මෙයනම් පෙර පිනක් නිසා සිදු උන දෙයක්

ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණේ ඉකුත් 14 වැනිදාටය. එය අප රටට අදාළ සැමරුම් දිනයක් නොවුණත් අප රටේ ද බොහෝ දෙනා මෙම දිනය ගැන උනන්දු වෙති. විවාහ දිවිය පුරාම ආදරයෙන් බැඳී ජීවත්වී ආදරවන්තයන්ගේ දිනය දා දෙදෙනාම මිය ගිය කතාවක් අපි ඔබට කියන්නෙමු. ආදරයට, විවාහයට, පරිත්‍යාගයට, සෙනෙහසට, වයසක් හරස් නොවේ. මේ යුවළගේ කතාන්දරය තවත් එක් කතාන්දරයක් නොවේ. ටජ්මහලේ කතාන්දරය දක්වා ද මෙය ඉදිරියේ දී ලියැවෙනු ඇත. විවාහය, පවුල, පවුල් සංස්ථාව දූ දරුවන් ආදී සියල්ලම ගැන කතා කරන විට සියල්ලම රන් රස සේ කිරිත් දියරත්, ගඟත් ඔරුවත්, ගසත් පොත්තත් සේ එකට විඳ දරාගෙන එකට හිටිය මේ යුවල ලොවටම ආදර්ශයකි.

එදා පෙබරවාරි 14දාට යෙදුණ ආදරවන්තයන්ගේ දිනයයි. ගාල්ල ඌරගස්මංහන්දියේ හල්ගහවේල්ල ග්‍රාමයේදී වියපත් අඹු-සැමි යුවළ එකට අවසන් සුසුම් වාතලයට මුදාහළහ. 17 දා එකම සොහොනේ එකට භූමදාන කළේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත අනුවයි. තම සීයාගේ හා අත්තම්මාගේ කතාව මුණුපුරා වන උපුල් මුණසිංහ අපට කීවේ මෙසේය. අපේ සීයාගේ ගම ගාල්ල, ඇල්ලපිටිය ඌරගස්මහන්දිය හල්ගහවේල්ල. සීයාගේ නම පී.බී. සයිමන්. මියයන විට වයස 92ක් වුණා. රස්සාවට කළේ කුරුඳු තැළීම. අපේ ආතම්මාගේ වයස 74යි. එයාගේ නම එච්.පී. ගුණවතී. රස්සාවක් කළේ නෑ. හරියට කාන්දම් දෙකක් වාගේ සීයා ළඟින්මයි ආතම්මා හිටියේ.

එදා 14 වන දා ආතම්මාට හිටි හැටියේ අසනීප වුණා. එතරම් ලොකු අසනීපයක් නෙවෙයි. අපි ගිලන් රථයක් අරගෙන ආතම්මා ඇල්පිටිය රෝහලට ගෙන ගියා. ඒ යන කොටත් ආතම්මා මියගොස් ඇති බව වෛද්‍යවරු කීවා. ඒ සමගම සීයා ද ඒ මොහොතේම මියගොස් ඇති බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නා. සීයා ආතම්මා දෙන්නාම එකම දිනක එකම වේලාවක එකටම මියගියා. මේ කතාව අපට නම් අදහා ගන්නත් අමාරුයි. මට මතකයි එදා ආතම්මා ගිලන් රථයට නංවන විට සීයා මහා හයියෙන් කෑගැහුවා. මමත් එනවා මමත් එනවා කියලා. අපි කීවා සීයා ඉන්න අපි ආතම්මා රෝහලට අරගෙන යනවා වැඩි අමාරුවක් නෑනේ. ගියා ආවා. බෙහෙත් අරගෙන එන්නම් සීයා ඉන්න කියලා. නෑ මමත් එන්න ඕනා කිය කියා සීයා කෑ ගැහුවා. පසුව තමයි ආතම්මා සමගම සීයා ද එකවරම මිය ගිහිල්ලා ඇත්තේ. මෙම යුවළට දියණියන් 04ක් ද එක් පුතෙක් ද සිටිති.

තාත්තා අම්මා අපට හරිම ආදරෙයි. ඒ අය දරුවන්ගේ දරුවන් ද බලාගෙන සතුටින් තමයි හිටියේ. අපේ පවුලේ සහෝදර සහෝදරියන් ද දැන් වයසයි. අම්මලා තාත්තලා මැරෙනකම්ම සතුටින් සිටියේ. අම්මාට තාත්තා නැතුවම බෑ. තාත්තාටත් අම්මා නැතුවම බෑ. දෙන්නා හැම තිස්සේම හිටියේ එකට. හරියට කිරියි පැණියි වාගේ. තාත්තා කුරුඳු තළන එක තමයි රස්සාවට කළේ. අම්මා ඒවාට උපකාර කරනවා අපිට පොඩි කාලයේ ඉඳලාම මතකයි. ඒ බැඳීම මිය යන දවස දක්වාම මිය යන මොහොත දක්වාම තිබුණා. නාන්න ගියෙත් ගමන් බිමන් ගියෙත් එකට. කෑම කෑවෙත් එකට එක මේසයේම ඉඳන්. පන්සල් යන්නෙත් එකට. සිල් ගන්නෙත් එකට. එකම තැන තමයි දෙන්නා ඉඳගෙන ඉන්නේ. බෙහෙත් ගේන්න යන්නෙත් එකට. තාත්තාට මොකක් හරි අමාරුවක් තිබුණොත් මෙන්න අම්මාටත් ඒ අමාරුවම තියෙනවා.

