රන්මසු උයනේ තරු දොරටුව හරා විශ්වයට ගිය මිනිසා

ඇතැම් අතීත නිමැවුම් කවදා, කුමන අරමුණින්, කවරකු විසින් ඉදිකළේද යන්න ප්‍රශ්නයට තුඩුදිය හැකි නමුත් එම නිමැවුම් මගින් නූතන ශිෂ්ටාචාරයේ නව කියෑවීම්වලට අප රැගෙන යමින් තිබේ. එවන් කතිකාවතක්‌ ගොඩනඟනා නිමැවුමක්‌ ලෙස අනුරාධපුරයේ රන්මසු උයනේ ගල් කුලක නෙළා ඇති වෘත්තයක්‌ කේන්ද්‍රකර ගත් හැඩතල එකතුව සැලකිය හැකිය. මෙම වෘත්තාකාර නිර්මාණය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ “Star Gate” නැතහොත් තරු දොරටුවක්‌ ලෙසය. මෙවැනි ව්‍යවහරක්‌ එක්‌ව ඇත්තේ කුමන පදනමක්‌ මතද යන්න මෙහිදී ප්‍රථමයෙන්ම සලකා බැලිය යුතුය. විශ්වය යනු ඉමක්‌ කොනක්‌ සොයාගත නොහැක්‌කකි. එබැවින් විශ්වයේ ස්‌ථාන දෙකක්‌ අතර ගමන් කිරීමට ඇති ඉතා ඉක්‌මන් මාර්ග “Star Gate” ලෙස හඳුන්වනු ලබයි. ග්‍රහලෝක ග්‍රහලෝක අතර ඇසිල්ලකින් ගමන් කිරීම උදෙසා භාවිත කළ දොරටු යන්න මෙහි අදහසයි.

ඇතැම් උගතුන් රන්මසු උයනේ මෙම වෘත්තාකාර නිර්මාණය “Star Gate” ලෙස හැඳින්වීම හුදු මනඃකල්පිතයක්‌ ලෙස සලකනු ලබයි. එම මතයේ සත්‍ය අසත්‍යතාව සෙවීමට හෝ එය මිථ්‍යාවක්‌ යෑයි පසකින් තැබීමට වඩා අප උත්සහ ගත යුත්තේ එවන් දොරටුවක්‌ ලෙස මෙය හැඳින්වීමට බලපෑ හේතු සාධක සහිත පසුබිම කුමක්‌ද යන්න අධ්‍යනය කිරීමටය. විශේෂයෙන්ම තාරකා දොරටු යෑයි සලකන්නා වූ ස්‌ථාන සහ සංකේත ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරයන්ගේ පුරා විද්‍යාත්මක උරුමයන් මත වැළලී ඇතැයි සලකමින් අතීතයේ විශ්වය පුරා සැරිසැරූ දොරටු ලෙස ලොව පුරා ස්‌ථාන අතළොස්‌සක්‌ නම් කිරීමට ගවේෂකයන් උත්සහ දරා තිබේ. එම විශ්ව දොරටු ගොන්නට රන්මසු උයනේ “තරු දොරටුව” ද එක්‌වීම මගින් මෙම ගෝලීය කතිකාව නව මානයක්‌ වෙත අප කැඳවාගෙන යනු ලබයි. තාරකා දොරටු, සක්‌වල දොරටු (විශ්ව දොරටුව, විශ්ව ගල, සක්‌වල ගල) පිළිබඳව අධ්‍යනය කරනු ලබන ගවේශකයන් එවන් ස්‌ථාන කිහිපයක්‌ හඳුන්වා දී තිබේ.

