අත් කියන්නේ කෙනෙකු වයස්ගතවීම මුලින්ම පෙන්වන ශරීරාංගවලින් එකක්. ඒ වගේම එයින් ඔබේ සෞඛ්‍යය ගැනත් බොහෝ තොරතුරු හෙළි කර ගන්න පුළුවන්. වෛද්‍යවරුන්ට අනුව සිරුරේ වෙනස් තැන් වල ඇති රෝග තත්ත්වයන් බොහොමයක් ඔබේ අත්ල දෙස බලා හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ සෞඛ්‍යය යහපත් පරිදි පවත්වා ගැනීම සඳහා අත්ල දෙස බලා හඳුනාගත හැකි රෝග ලක්ෂණ 7ක් ගැනයි අපි මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ.

01.රතු වූ අත්ල.

අත්ල නිරතුරුවම රතු පැහැ ගැන්වී තිබීම (palmar erythema) ඔබගේ අක්මාවේ ගැටළුකාරී තත්වයන් පිළිබිඹු කරනවා. විශේෂයෙන්ම ඔබ වයස අවුරුදු 50ට වැඩි කෙනෙක් නම්. බොහෝ විට මේ රතුපැහැ ගැන්වීම දක්නට ලැබෙන්නේ අත්ලේ පිටත කෙළවරවල් වලයි. එසේ රතු පැහැ වීමට හේතුව රුධිර වාහිනී විස්තාරණය වන පරිදි හෝර්මෝන වල අසමතුලිතතාවයක් තිබීමයි. රූමැටොයිඩ් ආතරයිටිස් යනු අත්ල රත් පැහැ වීමට තවත් හේතුවක්.

මේ නිසා ඔබේ අත්ලේ රත්පැහැ ගැන්වුණු ස්ථාන තිබෙනවා නම් ඒ පිළිබඳ පරික්ෂා කර ගැනීමට වෛද්‍යවරයකු වෙත යොමු වෙන්න. ඒ අතරම මධ්‍යසාර භාවිතය අවම කිරීමත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමටත් සැලකිලිමත් වෙන්න.

02.දහඩිය අත්ල.

නිතරම දහඩිය දමා තිබෙන තෙත අත්ලකට ප්‍රධාන වශයෙන් හේතු තුනක් තිබෙනවා.

  1. සිරුරට අධික ලෙස දහඩිය දැමීම.
  2. ආතතිය.
  3. අධික්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක් පිහිටීම.

අධි ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක් හේතුවෙන් ඇතිවන හයිපර්තයිරොයිඩිසම් තත්වයකදී ඔබට ප්‍රබල ප්‍රතිස්වේදක (Antiperspirants) භාවිතා කළ හැකියි. එසේත් නැතිනම් හයිපරයිඩ්‍රෝසිස් (Hyperhidrosis) හෙවත් සිරුරෙන් අධික ලෙස දහඩිය ගැලීම සඳහා ඔබට ඒ සඳහාම විශේෂ වූ ප්‍රතිකාර වලට යොමු විය හැකියි.

මධ්‍යසාර භාවිතය අවම කොට භාවනාව වැනි ක්‍රම අනුගමනය කරමින් ඔබගේ ආතති තත්ත්වයන් මගහරවා ගැනීමට උත්සාහ කරන්න. ඒ කිසිදු දෙයකින් ප්‍රතිඵලයක් නොමැති නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

03.අත් හිරිවැටීම සහ සංවේදනය නොමැති වී යාම.

උදෑසන අවදි වන විට අත් ඇතුළු සිරුරේ ඇතැම් ස්ථානවල සංවේදනයක් නොමැති බව දැනීම සහ එම ස්ථාන චලනය කිරීමට උත්සාහ කරන විට නලියන සුළු ස්වභාවයක් දැනීම බොහෝ දෙනෙක් අත්දකින තත්ත්වයක්. එසේ වන්නේ නින්දේ දී අපගේ සංවේදක ස්නායුව බොහෝ වේලාවක් තද වී පැවතීම නිසයි. නලියන ස්වභාවයක් දැනෙන්නෙ එම ස්නායු නැවතත් ක්‍රියාකාරී වීමට පටන් ගන්නා විටයි.

නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම ලක්ෂණය සර්විකල් ඔස්ටියෝකොන්ඩ්‍රෝසිස් (cervical osteochondrosis), කාර්පල් ටනල් සින්ඩ්‍රෝමය (carpal tunnel syndrome), ගාත්‍රා වල වීනස් තොම්බ්‍රෝසිස් (venous thrombosis), බ්‍රැකියල් ප්ලෙක්සස් හානි වීම (brachial plexus injury), රක්තහීනතාවය හා දියවැඩියාව වැනි බරපතළ තත්ත්වයන් නිසාත් ඇතිවිය හැකියි. ඒ නිසා කිසිදු හේතුවක් නොමැතිව ඔබට දෑත් වල සංවේදනය නොමැති වී යනවා නම් වහාම වෛද්‍ය වරයෙකු හමුවන්න.

04.වියළි දෑත්.

වියළි දෑත් වලට ප්‍රධානතම හේතුව වන්නේ විජලනය සහ ආර්තවහරණයත් සමඟ ඇතිවන ඊස්ට්‍රජන් ඌණතාවයයි. විජලනය වළක්වා ගැනීමට නිතර වැඩි වශයෙන් ජලය පානය කරන්න. අත් සඳහා මොයිස්චරයිසින් හෑන්ඩ් ක්‍රීම් එකක් භාවිතා කරන අතරම ආහාර වේලට මේදය සහිත මාළු වර්ග, ඇට වර්ග සහ කජු වර්ග එකතු කර ගන්න. ඊස්ට්‍රජන් ඌණතාවය පාලනය කර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වී හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර වලට යොමු වෙන්න.

05.වෙවුලන දෑත්.

වෙව්ලන දෑත් පාකින්සන් වැනි දරුණු රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් බව බොහෝදෙනා දන්නා කාරණයක්. ඒ නිසා දෑත් වෙවුලීම ඉතා තදබල ලෙස තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න. ඒ අතරම මධ්‍යසාර හා කෝපි භාවිතය අවම කරන්න. අධික ලෙස මද්‍යසාර හා කෝපි භාවිතය නිසාත්, ආතතිය හා කාංසාව නිසාත් දෑත් වෙව්ලීම හටගත හැකියි.

06.දුර්වල නියපොතු.

දුර්වල, ඉක්මනින් කැඩී යන නියපොතු සින්ක් ඌනතාවයේ ලක්ෂණයක් විය හැකියි. තුවාල ඉක්මනින් සුව වීමට, සෛල විභාජනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සින්ක් ඉතාමත් වැදගත් මූලද්‍රව්‍යයක්. මේ නිසා ඕට්ස්, කජු, මස් වැනි සින්ක් බහුල ආහාර උදේ කෑම වේලට එකතු කරගන්න. සිරුරේ සින්ක් මට්ටම ඉතාමත් අවමයි නම් වෛද්‍ය නිර්දේශ මත සින්ක් අතිරේක ලබාගන්න.

07.පිම්බුනු ඇඟිලි. (Clubeed fingers)

ඩ්‍රම්ස්ටික් එකක් හෝ පොල්ලක් වැනි අග කොටසින් රවුම් වී පිම්බුණු ඇඟිලි ඔක්සිජන් ඌනතාවයක් නිසා හට ගන්නවා. ඇතැම් අවස්ථාවලදී මෙය හදවත් රෝග සහ පෙණහලු පිලිකා වැනි බරපතළ රෝග නිසාත් ඇතිවිය හැකියි. මේ නිසා මෙලෙස අග කොටසින් පිම්බුණු ඇඟිලි තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් පතන්න.