධපුර කෑඳෑරත්මලේ පාසලෙන්. ඉන් පසුව අලුත්ගම විද්‍යාලයටත්, හොරණ තක්ෂිලාවටත් ගියා. එතැනින් මොරටු සරසවියට ප්‍රවේශය ලබා ගත්තා.

සරසවි ජීවිතය ගැන සිහිපත් කළොත් ?

මම සරසවි ජීවිතය පටන් ගත්තේ 87 – 89 කාලයේදීයි. ඒ කාලයේ දී රටේ කලබල පැවැති නිසා වැඩි හරියක්ම වගේ සරසවි වහලා තිබුණෙ. ඒ නිසා සම්පූර්ණව පාඨමාලාව නිමා කරන්න ලැබුණේ නැහැ. සරසවියෙන් එළියට එන්න සිද්ධ වුණා.

එළියට බැහැලා ?

කටුබැද්ද කැම්පස් එකට හැරෙන තැන තිබුණ විශාඛා හෝටලය ඔබට මතක ඇති. එහි හිමිකරු වුණේ මම. උසස් පෙළ කරන සිසුවෙක්ව සිටි අවධියේදීම තමයි මම ඒ ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වෙලා හිටියෙ.

එතරම්ම තරුණ වයසේදී (19 දී) හෝටලයක් කළමනාකරණය කළේ කොහොමද?

ඒක ඉතින් පරම්පරාවෙන්ම ආ දෙයක්. එදා එහි සේවකයින් 40ක් විතර සේවය කළා. ඔවුන් එක්ක කටයුතු කළේ ගෙදරින් ආ කළමනාකරණ පුරුද්ද නිසයි. ආර්ථික කළමනාකරණය අපට ගෙදරින් ලැබුණු දෙයක්. මම කිව්වනෙ මගේ ජීවිතය හැරවුණේ අවුරුදු 11 දී කියලා. එදා අවුරුදු 11 දි අම්මා මට එය පුරුදු කරලා තිබුණෙ. එතකොට මම හිටියෙ හයේ පංතියෙ. අම්මා මට රුපියල් 300 ක් දුන්නේ. මාසයම කළමනාකරණය කර ගන්න කියලයි. වැඩිපුර වියදම් කරගන්න බැහැ. එහෙම කළොත් වැඩිදුර සතයක් වත් දෙන්නෙ නැහැ. ඒ නිසා කළමනාකරණය කියන දේ එදා සිට පුරුදුවුණා.

එ් තරුණ්‍යයේ දී එදා රටේ තිබු කලබල හමුවේ ඔබට තිබු මානසිකත්වය මොන වගේද?

රටේ කලබල එක්ක, මම කලබල වෙන්න ගියේ නැහැ. එදා ඒ විදියෙ අරගලයක් ඇති වුණේ ඇයි කියලා හිතුවා. සමාජයේ එහෙම දෙයක් එදා ඇති වුණේ දුප්පත්කම නිසයි. සරසවි යන ළමුන් බහුතරයක් විප්ලව කරන්න පටන් ගන්නවා. එයින් ඉගෙන ගෙන එළියට ආපු අය ඔක්කෝමලා වගේ ධනවාදය කරනවා. ඒ පරතරය මම දැක්කා. සමාජවාදී සහ ධනවාදී කඳවුරේ වෙනස මට තේරුණේ එදා. ඉගෙන ගත්තාම මිනිස්සුන්ගේ අතට සල්ලි එනවා. සල්ලි අතට ආවාම සමාජවාදය ගැන හිතන්න යන්නෙ නැහැ.

ධනවාදයේ අන්තිම විග්‍රහයත් එහෙම වෙන්න පුළුවනි. අද මට සිද්ධ වෙලා තියෙන්නේ යම්තාක් විදියකට සමාජවාදය ගැන හිතලා සමාජයට යමක් කරන්න.

ඒකට හේතුව?

ලංකාවේ 19 ත් 23 ත් අතර ළමුන්ගෙන් සියයට 8 ක් විතරයි සරසවි යන්නේ. අනෙක් සියයට 92 කේන්ද්‍ර ගත වෙන්න කම්කරු සහ ගොවි කටයුතු ආශ්‍රිතවයි. මගේ පුද්ගලිකත්වයට වඩා අපේ රටේ යැපීම සඳහා මෙයින් කොටසක් භාවිතා කරන්න වෙනවා. දියුණුව කියන්නෙ ධනවාදය. දුප්පත්කම කියන්න සමාජ වාදය. ඒ නිසා තව සියයට 50 ක් වත් සරසවි යවන්නේ නැත්නම්, අනෙක් සියයට 40 වෘත්තීය පාඨමාලා සඳහා යොමු කරවන්නේ නැත්නම්, අපට ඉදිරියට යන්න බැහැ. ඉගෙන ගත්තේ නැත්තම් දිගටම සමාජවාදයට තමයි.

අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි. පොහොසත් කියලා කියන්නේ එ්ක පුද්ගල ආදායම 12,000 ක් වූ පසුවයි. දැන් එහෙම නම් අපි බලන්න ඕනෑ කොහොමද 4000 තුන් ගුණයකින් වැඩිකර ගන්නේ කියලයි.

එ්ක කරන්න නම්?

ඔක්කෝමලා උගත්තු කළ යුතුයි. ඒ කියන්නේ අර මා කිව්ව විදියට සරසවි වලට සහ වෘත්තිය පාඨමාලා සඳහා යොමු කළ යුතුයි. එදා වගේ නෙවෙයි. අද තියෙන සමාජ තත්ත්වය අනුව අනිවාර්යයෙන්ම සරසවි යන්න ඕනෑ. සරසවි නොගිය උගත්තු ඉන්නවා.

ඒත් සහතිකය නැතුව අද පිළිගැනීමක් නැහැ.

සරසවි ගිහින් වසර 4 ක් ඉගෙන ගත්ත අයට වඩා සමාජයෙන්ම ඉගෙන ගත්ත බුද්ධිමත් අයත් ඉන්නවා. දැන් ලංකාවේ තියෙන සරසවි සඳහා ඇතුළත් කර ගන්නේ 30,000 ක් විතරයි. ඒත් මම කියන්නේ එය 1,80,000 දක්වා වැඩි කරන්න ඕනෑ. රට දියුණු කරන්න තියෙන ප්‍රධානම දේ රටේ මේ තියෙන ප්‍රමාණයට වඩා තවත් සරසවි නිර්මාණ කිරීමයි. දැන් තිබෙන සරසවි ප්‍රමාණය මදි. එක පාරට 1,80,000 ක් ශිෂ්‍යයින් යවන්න බැරි නම් 60,000 දක්වා හෝ වැඩි කර ගන්න ඕනෑ. ඉතිරි 1,20,000 දෙනා පුද්ගලික සරසවි වලට යවන්න රජය ණය මුදලක් ලබා දිය යුතුයි. දියුණු වෙමින් පවතින සහ දියුණු රට වල ශිෂ්‍ය ණය කියලා ක්‍රමයක් තිබෙනවා. මේ ක්‍රමය හරි සරලයි. එය ක්‍රියාත්මක කිරීමට දැන් කාලය එළැඹිලා.

නමුත් උපාධි ගත්ත බොහෝ දෙනා ප්‍රායෝගික නොවනවා කියලා මතකයකුත් සමාජයේ තියෙනවා?

එහෙම වෙලා තියෙන්නේ අපේ රටේ උගන්වන විදිය නිසානෙ. වෙනත් රටවල උපාධි පාඨමාලා සඳහා ළමුන් යොමු කර වන්නෙ පර්‌යේෂණ කරලයි. අඩු පඩි ලබන රැකියා වෙනුවට වැඩි පඩි ලැබෙන සහ ලෝකයේ මෙන්ම සමාජයේ ඉල්ලුම වැඩි අංශ වෙනුවෙන් යොමු කළ යුතුයි. එ් විදියට තමයි ඩොලර් 4000 ඒක පුද්ගල ආදායම 12,000 දක්වා වර්ධනය කරගෙන තිබෙන්නෙ.

මේ විදියට අදහස් දක්වන ඔබට එදා ජීවිතය දැනෙන්නෙ පටන් ගත්තේ වයස 11 දී කියලා කිව්වා. ජීවිතය හැරවුණේ කොතැනින් ද කියලා ඇහුවොත්?

වයස 11 දීම තමයි. පවුල් පසුබිම ඊට හේතුවුණා. එදා මගේ සීයා තමයි පයාගල පැත්තෙ ලොකු පොහොසතා. අපේ අම්මගෙ මල්ලිටත් කොළඹ ව්‍යාපාර තිබුණා. ඒ පරිසරය මම දකිමින් හිටියේ. ඒ නිසා පොඩි කාලයේ ඉඳලම ව්‍යාපාර මට අමුතු දෙයක් වුණේ නැහැ.

ඒ විදියට හැරවුණු ජීවිතය සමාජගත වී සමාජයේ චරිතයක් වෙන්න පටන් ගත්තේ කොතැනින්ද?

මම එක දෙයක් කියන්නම්. මේ සෑම දෙයක්ම වුණේ මගේ ඉගෙනීමත් එක්කයි. අදට වුණත් මගේ ප්‍රියතම විනෝදාංශය වෙන්නෙ, ලෝකයේ එක් එක් සරසවි වලට ගිහින් එහි සිටින හොඳම ආචාර්යවරු මහාචාර්යවරු හමු වී කතා බහ කර දැනුම ලබාගැනීමයි. පැය හතරක් පහක් මම ඒ විදියට විද්වතුන් එක්ක පිළිසඳරේ යෙදෙනවා. එයින් මා දැනුම්වත් වෙනවා.

බොහෝ දෙනා විනෝදාංශයට කරන්නෙ සංගීතය චිත්‍රපට ක්‍රීඩා නැරඹීම වැනි දේ? ඒත් ඔබ ඊට වඩා හරි වෙනස්?

විශ්වාස කරන්න. එක දිගට චිත්‍රපටයක් නරඹා ඇත්නම් ඒ අවස්ථා දෙකකදී විතරයි. සංගිතය අහලා නැහැ. ඒත් ඇහිලා තියෙනවා. හැබැයි මම වේදිකා නාට්‍ය නරඹන්න යනවා. ඒ වගේම ප්‍රාසාංගික වේදිකාවේ සජීව සංගීත වැඩසටහන් නරඹන්නත් යනවා. මට ඒවා වඩාත් දැ​නෙන්නේ සජීවීව නැරඹුවාමයි.

දවස පටන් ගන්නා විදියක් කියමු?

උදේ 6 ට විතර අවදි වනවා. විනාඩි 15 ක විතර ශාරීරික ව්‍යායාම් කරනවා. 6.30 ට උදෑසන ආහාරය අරගෙන කාර්යාලයට යනවා. සවස 5 දක්වා ඒ විදියට කටයුතු කරන අතරේ එයිනුත් පැය දෙකක් විතර ඉගෙනීමට යොමු කරනවා. දවස පටන් අරගෙන නින්දට පෙර ජීවිතයට අලුත් දෙයක් ලැබී නැත්නම් එදාට සුපුරුදු නින්ද මට එන්නෙ නැහැ. එතකොට ඒක හරි හිස් දවසක්. ඒ නිසා අඩුම තරමින් පැය දෙකක් වත් අලුත් දේ දැන ගැනීම වෙනුවෙන් කාලය වෙන්කරනවා.

සමාගම් ජාලයක ප්‍රධානියා ලෙස සාකච්ඡා වලට ලැහැස්ති වෙන්නෙ කොහොමද? ඒවා ඔක්කෝටම සහභාගී වන්න වෙලාව තියෙනවද?

ඒ එකක් වත් කළමනාකරණය කරන්න මම යන්නේ නැහැ. මෙතැන මගේ මේ කාර්යාලය දෙස බලන්න. මෙතැන කිසිම ව්‍යාපාරයක් නැහැ.මම බලන්නේ මොන වගේ අලුත් දේ අපේ සමාගමට ගෙනෙන්න පුළුවන් ද කියලයි. ඒ වෙනුවෙන් සෙවීම් බැලීම් සහ පර්​ෙය්ෂණ කිරීම් මිසක දිනපතා ව්‍යාපාර වල නියැළීමේ ක්‍රමයක් මට නැහැ. ඒ නිසා කාලය මට ප්‍රශ්නයක් නොවෙයි.

