දකුණේ විදියට මාළු ඇඹුල්තියල් හදන විදිය මෙන්න

මාළු ඇඹුල් තියලා ගැන මතක් කරද්දිත් කටට කෙළ උනන තරම් රස කෑමක්. ලංකාව වටේම මුහුද තිබෙන නිසාත්, මත්ස්‍ය සම්පත අපේ රටට අඩුවක් නැති නිසාත් මාළු ඇඹුල් තියල් කියන්නේ අපිට ආගන්තුක කෑමක් නෙවෙයි. සාමාන්‍ය පිළිගැනීම තමයි ලංකාවේ දකුණු පළාතේ ඉදෙන මාළු ඇඹුල් තියල් වඩාත් රසයි කියලා. ඒකට හේතුව තමයි ඒ පළාතේ ඇඹුල් තියල් හදන ක්‍රමය. ඒක නිසා අද her.lk අපි ඔබට කියලා දෙන්න යන්නේ දකුණේ ක්‍රමයට රසට මාළු ඇඹුල් තියල් සකස් කරගන්නා ආකාරය. විශේෂයෙන්ම උයන්න එහෙම එච්චර දැනුමක් නැති අපේ ගෑණු ළමයින්ට එහෙම මේක හරි ප්‍රයෝජනවත් වේවි. එහෙනම් මෙනන් මේවා තමයි අවශ්‍ය කරන දේවල්.

  • හොඳින් පිරිසිදු කර කෑලි වලට කපාගත් මාළු ග්‍රෑම් 500ක් ( කෙළවල්ලා,බලයා මාළුනම් වඩාත් හොඳයි)
  • ගොරකා ක්‍රීම් 2-3 ක්
  • ගම්මිරිස් මේස හැඳි 2 ක්
  • බැදපු මිරිස් මේස හැඳි 1 ක්
  • කහ කුඩු මේස හැඳි භාගයක්
  • සුදු ළූණු ස්වල්පයක්
  • අමු ඉඟුරු ස්වල්පයක්
  • ලුණු මේස හැඳි භාගයක්
  • කරපිංච සහ රම්පෙ ස්වල්පයක්
  • එන්සල් ස්වල්පයක්
  • පිසීම සඳහා මැටි භාජනයක් යොදාගන්නවනම් වඩාත් හොඳයි
  • ජලය

සාදන ආකාරය මෙන්න මෙහෙමයි – මුලින්ම හොඳින් පිරිසිදු කරගෙන කපාගත් මාළු කැබලි ටිකට කහ ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් ඉසින්න ඕන. ඒකට හේතුව තමයි මාළුවල ඇති පිලී ගතිය නැතිවෙන්න. සාමාන්‍යයෙන් දකුණේ කියන්නේ නම් කහ සහ ලුණු මාළුවලට අතගානවා කියන එකයි. හොඳින් මාළු කැබලිවලට කහ සහ ලුණු ඉසීම කරලා ඒවා පැත්තකින් තබන්න. ඊට පස්සේ මැටි භාජනය අරගෙන එයට ගොරකා ක්‍රීම් මේස හැඳි 2 ක් තුනක් අතර ප්‍රමාණයක් දාන්න, එයටම බැදපු මිරිස් කුණු මේස හැඳි 1, ගම්මරිස් කුඩු මේස හැඳි දෙක, කහ ස්වල්පයක්, ලුණු මේස හැඳි භාගයක් එක් කරලා හොඳින් මිශ්‍ර කරලා පේස්ට් එකක් වගේ හදාගන්න. හදාගන්න පේස්ට් එක මැටි භාජනයේ පතුලේ තුනී කරලා තියන්න.

ඊට පස්සේ ඊට උඩින් පිරිසිදු කරගත් මාළු කැබලි වෙන වෙනම අතුරන්න. එහෙම කරන්නේ ඒ මාළු කැබලි වලට හොඳින් සකස් කරගත්ත පේස්ට් එක උරාගන්න පහසු වෙන්නයි. එහෙම කරලා සුදු ළූණු, තලාගත් අමු ඉඟුරු, කරපිංච, රම්පෙ,එන්සල් එකතු කරන්න. ඊට පස්සේ මාළු කැබලි වැසෙන මට්ටමට අවශ්‍ය තරම් ජලය භාජනයට එකතු කරන්න. ඊට පස්සේ භාජනය ලිපේ තබා පියනකින් ආවරණය කරලා මද ගින්නේ පිසීම කරන්න. ඒ අතර විනාඩි කිහිපයකට වරක් පියන ඉවත් කරලා රසට ඉදෙන මාළු ඇඹුල් තියල් භාජනය අත් දෙකෙන් පරිස්සට අරගෙන ටිකක් සොලවලා, මාළු කැබලි එහෙ මෙහෙ වනේන ඉඩ දෙන්න, මේකට හැන්ද පාවිච්චි කරන්න එපා. එහෙම වුනොත් මාළු කැබලි කැඩෙන්න පුළුවන්. මෙහෙම කීප සැරයක් කරද්දි වතුර හිඳෙන මට්ටමට එනවා.

පැය භාගයකින් පමණ හොඳින් සූදානම් වුණු සුවඳ දැනෙන රසවත් මාළු ඇඹුල් තියල් මේසෙට යවන්න සූදානම්. මාළු ඇඹුල් තියල් කියන්නේ කල්තබාගෙන වුනත් කෑමට ගන්න පුළුවන් ගුණදායක ආහාරයක් නිසා අවුරුද්ද දවස්වලට ගෙදරට එන අයට පවා රසවත්ව ආහාරයට පිළිගන්වන්න පුළුවන් කෑමක්.