කොහොමද මෙයා කරපු වැඩ

පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පදක්කම් දකුණු පැත්තෙ තියෙන්නෙ පළදනා. පදක්කම් කියන්නෙ යුද්දයකදී ලබා ගන්න ජයග්‍රහණ හා යුද මෙහෙයුම් වලට සහාභාගී වීම් සදහා දෙන පද්දක්කම්. ඔය වම් පැත්තෙ උඩම තියෙන පදක්කම වීරෝදරා විභූෂන පදක්කම ඒ පදක්කම යුද්දයකදී ඉහලින්ම දෙන පදක්කම් වලින් එකක්.. ඊ ලගට තියෙන්නෙ රණ වික්‍රම පදක්කම් ඒක ත් යුද්දකදී පෙන්නපු උපරිම දක්ෂතා සදහා දෙන පදක්කමක් මෙතන එක පදක්කමට වඩා ඔහුට තියෙනවා, ඊලගට තියෙන්නෙ රණසූර පදක්කම එකත් යුද්දකදී පෙන්න දක්ෂතා සදහා දෙන පදක්කමක් ඊලගට තියෙන්නෙ යුද්දයකදී අබාධයකට ලක්වීම නිසා ලැබෙන පදක්කමක්.. අන්තිමට කියපු පදක්කම් දෙක හමුදාවන් තුල සුලභව දකින්න පුලුවන් උනත් ඉහලින් කී පදක්කම් ඉතා දුර්ලභයි…අනෙක් පදක්කම් සියල්ල මෙහෙයුම් කටයුතු වලට ලභාදෙන පදක්කම්..

තමන්ගෙ දුවට පුතාට මෙ පදක්කම් පලදින්න පුලුවන් කියලා මම අහලා තියෙනවා පපුවෙ දකුනු පැත්තෙ.. එත් එහෙම කෙනෙක් මෙ වෙනකම් දැකලා නෑ. තවද අධිකරණ විත්ති කූඩුවට නගින්නෙ නැතුව නඩු අහන්න පුලුවන් කියා ද අසාඇත දැක නැත.. පපුවෙ දකුණු පැත්තෙ තියේන්නෙ හමුදාවක් තුල කරනු ලබන විශේෂ වූ පුහුනු වීම සදහ ලැබෙන පලදනා උදා- පැරශුට්. බෙරෙට් කැප් එකෙ තියෙන batch එකෙන් කියන්නෙ SF, . SF එකෙ තුවාල උන හෝ මැරුන එකෙක් වත් යුද භූමියක දාල ආවා කියලා වර්තා වෙන්නෙ නෑ මම දන්න තරමින්.. ඒක SF එකෙ MSUT එකක්.(ඔවුන්ගේ තේමා පාටය කිසිවිටකත් සතුරාට යටත් නොවෙමි). කරේ තියෙන්නෙ rank එක , Rank එක Major.  Major සුරංග රනසිංහ මේ හැම දෙයක්ම පිටි පස්සෙ තියෙන්නෙ රටේ අපේ අභිමානය.

ජනප්‍රියත්වය රැක ගන්න විශාල වෙහෙසක් ගන්න ඕනා

මනීෂා චංචලා ඇයගේ නම වූවත් වැඩි දෙනා ඇය අමතන්නෙ තෙරුණි ලෙසයි. අද ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ ‘‘සිඳු’’ නාට්‍යයේ ‘‘තෙරුණි’’ නමිනි. රංගනය, ගායනය සහ නිවේදනය සඳහා දස්කම් පාන ඇයගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට  මෙලෙස එක්විය.

මේ දවස් වල මොකද වෙන්නේ?  මේ දවස්වල සිදු එකේ වැඩ කටයුතු වෙනවා. ඊට අමතරව රූපවාහිනියේ ‘අමුතු රසිකයා’ විකාශය වෙනවා. ඒ දෙකේ වැඩ කටයුතු එක්ක තමයි මේ දවස් වල කාලය ගත කරන්නේ.

‘සිදූ’ මෙගා නිර්මාණය තුළ බොහෝ කාලයක් එකම රංගන කටයුතු වල නියැලෙද්දී කම්මැලි කමක් දැනෙන්නේ නැද්ද?  එහෙම කම්මැලි කමක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒකේ කතාංගය වෙනස් වෙවී තමයි නිර්මාණය වන්නේ. හැමදාම මොකක් හරි අලුත් දෙයක් තියෙනවා. ඒ නිසා කම්මැලිකමක් දැනෙන්නේ නැහැ.

නිවේදනයට මොකද වුණේ?  ඇත්තටම දැන් නම් නිවේදන කටයුතු වලින් ඈත් වෙලයි ඉන්නේ. මේ දවස් වල ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. සිදු එකෙයි අනිත් ටෙලි නාට්‍යයෙයි වැඩ කටයුතු නිසා ටිකක් කාර්යය බහුලයි.

රංගන ජීවිතය ගැන දැන් මොකද හිතෙන්නේ?  රඟපාන්න හිතා ගෙන මම මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. මගේ ගායන පැත්ත හදා ගන්න තමයි ආවේ. ඒ වුණාට මොකක් හරි දෙයක් නිසා මට ඒ වගේ අවස්ථාවක් උදා වුණා. ගායනයට වඩා රංගනය කියන දේ සෑහෙන්න වෙනස්. අපේ කණ්ඩායමත් එක්ක, අපේ ප්‍රවීණ අයත් එක්ක ඉන්න තියෙන කාලය වැඩියි. ගොඩක් දේවල් රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න කොට ඉගෙන ගන්න පුළුවන්. එක එක චරිත හම්බවෙනවා. අපේ ජීවිතයට ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. ඉතිං ඒ දේවල් අපේ ජීවිතයටත් හොඳයි.

ඔබව කවුරු කියලා හඳුන්වනවාටද කැමති?  මට කැමැත්තක් කියලා වෙන් කරන්න බැහැ. ගායන ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍ර දෙකටම මම ගොඩක් කැමතියි. ඒ නිසා මාව මේ ක්ෂේත්‍රය දෙකෙන්ම හඳුන්වනවාට මම කැමතියි. ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයන් දෙකම සමබරව මම කරගෙන යන්නේ.

ගායන පැත්තෙන් අලුතෙන් මොකද වුණේ?  මේ අවුරුද්දේ මැද වගේ සිංදුවක් එළිදක්වන්න අදහසක් තියෙනවා. ඒ සඳහා වැඩ කරගෙන යනවා.

තරුණ කාලයේ නිදහසේ ඉන්න ඕනේ කාලේ නිදහස නැති වෙන එක ගැන දුකක් නැද්ද?  එහෙම නැහැ. කොහොමත් තරුණ කාලේ එපැයි වැඩ කරන්න. තරුණ කාලේ නිදහසේ ඉඳලා ආයේ අපිට කාලයක් නැහැ වැඩ කරන්න. අපිට ඉගෙන ගන්න හෝ ආදායම් මාර්ගයක් හදා ගන්න අපිට වයසට ගියාම බැහැනේ. ඉතිං තරුණ කාලේ මහන්සි වෙන්න තමයි අපේ අනාගතයට හොඳ කරගන්න පුළුවන් සහ අපි වයසට ගියාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අපිට මහන්සි වෙලා දෙයක් කරගෙන විවේකයක් ගැන ඒ කාලේ වෙද්දී හිතන්න පුළුවන්.

මේ කැප කිරීම හේතුවෙන් පවුලේ හිතවතුන් සමග කාලය ගත කරන එක මග හැරීම ගැන මොකද හිතෙන්නේ?  අනිවාර්යන්ම දුකයි. නමුත් මේ ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනෙම ක්ෂේත්‍රයක කැප කිරීමක් සිද්ද කරන්න ඕනේ. අවුරුදු 50ක් විතර තමයි අපිට වැඩ කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉතිං අපිට ගෙදර අයත් එක්ක ඉන්න වෙන්නේ. මේ කැප කිරීම මම වගේම අනිත් හැමෝමත් කරනවා.

අද වෙද්දී මේ ක්ෂේත්‍රයද වෘත්තීය වෙලා තියෙන්නෙ?   මේ ක්ෂේත්‍ර දෙකම මම වෘත්තීය කරගෙන නැහැ. කොහොමත් ව්‍යාපාර ක්ෂේත්‍රයට තමයි කැමති. ඉස්සරහට මම ඒ පැත්තෙන් ස්ථාවරත්වයක් හදා ගනියි. මේ දේවල් කොහොමත් බාහිරව කරලා.

ජනප්‍රියත්වයත් සමග දැනෙන් හැඟීම කොහොමද?  ඒක ඇත්තටම වාසනාවක්. සමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආදරය ලබනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. ගොඩක් පිං කරලා තියෙන්න ඇති මේ දේවල් ලැබෙන්න. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

ජනප්‍රිත්වය සහ රසික ආදරය පවත්වාගෙන යාමට ඉතාමත් වෙහෙසක් දරන්න වෙනවා නේද?  තමන්ගේ සීමාව ඇතුලේ තමන්ගේ සීමාව රැකගෙන ඉන්නවා නම් එතනින් එහාට වැරැද්දක් වෙනවා කියන්න බැහැ. අමාරුයි. මේ ආදරය ජනප්‍රියත්වය රැක ගන්න විශාල වෙහෙසක් ගන්න ඕනා. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය තුළින් හෝ වෙන වැරැද්දක් මේ දේවල් වලට හානි වෙන්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රය තුළ හෝ පෞද්ගලික ජීවිතය තුල සීමාවක් ඇතුව වැඩ කරනවා නම්, අපි ඒ සීමාව ආරක්ෂා කර ගන්නවා නම් මම හිතන්නේ නැහැ වැරැද්දක් වෙයි කියලා. ඒවගේම අපිව මිනිස්සුන්ට එපා වෙයි කියලත් මම හිතන්නේ නැහැ.