වැඩක් කරන්න මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. ඒ කාලයෙන් ප්‍රයෝජන අරගෙන ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිකිරීමේ ක්‍රමයට විසඳුම් සෙව්වා. එහෙම හිතලා ඒ පණිවුඩය සමාජයට දුන්නා.

ඒ ගැන කෙටි විග්‍රහයක් කළොත්?

අපි කෘෂි කර්මාන්තය ගනිමු. ගොවිතැන් කරන අයගෙ ළමුන් ගොවිතැනටම යොමු කළ යුතු නැහැ. එයාලට හොඳට උගන්වලා වෙනත් අංශයකට යොමු කරවීම වැදගත්. එතකොට තමුන්ගේ ගොවිතැන් කරන ඉඩම් ඕනෑ නම් අඳේට දෙන්න පුළුවනි. ඉඩම් ප්‍රමාණය සහ ආදායමත් ඒ නිසා වැඩි කර ගන්න පුළුවනි. අද මිලියන 8 ක් වැඩ කරන ජනතාව අතරින් මිලියන දෙකක් විතර නියැළී සිටින්නේ ගොවිතැන හා ධීවර කර්මාන්තය ආශ්‍රිතවයි. දියුණු රටවල මේ තත්ත්වය වෙනස්. ධීවර හා ගොවිතැන් වල යෙදෙන්නෙ 6 % ක් විතර ප්‍රමාණයක් විතරයි. දියුණු රටක මේ ගොවි පවුල් වල ළමුන් හතර දෙනෙක් සිටිනවා යැයි අනුමාන කරමු. එයින් තුන් දෙනෙක්ම හොඳට ඉගෙන ගන්නවා. ඉන් පසු ඔවුන් කරන්නේ වෙනත් රස්සා.

ඊළඟට අපේ ධීවර කර්මාන්තය දෙස බලමු. ලංකාවේ බහු දින ධීවර යාත්‍රා 5000 ක් තිබෙනවා. යාන්ත්‍රික (මෝටර්) බෝට්ටු 21,000 ක් සහ මෝටර් රහිත බෝට්ටු 23,000 ක් මෙන්ම වැව් ආශ්‍රිතව ඔරු 6000 ක් විතර තිබෙනවා. මේ විදියට නියැළී සිටින ධීවරයාගේ ආදායම තුන් ගුණයකින් වැඩිකර ගන්න නම්, රජය ඔවුනට සැහැල්ලු ණයක් ලබා දිය යුතුයි. බහු දින යාත්‍රාවක් සතු ධීවරයාට එවිට තවත් යාත්‍රාවක් මිලදී ගත හැකියි.

එවිට යාත්‍රා සංඛ්‍යාව දෙකක් කර ගන්න පුළුවනි. මේ නිසා සම්පත් කළමනාකරණය කිරීම දෙගුණ තෙගුණ කර ගත හැකියි. පුද්ගලයාගේ සංවර්ධනය වගේම රටට ලැබෙන ආදායම පෙරට වඩා ගුණ කරගත හැකිවන්නේ එවිටයි. ඒ වගේම දිනපතා ඔරු යොදාගෙන කර්මාන්තයේ යෙදෙන අයට බහු දින යාත්‍රා ගැනීමට උදව් දිය හැකියි. ඉන් පසුව අලුත් ධිවර වරායන් වෙත ඔවුන් යොමු කරවන්න පුළුවනි.මේ ක්‍රමයට සමගාමීව අලුතින් ධීවර වරාය තැනීමෙන් වඩා ඵළ නෙළා ගන්න පුළුවනි.

ඔබ කියන්නේ ධීවර හා කෘෂි කර්මාන්තය වෙතින් ලංකාවට ප්‍රමාණවත් අස්වැන්න නෙළා ගන්න පුළුවන් කියලද?

කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය අනිවාර්යයෙන්ම අපි තබා ගත යුත්තේ අපේ ප්‍රධාන ආහාර රටාව වෙනුවෙන්, හැබැයි එහි නියැළී සිටින මිලියන දෙකක පිරිසගේ දරුවන්ගෙන් 60 % ක් හෝ 70 % කට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මෙන්ම ඉතිරි පිරිසට හොඳ වෘත්තිය පුහුණුවක් ලබාදීම කළ යුතුයි. එවිට එයාලා උගෙන ගත් තාක්ෂණය එක්ක ඔවුන්​ගේ මව්පියන් නියැළී සිටි කර්මාන්ත ඔවුනට පෙරටත් වඩා දියුණු තාක්ෂණයක් එක්ක නගාසිටුවන්නත් හැකි වෙනවා.

ඇමෙරිකාව වගේ රටක් උදාහරණයට ගෙන බලමු. ජනගහනයෙන් 79 % ක් සේවා කටයුතු සඳහා යොමු කර ඇති අතර, 20 % ක් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ 1 % ක් වැනි ප්‍රමාණයක් ගොවි කටයුතුවල නිරතයි. මොකද කෘෂි කර්මාන්තය බේරා ගන්න නම් ධනවාදී වෙලාම බැහැ.

අර මා කී විදියට සමාජවාදයේ කොටසක් සිටින්න ඕනෑ. ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යොදවනවා. මේ සෑම රටක්ම ආර්ථික වර්ධනය කියලා බලන්නේ අලුතින් රැකියා නිර්මාණය කිරීමයි. එසේ නොමැතිව විශ්‍රාම ගිය පසු ඒ තැනට තව කෙනෙක් අනුයුක්ත කිරීම නොවෙයි. ලංකාවේ ජනගහනය 2,20,000 කින් වැඩිවෙනවා. ඒ ප්‍රමාණයට අලුත් රස්සා 88,000 ක ප්‍රමාණයක් අලුතින් ​නොලැබුණොත්, එසේත් නැත්නම් අලුත් රස්සා නිර්මාණය කර නොතිබීම නිසා රට ආපස්සට යනවා. රට ආපස්සට යනවා වගේ කියලා අපට නිතරම වැටහෙන්නෙ ඒ නිසයි.

දැන් රටේ සිද්ධ වෙන්නේ ඒ ස්වභාවයයි. ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩනොකරන තාක් අපට සිද්ධ වෙන්නේ මේ සිටින තැනම කේන්ද්‍රගත වෙන්නයි. මා නිතරම පවසන්නේ ඒක පුද්ගල ආදායම වැඩිකර ගන්න විදිය ගැනයි. කර්මාන්ත ගැන කතාකිරීමේදී 2018 දී ඇමෙරිකාව රට ඇතුළේ කර්මාන්ත ශෘලා නගා සිටුවී​මේ අරමුණ ඇතිව ආනයනික භාණ්ඩ සඳහා 25 % ක වැඩිපුර බද්දක් පවා ඇති කළා.

කොහොම වුණත් අපේ රටේ ආණ්ඩුවට ජනතාවට ණය දෙන්න බැහැ. මොකද ආණ්ඩුව ලෝකෙටම ණයයි?

අපි විතරක් නොවෙයි, ලෝකයේ සෑම රටක්ම ණයයි. ණය කියන්නේ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය වෙන්නෙ ණය අරගෙන සංවර්ධනය සඳහා ඒ ණය හරියට යොදවලා තියෙනවද කියන එකයි.

ඒ කියන්නේ අපේ රටට ණය ප්‍රශ්නයක් වුණේ එය නිවැරැදිව භාවිත නොකළ නිසා කියල ද ඔබ හිතන්නේ.

ණය ආධාර ගත්තාම රටක් කළ යුතු ප්‍රධාන දෙයක් තිබෙනවා. එනම් ප්‍රධානවම රටේ ගුවන් තොටුපොළ දියුණු කිරීමයි. ඒක හරියට අපි ගෙදරට ඇතුළු වන විට තියෙන ප්‍රධාන දොරටුව වගෙයි. එනම් රටේ ප්‍රධාන ගුවන් තොටුපොළ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නම් ඒ රට අකර්මණ්‍ය වෙනවා. මේ නිසා ගුවන් තොටුපොළ දියුණු කිරීම වගේම එහි කටයුතු කාර්යක්ෂම කළ යුතු වෙනවා. රටේ පලාලි, මඩකළපුව, නුවර, හම්බන්තොට, කොග්ගල, වැනි ප්‍රදේශ වලට ගුවන් තොටුපොළ කටයුතු රට ඇතුළේ නිතරම ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර බජට් ගුවන් යානා සේවාව ක්‍රියාත්මක කරවන ප්‍රධාන තැන (හබ්) ඉවට පත් කර ගන්න පුළුවනි.

ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට රට ඇතු​ළෙ ගුවන් ගමන් වැඩි කිරීමෙන් ඵලදායි වේවි කියලා හිතනවද?

ඊට හොඳම උදාහරණය අසල් වැසි මාලදිවයිනයි. එය කඩා දූපත් කීපයකින් සමන්විත රටක්.

ඒ දූපත් අතරේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 4 ක් විතර ස්ථාපිතයි. දිනකට ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක් එහි සිට ක්‍රියාත්මක වෙනවා. එහෙම නම් අැයි අපට බැරි අඩු තරමින් මගින් 50 බැගින් යන බජට් ගුවන් සේවය රට ඇතුළේ අරඹන්න. ඒ නිසා රට ඇතුළේ සහනදායි මිලකට ගුවන් සේවාවක් තිබිය යුතුමයි.

එවිට ව්‍යාපාරික ක්​ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර වල සිටින අයට වගේම සංචාරක ක්ෂේත්‍රයටත් ඒ ක්‍රමය ඉතා පලදායි වෙනවා. උදාහරනයට අපි රථයකින් යාපනයට යන්නේ කියලා හිතමු. ගමනට පැය 8 ක් වැය වෙනවා. නවතින්න තැනක් ඕනෑ. රියදුරුට ගෙවන්න වෙනවා. ඉන්ධන වලට තව මුදලක් වැය වෙනවා. ඒ සියලු දේ එක්ක වාහන ට්‍රැෆික් එකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ සියලු දේ සැසඳීමේදී යාපනයට යාමට රුපියල් 40,000 ක් පමණ වැය වේ නම් බලන්න බජට් ගුවන් සේවයකින් සහනදායී මිලකට යාපනයට යාමට වැය වන්නේ රුපියල් 12,000 ක් කියලා. එවිට සෑම අංශ්‍යකින්ම ඵලදායි බවක් තමයි ලැබෙන්නේ.

විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් පැය 3 කට වඩා මහා මාර්ගයේ ගමන් ගන්න කැමති නැහැ. පැය අටක් වැය වෙන ගමන එක් පැයකින්ම කරන්න පුළුවනි. එය ඉතා වාසි දායක දෙයක්. මේ නිසා ඒ ඒ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරක කර්මාන්​තයේ ඉහළ දියුණුවක් ඇති වෙනවා. ටැක්සි සේවා සහ තවත් සේවා ඇති වී ඒ පළාත් වටා තවත් බොහෝ දෙනාට රැකියා අවස්ථා පවා කරගෙන යා හැකියි. ඒ වගේම පරිපාලනමය කටයුතු මීට වඩා ක්‍රමවත් විදියට කළ හැකියි.

ඒ ගැන පැහැදිලි කළොත් ?

රියැදුරු බලපත්‍රය ගන්න, හැඳුනුම්පත ගන්න, මේ වගේ සියලු දේ වෙනුවෙන් ඇයි අපි කොළඹ එන්නේ. ප්‍රධාන අවහ්‍යතා ඇති පරිපාලනමය කටයුතු කාර්යක්ෂමව කර දීමට දිස්ත්‍රික්කයට එක බැගින් ප්‍රධාන පරිපාලනමය කටයුතු ස්ථාපිත කළොත් ඒ ප්‍රශ්නය විසඳෙනවා. ප්‍රධාන රෝහල් සෑම දිස්ත්‍රික්කයකම සියලු පහසුකම් සහිතව ස්ථාපිත කළොත්? ඒ ප්‍රශ්නෙටත් විසඳුම් එනවා. ඊළඟට පාසල් ගනිමු. උදේට නගරයේ ඇයි මෙච්චර ට්‍රැෆික් තියෙන්නේ. රථ වාහන වැඩි නිසයි. එහෙම නම් කොළඹට ප්‍රවිශ්ඨ වෙන ප්‍රධෘන මාර්ග දිගට ජනප්‍රිය පාසලක ශාඛා පිහිටුවහොත් එය වඩා පහසුවක් වෙනවා. එවිට ඈත දුර පළාතක සිට ළමුන්ට කොළඹ එන්නම ඕනෑ නැහැ.