“ලොකු දුව තාත්තාට කොන්දේ අමාරුව වාගේ මටත් ටිකක් කොන්ද රිදෙනවා වාගේ” කියා අම්මා කියනවා. ඔය අම්මා කියන්නේ බෙහෙත් ගන්න දෙන්නම එක්කරගෙන යන්න කියලානේ ඉතිං අපේ මොකෝ යන්න ලේස්ති වෙන්න කියා දෙන්නම බෙහෙත් ගන්න එක්ක යනකම් නිවනක් නෑ. අපි පුංචි කාලයෙත් අම්මා තාත්තා කිසිදා අමනාප වෙලා ඉන්නවා මම දැක්කේ නෑ. රණ්ඩුවෙලා ඉන්නවා දැක්කේ නෑ. තාත්තා අම්මට කීවේ “දරුවන්ගේ අම්මා” කියලා. අම්මා තාත්තාට කීවේ “දරුවන්ගේ තාත්තා” කියලා. කහට කෝප්පයක් බීවත් දෙන්න එකට බෙදාගෙන තමයි බොන්නේ. තරුණ කාලයේ අපි පාසල් අරගෙන ගියෙත් දෙන්නම පයින්. අපි පස් දෙනාම පාසල් අරගෙන ගියේ පයින්. දෙන්නාම පාසලටත් ආවා. අපි ගෙදර දමලා කඩේ ගියත් පොළේ ගියත් අම්මයි තාත්තයි එකට. කිසිම දවසක අම්මා හෝ තාත්තා තනියම ගමනක් බිමනක් ගිය දවසක් අපි දැකලා නෑ. දෙන්නම යන්නේ නැතිනම් ඒ ගමන නතර කරනවා. ඒ ගමන යන්නේ නෑ.

උදේ සවස බුදුන් වඳින්නේ එකට. නිදිය ගන්නේ එකම වේලාවට. අපි දරුවෝ හිටියට අපි මේ අම්මා තාත්තට උපකාරයක් කරන්න දෙන්නම ඉඩ තිබ්බේ නෑ. දෙන්නා දෙන්නාගේම වැඩ කරගෙන දෙන්නාම කටයුතු කරනවා. උයා පිහාගෙන කන දේවල්ද දෙන්නාම තමයි කළේ. අපි උදව් කරන්න හදනකොට “උඹලට පිස්සුද? උඹලාගේ දරුවන්ගේ වැඩ තියෙද්දි අපේ වැඩ කරන්න හැකිද?” අම්මා කියනවා. තාත්තා ද ඒකම කියනවා. අපි ඉතින් අමතර කෑමක් හැදුවම ගෙනත් දෙනවා. ඒක හරියටම දෙකට බෙදලා කනවා මිසක කවදාවත් තාත්තා හෝ අම්මා වැඩිපුර ගන්නේ නෑ. ඒ ඒ අයගේ හැටි.

අම්මා විවාහ වෙනකොට අවුරුදු 16යි. තාත්තට 20යි කියලා තමයි කියන්නේ. ඒ කාලයේ වයස ගණන් ගත්තේ නෑනේ. මේ නිසා අම්මා තාත්තා එකටම හිටියේ. මැරෙන දිනය මැරෙන මොහොත දක්වාම එකටම තමයි හිටියේ. දෙන්නාම කිව්වේ අපි දෙන්නා මැරුණාම එකම සොහොනක එකම වළක එකම පෙට්ටියක එකම දිනක එකම වේලාවක සිදුකරන්න කියාලා. අපි අම්මලාගේ තාත්තලාගේ කැමත්ත අනුව සියල්ලම සිදුකළා. මම හිතන්නේ සංසාර පැතුමක් වෙන්න ඕන. මේ අය එකටම මියගියේ ඒ නිසා වෙන්න හැකියි. මේ අනුව පසුගිය 17 වන දින එකම මිනී වළක එකටම එකම සොහොනක මිහිදන් කළා. සියලුම ආගමික කටයුතුද කළේ එකට. මරණ දැන්වීම ද එකම කොළයක එකම ආකාරයට එකම විදියකට තමයි සකස් කළේ යැයි දූ දරුවෝ කීහ. අපි ද මේ ආදර්ශමත් යුවළට ඒ අයගේ ආගම දහම අනුව නිවන් සුව පතමු.

සටහන හා ඡායාරූප – හබරාදූව නිමල් අල්ගෙවත්ත