අද සමාජ මාධ්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රය තුළ නියැලෙන බොහෝ දෙනාව විවේචනය කරනවා?  රංගන ශිල්පීන් සහ ගායන ශිල්පීන් විතරක් නෙමෙයි මේ දෙයට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සු ප්‍රසිද්ධ නිසා තමයි ඒක කට කතාවක් වෙලා සමාජ මාධ්‍ය වල යන්න හේතුව. තමන් කරන දේ හරියි කියලා තමන්ට තේරෙනවා නම් එතනින් එහාට කවුරුත් කියන දේවල් විවේචනය කරන දේවල් වැඩක් වෙන්නේ නැහැ.

ගොසිප් එකක් කෙනෙක්ට කොච්චරක් දුරට බලපානවාද? ගොසිප් කියන්නේ ගනන් ගන්න තාක්කල් තමන්ට බලපානවා. ගන්නේ නැති වුණාම ඒක අදාල වෙන්නේ නැහැ.

ඔබට කලා ක්ෂේත්‍රය තුළදී හැදෙන කටකතා හේතුවෙන් ඔබේ දෙමාපියන්ට ඔබ කෙරෙහි ඇති විශ්වාසය කොහොමද?  මෙහෙමයි, මගේ පැත්තෙන් ගත්තාම මගේ අම්මා සහ අප්පච්චි දන්නවා නම් මම කවුද කියලා සහ මම දන්නවා නම් මගේ ගැන එතින්න එහාට වැඩක් වෙන්නේ නැහැ.

රංගන ශිල්පියක් හෝ ගයිකාවක් නොවුනා නම් අද ඔබ කවුරු වෙයිද? සාමාන්‍ය පෙල කරන කාලේ හිතාගෙන හිටියේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. හැබැයි ඒක වෙනස් වුණා.

ඔබ ජනප්‍රිය වීම සඳහා හැම නිර්මාණයක්ම බාර ගන්නවාද?  නැහැ. හැම නිර්මාණයක්ම බාර ගන්නේ නැහැ. මගේ සීමාව ඇතුලේ කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම බාර ගන්නේ. ඉස්සරට වෙන්නෙත් ඒ විදිහටයි.

ඔබට ලැබෙන නිර්මාණ ප්‍රමාණයද ආදරය ජනප්‍රියත්වයට හේතුව?  ලැබෙන නිර්මාණ ප්‍රමාණය නෙමෙයි ඒ දේවල් වලට හේතු වෙන්නේ. තමන් නිර්මාණයක් කරනවා නම් ඒ ඇතුලේ තමන් උපරිමයම කරනවා නම් මං හිතන්නේ මිනිස්සුන්ට මතක තියෙන්න හේතුවක්.

ඉදිරි බලාපොරොත්තු?  මගේ ව්‍යාපාරයට සම්බන්ධ කටයුතු ඉස්සරට කරගෙන යනවා. ඊට අමතරව දැනට කරන නාට්‍යය ටික කරගෙන යනවා. මගේ ඒක පුද්ගල ගීතයක් එළිදක්වන්න ඉන්නවා. ඒ ටික තමයි දැනට බලාපොරොත්තු.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප – සුමුදු හේවාපතිරණ

නුබ ආයෙමත් ඇවිත්

සර් කවුද ලේඩි කෙනෙක් ඇවිත් සර්ව මීට් වෙන්න රනුකගේ සෙකටර්ටි ටානියා එහෙම කියාගෙන ආවා. කවුද ටානි මේ වෙලාවේ . දන්නෙ නෑ සර්. මීට කලින් නම් මං දැකලා නෑ. සර් වැඩක් කියලා කියන්නද? එපා ටානි එවන්න රූම් එකට . හරි සර් . එන්න ඇතුලට රනුක ඉදියේ ෆයිල් එකක් හොයා හොයා ඒ හන්දා ආවෙ කවුද කියලා රනුක දැක්කෙ නෑ. ඔයා වාඩි වෙලා ඉන්න මිස්. සර් වැඩේ ඉවර වෙලා ඔයාට කතා කරයි එහෙම කියල ටානි රූම් එකෙන් එලියට ගියා.

පසුපසට මුහුණ හොවා සිටි රනුකට තමා ඉදිරියේ උන් රුව හදුනා ගැනීමට එතරම් වෙලාවක් ගත නොවීය. කෙසේ නම් අමතක කරන්නද ඒ වෙන කවුරුවත් නොව තමාගේ පාසල් පෙම්වතිය මනීෂාය. මනී ඔයා . ඔව් රනුක මං එයා තමා. විශ්වාස කරන්නත් බෑ නේද? ඔයා ලස්සන වෙලා . තෑන්ක්ස් රනුක . ඉතින් කියන්නකෝ බබා එක පාරටම ඇයි ඔයාට මාව මතක් වුණේ . ඇත්තටම මේකයි රනුක මං ලබන මාසේ මැරි කරනවා ඔයාට invite කරන්න ආවේ . ඒක අහපු රනුකට අහගන්න බැරි වුණා. රනුක සෙල්ලක්කාර ජීවිතයක් ගත කලේ. ඒත් කවදාවත් මනීෂාය මතකයෙන් එයාට යන්න බැරි වුණා.

කොච්චර මනීෂා බැන්නත් එයා එයාගේ ජීවිතේ හදා ගත්තේ නෑ. අවසානයේ මනීෂම එයාගේ ජීවිතෙන් ඈත් වෙලා ගියා. ඒත් මනීශා කවදාවත්ම සතුටින් ඉදියේ නෑ. අවසානයේ නිවසින් ගෙනා යෝජනාවට අකමැත්තෙන් වුණත් කැමති වෙන්න හිත හදා ගත්තේ තවදුරටත් දෙමව්පියන්ට බරක් වෙන්න බැරි හන්දා. කොහොම හරි ඒ කතාව කන වැකුණු රනුක එදායින් පස්සේ පිස්සෙක් වගේ බොන්න ගත්තා. මේ හැමදෙයක්ම මනීෂට දැන ගන්න ලැබුණා. දින සති මාස ගෙවිලා ගිහින් විවාහය දවසත් උදා වුණා. කොල්ලා එදා මගුල් ගෙදරට ගියෙත් පිස්සෙක් වගේ. තමන්ගේ අතින් එදා වුණු වැරදි ගැන කොල්ල දහස් වතාවක් පසුතැවුණා.

මනීෂගේ අත ගන්න ඉදියේ ගයාෂාන්. කොල්ලට හැමදේම කෙල්ල කියලා තිබුණේ. අවසානයේ කසාදය ලියාපදිංචි කරන නැකතත් උදා වුණා. රනුකට මේ දේවල් බලන් ඉන්න බෑ.ඇස් වලින් කදුලු හෝ ගාලා වැටෙනවා. මේ හැමදේම මනීශා දැක්කා.කෙල්ලට දුවන්න හිතයි ඒත් අම්මාගේ ගරුත්වය ගැන හිතලා කෙල්ල ඉදියා. පොඩ්ඩක් ඉන්න එහෙම කියපු ගයාෂාන් විවාහය පොඩ්ඩක් ප්‍රමාද කර ගත්තා. මං මනීශා ට ගොඩක් ආදරෙයි ඒත් මනීෂගේ ජීවිතේ ඉන්නෙ මං නෙමෙයි රනුක.මචං එන්න ඇවිත් උබේ ජීවිතය භාර ගන්න එහෙම කියලා ගයාෂාන් රනුකවයි මනීෂවයි එකතු කරලා කසාදයේ සාක්‍ෂිකරු විදියට අත්සන් කලා.

අවුරුදු දෙකකට පසු . තාත්ති කවුද ඇවිත් . කවුද සුදූ . දන්නෙ නෑ මහත්තයෝ . යමු බලන්න . අඩේ මචං ගයාෂාන් වරෙන් වරෙන් . අම්මෝ කොල්ල ලොකු වෙලානි . මොකෝ හදිසියේ අපිව මතක් වෙලා . මං ලබන මාසේ මැරි කරනවා. ඒකට invite කරන්න ආවේ . අපේ නොකිවුවත් එනවා නේද බබා ..ඒකනී….

මගේ ගෙදර තියෙන්නේ ආදරය විතරයි

‘ඔවුන් අප සමග එකට හඬා වැලපුණහ අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත… අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුනුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස්වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සේගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු…! මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි නමුත් අපි එකතු වී අපේ නිවෙස්වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුළු රටම එක වෙසක් කලාපයක් කරමු’ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා සිය මුහුණුපොතේ දැමූ ඒ සටහන බෞද්ධ සිත් මත සහෝදරත්වයේ සිසිලස ගැල්වීය. ඒ හෘදයාංගම සටහනට නිමිති වූයේ මොනවාදැයි අපි නලීන් පෙරේරාගෙන් ඇසුවෙමු.