  1. මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දේවස්‌ථානයේ සිවිලිමක ඇති වක්‍රාකාර නිර්මාණය (ක්‍රි. ව. 50 ලෙස කාල නිර්ණය කර ඇත.)
  2. ක්‍රි. ව. 400 – 650 අතර කාලයට ගත හැකි දකුණු පේරු රාජ්‍යයේ නැස්‌කා තැනිතලාවේ කිලෝ මීටර් 80 වටා පැතිරී ඇති සිතියම.
  3. බැබිලෝනියානු ශිෂ්ටාචාරයට අයත් දකුණු දිග ඉරාකයේ වසර 3500 පමණ පුරාණ සුමේරියානු දේවාලයක්‌ වන සිප්පාර් (Sippar) හි ඇති ලෝක සිතියම නම් මැටි පුවරුව.
  4. ඉන්කා ශිෂ්ටාචාරයට අයත් ටිටිකකා විල අසල ඇති “අමාරු මුරු” නමින් හඳුන්වන ගල් පර්වතයක ඇති දොරටුවක්‌ බඳු කුහරය.
  5. බ්‍රිතාන්‍යයේ Stonehenge (ස්‌ටෝන්හෙන්ඡ්)
  6. බොලිවියාවේ සූර්ය දොරටුව.

මෙම ඉහත ස්‌ථාන අතරින් වඩාත් දැඩි අවධානය යොමුව ඇති මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දෙAවස්‌ථානයේ සිවිලිමක ඇති වක්‍රාකාර නිර්මාණය මෙන්ම කුෆු, කාෆ්රා, මෙන්කාවුරු නම් පිරමීඩ් ත්‍රිත්වය ලංකාවේ රුවන්වැලි සෑය, මිරිසවැටිය හා ෙ-තවනය යන චෛත්‍ය තුනෙහි පිහිටීම සමානව පිහිටා ඇති බවට දැක්‌වෙන මතවාද මගින් මෙම ශිෂ්ටාචාර ද්විත්වයම විශ්වය සම`ග යාවී සිටි බවට අදහස්‌ ගොඩනඟයි. මෙම ලොව පුරා ඇති තාරකා දොරටු අතරට ලංකාවේ රන්මසු උයන ද අයත්ය යන ආකල්පය ඇති වූයේ 1901 වසරේ උතුරු මැද හා මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාව සම`ගය. මෙම වාර්තා ඉදිරිපත් කරමින් H.C.P. බෙල් මහතා මෙම නිර්මාණය ලෝක සිතියමක්‌ ලෙස දක්‌වයි. මධ්‍යයේ ඇති චතුරස්‍රය ඇතුළත වෘත්ත හතක්‌ දක්‌නට ලැබෙයි. එමගින් සප්ත සාගරයද එම වෘත්ත හත මැද ඇති තිත මහාමේරු පර්වතය බවත් ඉර සහ හඳ දෙපසින්ද මත්සයින්, හක්‌ බෙල්ලන්, මුහුදු අශ්වයින්, ඉදිබුවන්, කකුළුවන් මගින් ජලජ ජීවීන්ගේ ලෝකය පිළිබඳ සඳහන් වන බවත් එතුමා පවසයි. සෘජුවම මෙම නිර්මාණය තාරකා දොරටුවක්‌ යෑයි ප්‍රකාශ නොකළ බෙල් ලෝකයේ විවිධ නිර්මාණයන් හා සසඳමින් විශ්ව සිතියමක්‌ ලෙස නම් කිරීම සම`ග විශ්වය දොරටුවක්‌ ලෙස මෙම ස්‌ථානය හැඳින්වීම සිදු කළේය.