ඇයි අපේ රටේ මේ විදියට සැලසුම් ක්‍රියාත්මක නොවන්නේ?

බලධාරීන් ඒ ගැන අවධානය යොමු කර නැති නිසයි. දුප්පත්කම නැති කරන්න නම් අපට මේ වගේ සැලසුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි. මම මේ විදියට අදහස් ප්‍රකාශ කරන්නේ රටවල් 71 ක විතර ක්‍රියාත්මක වෙන විදිය ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. නිදසුනකට මලයාසියාව ගත්​​තොත් 50 % ක් සරසවි අධ්‍යාපනයට යොමු කර තිබෙන අතර 40 % ක් වෘත්තිය පාඨමාලා සඳහා යොමු කර තිබෛනවා. ඕස්​ට්‍රේලියාව පවා ඒ විදියයි.

මිනිසකු හට ජීවත්වීම සඳහා රස්සාවක් ගැන කියා දිය යුතුයි. එහෙම නොදුන් නොත් ඔහු කොහොමද හොඳ වැටුපක් ලබන්නේ? වසර පහකට වගේ කාලයක් සඳහා කවුරු හරි ඇවිත් මේ විදියට ප්‍රායෝගික වෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. ඇත්තම කිව්වොත් අපට තිබෙන්නේ තීන්දු 10,000 ක් ගැනීම විතරයි.

ඔබ අද මේ විදියට කතා කරන්නේ ලබා තිබෙන දැනුම සහ ශක්තිමත් ආර්ථික ස්ථාවරය නිසයි. මේ ගමන එද්දි එදා ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?

විශ්වාස කරන්න, මට අභියෝග නැහැ. ඒකට හේතුව මම යම් දෙයකට අවතීර්ණ වීමට පෙර තියෙන අභියෝග මොනවද හඳුනාගෙන එන්නේ. ඒ නිසා මම අවතිර්ණ වෙන්නේ විසඳුමත් එක්කයි. මම මේ වෙලාවේ අපේ රට ගැන කතා කරන්න පෙර රටවල් හැත්තෑ ගණනක් ගැන දැන ගෙන සොයා බලා තමයි අදහස් දැක් වුයේ. මම නිතරම බැලුවේ තියෙන ව්‍යාපාර ගැන නොවෙයි.

කොහොම වුණත් මේ විදියට ව්‍යාපාර කරගෙන යාමේදී දේශපාලන හයිය තිබෙන්න ඕනෑය කියා සමහරු විශ්වාස කරනවා. දේශපාලන හයිය ඕනෑ නේද?

මට දේශපාලනික වශයෙන් පක්ෂයක් නැහැ. තියෙන ආණ්ඩුවට උදව් කරගෙන මගේ දැනුම ලබා දීම නිරන්තරයෙන් සිදු වෙනවා. මම දන්නා දේ කොයි ආණ්ඩුවටත් කියා දීම මගේ යුතුකමක්.

රටේ ජනතාව නැවතත් භීතියට පත් වෙලා. මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

මේක ඇත්තටම ආරක්ෂක ප්‍රශ්නයක්. ඒක පිරිසිදු කළොත් නව ගමනක් යන්න පුළුවන් වේවි. ඒ ගමන යන්න හරි තැනකට එන්න ඕනෑ. මෙන්න මෙතැන තමයි අපේ රටේ හැරවුම් ලක්ෂය නැතිනම් ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ආර්ථිකය දියුණුවට ගෙනියන්න.

​මෙය ලොකු අවස්ථාවක් කර ගන්න පුළුවනි.

ඔබ දකින විදියට මේ මොකක්ද වුණේ ?

ආගම් කීපයක් තියෙන රටවල් කොහොමද ජීවත් විය යුත්තේ කියා අපට සසඳන්න වෙනවා. කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල් ගනිමු. ආගම් බො​ෙහා්මයි. ඒත් අනෙක් අයගේ ආගම් ගැන කතා කරන්න බැහැ. ආගම් ගැන කතා කිරීම තහනම්. එහෙම කළොත් වසර 2 ත් 6 ත් අතර හිරේ යන්න වෙනවා. ඒ කාලයේදී ඒ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරනවා. ඕනෑම රටක සියයට 0.1 % ක් මේ විදියට හැසිරෙනවා. අපේ රටේ ජනගහනයට සාපේක්ෂව 2100 පමණ දෙනා මේ විදියටආගම් අන්තවාදීව හැසිරෙනවා. එවිට නීතියක් ගෙනැල්ලා දඬුවම් නොකළොත් මේ වගේ ප්‍රශ්න ඇති වීම වළක්වා ගන්න බැරි වේවි.

දේශපාලනයට එන්න කියා ඔබට බොහෝ ඉල්ලීම් තිබෙනවා නේද?

මම විශ්වාස කරන විදියට රටක යාන්ත්‍රණය ගෙනි යන්නේ ඒ රටේ ජනපතිවත්, අගමැතිවත් නොවෙයි. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුණාට එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ලේකම් වෙන්නේ ස්ටීවන් ටර්නර් මනීචන්. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු තමයි යාන්ත්‍රණය වෙන්නේ. මම දේශපාලනයට ආවොත් අර මා කියු වැඩ 10,000 (දස දහස) කරන්න බැරිව යාවි. ප්‍රතිපත්ති සම්පාදනය කරන කෙනා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්ට තමයි අපේ රටේත් යාන්ත්‍රණය ගෙන යන්න පුළුළුන් වෙන්නේ. මම හිතන්නේ ඒ විදියටයි. දේශපාලනය නම් මට ගැළපෙන්නේ නැහැ.

බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඔබ වගේ පොහොසතකු වීමටයි. එහෙම වෙන්න නම් ඔක්කෝටම කලින් හොඳට ඉගෙනීම් කළ යුතුයි. ඉගෙනීම ධනය කියලා පොඩි කාලයේදීම අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපේ කාලයේ දී දැනුම ගන්න අද වගේ අවස්ථා තිබුණෙ නැහැ. දැනුම සොයා යන කෙනාට අන්තර්ජාලය හොඳටෝම ප්‍රමාණවත්.

ඉන්ර්නෙට් කියන කොටම අම්මලා බය වෙනවා. දරුවන්ට ඉන්ටර්නෙට් යන්න දෙන්නේ නැහැ. හැබැයි මම නම් මගේ දරුවන්ට ඒ තහංචිය දැම්මෙ නැහැ. අවුරුදු 3 ඉඳලාම එයාලා ඉන්ටර්නෙට් භාවිත කරනවා. සෑම අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වෙතින් ළඹයින්ට ගැළපෙන පැකේජයක් ගැනීම නිසා එය ළමයින්ට වගේම මව්පියන්ටත් භාවිත කරන්න පුළුවනි. මම කළේ එයයි.

ළමුන් ගැන කතා කරද්දී අපි කැමැතියි දැන ගන්න. ඔබට ඔබගේ දරුවන් එක්ක ගත කරන්න කාලයක් තියෙනවද කියලා?

මම මුලින්ම කිව්වේ මට වෙලාව දා ගන්න පුළුවන් කියලා. හැමදාම සවස 6 න් පසුව මම දරුවන් එක්ක ගෙදර සිටින්නෙ. සෙනසුරාදා ඉරිදාත් ඒ විදියයි. එවිට එයාලට තාත්තා දැනෙනවා. තාත්තා එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ මගින් එයාලාට ලොකු විශ්වාසනීයත්වයක් ගොඩනැගෙනවා. ඇත්තටම මිනිහකුට වැඩ කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඉරිදා සෙනසුරාදාත් මම වැඩ කරන්න ගියොත් මගෙන් මේ ධාරිතාව එන එකක් නැහැ. කෙහොමටත් හරියට වැඩක කරන කෙනෙකුට සති අන්තයේ විවේකය තමන්ගේ ශරීරය විසින්ම ඉල්ලන දෙයක්.

විවේකයට ඇත්තටම ඔබ ​මොනවද කරන්නේ?

දැනුම සොයා යාමට මම හරි කෑදරයි. මට නිතරම තියෙන්නේ දැනුමේ පිපාසය. අලුත් දේ ඉගෙනීමට පුදුමාකාර ආසාවක් මට තියෙන්නේ.

ලංකාවේ ලොකුම පොහොසතකු ලෙස නින්දට යද්දී දැනෙන හැඟීම මොන වගේද?

මම නිතරම හිනා වෙලා ඉන්නේ ඇයි දන්නවද? මේ කිසි දෙයක් බදාගෙන ජීවත් නොවන කෙනෙක් නිසයි. මේ කිසිවක් බදාගෙන නැති නිසා බැඳිම් නැහැ. මේවා ඔක්කොම බදා ගත්තොත් බැඳීම් වැඩියි. දුක එන්නේ එවිටයි. මට වේදනාව එන්නේ අඩුවෙන්. මොකද බැඳීම් අඩු නිසා. අත්හැරීම මගේ විදියයි. මම වගේ කෙනෙකුට වේදනාව ගෙන දෙන ප්‍රශ්න බොහෝමයි. ඒත් මම ඒවා බදාගන්නේ නැහැ. එහෙම වුණොත් දුකකින්ම තමයි ජීවත්වෙන්ව වෙන්න.

අඩු පාඩු ඔබ වෙතින් වෙන්නෙම නැද්ද?

අඩු පාඩු වෙනවා නම්, ඊළඟ විනාඩියේදීම මම ඒ අඩුපාඩුව හදා ගන්නවා. මනුෂ්‍යයින් වෙතින් නිරන්තරයෙන් අඩුපාඩු වෙනවා.

එ්ත් ඒවා හදානොගන්න එක තමයි තියෙන ලොකුම අඩුපාඩුව.

ජීවිතය කියලා කියන්නේ මොකක්ද? ඒ ගැන ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?

සැම අාගමකම දිව්‍ය ලෝකය සහ අපාය ගැන කියා දෙනවා. කෙනෙකු දුප්පත්ද? පොහොසත්ද? කියන එක ප්‍රශ්නය නොවෙයි. දිව්‍ය ලෝකයත් අපායත් හදා ගන්න පුළුවන්. තමුන්ටමයි එතැනදී ආර්ථිකය බලපාන්නේ නැහැ. අඳින ඇඳුම් කෑම ටික බෙහෙත් ටික ගන්න රෝහල තිබේ නම් මම හිතන්නේ ඕනෑම කෙනෙකුට දිව්‍ය ලෝකය හදාගෙන ජිවත් වෙන්න පුළුවනි. මනුෂ්‍ය ආත්මය බැඳීම් එක්ක එන දෙයක්. ඒ බැඳීම් අඩුකර ගන්න තරමට ජීවිතය හරිම සැහැල්ලුයි.

මේ ආ ගමන දෙස ආපසු හැරී බලද්දී ඔබට ඔබ ගැන හිතෙන්නේ කොහොමද?

ලෝකයේම තියෙන දේ අධ්‍යයනය කළත්, මා සතු ඒ දැනුමෙන් ප්‍රයෝජන නොගන්නා සමාජයක ජීවත් වෙන තවත් මනුෂ්‍යයෙක්. මට මේ රටේ බොහෝ දේ හදන්න පුළුවනි. ඊට දායකත්වය දෙන්න පුළුවනි. ඒත් සමාජය මම දන්නා දේ වෙතින් ප්‍රයෝජනයක් නොගන්න බව තමයි මට පෙනෙන්නේ.

මේ මොහොතේ රටට ඔබ දෙන පණිවුඩය?