ඔහු දීර්ඝ පිළිතුරක් දුන්නේය. එහි සෑම ජාතියකටම, සෑම ආගමකටම සිතන්නට බොහෝ දේ ගැබ් විය. එනිසා ඒ පිළිතුර එලෙසින්ම මෙසේ සටහන් කරන්නෙමු. මම කලාකරුවෙක්. මාව මෙතැනට ඔසවා තබන්නට ජාති ආගම් භේදයක් නැතිව මට අත්පුඩි ගහල තියෙනවා. මම කොළඹ එන්නේ කටුවාපිටිය පල්ලිය පාරෙන්. ඒ එද්දි මාව දැකලා ‘නලීන් අයියා’ කියලා අතවනලා කෑ ගහපු අය අද මට පේන්නත් නැහැ. ඔවුන් අද මේ ලෝකෙත් නෑ. සමහර ගෙවල් වහපු විදිහට ඒ විදිහටම තියෙනවා. මොකද පවුල් පිටින්ම මියගිහින්. ඒ දුක වේදනාව අපේ හදවත්වලින් ඈත් වෙන්නේ නැහැ. සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. මට මෙතැනදි බෞද්ධ ජනතාවගෙ හැසිරීම හරහා, සහෝදරත්වය හරහා මම ඒක දැක්කා. අපි මේ රිදී රේඛාව මෙතැනදිම ලස්සනට මතුකරගන්න ඕනා. මම හිතනවා මේ සිද්ධියෙදි පල්ලි ඇතුළෙ ඉඳලා මැරුණු කිසිම කෙනෙක්ට දුක් වෙන්න දෙයක් නැහැ. ඔවුන් එක පයින්ම ස්වර්ගයේ. ඒ අය මේ ජීවිතේ අරගෙන ඒ විදිහටම ස්වර්ගයට ගියා හා සමානවයි මම දකින්නේ. ඒ සිද්ධිය හරහා ඔවුන් අපට දීපු පණිවුඩය ජාති ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව අපට එකතුවෙන්න කියන එකයි.

අපි මෙය සුබවාදීව ගනිමු. මේ මොහොතේ මේ රටේ බෞද්ධයාගේ හැසිරීම ඇත්තෙන්ම මට හිතාගන්නත් බැරි තරම්. මේ වෙලාවේ කාදිනල්තුමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා මේක ඉවසීමෙන් දරාගන්න කියලා. එය අහලා මිනිස්සු ඒ විනීත බව, ඉවසීම රැකගත්තා. පල්ලියට යන එන, කතෝලික පවුල් පරිසරයක් තියෙන උදවිය විතරක් නෙමෙයි, මේ රටේ බහුතර අයිතිවාසිකම තියෙන, මහ ජාතිය වන, සිංහල බෞද්ධයාත් කාදිනල්තුමාගේ ඒ වචනයට අවනත වුණා. ඒ දක්වපු ගෞරවය මගේ හදවතේ සදා රැඳෙනවා. ඊයේ පෙරේදා දවසක මම දැක්කා ස්වාමීන්වහන්සේලා විශාල පිරිසක් කටුවාපිටිය පල්ලියට ඇවිත් එතැන සුද්ධ පවිත්‍ර කරනවා. පල්ලිය පරිසරය පුරාම කහ සිවුරක් අතුරලා වගේ. ඒ දැකපු මගේ ඇස්වලට කඳුළු ආවා. මගෙ දෙයියනේ. මොන තරම් උත්තරීතර ආදරයක්ද මේ. කතෝලික ජනතාවට ආදරය සෙනෙහස අවශ්‍යම මොහොතක…

හොඳයි, මේ මොහොතේ මෙය සිදුනොවී තව අවුරුදු දෙකක් මේ විදිහට අපට නොදැනී මේ අන්තවාදය ඔඩු දිව්වා නම් සිංහලයාව සමූලඝාතනයක් වෙන්න ඉඩ තිබුණේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? මොකද අපි සන්නද්ධ වෙලාද හිටියේ. අපි පන්සල්වල ආයුධ තියාගත්තද? අපි කතෝලික පල්ලිවල ආයුධ තියාගත්තද? අපි ගෙදර ආයුධ තියාගත්තද? මේ රටේ බෞද්ධ, කතෝලික, හින්දු අපි සේරම ඉතාම සැහැල්ලුවෙන් හිටපු කාලයක මුස්ලිම් සමහරෙක් මේ වගේ සැලසුම් සහගතව සන්නද්ධ වුණේ ඇයි? මම මගේ ආදරණීය මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා මේ රටේ ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත්වීමට කැමති නම් මේ අනවශ්‍ය අන්තවාදයට එරෙහිව අනෙක් හැමෝටම කලින් ඔබ පෙරට එන්න. ඔබේ සමාජය ඇතුළෙන් මතුවූ විෂබීජය විනාශ කරන්න අපිට වඩා අවස්ථාව තියෙන්නේ ඔබට. ඒක අපිට වඩා ඉක්මනට දකින්නේ, දැනෙන්නේ ඔබට. වැරදි පාරෙ යන ඔබේ සහෝදරයා සහෝදරියව හරි පාරට ගන්න උත්සාහ කරන්න. දවසට පස්පාරක් ආගම අදහන ඔය තරම් භක්තිමත් පිරිසක් අතරින් මනුෂ්‍යත්වයේ පයට පෑගෙන්නවත් සුදුසු නැති තරමේ මුළාවකට වැටුණු පිරිසක් බිහිවුණේ කොහොමද කියල හොයන්න. අවංකම සිතින් ඒ කටයුත්තට පෙලඹෙන්න කියලා මම ඉල්ලනවා. මේක තමයි අපේ පාරාදීසය. ඒක මරන්න ඉඩ තියන්න එපා.

මම ජීවත්වෙන මීගමු නගරයේ පසුගිය කාලෙ පාකිස්තාන ජාතිකයෝ රංචු පිටින් ගැවසුනා. එක සිංහලයෙක් ගියේ නැහැ ඇඟිල්ල දික් කරලා ‘තොපි කව්ද?’ කියලා ඒ අයගෙන් අහන්න. ඒ අයට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන්නා. මේ තරම් සුන්දර පරිසරයකට ගිනි තියන්න දෙන්න එපා. කඩු කිණිසි වහා අකුළාගන්න. එහෙම නැතිව අන්තවාදී හැඟීම් තියෙනවා නම් මේක තමයි සුදුසුම වෙලාව ඔවුන්ට රටින් පිටවෙන්න. අරාබි ක්‍රමයට අනුව කාගෙන බීගෙන ඒ විදිහට ජීවත් වෙන්න. බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා, අනේ ඔවුනට වීසා හදල දෙන්න, මේ රටින් යන්න. ගිහින් ඔවුන්ට ඔවුන් හොයන පරිසරයේ ජීවත්වෙන්න අවස්ථාව සලසා දෙන්න. තමන් ශ්‍රී ලාංකිකයෙක්ය කියන අවංක හැඟීමෙන් යුක්තව අනෙක් ජාතීන් එක්ක සහෝදරත්වයෙන් ජීවත්වෙන්න උවමනාව තියෙන මුස්ලිම් සහෝදර සහෝදරයින් වෙනුවන් ඒ දේ කරන්න.

මගේ ගෙදර ආයුධ නැහැ. මගේ ගෙදර ආදරය විතරයි තියෙන්නෙ. මොන ජාතියෙ කෙනෙක් මගේ ගෙදරට ආවත් මම පිළිගන්නේ ඒ ආදරයෙන්. ඒ ආදරය හැමෝගෙම නිවෙස්වල තියාගන්න. හැමෝගෙම සිත්වල තියාගන්න. ඒක හරියට සූත්‍රයක් මතුරනවා වගේ, ආගම කියනවා වගේ, යාච්ඤාවක් කරනවා වගේ අපි නිතර නිතර හිත ඇතුළෙන් කියමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙනවා වගේම, අවි ගත්තෝ අවියෙන් නැසෙන බවත් දැනගෙන අපි ජීවත්වෙමු. මටත් පුළුවන් ඕනි නම් පිටරටක ජීවත් වෙන්න. නමුත් ජීවත් වෙන්න මේ රටට වඩා තැනක් මම දකින්නේ නැහැ. බෝම්බ පුපුරවාගෙන අමුතු ස්වර්ගයක් හොයා යන්න අවශ්‍ය නැහැ. අපි මේ ජීවත්වෙන රට ස්වර්ගයක්. අපි පිටරටකට ගියාම තමයි අපිට අපේ රටේ අගය දැනෙන්නේ. මේ තරම් ලස්සන රටක, මේ තරම් ලස්සනට සහයෝගයෙන් ජීවත්වෙන්න පුළුවන්කම තියෙන, මේ වගේ රටක් ලෝකෙ තව තියෙනවද?

මම මුලින්ම බෞද්ධ ආගමික ස්ථානයකට ගියේ ඉස්කෝලෙ පොඩි පංතියක අධ්‍යාපන චාරිකාවක් ගියපු වෙලාවක ඒ ගියේ දළදා මාලිගාවට. එදා මට බුදුහාමුදුරුවන්ව දැනුනා. මට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මලක් පූජාකරන්නම ඕනි වුණා. ඒ පුංචි ළමයා කාලෙම මට මේ ධර්මයේ තියෙන නිවුනු බව දැනුනා. මම ගොඩක් බණ අහන කෙනෙක්. මගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලබලා තියෙනවා බුද්ධ වචනයෙන්. ඒ තුළින් මොන තරම් සිත් එළිය කරන්න පුළුවන්ද කියන විශ්වාසය මට තියෙනවා කතෝලිකයෙක් වෙලත්. මම යුද්ධ කාලේ හමුදා සෙබළුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න උතුරට ගියහම මම කෝවිල්වලට යනවා.

ඒ ගිහින් කෝවිලේ චාරිත්‍ර විධි අනුව ඒ සියල්ල කරලා තියෙනවා. නමුත් මට ඉස්ලාම් ධර්මයේ පහස විඳින්න අවස්ථාවක් උදාවෙලා නැහැ. සැබෑ ඉස්ලාම් ධර්මය අදහන ඒ මුස්ලිම් සහෝදරයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ ධර්මය අපටත් කියාදෙන්න. අපිත් එක්ක බෙදාගන්න. ඒ ඉස්ලාම් ධර්මය පල්ලි ඇතුළෙ කූඩු කරන්න එපා. ඒ දහමේ තියෙන ආදරය සෙනෙහස අපටත් බෙදල දෙන්න. මේක තමයි හොඳම වෙලාව මේවා එළියට එන්න. මේ කියන්නේ රෑට ෂෝ එකට ගිහින් පෙරියමුල්ලේ මුස්ලිම් කඩෙන් කෑම කාලා එන කෙනෙක්. ඒ ආහාරයේ රසය විතරක් නෙමෙයි, ඒ ආගමේ රසයත් අපට දෙන්න.