මාටින් වික්‍රමසිංහ සූරීන්ට අනුව මහායාන තාන්ත්‍රිකයන්ගේ යන්ත්‍රයක්‌ ලෙස අදහස්‌ කරන අතර මහාචාර්ය සෙනරත් දිසානායක සූරීන් මානසික ඒකාග්‍රතාවය උදාකර ගැනීම උදෙසා නිර්මාණය කළ උපකරණයක්‌ ලෙස මෙය සලකනු ලබයි. සත්ත්ව හා ජ්‍යාමිතික රූප පනස්‌ තුනකින් යුතු මෙම දර්ශනය මගින් මනස එක්‌තැන් කිරීම අපේක්‍ෂා කර ඇති බවත් ඔහු පවසයි. විශේෂයෙන්ම පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ලියා ඇති “පනති පනශ” යන සෙල්ලිපි පාඨය හඳුනාගත් දිසානායක සූරීන් පෙන්වා දෙන්නේ චක්‍රයේ පිටතම ඇති සත්ව රූප 20 ක්‌ වෘත්ත මාධ්‍යයේ ඇති සංකේත 33 ක්‌ එක්‌වන විට 53 වන බැවින් මෙම රූප සටහන් කිසියම් අවබෝධයකින් අවශ්‍යතාවක්‌ මත නිමවා ඇති බවයි. මෙම නිර්මාණය ඉදිරියේ ගල් ආසන තුනක්‌ ඉදිකොට ඇත්තේ එම නිර්මාණය දෙස බලමින් අධ්‍යාත්මික ඒකාග්‍රතාවය සඳහා අවස්‌ථාව උදාකර ගැනීමට විය හැකි බව ද ඔහු පවසයි. අදට ද එම ස්‌ථානයෙන් එම ගල් ආසන ජීවමානව හඳුනාගත හැකිවීමෙන් ඔහුගේ අර්ථදැක්‌වීම වඩාත් ප්‍රශස්‌තම මතය ලෙස පිළිගැනීම උචිත වෙයි.

මෙම රන්මසු උයන ආශ්‍රිතව ගොඩනැඟුණු අංක 34 දරන ලෙනේ පිහිටි මෙම වෘත්තාකාර නිර්මාණය තුළ ඇති සංකේත 52 පිළිබඳව සඳහන්ව ඇති පනති පනශ යන සෙල්ලිපි පාඨයේ අක්‌ෂර ක්‍රි.පූ. 3-1 අතරට අයත් බැවින් දේවානම් පියතිස්‌ස රාජ යුගය තෙක්‌ ඇදී යයි. එසේ නම් එම යුගය තුළ මෙම රන්මසු උයන මඟුල් උයනක්‌ ලෙස රාජකීයන් උදෙසා භාවිත කළ බැවින් ආධ්‍යාත්මික අරමුණක්‌ වෙනුවෙන් මෙම නිර්මාණය නිමැවූයේ යෑයි සිතීම තුළ ප්‍රශ්නාර්ථයක්‌ මතුවෙයි. එපමණක්‌ ද නොව එම කාලසීමාවේදී මහායානික දහමේ බලපෑමක්‌ ඇති නොවූ බැවින් මෙය මහායානිකයන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිත වූ ස්‌ථානයක්‌ ලෙස සැලකීම ද ප්‍රශ්නකාරීය. නමුත් මහායාන යන්ත්‍ර අධ්‍යනය කරන විට මෙවැනි රූප සටහන් බොහෝ විට හඳුනා ගැනීමට හැකි බැවින් අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු රාජකීය කාලසීමාවේ දී මෙම ස්‌ථානය භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්‌ථානයක්‌ ලෙස යොදාගත් බවට අනුමාන කළ හැක. ඒ සඳහා කටාරම් කෙටූ ගල්ගුහා කදිම සාක්‍ෂියකි.

සමස්‌තයක්‌ ලෙස අතීතය පිළිබඳ දැවැන්ත ගුප්ත බවක්‌ අරක්‌ගත් රන්මසු උයනේ මෙම වෘත්තාකාර නිමැවුම වර්තමානයට පුළුල් කතිකාවතක්‌ ගොඩනැඟීමට වස්‌තු විෂයක්‌ සපයාදීම මගින්ම මෙම නිර්මාණය තුළ ඇති ප්‍රතිභාපූර්ණත්වය කියාපායි. තවත් අතකින් අතීතය යනු හුදු අවිද්‍යාත්මක, මිථ්‍යා පසුතලයක්‌ මතම ගොඩනැඟුණක්‌ නොව හේතුඵලවාදී ජන විඥාදායක හා ආධ්‍යාත්මික ආලෝක ධාරාවක ජීවමාන සාක්‌ෂි ගොනුවක්‌ බවට සනාථ කිරීමට “විශ්ව දොරටුව” ඉතිහාසකරුවන්ට නව කවුළුවක්‌ විවර කරදී තිබේ.