අපේ රටේ සල්ලි තියෙන පවුල්

වල උදවිය වෙත විශේෂ පණිවඩුයක් දෙන්න මම කැමැතියි. ඔබගේ දියණියට ඔබ ලබා දෙන ලොකුම දෑවැද්ද වන්නේ මිල මුදල් නොවෙයි. දෑවැද්ද ලෙස ඔබ ඔබගේ දියණියට ලබා දිය යුත්තේ සරසවි අධ්‍යාපනයයි. එයින් බලාපොරොත්තු වන්නේ ඇය රැකියාවක් කළ යුතුය කියලාම නොවෙයි. ඇය සරසවි අධ්‍යාපනයෙන් ලබාගත් ඒ දැනුම ඇයගේ දරුවන් හරියට හදා ගන්න භාවිත කරන්න පුළුවනි. දුප්පත් පවුල්වල මව්පියන්ට මා ලබාදෙන උපදේශනයත් එයයි.

තමාගේ දියණිය, පුතු සරසවි යවනවාමයි කියන අදහස ඇතිව ක්‍රියාත්මක වෙනවා නම් එය ඉතා හොඳයි. විශේෂයෙන් සල්ලි තියෙන පවුල් වල අය තම දියණියට සරසවි අධ්‍යාපනය ලබා දිය යුතුමය කියා මා යෝජනා කරනවා. ඇයට ලබා දෙන ඉහළම දෑවැද්ද එයයි. ඒ වගේම අපේ රටේ ජනතාවට තියෙන්නේ දේශපාලනය ගැන කතා බහ කිරීම හෝ ඒ පිටුපස දිවීම නොවෙයි. ඒවා කරන අය කරාවි. කරුණාකරලා තමන්ගේ දරුවන් සරසවියට යැවීම වෙනුවෙන් කැප වෙන්න. ඒක තමයි රටේ ජයග්‍රහණය වෙන්නේ.

පිළිසඳර : සඳුන් ගමගේ
ඡෘයාරූප : චානුක කුලසේකර

මායාවේ බලය

කොළඹ බොරැල්ල සොහොන් බිමෙහි දැකිය හැක්කේ ගුප්ත බවකි. එදා කෑලි කපන මේ කළුවර ඉකිබිඳින වර්ෂාවද සමගින් මේ බියකරු බව තව තවත් තීව්‍ර කරන්නට සමත් විය. අත්තම්මා මියගොස් මාස තුනකට ආසන්නව ඇත. නමුත් ආතම්මාගේ මායාව ගෙදර හැර ගියේ නැත. ඒ මායාව දැල් තිර අස්සෙන් නිවසේ දොරින් දොරට අසලට වී බල සිටින්නට විය. විටක සුදුම සුදු සාරියකින් සැරසී සිටින ආත්තම්මා තවත් විටක කළු කබායකින් සැරසි සිටින්නීය. එක්වර විවිධ වේශයෙන් මායාව පෙනී සිටියි.

ගේ දොරකඩ බුදු පහන තියන තැන බලා සිටින අම්මා, තවත් විටක මුළුතැන්ගේ බලා සිටින්නීය. දුවටද ආදරය ඇති අම්මා දුවගේ නිදි යහන අසලට එන්නේ සෙල්ලමට හෝ ආදරයට හෝ නොවන බව නිවසේ සිටි දුව ද දැන සිටියාය. විටක තම දියණිය අසලට ගමන් කරන මායාවේ අම්මා, තවත් විටක වෙස් වෙනස් කරගෙන මිනිබිරිය ළඟට ගමන් කරන්නේ බිල්ලක් බලාගෙනය. නැතිනම් උණුසුම් වූ උණුම උණු ලේ පිපාසාවෙනි. නව යොවුන් වියේ පසුවන මුනුපුරා අසල පෙනී නොපෙනී සිටින මායාවේ ආත්තම්මා සිටින්නේ දැල්වෙන පහන්වලට මුවාවෙමිනි.

මේ ඇවිදින් සිටින්නේ මෙයට මාස තුනකට ආසන්න කාලයකට පෙර මේ නිවසේ ජීවත් වූ මහලු මාතාවයි. ඇය මේ නිවසට එන්නේ යහපතක් කරන්ට නම් නොවේ. බිහිසුණු මායාවේ මායා ගැහැනිය මේ නිවසේ සියල්ලෝම ගොඳුරු කරගන්නා දිනය ළඟාවෙමින් තිබිණි. එය සිදුවන්නේ කෙසේද? මේ පිළිබඳව කිසිවකු දැන සිටියේ නැත. නමුත් මායාවේ මහලු කාන්තාව ක්‍රම ක්‍රමයෙන් ගොඳුරු කරා ළඟාවෙමින් සිටියාය. මේ ඒ බිහිසුණු මායාවේ මහලු කතගේ බිහිසුණු කතාන්දරයයි.

භූත, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ ආදී නොයෙක් නොයෙක් කතාන්දර බොහෝය. ඒවා ඔබ අසා ඇතුවාට සැක නැත. මියගිය වුන් ඇඟට වැසීම, නැතිනම් ආවේෂ වීම, මියගිය වුන් නින්දෙන් පෙනී සිටීම, මියගිය වුන් පෙනෙන්නට සැරිසැරීම, මියගිය වුන්ගේ බැල්ම වැටීම, මියගිය වුන් ජීවත්ව සිටින වුන් බියවැද්දීම ආදී මෙකී නොකී කතා එමටය. මේ ද එවන් සිදුවීමකි.

මෙය කොළඹ නගරයේ, දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක මීට වසර කීපයකට පෙර සිදුවූ සිදුවීමකි. මෙම පවුලේ වන්නේ අම්මාත් තාත්තාත් පුතණුවන් දෙදෙනාත් එක් දියණියක් පමණි. විජේවීර පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදෙන අතර, බිරිඳ නිර්මලා ස්වයං ව්‍යාපාරයක් නිවසේ සිටම කරනු ලබන්නීය. ඇය නිවසට ආසන්නයේ කුඩා කඩයක් දමා එහි සිල්ලර බඩු විකුණන්නීය. වැඩිමල් පුතා සඳුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන අතර, බාල පුතා කසුන් නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

දියණිය ශානිකා හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. වැඩිමල් දරුවන් දෙදෙනාම කොළඹ නගරයේ එකම පාසලක අධ්‍යාපනය ලබන අතර, දියණිය වෙනත් පාසලක අධ්‍යාපනය ලබන්නීය. පවුලේ කිසිදු ආර්ථික අපහසුතාවන් නොපවතින අතර, සාමයෙන් සමඟියෙන් යුතුව පවුලේ සියලු දෙනා කටයුතු කරති.

නිර්මලාගේ මව මියගොස් මාසයක් පමණ ගතවන අතර, පියා මියගොස් වසර කීපයක් ගත වේ. සීයාටත් ආච්චිටත් සඳුන් හා කසුන් ද ශානිකා ද ඉතාමත් ආදරයෙන් සිටියෝය. සීයාගේ අභාවයෙන් වසර කීපයක් ගත වනවිට ඔවුන් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල යෙදුණහ. එහෙත් ආච්චිද ඔවුන්ගෙන් සදාකාලිකවම සමුගැනීම මුනුපුරන් දෙදෙනාටත් මිනිබිරියටත් දරාගත නොහැකි විය. අම්මාටත් තාත්තාටත් වඩා දරුවන් තිදෙනාම ළං වූයේ ආච්චිටත් සීයාටත්ය.

සමහර දිනවලදී ශානිකාව පාසලට කැටුව යන්නේද ආච්චිය. ආච්චිගේ අතේ එල්ලී සුරතල් වෙවී ශානිකා පාසලට යන්නීය. සඳුන් හා කසුන් ද සීයා මියයන තෙක්ම පාසල් ගියේ සීයා සමඟය. බොහෝ දිනවල නිවසේ ඉවුම් පිහුම් කටයුතු කෙරුණේද ආච්චි අතින්ය. නිර්මලා කඩේ වැඩ නිම කරන්නේ රාත්‍රී අටට පමණය. හදිසියේම ආච්චිට ඇති වූ පපුවේ අමාරුව නිසා ඇය සියල්ලන්වම සදාකාලිකවම අතහැර මිය පරලොව ගියාය. සති දෙකක් යනතෙක්ම නෑදෑයන්ගෙන් නිවස පිරී පැවතුණි. ඉන්පසු සුපුරුදු පරිදි නිර්මලාත් විජේවීරත් සඳුන් හා කසුනුත් ශානිකාත් තනිවූහ. පාසල් යනවිට ශානිකාට ආච්චි මතක් වන්නේ නිරතුරුවමය.

“අම්මේ, ආච්චි නැතුව හරිම පාළුයි නේද අම්මේ. ඇයි අම්මේ ආච්චි සීයා වගේම අපිව දාලා ගියේ. ආච්චි නැතුව මට හරිම පාළුයි…” ශානිකා හැඬුම් ස්වරයෙන් නිර්මලාගෙන් විමසන්නීය. තම මව තමන්ට හයියක් වී සිටි බව නිර්මලාට වැටහෙන්නේ දැන්ය. නිවසේ සියලු බර ඇගේ කරපිට වැටී ඇත. කඩේ වැඩ කරන්නටත් නිවසේ ඉවුම් පිහුම් කටයුතු හා පිරිසිදු කිරීම් ද දරුවන්ගේ වැඩ ද ඇයට තනිවම කරන්නට සිදුවිය. දවසේ වැඩකටයුතු නිමවන විට නිර්මලා සිටියේ හෙම්බත් වීය.

මේ අතර, නිර්මලාට තම මව නිවසේ එහා මෙහා ඇවිදිනවා පෙනෙන්නට පටන් ගත්තාය. කුස්සියට යන විට කුස්සියේ සිටින තම මව එක්වරම ඇය දෙස හැරී බලනවා ඇයට පෙනුණි. කෑම පිසින විට නිර්මලා එක්වරම තම මව තමන් දෙසට පැමිණෙනවා දකියි. තම මව ජීවත්ව සිටින විට ඇය පරිහරණය කළ ඇයගේ නිදන කාමරය වෙතට තම මව සාලයේ සිට යනවා පෙනෙයි. ඇය බොහෝ බියපත් වූවාය. මව මියගිය බව සැබෑවක් වුවද ඇය තවමත් නිවස හැරගොස් නැත. විටින් විට නිවසේ එහා මෙහා ඇවිදියි. මේ නිසා නිර්මලා බොහෝ බියපත් වූවාය. ඇය විජේවීරට මෙය පැවසූවත් විජේවීර එය විශ්වාසයකට ගත්තේ නැත.

නමුත් බාල පුතු ද ආච්චිව විටින් විට නිවසේ එහා මෙහා යනවා දුටුවේය. නිවසේ දොරකඩට වී ආච්චි අම්මා පාර දෙස බලා සිටින්නීය. තමන් පාඩම් කරන විට ආච්චි බලාගෙන ඉඳින්නීය. මේ නිසාම ඔවුන් දෙදෙනා රාත්‍රියට නිදාගන්නට ද බිය වූවෝය.

“අනේ අපි අම්මගේ මරණෙ කටයුතු හොඳට කළානේ. ඒත් ඇයි මේ අම්මා ගෙදර ඉන්නෙ…” නිර්මලා විජේවීරගෙන් ඇසුවේ මියගිය අම්මාගෙන් තම පවුලේ අයට හානියක් සිදුවේදැයි බියෙනි. “මනස්ගාත හිතන්නේ නැතිව නිදාගන්න නිරූ.. මොනාද මේ කියවන්නේ ඔයා.. ළමයින්වත් බය කරනවා ඒ මදිවට.” විජේවීර කිසිවක් ගණනකට ගත්තේ නැත. වැඩිමල් පුතාද කීවේ “ඔළුව විකාර වෙලා මෙයාලට” යනුවෙනි.

මේ අතර බාල දියණිය ද ආච්චිව විටින් විට දකින්නට පටන් ගත්තාය. ආච්චි අම්මා වෙනදා වගේම තමන් අවදි වූ විගස තමන්ව බැලීමට කාමරය වෙත එන්නීය. එහෙත් ක්ෂණයකින් ඇය අතුරුදන් වන්නීය. ආච්චි අම්මා තමන්ට වාඩිවී කතන්දර කියාදෙන විට සිටින අයුරින් දොරකඩට වී සිටින්නීය.