ආගමක් ඇතුළෙ මොන ක්‍රමයටද දෙවියන් අදහන්නේ කියන එක අපිට අදාළ නැහැ. ඒ ආගමේ හරයෙන් මොන ක්‍රමයටද යහපත් විදිහට ජීවත්වෙන්නේ කියන එක විතරයි මට අදාළ. මේ පුංචි රටේ අපිට අපිම විතරයි. මේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවට මා කියන්නේ එළැඹෙන වෙසක් සමය බුදුරජාණන් වහන්සේ කියූ දේ ක්‍රියාවට නංවන්න හොඳම වෙලාව…. මෛත්‍රිය, කරුණාව දක්වන්න හොඳම වෙලාව….බුදුරජාණන් වහන්සේ කියා දුන් දහමේ වටිනාකම මේ රටේ සියලු අනෙක් සියලු ආගම් වෙනුවෙන් පෙන්වාදෙන්න හොඳම වෙලාව…. මගේ ගෙදර මේ වෙසක් සමය ඒ වෙනුවෙන් ආලෝකමත් වෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

කේක් කන්නේ බලාගෙනයි

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

එබැවින් කේක් අලෙවි කරන සියලු වෙළඳුන් ශීතකරණවල හෝ වියළි සිසිල් ස්ථානවල ගබඩා කර කේක් අලෙවි කළ යුතු බව එම සංගමයේ සභාපති, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කේක් මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වීමට අමතරව
කේක්වල පිටත ස්වරූපය පිළිබඳ පාරීභෝගික ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට කේක් තබා අලවි කරන ස්ථාන දිනවල විශාල වශයෙන් දැකගත හැකි බවත්, දැඩි අව් රශ්මියට කේක් නිරාවරණය වීම හරහා එහි ප්‍රමිතිය වෙනස් විය හැකි බවත් පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳ ව්‍යාපාරිකයන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් සිදු කරන විශේෂ වැඩපිළිවෙළට අනුව මේ මස පළමුවැනිදා සිට හත්වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා මෙහයුම් 514ක් සිදුකර තිබෙන බවත්, එහිදී වෙළෙඳසැල් පන්සිය හැත්තෑඅටකට අවවාද ලබාදී තිබෙන බවත් පැවසූ ඒ මහතා, ස්ථාන 194කට නඩු පවරා තිබෙන බවත්, තවත් ස්ථාන 21කට මුද්‍රා තැබූ බවත් ප්‍රකාශ කළේය.

කේක් පිළිබඳ පැමිණිලිවලට අමතරව පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, මීට අමතරව කල් ඉකුත් වීමේ දින වෙනස් කිරිම හා පලතුරුවලට රසායනික ද්‍රව්‍ය යෙදීම පිළිබඳවද තම සංගමයට පැමිණිලි ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

නිවසේ පැවති සාදය

නිවසේ පැවති සාදයක දී පදමට ගැසූ හාම්පුතා, මත්පැන් බඳුන්වල ඉතිරි වී තිබූ මත්පැන් එකතු කොට නිවසේ සිටි සුරතල් සුනඛයාට පෙවීම නිසා වෙරි වූ සුනඛයා හාම්පුතා ද සමග නිවසේ තැන තැන හරි හරියට වමනය දමමින් යකා නටන්නට පටන්ගැනීම නිසා අපහසුතාවට පත් නිවැසි කාන්තාව සිය දරු පැටවුන් ද සමග නිවෙසින් පිටව යෑමේ පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය ඔහු රජයේ ආයතනයක සේවකයෙකි

සිය දියණියගේ මල්වර මංගල්‍යය නිමිත්තෙන් සාදයක් සූදානම් කළ ඔහු තම කාර්යාලයේ පිරිසට ද හිතමිතුරන්ට ද ආරාධනා කරන්නට කටයුතු කළේ සතුට බෙදා හදා ගැනීම අරමුණු කර ගනිමිනි. ඒ වෙනුවෙන්ම බැංකු ණයක් ලබාගත් හෙතෙම පැමිණි පිරිස් වෙනුවෙන් ආහාරපාන මෙන්ම මත්පැන් ද අඩුවක් නැතුව සූදානම් කරන්නට වග බලා ගත්තේ කාගෙන්වත් වචනයක් අසන්නට ඉඩ නොතබමිනි.

දිවා කාලයේ ආරම්භ වූ සාදය මැදියම් රාත්‍රිය දක්වාම පැවැත්විණි. නිවසේ දහසකුත් වැඩ රාජකාරි යෙදී තිබුණද තම සැමියා මිතුරන් සමග එක්වී දිගින් දිගටම මත්පැන් පානය කිරීම නිසා නිවැසි කාන්තාව සිය සැමියා පිළිබඳ පසුවූයේ දැඩි කෝපයෙනි. මැදියම් රැය ආසන්න වෙමින් තිබිණි.

සාදයට පැමිණි මිතුරන් බොහෝ දෙනෙකු තෑගිබෝග ලබාදී නිවෙසින් පිටවූ අතර ඉතිරි වූ කීපදෙනා සමග සැමියා සාදය අඛණ්ඩව කරගෙන ගියේ මත්පැන් පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි ගිජුකම නිසාවෙනි.

ඒ අතරතුර මිතුරන් කීපදෙනෙකු පානය කිරීමෙන් පසු ඉතිරි කර තිබූ මත්පැන් බඳුන් කීපයක වූ මත්පැන් එක වීදුරුවකට එකතු කළ හෙතෙම ඔවුන් අසල ගැවසෙමින් සිටි සුනඛයා අල්ලාගෙන උගේ මුව තුළට මත්පැන් වීදුරුව වක් කරන ලද්දේ සිය මිතුරන් ද සිනහ සයුරේ ගිල්වමිනි.

සාදයට පැමිණි ඉතිරි මිතුරන් කීපදෙනා ද නිවෙසින් පිටව ගිය අතර නිවස තුළ ඉතුරු වූයේ පදමට වෙරි වූ නිවැසියාත් ඔහුගේ බිරිය ඇතුළු දරු පිරිසත් සුනඛ සුරතලාත් පමණි.

මොහොතක් ගතවෙද්දී සුනඛයා නිවස පුරා දුවමින් තැන තැන වමනය දමන්නට පටන් ගත් අතර ඊට නොදෙවෙනි වූ හාම්පුතා ද වැතිර සිටි ස්ථානයේම වමනය දමන්නට වූයේ සිය බිරිඳගේ රතු කට්ට ද ඉක්මවා යමිනි.

නිදා ගැනීමට සකස් කර තිබූ ඇඳන්වල මෙන්ම සාලයේ වූ අලුත්ම සැටියේ ද සාලයේ හා මුළුතැන්ගෙයි තැන් කීපයක ද වෙරි වූ සුනඛයා වමනය දමා විනාශ කර තිබුණි.

සිදුවීමෙන් දැඩි ලෙස කෝපාවිෂ්ට වූ නිවැසි කාන්තාව වැඩිවියට පත් වූ සිය දියණිය ද, බාල දරුවා ද රැගෙන කුලියට ගත් ත්‍රීවීල් රථයකින් මහ රෑම නිවෙසින් පිටව ගියේ නිවෙස පිරිසුදු කර දැනුම් දෙන තුරු යළි නිවසට අඩිය නොතබන බව අවසිහියෙන් සිටි සැමියාට පවසමිනි.

දින කීපයක් තිස්සේ නිවාඩු දමා නිවෙස පිරිසුදු කළ හෙතෙම උරණ වී නිවෙසින් බැහැරව සිය මව්පියන් වෙත ගොස් සිටි සිය බිරිඳ යළි කැඳවාගෙන ආවේ කිසිදිනක යළිත් මත්පැන් පානය නොකරන බව සිය දියණියට මෙන්ම බිරියට ද පවසමිනි.

නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි පෙළගැස්මයි.

නිෂී මොනවද මේ දවස්වල කරන්නේ ?

ලොකු වැඩක් නම් නැහැ. මගේ ව්‍යාපාර කටයුතු එක්ක තමයි කාලය ගෙවෙන්නේ.

රඟපෑමට ආරාධනා ලැබුණේ නැතිද?

ආරාධනා නම් ලැබුණා. ඒ වුණාට මම දැන් පොඞ්ඩක් කාර්යබහුල හින්දා සමබරව සියලූම වැඩකරගෙන යන්න එපායැ. ඒක හින්දා ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.

රඟපෑමට වැඩි ඉඩක් දෙන්න අදහසක් නැතිද?

මම කොහොමත් එච්චරම ලොකු දේවල්වලට දායකවෙලා නැහැ. රඟපෑමට ගියොත් ගොඩක්ම කාලය හිරවෙන හින්දා ඒකට දෙන ඉඩකඩ අඩුයි. නිරූපණයෙන් තමයි ඉදිරියට යන්න කැමැති.

නිරූපණයටද වැඩි ඉඩක් දෙන්න සූදානම් ?

ඔව්. නිරූපණයට තමයි වැඩි ඉඩක් දෙන්න කැමැති.

නිරූපණය හින්දා තමයි නිෂීට රඟපෑමට ආරාධනා ලැබුණේ. ඒ ගැන මොකද හිතන්නේ ?

ඒ දේ ගැන මට ගොඩක් සතුටුයි. මම මුලින්ම ආවේ බ‍්‍රයිඞ්ල් මොඞ්ල් කරන්න. ඊට පස්සේ මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ඊට පස්සේ හිරු අවුරුදු කුමාරිය තරගයෙන් තෙවැනි ස්ථානය ලැබුණා. ඊට පස්සේ තමයි මට රංගනයට ආරාධනා ලැබුණේ. ඇත්තටම මේ ආපු ගමන ගැන සතුටුයි. මොඞ්ලින් හින්දා ලොකු දෙයක් ලැබුණා කියලා හිතෙනවා.