නමුත් මෙය දවසකින් දෙකකින් අවසන් වූයේද නැත. දිනකට එක්වරක් හෝ මියගිය ආච්චි නිවසේ පෙනෙන්නට දකින්නට ලැබෙයි. වැඩිපුරම මෙයට මුහුණදෙන්නේ නිර්මලාය. ඇය කුස්සියේ වැඩකරමින් සිටින විට අම්මා පෙනෙන්නට එහාට මෙහාට ඇවිදියි. රාත්‍රී කාලයේ දී නිර්මලා නාන කාමරය හා වැසිකිළිය පැත්තටවත් තනියම නොයන්නීය. කසුන්ද අම්මා හෝ අයියා නැතිව කොතනකටවත් නොයන්නීය. අම්මාගේත් අයියාගේත් වදන් නිසා පුංචි ශානිකා සිටින්නේ ද බියපත් වීය. ඇය ද අම්මා නොමැතිව නිවසේ කොතැනකටවත් තනියම යන්නේ නැත. “අම්මේ, ආච්චි අම්මා අපිව දාලා ගියේ නැහැ නේද අම්මේ” ශානිකා මවගෙන් අසන්නේ ඇස් දෙක ද ලොකු කරගෙනය.

තම බිරිඳත් පුතත් දියණියත් විටින් විට බියපත් වීම නිසා විජේවීර කුමක් කරන්නේදැයි කල්පනා කළේය. වැඩ මුරයේ සිටිද්දීත් ඔහු කල්පනා කළේ මොවුන් මෙයින් මුදවා ගන්නේ කෙසේද යන්නයි. එහෙත් ඔහුට මෙයට කළ යුතු පිළියමක් සිතට නැගුණේ නැත.

මේ අතර, නිර්මලාගේ වැඩිමල් සහෝදරිය හා ඇගේ සැමියා නිර්මලාගේ නිවසට පැමිණියේ දින දෙක තුනක් නැවතී සිට තම මවගේ තුන් මාසේ වැඩකටයුතු ගැන ද කතාබස් කොට යන්නටය. මෙය නිර්මලාට මහත් අස්වැසිල්ලක් විය. තම සහෝදරිය පැමිණි විගසම නිර්මලා තමන් හා බාල පුතුත් දියණියත් තිදෙනාම තම මව නිවසේ පෙනෙන්නටම එහා මෙහා සැරිසරනවා දකින බව ඔවුනට පැවසුවාය.

නිර්මලාගේ සහෝදරිය රෝහිණිත් ඇගේ සැමියා සුදර්ශනත් කීවේ මෙය බලා සිටින්නට සුදුසු දෙයක් නොවන බවත් මෙය අමනුෂ්‍ය දෝෂයක් වන්නට ඇති බවත්ය. එම නිසා කපු මහතකු මුණගැසී මෙයට පිළියමක් යොදමු යැයි ඔවුන් කතිකා කරගත්හ. නිර්මලාත් රෝහිණිත් කපු මහතකු මුණගැසීමට ගියේ දෙමටගොඩ ප්‍රදේශයේම එක්තරා දේවාලයක් කරන තැනකටය.

තරුණ වියේ පසුවන කපු මහතා වෙත බොහෝ පිරිසක් පැමිණ සිටි බව දුටු ඔවුන් සිතුවේ මෙයට පිළියමක් කපු මහතා විසින් කරදෙනු ඇත යන්නයි. නිර්මලාගේ වාරය එළඹුණ පසුව නිර්මලා දේවාලය තුළට පිවිසියත් බුලත් ගෙන ආ යුතුයැයි ඇයට වැටහීමක් නොතිබූ නිසා දේවාලයෙන් ඇයට බුලත් ලබාදුන් අතර, පඬුරු එම බුලත් මත තබා දෙවියන් ඉදිරියේ තැබුවාය. ඉන්පසු කපු මහතා ඔවුන් පැමිණි කාරණය විමසා සිටියේය.

තම මව මියගොස් මසක් ඉක්ම වන්නටත් පෙරම නිවසේ පෙනෙන්නට එහා මෙහා ඇවිදින බව නිර්මලා පැවසුවාය. කපු මහතා ඔහුගේ වික්‍රමය පටන් ගත්තේය. දෙවියන් ඉදිරියේ වැඳගෙන එහාට මෙහාට පැද්දෙමින් පාදවල පැලඳි සළඹවල් සෙලවෙන අයුරින් දෙපා පො​ෙළවේ ගසමින් හිස ඉහළටත් පහළටත් සොලවමින් කපු මහතා දෙවියන්ට යාතිකා කළේය. විනාඩි දහයක් පමණ නොතේරෙන භාෂාවක් ජප කරනු ලැබූ කපු මහතා නිර්මලාට පැවසුවේ මියගිය මව පැමිණ සිටින්නේ හොඳකට නොවන බවත් ඇය පවුලේ අයට ඇති ආදරය නිසා කාට හෝ විපතක් සිදුවන බවත්ය.

නිර්මලාත් රෝහිණිත් එයින් බොහෝ බියට පත්වූහ. “අනේ කපු මහත්තයෝ අපි මොකක්ද මේකට කරන්නේ” රෝහිණි ඇසුවේ තම නැගණියත් ඇගේ පවුලත් පත්ව ඇති අනතුරෙන් ගලවා ගන්නේ කෙසේදැයි සිතමිනි.

“පූජාවක් තියලා කොහේ හරි බෝධියකට යවමු. හැබැයි ටිකක් වියදම් කරන්න වෙයි” කපු මහතා පැවසීය. “හොඳයි කපු මහත්තයෝ අපි කැමතියි. අපි කරන්න ඕන මොනවද කියලා කියන්න” නිර්මලා කීය. කපු මහතා නිවසට ආ යුතු බවත් ඔහු එන්නට පෙර අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර තබන ලෙසත් කපු මහතා නිර්මලාට පැවසුවේය.

විජේවීර පැමිණි පසු නිර්මලා තම සහෝදරිය සමඟ කපු මහතා මුණගැසීමට ගිය බවත් ඔහු නිවසේ පූජාවක් තබා මව නිවසින් පිටත් කර යැවිය යුතු බවත් පැවසූ බව කීවාය. පසුදින නිවසේ පූජාව තැබීම සූදානම් කෙරුණි. කපු මහතා ගෝලයෙකු සමඟ සවස හත හමාරට පමණ පැමිණියේය. පලතුරු, පොල්, බුලත්, මල්, කපුරු, හඳුන්කූරු, කහ මුසු කළ ජලය, වර්ණ හතරකින් යුත් නූල් සහ තවත් බොහෝ දෑ විණි. රාත්‍රී නවය පසුවී පූජාව පටන් ගත්තේය. පූජාව නිම වනවිට බොහෝ රෑ බෝ විය. සියල්ලන්ගේම අත්වලට නූල් ගැටගැසූ කපු මහතා දින හතක් එක දිගට බෝධි පූජාවක් ද තබන ලෙස පවසා ගෝලයා ද සමඟින් නිවසින් පිටත් වූයේ පොරොන්දු වූ මුදල් ද රැගෙනය.

නිර්මලා තම සහෝදරිය සමඟ දින හතක් එකදිගටම පන්සලට ගොස් බෝධි පූජා තැබුවාය. ඇය සිටියේ සැහැල්ලුවෙනි. එහෙත් මව නිවසින් පිටව ගොස් නැති බව ඇයට පෙනුණි. නිවසේ පූජාවක් ද ලෑස්ති කර තම මියගිය මව නිවසින් යැවීමට කටයුතු කළද බෝධි පූජා තැබූවද ඇය තවමත් නිවසේ සැරිසරනවා නිර්මලා දුටුවාය. මේ නිසා නිර්මලා මහත් පීඩාවක් වින්ද‌ාය. ගෙදර දොරේ කටයුතුද කරගැනීමට මානසිකත්වයක් ඇය සතු නොවීය. පොඩි පුතාද දියණියද ඉඳහිට ආච්චිව දකියි.

මේ කාරණය ගැන විජේවීර තමන් සමඟ සේවයේ යෙදෙන මිතුරාට පැවසුවේය. ඔහු කීවේ එයින් ඵලක් වූයේ නැතිනම් යකුන්, කුම්භාණ්ඩයන්, ප්‍රේතයන් යවන වෛද්‍යවරයෙකු සිටින බවත් ඔහු වෙතට ඇයව කැටුව යන ලෙසය. ඒ අනූව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත නිර්මලා ඇතුළු නිවසේ සියලුදෙනාම පැමිණියෝය.

සියලු කරුණු වෛද්‍යවරයා අසා දැනගත්තේය.

නිවසේ සියලුදෙනාම වෙන වෙනම කතා කළ වෛද්‍යවරයා විසින් සිදුවී ඇති දෙය හඳුනාගත්තේය. අම්මටයි, පුතාටයි, දුවටයි ප්‍රතිකාර කිරීමේ වගකීම වෛද්‍යවරයා විසින් භාරගැනුණි. විද්‍යාකුලපති මහතා විසින් සති කීපයක් ඔවුන්ට මනෝ ප්‍රතිකාර ලබාදුණි. ආච්චි ගෙදරින් පලා ගියාය. ඉන්පසු කිසිම දවසක ආච්චි නිවසේ තැනින් තැන පෙනෙන්නට සිටියේ නැත. නිවසේ කිසිවෙක් බිය වූයේද නැත.

මෙහිදී සිදුවූ සත්‍ය සිදුවීම විද්‍යාත්මකව මෙසේ යැයි විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කරදුනි.

අප දන්නා පරිදි මානසික රෝග, මානසික පීඩන හෝ මානසික රෝග පිළිබිඹු කරන හැසිරීම්, අත්දැකීම් ගැන කරන අධ්‍යයනය මනෝ ව්‍යාධි විද්‍යාවයි. සායනික මනෝවිද්‍යාවේ එන මානසික රෝග ගැන වර්ගීකරණය සහ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික සඟරාවක් ද මේ නමින් හැඳින්වේ. මනෝ ව්‍යාධි විද්‍යාව මානසික රෝග ගැන කරන අධ්‍යයනයක් ලෙස මානසික රෝග ගැන අධ්‍යයනය සඳහා බොහෝ විවිධ ආකාරයේ වෘත්තිකයින් පෙළඹී ඇත. බොහෝ විට මනෝ රෝග චිකිත්සකයින් සායනික මනෝවිද්‍යාඥයින් විශේෂයෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර සහ එහි සම්භවය සඳහා පර්​ෙ‌ය්ෂණ කිරීමට සහ එහි වර්ධනය සඳහා උනන්දු වෙයි.

මනෝ ව්‍යාධි විද්‍යාවේ දී බොහෝ උපක්ෂේත්‍ර ඉවහල් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ස්නායු විද්‍යාඥයෝ මානසික රෝගවලදී මොළයේ සිදුවන වෙනස්කම් ඉලක්ක කොට අධ්‍යයනය කරති. එම නිසා මනෝ ව්‍යාධි විද්‍යාඥයෙකු ලෙස හඳුන්වනුයේ එම ක්ෂේත්‍රයේ විශේෂ පුහුණුවක් ලද බොහෝ වෘත්තිකයන්ගෙන් එක් අයෙකි.

මනෝ චිකිත්සකයින් බොහෝ විට විශ්ලේෂණාත්මක මනෝ ව්‍යාධි විද්‍යාව සඳහා උනන්දු වෙයි. එමගින් ඔවුන්ගේ ඉලක්කය වන රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ සමූහයක එකතුව සපුරා ගනී. එමගින් රෝගියාගේ අත්දැකීම් පවතින වර්ගීකරණය හා සසඳ‌ා බැලීම, රෝග නිර්ණක පද්ධතියක් සකස් කිරීම ද, කිසියම් රෝග නිර්ණයකට අදාළ අත්දැකීම් හා හැසිරීම් ගොනු කරන ආකාරය සඳහා ද උදව්වක් ලබාගනී.

නමුදු මෙය පෞරුෂත්වය පිළිබඳ රෝගයක් වන මනෝ ව්‍යාධික හැසිරීම හා පටලවා නොගත යුතුය. මනෝ ව්‍යාධික විද්‍යාව විශ්ලේෂණාත්මක පදයක් ලෙස ඇතැම් විට කිසියම් රෝගයක් නිර්ණය නොවූවද මනෝ ව්‍යාධික විද්‍යාව මගින් මානසික රෝගයට අද‌ාළ හැසිරීම් විස්තර කෙරේ. මායාවන් හෝ භ්‍රාන්තිය (නොපවතින දෙයක් පිළිබඳ සංවේදනය) මනෝ ව්‍යාධියාගේ ලකුණක් ලෙස සැලකුව ද DSM වර්ගීකරණයේ එක් රෝගයකට අදාළ රෝග නිර්ණායක සියල්ල සපුරන්නේ නැත.
පොදුවේ ගත් කල ප්‍රජානනයේ හෝ ස්නායුක ප්‍රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයේ බිඳ වැටීමක් නිසා ඇතිවන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක්, අකර්මණ්‍යතාවක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැකියාව ඇත්තේය.

ඇත්තටම මෙතන සිදුවෙලා තිබෙන්නේ දෘෂ්ටි මායාවක්. මෙය මනෝ භ්‍රාන්තියකි. එනම්, Hallucination තත්ත්වයකි. මෙහිදී සිදුවන්නේ අධික භීතිය නිසා හෝ දැඩි විශ්වාසය නිසා අපට නොපෙනෙන දේ ඔවුන්ට පෙනිය හැක. අපට නොදැනෙන දේ ඔවුන්ට දැනිය හැක. අපට නොඇසෙන දේ ඔවුන්ට ඇසීමට පුළුවන්ය. මෙම Hallucination තත්ත්වය උග්‍ර මානසික රෝගීන්ට ඔවුන්ගේ මොළයේ රසායනික වෙනස්වීම මත කොහොමත් ඇතිවෙනවා. ඔවුන්ට අනිවාර්​ෙ‌යන්ම ඖෂධීය ප්‍රතිකාර ලබාදීමෙන් තමයි ඔවුන් සුවපත් කළ හැක්කේ.
නමුත් මෙම කතාවේ එන අම්මටත් පුතාටත් දුවටත් උග්‍ර මානසික රෝගයක් නැති වුවද සුළු මානසික රෝග තත්ත්වයන් යටතේ Hallucination එනම් මනෝ භ්‍රාන්ති ලෙස තමයි ආච්චිව පෙනෙන්නට ගත්තේ.

එම තත්ත්වයට ප්‍රතිකාර කළ පසු ආච්චි පෙනෙන එක නතර විය. මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ මෙවැනි මිථ්‍යාවන්ට හසු නොවී තමන්ගේ මුදලුත් කාලයත් ඉතිරි කරගෙන විද්‍යාත්මකව ලෝකය දෙස බලා තම තමන්ගේ ජීවිත ජයගන්නා ලෙසයි.

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් ආසන්න වශයෙන් වෙනස් කර ඇති අතර, වූ සත්‍ය සිදුවීමකි.)

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත

මැල්කම් කාදිනල්රංජිත්

රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින් ඒ මඟ පෙන්වීම මත ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල්රං ජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන් කැපවිය යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේ දී අද (10) එක් වෙමින්අ ගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

‘‘බටහිර බලවතුන් රටවල් තුළ ආරවුල් ඇති කළ යුතුමයි. එසේ නොමැතිව ඔවුන්ට ආයුධ විකුණගන්න බැහැ. මේ ආරවුල් ඇති කිරීමට ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිලිවෙළකට ඔවුන්යනවා.

අපේ රටේ ජාතීන් දෙකක් අතර අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ශතවර්ශ ගණනාවක් එකට සහෝදරයන් ලෙස ජීවත් වු ජාතීන් දෙකක් එකිනෙකා මරා ගත්තා. අපි සිංහල දෙමළ මිනිස්සු ඇන කොටා ගෙන ඒ අයව පෝසත් කළා. ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා. අපි හිඟන්නො බවට පත්වෙනවා. ඒ අය ධනය උපයා ගන්නවා.

මේ අයි. එස්. අයි. එස් සංවිධානය කියන්නෙත් ඒ වැඩපිලිවෙලේ කොටසක්, මේකට ඉස්ලාම්ජා තිකයන් සම්බන්ධ කිරීම වැරදියි. ඉස්ලාම් ආගම තුළ මෙවැනි දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා. ඒ ඇර වෙනත් ප‍්‍රශ්න නැහැ.

අස්වලා මලික්කුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දේන්නේ. සාමය තමයි මේ ආගම් පදනම වෙන්නේ. ඒ නිසා මේක ඉස්ලාම් ආගමේ ප‍්‍රශ්නයක්නෙ මෙයි.

වෙනත් බලවේග විසින් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත‍්‍රස්ත සංවිධාන බිහිවෙන්න ඉඩ හැරලා වෙනස්කම් උලූප්පලා ඒ අයට ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත්ක රන්න සාතාන්ගේ වැඩපිලිවෙලේ කොටසක් තමයි මේක.

මේ අන්තවාදයට ඉඩ නොදෙන්න ඉස්ලාම් ධර්මය අදහන අයට ලොකු යුතුකමක් තියෙනවා. තමන්ව අතකොලූවක් නොවෙන්න පාවිච්චි නොවෙන්න ඒ අයට වගකීමක් තියෙනවා. මම ඒ නායකත්වයට කියනවා අපි ඔබව තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේකට රැවටෙන තරුණ තරුණියන්ව නොමග යැවිමට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා.

(නිමල කොඩිතුවක්කු)

නිවසේ පැවති සාදය

නිවසේ පැවති සාදයක දී පදමට ගැසූ හාම්පුතා, මත්පැන් බඳුන්වල ඉතිරි වී තිබූ මත්පැන් එකතු කොට නිවසේ සිටි සුරතල් සුනඛයාට පෙවීම නිසා වෙරි වූ සුනඛයා හාම්පුතා ද සමග නිවසේ තැන තැන හරි හරියට වමනය දමමින් යකා නටන්නට පටන්ගැනීම නිසා අපහසුතාවට පත් නිවැසි කාන්තාව සිය දරු පැටවුන් ද සමග නිවෙසින් පිටව යෑමේ පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය ඔහු රජයේ ආයතනයක සේවකයෙකි

සිය දියණියගේ මල්වර මංගල්‍යය නිමිත්තෙන් සාදයක් සූදානම් කළ ඔහු තම කාර්යාලයේ පිරිසට ද හිතමිතුරන්ට ද ආරාධනා කරන්නට කටයුතු කළේ සතුට බෙදා හදා ගැනීම අරමුණු කර ගනිමිනි. ඒ වෙනුවෙන්ම බැංකු ණයක් ලබාගත් හෙතෙම පැමිණි පිරිස් වෙනුවෙන් ආහාරපාන මෙන්ම මත්පැන් ද අඩුවක් නැතුව සූදානම් කරන්නට වග බලා ගත්තේ කාගෙන්වත් වචනයක් අසන්නට ඉඩ නොතබමිනි.

දිවා කාලයේ ආරම්භ වූ සාදය මැදියම් රාත්‍රිය දක්වාම පැවැත්විණි. නිවසේ දහසකුත් වැඩ රාජකාරි යෙදී තිබුණද තම සැමියා මිතුරන් සමග එක්වී දිගින් දිගටම මත්පැන් පානය කිරීම නිසා නිවැසි කාන්තාව සිය සැමියා පිළිබඳ පසුවූයේ දැඩි කෝපයෙනි. මැදියම් රැය ආසන්න වෙමින් තිබිණි.

සාදයට පැමිණි මිතුරන් බොහෝ දෙනෙකු තෑගිබෝග ලබාදී නිවෙසින් පිටවූ අතර ඉතිරි වූ කීපදෙනා සමග සැමියා සාදය අඛණ්ඩව කරගෙන ගියේ මත්පැන් පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි ගිජුකම නිසාවෙනි.

ඒ අතරතුර මිතුරන් කීපදෙනෙකු පානය කිරීමෙන් පසු ඉතිරි කර තිබූ මත්පැන් බඳුන් කීපයක වූ මත්පැන් එක වීදුරුවකට එකතු කළ හෙතෙම ඔවුන් අසල ගැවසෙමින් සිටි සුනඛයා අල්ලාගෙන උගේ මුව තුළට මත්පැන් වීදුරුව වක් කරන ලද්දේ සිය මිතුරන් ද සිනහ සයුරේ ගිල්වමිනි.

සාදයට පැමිණි ඉතිරි මිතුරන් කීපදෙනා ද නිවෙසින් පිටව ගිය අතර නිවස තුළ ඉතුරු වූයේ පදමට වෙරි වූ නිවැසියාත් ඔහුගේ බිරිය ඇතුළු දරු පිරිසත් සුනඛ සුරතලාත් පමණි.

මොහොතක් ගතවෙද්දී සුනඛයා නිවස පුරා දුවමින් තැන තැන වමනය දමන්නට පටන් ගත් අතර ඊට නොදෙවෙනි වූ හාම්පුතා ද වැතිර සිටි ස්ථානයේම වමනය දමන්නට වූයේ සිය බිරිඳගේ රතු කට්ට ද ඉක්මවා යමිනි.

නිදා ගැනීමට සකස් කර තිබූ ඇඳන්වල මෙන්ම සාලයේ වූ අලුත්ම සැටියේ ද සාලයේ හා මුළුතැන්ගෙයි තැන් කීපයක ද වෙරි වූ සුනඛයා වමනය දමා විනාශ කර තිබුණි.

සිදුවීමෙන් දැඩි ලෙස කෝපාවිෂ්ට වූ නිවැසි කාන්තාව වැඩිවියට පත් වූ සිය දියණිය ද, බාල දරුවා ද රැගෙන කුලියට ගත් ත්‍රීවීල් රථයකින් මහ රෑම නිවෙසින් පිටව ගියේ නිවෙස පිරිසුදු කර දැනුම් දෙන තුරු යළි නිවසට අඩිය නොතබන බව අවසිහියෙන් සිටි සැමියාට පවසමිනි.

දින කීපයක් තිස්සේ නිවාඩු දමා නිවෙස පිරිසුදු කළ හෙතෙම උරණ වී නිවෙසින් බැහැරව සිය මව්පියන් වෙත ගොස් සිටි සිය බිරිඳ යළි කැඳවාගෙන ආවේ කිසිදිනක යළිත් මත්පැන් පානය නොකරන බව සිය දියණියට මෙන්ම බිරියට ද පවසමිනි.

සීගිරිය බංකොලොත්

පසුගියදා රට තුළ පුපුරා ගිය බෝම්බ සිද්ධියත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට ද දැඩි ප්‍රහාරයක් එල්ල විණි.

මෙම ප්‍රහාරයත් සමඟ කිසිදා නොදුටු දසුන් රැසක් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වී තිබූ සීගිරිය, දඹුල්ල, හබරණ, මින්නේරිය ආදී ප්‍රදේශවලින් දැකගැනීමට මේ දිනවල හැකි වී තිබේ.

එනම් එම ප්‍රදේශවල ජනතාවගේ සම්පූර්ණ ජීවිකාව ලෙස ක්‍රියාත්මක වූයේ සංචාරක කර්මාන්තය වීම නිසාවෙනි. දෙස් විදෙස් සංචාරකයන්ගේ නොපැමිණීම හේතුවෙන් සීගිරිය දැඩි පාළුවට ගොස් අඩුම තරමේ මිනිස් පුළුටක් නොදකින තරමට පාළුවට යන අවස්ථා ද මේ දිනවල ඕනෑ තරම් සීගිරියේ දී දැකගැනීමට හැකි වීම විශේෂත්වයකි.
සංචාරක මඟපෙන්වන්නන්, ත්‍රීරෝද රථ පදවන්නන් දෙස් විදෙස් සංචාරකයන්ට විවිධ පහසුකම් ලබාදී ජීවත්වන අය සීගිරිගල පහළින් කුඩා ගල් කැට තබාගෙන එහි වාඩිවී කාඩ් සෙල්ලම් කරන අයුරු ද සීගිරියේ ගිය අපට දැකගැනීමට හැකියාව ලැබිණි.