නිළියක් වෙන්න අදහසක් නැතිද?

ලොකු හීනයක් නැහැ. ආසයි. ඒ වුණාට ගොඩක්ම කැමැති බියුටීෂියන් කෙනෙක් වෙන්න තමයි.

ඇයි ඒ ?

මම ගොඩක් දක්‍ෂ ඒ පැත්තට. රඟපෑමට කලින් බියුටීෂන් පැත්තෙන් තමයි ඉදිරියට ගියේ.

නිෂීට රඟපාන්න බැහැ කියලද හිතන්නේ ?

එහෙම හිතෙන්නේ නැහැ. මට රගපාන්න පුළුවන්. මම හිතනවා මම දක්‍ෂයි කියලා. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

රඟපෑමට ලැබුණ ආරාධනා ගැන කතා කළොත්?

හිරු අවුරු කුමාරිය තරගයෙන් පස්සේ මට මුලින්ම රඟපෑමට ආරාධනා ලැබුණේ ප‍්‍රභාත් රෝෂන් අයියාගේ කවුරුන්ද නුඹ මගේ ටෙලිනාට්‍යයේ. ඊට පස්සේ සªන් රාජකරුණාගේ නීල පබළු, ටිකිරි රත්නායකගේ දෝන කතිරිනා ටෙලිනාට්‍යයේත් රඟපෑවා.

රඟපෑමට සීමාවන් තියෙනවාද?

ඔව්. රඟපෑමට විතරක් නෙමෙයි නිරූපණයටත් මගේ සීමාවන් තියෙනවා. දැනට මම කරපු චරිත සියල්ලේම පෙම්වතියගේ චරිතය තමයි රඟපෑවේ. ඊට පස්සේ ලැබුණ ආරාධනා සියල්ලම වගේ ලැබුණෙත් පෙම්වතියගේ චරිතයට.

තිරයේ වැඩිපුර නළුවන්ට තමයි පෙම්කළේ ?

ඔව්. ඔව්. පුංචි තිරයේදී මට වැඩිපුරම නළුවන්ට තමයි පෙම්කරන්න ලැබුණේ.

රඟපාන්න කැමැති චරිත තියෙනවාද?

මෙහෙණින්වහන්සේ කෙනකුගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම හිඟන්නියකගේ චරිතයක් සහ උන්මත්තක චරිතයක් කරන්නත් ආසාවක් තියෙනවා.

සිනමාවට ළඟකදී ආරාධනාවක් ලැබුණේ නැතිද?

මෑත කාලයේ නම් ආරාධනාවක් ලැබුණේ නැහැ. පසුගිය කාලයේ මට ප‍්‍රධාන චරිත නෙමෙයි සෙසු චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් ඒවා භාරගන්න බැරිවුණා මට තියෙන වැඩත් එක්ක. ළඟකදී චිත‍්‍රපටයක රඟපෑවා. ඒකත් ඉදිරියේදී තිරගත වේවි කියලා හිතනවා.

නිෂී රඟපෑ සසරේ පිපාසය ගැන කතා කළොත් ?

සසරේ පිපාසය චිත‍්‍රපටයේ මම ප‍්‍රධාන චරිතය රඟපෑවේ කාංචන කොඩිතුවක්කු අයියත් එක්ක. මම මේ චිත‍්‍රපටයේ රඟපෑ චරිතය ටිකක් වෙනස්ම චරිතයක්. කාල පරාසයන් තුනක් ඇතුළේ තමයි මේ චරිතය කරන්න ලැබුණේ. ලොකු මහන්සියක් ගන්න වුණා මේ වෙනුවෙන්.

නිෂී විලාසිතාවන්ට වැඩි කැමැත්තක් දක්වනවා නේද?

මම විලාසිතාවලට ගොඩක් කැමැති කෙනෙක්. මම ලස්සනට අදින්න කැමැතියි. මගේ ජීවිතයේ වැඩි ඉඩක් විලාසිතාවන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.

විලාසිතාවන්ට සීමාවක් තියෙනවාද?

සීමාවක් තියෙනවා. හැබැයි මට ගැලපෙනවා නම් ඒක කොටද දිගද කියලා බලන්නේ නැහැ. ඒ වුණාට මට ගැලපෙන විදිහට තමයි මම අදින්නේ. හැබැයි මම අඩනිරුවත් ඇදුම් අදින්නේ නැහැ.

නිෂී කැමැති ව්‍යාපාරික කාන්තාවක් වෙන්නද?

ඔව්. ඇත්තටම ව්‍යාපාරික කාන්තාවක් වෙන්න කැමැතියි.

නිෂී පෙම්වතියක්නේද?

ඔව්. මම පෙම්වතියක්.

පෙම්වතා ගැන විස්තර කිව්වොත් ?

මට ගැලපෙන කෙනා හමුවෙලා කියලා මම හිතනවා. එයත් එක්ක ලොකු ගමනක් යනවා. එයත් මගේ ක්‍ෂේත‍්‍රයේම කෙනෙක්. අපේ ආදර කතාවේ හංගන්න දෙයක් නැහැ. ක්‍ෂේත‍්‍රයේ අය මගේ ආදර කතාව දන්නවා.

හොරෙන්ම විවාහ ගිවිසගත්තා කියන්නේ ?

අනේ නැහැ. මම හොරෙන්ම විවාහ ගිවිසගත්තේ නැහැ. විවාහ ගිවිස ගත්තා. ඒ ගැන ක්‍ෂේත‍්‍රයේ අය දන්නවා. හංගන්න දෙයක් නැහැ. ක්‍ෂේත‍්‍රයට ආපු මුල් කාලයේ තමයි මම විවාහ ගිවිස ගත්තේ. හැහෝම අපේ ආදර කතාව දන්නවා. විවාහ උත්සවය පස්සේ ගන්නවා.

සැමියා නිසා රගපෑමට ආවා. එහෙමද?

ඔව්. එයා හින්දා තමයි මට රඟපෑමට එන්න පුළුවන් වුණේ.

එයාගෙන් මේ වැඩවලට තහංචියක් නැතිද?

නැහැ. සීමාවන් තියෙනවා. මට බලකිරීමක් නැහැ. කරන වැඩ එයත් එක්ක කතා කරලා කරනවා.

දිනේෂ් විතාන
ඡායා – කුමුදු

ජැක් මා යුං

“මට තිබුණේ දඩබ්බර ගති. මම හිතපු, කරපු කියපු දේවල්වලට කවුරුවත් කැමති වුණේ නැහැ. සමහරු මට පිස්සු කියල කිව්වා. මම අසාර්ථක මිනිහෙක් කියලා කිව්වා. හැමෝම මාව ප්‍රතික්ෂේප කළා. එහෙත් මට ඕන වුණේ කාටවත් අත දිගඇරලා අල්ලන්න බැරි තරම් දුරක් යන්න. මම හිතනවා අද මම මගේ ගමන ඇවිත් කියලා.” මෙහෙම කියන්නේ ජැක් මා නමැති චීනයේ ලොකුම පොහොසතාය.

2019 වර්ෂයේ මාර්තු මාසය අවසන්වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 39.9ක වත්කමකට හිමිකම් කියන ජැක් ලොව සාර්ථකම මිනිසුන් අතර ප්‍රමුඛයෙකි. චීනයේ පොහොසත්ම මිනිසා වන ජැක් මා චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරියකු වීම ද විශේෂත්වයකි.

ජැක් මා යුං යනු චීනයේ අන්තර්ජාලයේ මහා දැවැන්තයාය. එක් දිනක් හෝ අන්තර්ජාලයේ සැරිසරා ඇත්නම්, අන්තර්ජාලයේ මොනයම් හෝ දෙයක් ඔබ සොයා ඇත්නම් ජැක් මා විසින් නිර්මාණය කළ අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යාපාරය වූ අලිබබා සමාගමේ නාමය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇතුවාට සැකයක් නැහැ.

අලිබබා Alibaba යනු අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සකස් කරන ලද සමාගමකි. ලෝකය පුරාම ප්‍රසිද්ධ මේ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන්නේ ජැක් මා යුං ය. ජැක් මා අද ලෝකයේ සිටින විශාලතම ධනවතෙක්. නමුත් ඔහුගේ ජීවිතය ආරම්භයේදී සුන්දර යහනාවක් බවට පත්ව නොතිබීම විශේෂත්වයක්. තමන් ජීවත් වූ සමාජයම තමන් ප්‍රතික්ෂේප කරද්දී ජැක් මා තම උත්සාහයෙන් ලෝකයටම අත්‍යාවශ්‍ය පුද්ගලයකු බවට පත්වූ ආකාරය අපූරුයි. ඔහු මේ වනවිට ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව අවසන්.
1964 සැප්තැම්බර් 10 වැනි දින චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ සාමාන්‍ය පවුලක උපත ලබන ඔහුගේ මුල් නම වන්නේ මා යුං ඒ.කේ.ඒ. යන්නයි. කැතී ෂෑං යිං සමඟ විවාහ වී සිටින ඔහුට දරුවන් තිදෙනෙකි. පවුලේ වැඩිමලා වූ මා හට සහෝදරියන් දෙදෙනෙකි. ඔහුගේ මවත් පියාත් සම්ප්‍රදායික සංගීතඥයන්. මේ නිසාම කුඩා කල සිටම ඔහුට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ විශාල ආර්ථික දුෂ්කරතාවකට.

අධ්‍යාපනය සඳහා එතරම් දක්ෂතා නොපෙන්වූ ඔහු පාසලේ පළමු වසරේදීම දෙවරක් අසමත් වීම විශේෂත්වයකි. ද්විතීක විභාගය ද ඔහු තුන්වරක් අසමත්ව ඇත. එහෙත් ඔහුගේ ආශාව බවට පත්ව තිබුණේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම. චීනයේදී මේ සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවුණු නිසා ඔහු භාවිත කළේ තමන්ටම ආවේණික ක්‍රමයක්.
1972 වර්ෂයේදී ඇමෙරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් හොන්ෂු ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණීමෙන් අනතුරුව මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය වීම ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට රුකුලක් වී තිබිණි.

මා දිනපතා උදෑසන මගේ පාපැදියෙන් උද්‍යානයට ගොස් විදෙස් සංචාරකයන් නොමිලයේම මගේ පාපැදියෙන් සංචාරය සඳහා රැගෙන යාමට පුරුදුව සිටියා. මේ යන ගමනේදී තමන් දන්නා ලෙස ඔවුන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කිරීම පුරුද්දක් වී තිබුණා. මේ අතර හමුවූ එක් විදෙස් කාන්තාවක් මට ‘ජැක්’ යන නම පටබැන්දාය.
මා යුන් නම් ගැටයා ‘ජැක් මා’ වූයේ ඒ ආකාරයෙනි.

අසීරුවෙන් වරින් වර අසමත් වෙමින් සිය පාසල් අධ්‍යාපනය අවසන් කළ ජැක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කළේය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැත. වරින් වර දසවතාවක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන අවස්ථා ඉල්ලා සිටිය ද ඔහු ගැන කිසිදු තැකීමක් නොකෙරිණි. අවසානයේ ඔහු හොංෂු හි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සමත් වූයේය.

එහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබාගන්නා ජැක් මා රැකියාවක් සඳහා උත්සාහ කරන්නට විය.

ජැක් මා පවසන්නේ තමන් රැකියා 30කට පමණ ඉල්ලු කළ ද ඒ සියලුම ස්ථානවලින් තමන් ප්‍රතික්ෂේප වූ බවයි. වරක් KFC ආයතනයේ රැකියාවකට ඉල්ලු කළ අතර එහිදී ඔහු සමඟ තවත් 24 දෙනකු රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට ගොස් තිබේ. එ් අතරින් 23 දෙනකු තෝරාගෙන ඇති අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා වූයේ ජැක් මා ය.
පසුව පොලිස් සේවයට ඉල්ලුම් කරන ඔහු පස්දෙනකු සමඟ අදාළ පරීක්ෂණයට ගිය විට අනෙක් සිව් දෙනාම පොලිස් සේවයට බඳවා ගත්ත ද ජැක් මා ප්‍රතික්ෂේප වූයේය.
අවසානයේ ඔහුට පිහිටට එන්නේ දැඩි උත්සාහයෙන් හා අසීරුවෙන් ඔහු විසින් ඉගෙන ගත් ඉංග්‍රීසි භාෂා දැනුමයි. ඒ හොංෂු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කිරීමේ අවස්ථාවයි. එයින් මසකට වැටුප් ලෙස ලැබුණේ ඩොලර් 12ක මුදලකි.

1995 වර්ෂයේ දී ඔහුගේ ජීවිතය වෙනස් වීමේ සංචාරයකට මග පෑදිණි. චීන ජාතිකයකු වන ජැක් මා යුං හට ඇමෙරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ භාෂා පරිවර්තකයකු ලෙසිනි. ඒ වනවිට ඔහු කිසිදිනක අසා නොතිබුණු අන්තර්ජාලය ගැන ඒ සංචාරයේ දී දැනගන්නට ලැබිණි.

“මම ඇමෙරිකාවේදී මේ අපූරු තාක්ෂණය දැක්කා. මුලින්ම හෙව්වේ Beer යන වචනය. එයට අදාළව තොරතුරු ලෝකයේ රටවල් ගණනාවකින් ලැබුණා. ඉන් පස්සේ මම China යන වචනය හෙව්වා. මේ වචනයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මට එය ගැටලුවක් වුණා. චීනය අන්තර්ජාලයට ගෙන යා යුතු බව මම තීරණය කළා.” යැයි ජැක් මා යුං පසුකලෙක කියා තිබිණි.

බිලියන ගණනක ජනගහනයක් සිටින චීනයෙන් ඒ වනවිට අන්තර්ජාලය සඳහා දායකත්වයක් නොමැති වීම ජැක්ට ගැටලුවක් වී තිබිණි. ඇමෙරිකාවේ සිටි දින කිහිපයේදී අන්තර්ජාලය පිළිබඳ හැකි තරම් අධ්‍යයනය කළ ජැක් චීනයට පැමිණ වහාම තම මිතුරන් කිහිපදෙනකු සමඟ අන්තර්ජාලය ගැන පවසා චීනයට එයින් වැඩගත හැකි ආකාරය ද කියා දෙන්නට උත්සාහ ගත්තේය.

එහෙත් මිතුරන්ගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය වූයේ ජැක් මේ පිස්සකු බවයි. තම අතීතය ගැන සතුටින් සිහිපත් කරන ජැක් පවසන්නේ “පිස්සකු වෙන එක හොඳයි මෝඩයකු වනවාට වඩා” යනුවෙන් පවසමිනි.

ඇමෙරිකාවට යද්දී පරිගණකයක් භාවිත කිරීමට හෝ හැකියාවක් නොතිබූ ජැක් මේ අන්තර්ජාලයෙන් දැවැන්ත අනාගතයක් දුටුවේය. නමුත් ඔහු පවසන්නේ එයින් ලාබ ලැබීමේ අපේක්ෂාවක් තමන්ට නොතිබූ බවයි. ඇමෙරිකාවේ දී චීනය යන වචනය අන්තර්ජාලයෙන් සොයා ගැනීමට නොහැකි වූ නිසාම චීනයට මේ පහසුකම ලබාදීම පමණක් තම අරමුණ වූ බව ඔහු පවසයි.

“ලාභ ලැබීමේ අරමුණින්ම යම් කිසිදෙයක් ආරම්භ කරනවානම් අසාර්ථක වෙන්න තිබෙන ඉඩ ගොඩක් වැඩිවෙනවා. වඩා වැදගත් වෙන්නේ අප කරන දේ අවංකවම කිරීමයි. අප කරන දේ නිවැරදි අවබෝධයකින් අවංකව සිදුකරනවානම් මුදල් අප පසුපස එනවා.”

ඒ ජැක් මා ජීවිත දර්ශනය ලෙස පවසන දෙයකි.

ජැක් මා හට පිස්සුයැයි කී මිතුරකු ඔහුට මෙම නව සිහිනය සැබෑවක් කරගැනීමට මුදලක් ණයට දීමට එකඟ වී ඇත. මිතුරන්ගේ උදව්වෙන් ඔහු “Chinapage” නමැති වෙබ් අඩවිය ආරම්භ කළේය. එහි ඔහු චීනය ගැනත් චීන නිෂ්පාදන ගැනත් සඳහන් කෙරිණි.

කාලය ක්‍රමයෙන් ගෙවී යමින් තිබිණි. වසර හතරක කාලයක් ගතවනතුරු ජැක් හට මෙයින් කිසිදු ආදායමක් ලැබුණේ නැත. එහෙත් නොපසුබට උත්සාහයෙන් ජැක් තම පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගනිමින් වෙබ් අඩවිය ප්‍රචලිත කරන්නට සමත්ව සිටියේය. මේ අතර Yahoo ආරම්භක සාමාජිකයකු වන Jerry Yang ජැක් හා සම්බන්ධවීම ඔහුගේ ව්‍යාපාරයේ පරිවර්තනයට හේතුවක් විය.

1999 වර්ෂයේදී ජැක් තම බිරිඳ සහ 18 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීමේ කාර්ය ආරම්භ කර තිබේ. අලිබබා Alibaba සමාගම ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි

“අපි මේ සමාගම ආරම්භ කළේ මම ජීවත් වූ කුඩා කුලී නිවස තුළ. අපි වැඩ කළේ, ආහාර ගත්තේ, නිදා ගත්තේ කාර්යාලය තුළමයි. එහෙත් අපි හොඳ සේවාවක් ලබාදීම ගැන හැමතිස්සේම හිතුවා.” ජැක් මා තම Alibaba සමාගමේ ආරම්භය සිහිපත් කරන්නේ ඒ ආකාරයෙනි.

ඉතා අපහසුවෙන් සොයාගත් මුදල් යොදා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් ආරම්භ කළ මේ සමාගමට 1999 වර්ෂයේ අගභාගයේ සොෆ්ට් බෑන්ක් සමාගමෙන් ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලැබෙන අතර තවත් ඩොලර් මිලියන පහක ආයෝජනයක් ගෝල්ඩන් සචේ සමාගමෙන් ලැබිණි. එතැන් සිට ජැක් මා පිස්සුවෙන් මෙන් දුටු අනාගත අන්තර්ජාල සාප්පුව සැබෑ යථාර්ථයක් බවට පත්වන්නට වූයේ අතිශය වේගයෙනි.

එහෙත් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කිරීමට චීන ජාතිකයන් බහුතරයක් අකමැති වීම ජැක් මා හට එල්ල වූ අභියෝගයක් විය. තමන්ට නුහුරු නුපුරුදු ක්‍රමයකට මුදල් ගෙවීම ගැන චීන ජාතිකයන්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැත. මේ ගැටලුවට පිළියමක් ලෙස ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දුන්නේය. බැංකුවක අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතුවල දී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අදටත් Paypal සේවාවට වඩා බහුලව භාවිත වන්නකි.

මේ සේවාවන් ද හඳුන්වාදීමත් සමඟම අලිබබා සමාගම හා එහි සේවාවන් තව තවත් ජනප්‍රිය වන්නට විය. 2003 දී ජැක් සහ කණ්ඩායම Taobao.com අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කළ අතර එයට සමගාමීව Tmall සහ AliExpress අතිරේක සේවාවන් ද ආරම්භ කර තිබේ.

ජැක් පවසන්නේ ව්‍යාපාරයකදී තම සේවාදායකයන්ට නිරන්තරවම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි. එමෙන්ම සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ද අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව පවසන හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ අවංකබව හා විනිවිධභාවය ව්‍යාපාරයක දියුණුවට අතිශය වැදගත් බවයි.

ලෝකයේ මහා ධනවතුන් අතර ඉහළින්ම වැජඹෙන ජැක් මේ වරක් ප්‍රසිද්ධ දේශනයක දී මෙසේ කියා තිබිණි.

“මට තිබෙන විශාලතම කනගාටුවක් තමයි වර්තමානයේ තරුණ ළමයින්ට බලාපොරොත්තු නැහැ. ඔවුන්ට නිවැරදි දැක්මක් නැහැ. ඔවුන් නිතරම නැති දේවල් ගැන කියමින් කනගාටුවෙනවා. දුක්වෙනවා. මමත් ඒ වගේ සියලු දේ අහිමිවීමේ මානසිකත්වයකට ඇදවැටුණු අවස්ථා තිබුණා. ඒත් මම මගේ අවස්ථාවන් හරියටම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා.

අනිත් අයට දෝෂාරෝපණය කරමින් නැති දේ ගැන වධ වෙනවානම් අපිට කවදාවත් නැගිටීමක් නැහැ. පරාජයන් හා බිඳවැටීම්වල දී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ පරාජය තුළින්ම නැගී සිටීමේ ආත්ම ධෛර්යය ඇතිකරගත යුතුයි. අද දවස අමාරුයි. හෙට ඊටත් වඩා අමාරු වේවි. නමුත් හිරු පායන්නේ හෙට නම්, ඔබ හෙට ජීවිතය අත හැරියොත් කවදාවත් ඔබට ආලෝකය දකින්න බැරි වේවි.”

ජැක් මා පවසන ඒ කතාව ලෝකය පුරාම වර්තමාන තරුණ පරපුරට මහා ආදර්ශයකි.

සජීව විජේවීර

උදාරි පෙරේරා

ශ්‍රී ලාංකීය සිනමාවේ නව පිටුවක් පෙරලූ ‘‘ප‍්‍රවේගය’ නම් සිංහල චිත‍්‍රපටියෙන් පේ‍්‍රක්ෂක ආදරයට නොඅඩුව පාත‍්‍ර වූ උදාරිගේ රුව අප සිතෙහි නොමැකෙන සේ රැඳුණේ ඇයටම ආවේණික ස්වාභාවික රූසපුව නිසාය. රිදී තිරයේදී කෙළිලොල්, ආදරණීය, විසේකාර පෙම්වතියක් ලෙසින් රඟදැක්වුවද ජීවන ගමන් මගෙහි ඇය සෙනේබර අම්මා කෙනෙකි. ගුවන් සේවිකාවක් ද ලෙසින් වෘත්තියෙහි යෙදුණු ඇය අද පූර්ණකාලීනව රංගන කටයුතුවල නිරත වේ.

මම මෙතෙක් වෙලා අටුවාටිකා ඉදිරිපත් කළ රූමතිය උදාරි පෙරේරා ලස්සනට ඉන්න රහස දැනගන්න ඕන නිසාම අපි අද ඇයව හමුවුණෙමු.

ඉතිං උදාරි කොහොමද?

හොඳින් ඉන්නවා. චූටි පුතාගේ වැඩක් එක්ක ටිකක් කාර්යබහුලයි. පුතාට දැන් වයස අවුරුදු හතරාමාරයි.

අම්මා කෙනෙක් වුණත් ඔයා තාමත් හරිම ලස්සනයි. අපිත් කැමති ඒ රහස දැනගන්න.

ම්… මම කියන්නම්. මගේ ජීවිතේ මුල්ම ගුරුවරිය වුණේ මගේ අම්මා වගේම මට රූපලාවන්‍ය ඉගැන්වූ මුල්ම ගුරුවරියත් වුණේ මගේ අම්මා. මගේ අම්මා ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලාම සෞඛ්‍යසම්පන්න, ගුණවත් හොඳම දේවල් අඩුවක් නැතුව අපට ලැබුණා.

අම්මා මම පුංචි දවස්වල නාන්න කලින් හොඳට අමුකහ උරච්චි කළා. මුළු ඇගේම ගාලා ටිකක් වෙලා තියලා නාවනවා. ටිකක් ලොකු වුණාම කොකුම්පොතු, වෙනිවැල්, සුදුහඳුන්, කස්තුරි කහ කුඩු අරං, ඒකට කිරි ටිකක් දාලා අනලා මුළු ඇගේම ගාලා නාන්න කියනවා. මේ ප‍්‍රතිකාරවලින් හමට හොඳ දීප්තියක් ලැබෙනවා. සම පැහැපත්වෙනවා. ඊට අමතරව ගෙදරදීම හදාගන්න කඩල පිටිවලට බිත්තර සුදු මදයයි කිරි ටිකකුයි, මී පැණි බිංදු කිහිපයකුයි දාලා මිශ‍්‍ර කරලා මුහුණේ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20ක් ඉඳලා හෝදනවා. මෙම සත්කාරය සුමානයකට දවසක් වගේ කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. සම එල්ලා වැටීම්, රැුළි වැටීම් ඉවත්වෙලා හමට හොඳ පෝෂණයක් ලැබෙනවා. මේ සත්කාරවලට අමතරව දැං මම ගෙදර ගේන අලිගැටපේර, ගස්ලබු වගේ පලතුරුවලින් ටිකකට මී පැණි බිංදු ටිකක් දාලා මූණේ ගාන්නත් පුරුදුවෙලා ඉන්නවා.

දෙහි ලෙල්ලක්, කෙසෙල් ලෙල්ලක් අරං කකුල්වල උඩු සමේ ආලේප කරන එකත් පුරුද්දක්. මේ ප‍්‍රතිකාරයෙන් පාදවල වියළන සම ඉවත්වෙනවා. මේවා අම්මාම කියලා දුන්න පුංචි පුංචි දේවල්. ගෙදර ඉන්න කාලේ ඉඳලා හවසට අපේ ගෙදර හවසට තේ වෙලාවට ඖෂධිය පානයක් බොන්න පුරුදු වෙලා හිටියා. රණවරා මල්, බෙලිමල්, සැවැන්දරා මුල්, නෙල්ලි රසකිඳ, කටුවැල්බටු, වගේ දේවල් අම්මා හවසට හදලා දෙනවා බොන්න. ඇඟ නිවෙන්න කියලා බාර්ලි, සව් වාගේ පාන වර්ගත් සතියකට දින දෙකක් වගේ හදනවා. බාර්ලි වතුර බොන්න අකමැති වුණාම බාර්ලි කිරිදාලා කැඳ වගේ හදලා දෙනවා බොන්න. ඊට අමතරව උදේ කාලයට තැබිලි, කුරුම්බා හරි මොනවා හරි පලතුරු ජූස් වර්ගයක් හදලා දෙනවා සීනි නොදා බොන්න. අම්මා කවදාවත් පොල් වතුර විසිකරන්නෑ ඒවා ඔක්කොම එකතු කරලා අපට බොන්න දෙනවා. පොල්වතුර හමට ගොඩක් හොඳයි. ඒ වගේමයි ශක්ති ජනක පානයක්. මේ දේවල් අදටත් මම කරනවා. ඒ වගේමයි මගේ පුංචි පුතාටත් හුරු කරලා තියෙනවා. අදටත් මාසයකට දවසක් අම්මා, ඖෂධ වර්ග කිහිපයක් මට ගෙනත් දෙනවා තම්බන් බොන්න. මේ හැම දෙයකින්ම නිරෝගිකම රැුකෙනවා. නිරෝගීව ඉන්නවා කියන්නේ අපි ඉබේම ලස්සන වෙනවා කියන එකනේ.

අම්මා වැඩිපුරම ඔබේ රූප ස්වභාවය ලස්සන කර ගන්න දේවල් කන්න බොන්න දුන්නේ කොයි කාලේදීද?

මට මතක හැටියට වැඩිවිය පැමිණුනාට පස්සෙ. ඉස්සර අම්මා මාසයට දවස් තුනක් හතරක් වගේ කොත්තමල්ලි ටිකක් කොටලා ඒකෙන් මේස හැන්දක් පිරිසිදු වතුර වීදුරුවකට දාලා රැුයක් තියලා උදෑසන බොන්න දෙනවා. මේ ප‍්‍රතිකාරය ගර්භාෂයට හරිම හිතකරයි කියලා අම්මා කියනවා. ඒ වාගේම මාසිකව ඇති වෙන වේදනාවල් පවා මෙයින් නැතිවෙනවා. ලොකු මුදලක් යන්නැති පුංචි ප‍්‍රතිකාරයක් වුණත් මේ දේවල් හරිම හිතකරයි.

කොණ්ඩය වෙනුවෙනුත් අම්මා අතින්ම සත්කාර කරන්න ඇති?

ඔව් ඔව්. නෙල්ලියි, දෙහි තව බෙහෙත් වර්ග කීපයක් දාලා අම්මා ගෙදරදිම හදපු ඖෂධිය තෙල් වර්ගයක් තමයි හිසට දාන්නේ.

ඇඟේ හැඩය තියා ගන්නත් මොනවා හරි කරනවා ඇති නේද?

ව්‍යායාම කරනවා. ඒ වාගේම ඉඩක් ලැබෙන හැම වෙලාවකම යෝග ව්‍යායාම කරන්නත් පුරුදුවෙලා ඉන්නවා. සීනි, තෙල්, පිටි භාවිතය හරිම අඩු නිසා කොහොමටත් ඇෙඟ් හැඩය ලස්සනට තියාගන්න මට පුළුවන්වෙලා තියෙනවා.

කාන්තාවක් විදිහට ඔබ විශ්වාස කරනවාද ගෙදර මව, ආදරණිය බිරිඳ ලස්සනට ඉන්න ඕනේ කියලාෙ?

අනිවාර්යෙන්ම ඔව්. දරුවන්ගේ වැඩයි, ගෙදර දොර වැඩයි, ඇතැම් වෙලාවට රාජකාරි වැඩයි මේ ඔක්කොම කරනකොට සමහර වෙලාවට ඇයට ඇය ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා. නමුත් බිරිඳක්, මවක් ගෙදරක පිළිවෙලට පිරිසිදු ව ලස්සනට ප‍්‍රියමනාපව ඉන්නවානම් ඒක ඇයට මෙන්ම මුළු ගෙදරටම ආශිර්වාදයක් නේද?

විලාසිතා තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත්ද?

ඔව්. පළමු දේ මම අම්මා කෙනෙක් කියලා හිතලයි හැමදේම කරන්නේ. රූගත කිරීමකදී අත්‍යවශ්‍යම රඟපෑම් කටයුත්තකට කොටට ඇන්දත් පෞද්ගලික ජීවිතයේදී ඇඟ නිරාවරණය වෙන ඇඳුම් අඳින්න මම පොඞ්ඩක්වත් කැමති නෑ. නමුත් මට තහංචි දාලාත් නෑ.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ හිතනවාද?

සෑම කාන්තාවක්ම ලස්සනයි. මගේ පෞද්ගලික මතය නම් කාන්තාවක් පිරිසිදුව පිළිවෙලට ඉන්න එකයි වැදගත්. මම මුලින්ම ඒ පිළිවෙල පිරිසිදුකම දැක්කේ අම්මාගෙන්. ගෙදර දොර මොනතරම් වැඩ කළත් කවදාවත් මගේ අම්මාගේ ඇෙඟ් දාඩිය ගඳක්වත් එන්නෑ. ඇය ඒ තරමටම පිරිසිදුයි. අද ඒ පුරුදු අපිත් පිළිපදිනවා.

ඔබ ලෝකයේ දුටු සුන්දර කාන්තාව කවුද?

මට දැනුම් තේරුම් දවසේ ඉඳලා මා දුටු ලස්සනම, සුන්දරම කාන්තාව මගේ අම්මා. අදටත් එහෙමමයි.

කාන්තාවකගේ සුන්දරත්වය වියැකී යන්න බලපාන කරුණු මොනවාද කියලා ද ඔබ හිතන්නේ.

පළමු දේ මානසික පීඩනය. අද ගොඩක් කාන්තාවන් කරන දෙයක් තමන්ගේ සතුට තව කෙනෙක් දෙයි කියලා බලන් ඉන්න එක. ඇයි අපි අන් අය මත යැපෙන්නේ. තමන් සතුටින් තැබීමේ මූලිකම වගකීම තියෙන්නේ තමන්ට. අනික් දේ තමයි අපි පුළුවන් හැම වෙලාවේම සතුටින්, මෛත‍්‍රිය පතුරවමින්, කිසිම කෙනෙක් ගැන පෘතග්ජන මිනිසුන් විදිහට තරහව, කේන්තිය, වාගේ හිත කිලූටු කරන දේවල් හිතට දැනුනාම අපි කොහොම හරි උත්සාහ කරලා ඒවා යටපත් කර ගන්න ඕනේ.

ක‍්‍රීම් ගාලා, සබන් වර්ග ගාලා, පෙති බීලා, ඉන්ජෙක්සන් ගහලා අපිට අපේ බාහිරින් තියෙන හම ලස්සන කර ගන්න පුළුවන්. ඒත් හිත අවපැහැවුණොත් කළුවෙලා ගියොත් අපිට ලෝකේ කිසිම දෙයක් දාලා ඒක පිරිසිදු කරන්න බැහැ. යහපත් සිතුවිලි විතරක්මයි අපිට හිත ලස්සන කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ.

අසුන්තා එදිරිසූරිය

ඡායාරූපය – සජීව ලක්ෂාන්

මිලින්ද මඩුගල්ල

මේ දිනවල ඔහු, ඔබට හමුවන්නේ දෙවෙනි ඉනිම තුළිනි. මින් පෙර ටෙලි නාට්‍යය ගණනාවකින්ම සහ චිත්‍රපට කිහිපයකින් ඔබ හමුවූ ඔහු, මිලින්ද මඩුගල්ලය.

මිලින්ද, මොකද වෙන්නේ මේ දවස්වල?

ඒක නම් ලොකු ප්‍රශ්නයක්. හැම වැඩක්ම පස්සට යන එක තමයි සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වුණ සිද්ධි එක්ක Field එකේ ගොඩක් වැඩ නැවතුණා. ඇත්තටම අපි Industry එකක් විදියට වැඩෙමින් ඉද්දි තමයි මේ ප්‍රශ්නය වුණේ. ඉන් සිදු වුණේ නැවත ආපස්ස ගිය එක.

මේ දවස්වල ඔබ ඉන්නේ ‘දෙවෙනි ඉනිමත්’ එක්ක. ඔබේ යම්කිසි තලයකට රඟපෑමක් පැමිණෙමින් සිටින විට තමයි ‘දෙවෙනි ඉනිමේ’ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. හිතෙන් නැද්ද එය ඔබට පසුගාමී තත්ත්වයක් ඇති කළා කියලා?

එහෙම නෑ. මේ තමයි මගේ පළමු දිගු නාට්‍යය. මට එහි අත්දැකීමක් ගන්න ඕන වුණා. ප්‍රශ්න නැතුව නෙවෙයි, හැබැයි පුරුදු පුහුණු වුණ නළුවෙක්ට එය බාධකයක් වෙන්නේ නැහැ. බලන්න ධර්මප්‍රිය ඩයස් අයියා සහ බිමල් අයියා. ඔවුනුත් දෙවෙනි ඉනිම ඇතුළේ ඉන්නවා. ඔවුන් දෙදෙනා ඉතා විශිෂ්ට නළුවන්. දෙවෙනි ඉනිමේ රඟපෑවා කියලා ඔවුන්ගේ රංගනයට හානියක් වුණේ නෑ.

ලංකාවේ Drama Indurstry එක කොහොමද ඔබට දැනෙන්නේ?

එක එක විදියට දැනෙනවා. මට ලැබුණ නිර්මාණ ගොඩක් වෙනස්. කොහොම වුණත් Dram කියන එක මගේ රුචිකත්වයට මට දැනෙන්නේ වෙනස් විදියකට. උදාහරණයක් විදිහට කිව්වොත් මේ දවස්වල විකාශය වන ‘සුදු ඇදගෙන කළු ඇවිදින්’ කියන Drama එක මගේ රුචිකත්වයට අනුව මම ගොඩක් කැමතියි. නමුත් සමහර ඒවට මම කැමති නැහැ. ලෝකෙට මේ වෙනස තියෙනවා. කොහොම වුණත් හැම දේම අවසානයේ දී තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. ඒ වගේම තමයි මේ දවස්වල ලංකාවේ trend එක හොඳයි කියලා මට හිතෙනවා.

ඔබේ Field එක තුළ තරුණ පරපුරේ හැසිරීම ගැන මොන විදිහේ අදහසක්ද තියෙන්නේ?

ඇත්තටම මාරම දක්ෂයෝ ඉන්නවා. ඉගෙන ගෙනද නැද්ද දන්නෙ නැහැ. කොහොම හරි දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඔවුන්ට හොඳ ඉඩකුත් තියෙනවා. නමුත් බොහෝ දෙනාගේ විනය නම් නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අය එකක දෙකක රඟපාල තමන් මාරයි කියලා හිතන් ඉන්නවා. නමුත් මතක තියාගන් ඕන ප්‍රේක්ෂකයාට අපිව මතක අපේ චරිතය විකාශය වෙනකම් විතරයි. ඊට පස්සේ අලුත් එක ආවාම ඒකෙ ජනප්‍රිය වෙන කෙනාව වැලඳ ගන්නවා. ඉතින් මේක නොදන්න සමහරු පව්.

කොහොමද මේ තුළ පැවතීමට ඔබ, ඔබේ රංගනය දියුණු කරගන්නේ?

මුලින්ම මගේ වාසනවාට බන්දුල විතානගේ සර් හම්බ වෙනවා. ඔහුගෙන් ෂේක්ස්පියර් නාට්‍යය ඉගෙන ගන්නවා. ඊට පස්සේ ධර්මිසරි බණ්ඩාර සර්ගෙ ‘ත්‍රි‘කෝණය’ නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඉන්පසු විදේශීය නාට්‍යකරුවන් යටතේ Workshop කිහිපයකට සහභාගි වනවා. අදටත් මම නිරන්තර අධ්‍යයනයේ ඉන්නවා.

ආර්ථික වශයෙන් මේ Field එකේ සිටීමෙන් සංතෘප්ත වෙන්න පුළුවන්ද? විශේෂයෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග?

මෙගා කිහිපයක එකවර වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතන විදියට ඒක නළුවෙකුට සුදුසු නැහැ. මොකද එක දිගට කරගෙන කරගෙන යද්දි ඒකාකාරී වෙනවා. ඉන්පසු රඟපෑම දුර්වල වෙනවා. නාට්‍යයවලට නිෂ්පාදක මහත්වරුන්ටත් ලැබෙන ගාණ අඩුයි. ඒ නිසා ඔවුන්ටත් රංගන ශිල්පියෙක්ට ලොකුවට ගෙවන්න බැහැ. ඒ නිසා තමයි මම තාම වෘත්තියේ නියැළෙන්නේ.

සටහන හා ඡායාරූප මිහිර බණ්ඩාර