එමෙන්ම හබරණ, දඹුල්ල ආදී ප්‍රදේශවල බොහෝ දෙනා කරත්ත, සෆාරි මඟින් සංචාරකයන් පිනවා මුදල් උපයා ගත්තු අලි කරපිට විදේශිකයන් තබා අලි සෆාරි ක්‍රමවේදයද හබරණ ප්‍රදේශයෙන් ආරම්භ වී සීගිරිය දඹුල්ල ආදී ප්‍රදේශවල ද ව්‍යාප්ත වී තිබිණි. එහෙත් මේ දිනවල බෝම්බ පුපුරා යෑම හේතුවෙන් අලින්ට සහ කරත්ත පදින ගොන්නුන්ට විශාල වාසියක්ව ඇත්තේ කිසිදු වැඩක් නොකර ආහාර වතුර ලබාගෙන නිදහසේ සිටීමට හැකිවීම පමණි.

ඓතිහාසික රංගිරි දඹුල්ල විදෙස් සංචාරකයන්ගෙන් නිතර ගහනය වූ ස්ථානයකි. එහෙත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද දඹුල්ලේ දැක ගැනීමටවත් නොමැත. එම ස්ථාන ද දැඩි පාළුවට ගොස් අඩුම තරමේ ප්‍රදේශයේ ස්වයං රැකියාවන්හි නිරතව ඉන්න අයට පවා මෙය තදින්ම බලපා තිබීම විශේෂත්වයකි.

හබරණ නගරයේ බොහෝ දෙනෙකුගේ ජීවිකාව වූයේ විදේශිකයන්ට කාමර පහසුකම් ලබාදීම, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, කවුඩුල්ල මින්නේරිය ජාතික උද්‍යානයේ සංචාරකයන්ට වන අලින් පෙන්වීම ආදී රැකියාවන් වේ. එහෙත් මේ දිනවල ඒ සියලු දෙනාටම සිදුව ඇත්තේ බෝම්බ පිපිරී මියගිය අය මෙන් හඬා වැටීම පමණි.

සංස්කෘතික සංචාරක හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී මෙසේ සඳහන් කළේය.

“සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් දියුණු වෙමින් පැවතුණා. පොඩිවට තිබුණු සංචාරක පහසුකම් සපයන ස්ථාන සියල්ල නවීකරණය වුණා. සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වෙන විවිධ ක්‍රියාකාරකම් මේ ප්‍රදේශවල ව්‍යාප්ත වුණා. ඒ සියල්ල සිදුවේගෙන එන අතර තමයි මේ මහා අපරාධය සිදු වුණේ.

අද​ ​ෙවනවිට දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, හබරණ ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩපණ නෙවෙයි මැරිලාම යන තරමට පත්වෙලා. මේ පිළිබඳව අවස්ථා ගණනාවක ජනාධිපතිතුමා සමඟ සහ සංචාරක බලධාරීන් සමඟ අපි සාකච්ඡා කළා. යෝජනා අදහස් ඉදිරිපත් කළා. සමහර විට ඒවා ක්‍රියාත්මක වෙයි. ඒත් නැවත මේ තත්ත්වය සුවපත් වෙන්න කොපමණ කාලයක් ගත වෙයිද කියලා අපට හිතාගන්න අපහසුයි.

බොහෝ තරු පන්ති සංචාරක හෝටල්වල අද එක කාමරයක් වත් දෙන්න බැරි තත්ත්වෙට පත්වෙලා. හැබැයි සේවකයෝ විශාල පිරිසක් මේකෙන් අතරමං වෙලා ඉන්නේ. සංචාරක කර්මාන්තයට සේවකයන් බඳවගන්න අපි විශාල කැපකිරීමක් කළා. හෝටල් පාසල් ආරම්භ කරලා පෞද්ගලිකව සංචාරක හෝටල්වලට තරුණියන් ගිහිල්ලා පෙන්නලා ආදී විවිධ ක්‍රියාකාරකම් කරල තමයි සේවක පිරිස හදාගත්තේ. අද ඒ අයට රැකියාව පවා අහිමි වෙන තත්ත්වයට පත්වෙලා.”

මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත මහතා.

“අපි හීනෙකින්වත් හිතුවේ නෑ මෙවැනි ප්‍රහාරයක්. යුද්ධය පැවති කාලයේවත් සීගිරිය මේ තරම් පාළුවට ගියේ නෑ. අද සිද්ධවෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට සීගිරියට දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම බරපතළ ලෙස අඩු වෙලා. පසුගිය වසර ගත්තහම එක දවසකට විදේශීය සංචාරකයන් දෙදහසක් පමණ සීගිරිය නරඹන්න එනවා. මේ දවස්වල එක දවසකට 25ත් 50ත් අතර ප්‍රමාණයක් තමයි පැමිණෙන්නේ.

ඒ වගේම තමයි දේශීය සංචාරකයන් වෙනත් වසරවල දවසකට 2000කට වැඩිය එනවා. දේශීය සංචාරකයන් දැන් එන්නෙ 50ක් 75 ක් වගේ පිරිසක්. මේ තත්ත්වය ඉතාමත් බරපතළයි. මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ පවා විශාල වශයෙන් කලකිරිලා ඉන්නේ. මොකද ඒ අයගේ රැකියා පවා ලොකු අවදානම් තත්ත්වයක තමයි තියෙන්නේ. මොකද සංචාරකයන් ආවෙ නැති වුණාට මේවා නඩත්තු කිරීම්, පවත්වාගෙන යෑම, සංරක්ෂණ කටයුතු සියල්ල සිද්ධ කරන්න ඕන. ඊට වඩා බරපතළම ප්‍රශ්නය තමයි සංචාරක කර්මාන්තයෙන් මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වුණා. ඒ යමක් විකුණල. අද ඒ අයට තමයි බරපතළම ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා කඩිනමින් මේක විසඳාගත යුතුයි කියලා අපි යෝජනා කරනවා.”

දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලයේ කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා,

“කණ්ඩලම හෝටලයට පමණක් නෙවෙයි මේ ප්‍රහාරයේ බලපෑම ලංකාවේ බොහෝ හෝටල්වලට බලපාලා තියෙන්නෙ. මේ වනවිට සේවකයන්ගේ ප්‍රශ්නයට උත්තර හොයමින් ඉන්නේ. මොකද මේ වගේ ලොකු හෝටල් කළමනාකරණය කරන්න නඩත්තු කරන්න විශාල මුදලක් යනවා ඒ හා සමානව ආදායමක් ලැබෙන්නේ නැහැ මේ නොසිතූ සිද්ධියත් එක්ක. එනිසා ඉදිරියේදී රජයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. බොහෝ දුරට ආරංචි වුණා සහන ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම වුණොත් යම් මට්ටමකින් හරි මේ සංචාරක ව්‍යාපාරයේ රැඳිලා ඉන්න පුළුවන් වේවි. අපි විශ්වාසය තියාගෙන ඉන්නවා. අද වෙනවිට සීගිරිය දඹුල්ල කණ්ඩලම ආදී ප්‍රදේශවල සංචාරක හෝටල් රැසක් සේවකයන් ඉවත් කරන තැනට පත්වෙලා. ඒ වගේම තමයි පුංචි පුංචි සංචාරක නිකේතන පදිංචි නිවසේ කාමරයක් විදේශිකයන්ට ලබාදීලා ජීවත් වෙච්ච අය ඔක්කොටම වෙලා තියෙන්නේ අද බත්පතට වැලි වැටුණ වගේ සිද්ධියක්.”

එමෙන්ම සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින බොහෝ දෙනකු සමඟ අප සාකච්ඡා කිරීමේදී කියා සිටියේ සංචාරකයන්ගේ පැමිණීම කඩිනම් කළ යුතු බවත් ඒ සඳහා රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.

මීට අමතරව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම සිදුවීම පිළිබඳව සතුටට පත්වන කොටසක් ද අපට හමුවිය. එම පිරිස අපූරු කතාවක් කියමින් කියා සිටියේ සංචාරකයන් බෝම්බ ප්‍රහාරයට ලක්ව සිදු වූ විපතකට වඩා විශාල අපකීර්තියක් ඔවුන් සූරා කෑමට සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පිරිස් යොමු කරන බවය.

සුනාමි ව්‍යසනය රටේ සංවර්ධනයට හරවා ගත්තා මෙන් මෙම බෝම්බ ප්‍රහාරය ද සංචාරක කර්මාන්තයේ සිදුවෙමින් පැවති අවාසනාවන්ත සිදුවීම් ඉවත් කොට නැවත සංචාරක කර්මාන්තය නිවැරදිව ආරම්භ කිරීමට හොඳ තෝතැන්නක් බව ඔවුහු පෙන්වා දෙති.

එනම් සංචාරකයන් රැගෙන එන බොහෝ දෙනා සංචාරකයන්ට අලෙවි කරන බොහෝ භාණ්ඩවලින් අතිවිශාල අතරමැදි මුදලක් ලබාගැනීම, සංචාරක හෝටල් විශාල වශයෙන් අතරමැදියන්ගේ ගසා කෑමට ලක්වීම, විදේශිකයන් රවටා විවිධ බෙහෙත් ඖෂධ සබන් වර්ග අලෙවි කිරීම, කුරුඳු කරාබුනැටි සාදික්කා ගම්මිරිස් ආදී කුඩා පැකට් අතිවිශාල මිල ගණන් යටතේ විදේශිකයන්ට අලෙවි කිරීම තුළින් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටි බව ඔවුහු පෙන්වා දෙති.

ඇතැම් අවස්ථාවන්හිදී ඖෂධීය සබන් කැට වෙ​ෙළඳ නාමය ඉතා සූක්ෂම ලෙස ඉවත් කොට වෙනත් කඩදාසිවලින් ඔතා රුපියල් 50ක් වටිනා සබන් කැටය සංචාරකයින් රවටා රුපියල් 5000 මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද ඇතැම් කැක්කුම්වලට ආලේප කරන බාම් වර්ග අතිවිශාල මිල ගණන් යටතේ විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් ලෙස පවත්වාගෙන යෑම විදේශිකයන් සූරාකෑමට ලක්වන බව ඔවුහු පෙන්වා දෙති. සිද්ධීන් හෙළිදරව් කළහොත් තමන්ගේ සංචාරක හෝටල්වලට සහ ව්‍යාපාරවලට සංචාරකයන් රැගෙන එන අතරමැදි සංචාරක මඟපෙන්වන්නන් නොඑන බවද ඔවුහු කියති.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස

ඔබේ දරුවා

දරුවා ඉපදුණු දවසේ සිටම ඔහු වැඩිහිටි මිනිසෙකු වනතුරු දෙමාපියන් මොනතරම් කැපවීමක් කරනවාද? විශේෂයෙන්ම ශරීර වර්ධනය, අධ්‍යාපනය ලබා දීමට ගන්නා වෙහෙස ඒ අතර කැපී පෙනෙනවා. එහෙත් ඔබේ දරුවා වෙනස් නිර්මාණශීලි මිනිසෙකු කිරීමට ඔබ කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්නත් අවධානය යොමු කිරීමට වන කාරණයක් බව ඔබ මතක තබා ගත යුතුම කාරණාවක්.
දරුවාගේ ලෝකය විශාල කරන්න

බොහෝ දෙමාපියන්ට අනුව නම් දරුවන්ගේ ලෝකය හරිම කුඩා එකක්. අම්මා තාත්තා අතර දෝලනය වුණාම හොදටම ඇති කියා ඔවුන් සිතනවා. එහෙත් එය සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්. කුඩාම කාලයේ පටන් අත්දැකීම්, මිනිස්, පරිසර ඇසුර දරුවාගේ ලෝකය පුළුල් කරනවා.
දැනුම පොවන්න යන්න එපා

සමහර දෙමාපියන් පුළුවන් නම් දරුවාට දැනුම දිය කරලා පොවයි. ඔවුන් එතරම් තරඟකාරිවයි හැසිරෙන්නේ. සෞන්දර්ය වෙත දරුවාව යොමු කරවන්න. හැකි තරම් කතාන්දර දරුවාට කියා දෙන්න. ඒ ඔස්සේ චිත්‍ර රූප මවාගන්නට ඔහු සමත් වනවා.

හැකිතරම් පරිසරය සම්බන්ධ අත්දැකීම් දරුවාට ලබා දෙන්න. පින්තුර කොළ වලින් ඔබ්බේ පිහිටි සැබෑ පරිසරය අත් විඳීමට දරුවාට අවස්තාව දෙන්න.
අනෙක් දරුවන්ගේ හැකියාවන් සමහ ඔහුගේ හැකියාවන් සංසන්දනය නොකරන්න
පුංචි නමුත් ලොකු වැඩ

දරුවාගේ වයස අවුරුදු දෙකකට වැඩි නම් ඔබ නිවසේ ඉවුම් පිහුම් කරන අවස්තාවන් වලදී දරුවාටත් ඒ සඳහා අවස්තාවක් දෙන්න. එළවලු තේරීමට, වර්ග කිරීමට, පොල් කුඩු වලින් සෙල්ලම් කිරීමට හැකි හැම විටම අවස්තාව දෙන්න.

පාන්පිටි වලට විවිධ වර්ණයෙන් ෆුඩ් කලරින් මිශ්‍ර කර වර්ණවත් පිටිගුලි කිහිපයක් සාදා දරුවාට විවිධ දේවල් සැදීම සඳහා ලබා දෙන්න.

දරුවාගේ වයස් කාණ්ඩයට අනුව නිතරම පසුබිම් සංගීතයක් වාදනය කරන්නට සලස්වන්න.

අලංකාර චිත්‍ර සහිත පොත් ලබා දෙන්න. ඔහුගේ නිරික්ෂනයන්ට නිහඬව ඉඩ දෙන්න.

ඔබ කතාවක් කීමෙන් පසු දරුවාටද කතාවක් කීමට අවස්තාවක් දෙන්න. එය ඔහු හෝ ඇය ඇසු එකක් හෝ නිර්මාණයක් විය හැකි බව පවසන්න. හැකි නම් එම අවස්ථා පටිගත කරගන්න.

දරුවාගේම පැළ කිහිපයක හිමිකරුවෙකු වීමේ අවස්ථාව ඔහුට ලබා දෙන්න.

පාසල් දරුවෙකු නම් ඔහු /ඇය ඉගෙනගත් දේ ප්‍රයෝගිකව යොදා ගන්නා අවස්තාවන් පෙන්වා දෙන්න.

ක්‍රීඩාවන් සඳහා යොමු කරන්න. ඒ පිලිබඳ සියලුම දැනුම ලබා දෙන්න.

විෂයය ක්‍රියාකාරකම් එදිනෙදා දේ එදිනෙදා මතක තබා ගැනීමට හුරු කරන්න. නිතරම දැනුම ප්‍රයෝජනයට ගැනීමට දරුවාට හුරු කරවන්න.

විල් පතුලෙ නගරයක්

කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡායාරූපයට නැගීම සිදු කරයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති අති සුපැහැදිලි කැමරාවලට දකින්න ලැබේ.

2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකාව) ආජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණි. ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය බුවනෝස් අයර්ස් වෙයි. මෙම නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමිය ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති කැමරා ඡායාරූපයට නැගීය. බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි.

ඉන් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡායාරූපයට නැගුවේය. එම අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් කාගේත් නෙත ගැටුණි. විලේ ජල කඳ දෙබෑ කර ගනිමින් නටබුන් වී ගිය ‘හොල්මන් නගරයක්’ ඉහළට මතුවී පෙනෙන්න තිබුණි. චන්ද්‍රිකා ඡායාරූප අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් බව දකින්න ලැබුණි.

ඇමෙරිකන් ජාතික ආචාර්ය මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඔහු චන්ද්‍රිකා ඡායාරූප අනුව මේ ‘හොල්මන් නගරය’ ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. පැවැලෙක් හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. යුද ගැටුම් පවතින ප‍්‍රදේශයක විනාශය සිදුවන්නේ කෙසේදැයි ඔහු හොඳින් දනී. චන්ද්‍රිකා ඡායාරූප අනුව මෙම හොල්මන් නගරයේ ද දකින්න ලැබෙන්නේ එවැනි විනාශයකි.
‘මුලින්ම චන්ද්‍රිකා ඡායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡායාරූපයේ දකින්න ලැබුණේ නටබුන්වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. ඒත් මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ.

ජලයෙන් මතුවී ඇති මේ අබිරහස් නගරය ගැන දැනගන්න මට ඕනෑ වුණා.’ යැයි පැවැලෙක් කියයි. චන්ද්‍රිකා ඡායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කර ගැනීමට නොහැකි විය. හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට ඔහු සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර බලා ගියේය.

ඉන්පසු යේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි මෙම අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. පැවැලෙක් විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස්වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි.

එතැන මහ මූසල තැනක් විය. නටබුන් වුණු නගරය බලා යන මාර්ගය ද ඉරි තැලී අබලන් වී තිබුණි. අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතිරි වුණු බිත්ති මූසල පෙනුමට දකින්න ලැබුණි. නගරය මැදට යද්දී පැවැලෙක්ට සිදුවී ඇති විනාශයේ තරම හොඳහැටි පැහැදිලි විය.

චන්ද්‍රිකා ඡායාරූපයෙන් දකින්න ලැබුණාටත් වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් පැවැලෙක්ට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබේ. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි.

සතකු යැයි කීමට හැක්කේ ඉඳහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි. ඇඟ කිළිපොළා යන නිහඬතාවක් දසත රජයන මේ ගුප්ත මෙන්ම මූසල නගරයේ නම ‘එපෙක්වෙන්’ ය. මෙම නගරය මෙසේ මහා ව්‍යසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එදා මුළු නගරයම අසුරු සැණින් විලට බිලි විය.

වසර 25 කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්නා වූ හෙයින් නගරයේ නටබුන් මතුවී තිබේ. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් නටබුන් වී ගිය නගරය පුරා ඇවිද යද්දී පැවැලෙක්ට දකින්න ලැබුණි. නිවෙස්වල බිත්ති කොටස්වල, මැරුණු ගස්වල අසාමාන්‍ය සුදු පැහැ කුඩු (පවුඩර් වැනි) වර්ගයකින් වැසී තිබේ.

‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි සොයා සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප‍්‍රාදේශීය භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගී නමැත්තාය. ගීෂා ලෝන්ගී ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් පිහිටා ඇති ‘කාර්වේ’ නමැති කුඩා නගරයට පැවැලෙක් රැගෙන ගියේය. හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය මෙම ‘කාර්වේ’ නගරයයි.

ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතිඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ නමැත්තාය. නීතිඥ බාසෝ මීට වසර ගණනාවකට පෙර, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතිඥවරයා වෙයි.

විල නගරය ගිලගන්න පෙර, විලේ ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. ‘විලෙන් අමුතු විදියේ අද්භූත එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා.

ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ පැහැදිලි කරයි. විලෙන් ආ මහා ජල කඳ නගරය ගිල ගත් බව පැවැසෙන්නේ එම දීප්තිමත් ආලෝකයෙන් පසුවය. නගරය මුළුමනින්ම විනාශ කර ඇත්තේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. භූගෝලීය පෙරැළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැවැලෙක්ට වැටහිණි.

කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් ඔහු අන්දුන් කුන්දුන් විය. ආජන්ටිනාවේ සිටි පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය.

‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා.

මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැසක් ලැබී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැවැසීය.

පුදුමයට කාරණාවක් නම්, ‘එපෙක්වෙන්’ පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශි‍්‍රතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත.

‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැස් කෙරුණි. ‘මපූචි’ නමැති ස්වදේශීය ගෝති‍්‍රකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය.

‘මපූචි’ ගෝති‍්‍රකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප‍්‍රදේශයේ ජීවත්වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝති‍්‍රක කාන්තාවක සහ පිරිමියෙකි.

කාන්තාව මැදිවියේ තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝති‍්‍රකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ අසා සිටියේය.

මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැණිතම ගෝත‍්‍රයකි. ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි.

රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝති‍්‍රක කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. වැඩිදුර සොයා බලද්දී විල කරදිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා 10 ගුණයකින් ලවණතාවක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.

‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලුණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලුණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි.

නගරයේ නටබුන් සුදු කුඩුවලින් වැසී පවතින්නේ ඇයි දැයි යන්න පැහැදිලිය. එම සුදු කුඩු ලුණුය. ලවණ ප‍්‍රමාණය වැඩි නිසා මපූචි ගෝති‍්‍රකයන් විලේ වතුරේ ඇතැයි විශ්වස කරන රෝග සුව කිරීමේ බලය සම්බන්ධයෙන්ම පැහැදිලි කිරීමක් ලැබුණි. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි.

‘අපේ පැරැන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැවැලෙක්ට පැවැසුවාය.

නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝති‍්‍රකයන්ගේ විශ්වාසයයි. මේ භූතාත්මය සතුටු කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් යමක් ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා දීමක් කළ යුතු වෙයි. එසේ නොකළොත් විල ගොඩ ගලා සියල්ල විනාශ කරනවා යැයි මපූචි ගෝති‍්‍රකයෝ විශ්වාස කරති.

මිථ්‍යා විශ්වාස නොව, සැබැවින්ම සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත්වීම නොවිසඳුණු අබිරහසකි. වසර 25 කට පෙර, සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැණි ඡායාරූප ආදියෙන් සොයා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර සෙවීම ඇරැඹීය.

පැවැලෙක් ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප‍්‍රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා.

දෙපැත්තට පැද්දෙනවා. ඒ, ප‍්‍රචණ්ඩ සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් පැහැදිලි කරයි. ඒත් විලේ ජලය ප‍්‍රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත.

ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප‍්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක්ට දකින්න ලැබුණේ එවිටය. වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි.

වේල්ල ඉදි කෙරුණේ ජලය රැස් කිරීමට නොව, නගරය ආරක්ෂා කිරීමට පවුරක් ලෙසය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. නගරය යටවීමෙන් පැහැදිලි වන්නේ වේල්ල අසාර්ථක වුණු බවය. එය සිදුවූයේ කෙසේදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය.

චන්ද්‍රිකා ඡායාරූප අනුව යමින්, නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි පැවැලෙක් සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචිවෙන බව පැවැලෙක්ට අවබෝධ විය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවැතියත් එතැන අතහැර දැමූ තැනක් නොවිණි. එහි පදිංචි වී සිටියේ ‘එපෙක්වෙන්’ නගරයෙන් ඉතිරි වූ වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය.

ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය. ‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා.

වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටලුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ පැහැදිලි කළේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිදුවීමකි.

‘එපෙක්වෙන්’ නගරය වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය.

1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඩී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. අඩි 30 ක් උසට ජලය නැග ගියේය. දිවි ගලවා ගත්තේ පිහිනීමට සමත්වුණු අතලොස්සක් පමණි. නිවාසවල ඉතිරි වූයේ වහල පමණි. නගරය විලට බිලි වීම වැළැක්වීමට කළ හැකි දෙයක් ද නොතිබුණි. පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි. දැනගත් විස්තර අනුව, හටගත් ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය.

දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. සෙමින් බොහොම ක‍්‍රමාණුකූලව විල නගරය ගිලගත්තේය. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමිවී තිබේ. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළැඹීමකිනි.

මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණැයි පැවැසෙන දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. එය ලොව නොවිඳුණු අබිරහස් අතරට එක් විය.

සුදු ළුනු

සුදු ළුනු පරිභෝජනය මගින් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් නිසා ලෙඩරෝග බොහෝ ප‍්‍රමාණයකින් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.
නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා.
ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැළකී සිටීම නුවණටු හුරුයි.

සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය.

1.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්,

ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.

2.රුධිර පීඩනය අඩු පුද්ගලයන්,

සුදු ළුනු මගින් රුධිර පීඩනය පහළ දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ළුනු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.

3.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්,

ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ළුනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.

4.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්,

සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක‍්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.

5.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්,

ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වළකින්න.

6.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්,

ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ළුනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.
(සැ.යු – වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි)