ඒ නැණවත් උළු බාස් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජතුමා ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල් හි රන්තලියේ පිර වූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුළක් පැන නැං‍ඟේය. “පින්වත් මහ රජතුමනි, මෙබඳු සුන්දර සෝභා ඇති ස්තූප ගර්භයක් ගොඩනගන්නෙමි යි”

පැවසුවේ ය.මහා සෑයට මුල් ගල් තැබීමට සලකණු කිරීමෙන් පසු නොපසුබට වීර්යය ඇති, බුදු සසුන කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු මහ රජතුමා එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද රනින් හා රිදියෙන් නිම කරන ලද පුන් කළස් අට බැගින් තැබ්බවූයේ ය. ඒ රන් හා රිදී කළස් දහසය වටේට නැවුම් කළගෙඩි එක් දහස් අටක් තැබුවේ ය.

ඉන් අනතුරුව අට දිසාවේ රනින් කළ ගඩොල් තැබුවේ ය. ඒ රන් ගඩොල් පිරිවරා සිටිනා ලෙසින් රිදී ගඩොල් එකසිය අට බැගින් තබන ලද්දේ ජීවමාන මව්පියන් ඇති ජාති සම්පන්න වූ ඇමැති පුත්‍රයෙක් අතිනි. රන් ගඩොලින් එකක් මිත්තසේන මහ රහතන් වහන්සේ නැගෙනහිර දිසාවේ සෑය වට රේඛාව සලකණු කළ ස්ථානයේ සුවඳ කැවූ මැටි පිඩක් මත තබන ලද්දේ ය.

ජයසේන මහ රහතන් වහන්සේ විසින් ඒ මත පැන් ඉස එය සැන්දකින් සමකොට සකසනු ලැබූහ.

මේ ආකාරයෙන් උතුම් මංගල ආකාරයෙන් සකස් වූ තැන ප්‍රථම මංගල ගඩොල පිහිටුවා වදාළහ. මහා සුමන මහ රහතන් වහන්සේ එතැනට දෑ සමන් මල් පූජා කළ සේක. ඒ උතුම් අවස්ථාවේ දී සැදැහැයෙන් මහත් සතුටට පත් ලක් පොළොව මුහුදු කෙළවර දක්වා කම්පිත විය.

ඉන් අනතුරුව ඉතිරි රන් ගඩොල් සතත් අනෙක් දිසාවන් කලින් ආකාරයට ම මංගල ආකාරයෙන් සැකසූ ස්ථානයන්හි අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යයන්ලවා පිහිටවූයේ ය.

මේ ලෙසින් වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණමාලී මහා ස්තූපයේ මුල් අවස්ථාවේ වැඩ කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන ලදී.

රජතුමා සතර දිසාවෙන් ම වැඩසිටියා වූ නිකෙලෙස් මහ රහතන් වහන්සේලාට වන්දනාකර පූජාවන් පවත්වා ඉතා සතුටු සිතින් යුතුව පිළිවෙලින් ඊසාන දෙසට ගොස් පියදස්සී මහ රහතන් වහන්සේට වන්දනා කර එකත් පසෙක සිට ගත්තේ ය. පියදස්සී මහ රහතන් වහන්සේ මෙම මංගල අවස්ථාවේ සතුට වඩා වර්ධනය කරවමින් දුටු ගැමුණු රජතුමා ඇතුලු සැදැහැවත් ජනයාගේ සිත් නිවන් මගට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට වදාළහ.

ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනය අසා මහා සෑය පිහිටුවන භූමියේ සිටි හතළිස් දහසක් ජනයා ශ්‍රද්ධාවෙන් ධර්මාවබෝධය ලැබූහ. සතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. දහසක් දෙනා සකෘදාගාමී වූහ. දහසක් ජනයා අනාගාමී වූහ. දහසක් ගිහි ජනයා අරහත්වයට පත් වූහ. දහ අට දහසක් පමණ භික්ෂූන් වහන්සේලා ද , දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද රහත් ඵලයෙහි පිහිට වූ සේක.

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු මහරජතුමා ගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ මහ සංඝ රත්නයට මහ රජතුමා මේ ආකාරයෙන් ආරාධනාවක් ද කළ සේක. “යම් දවසක මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ වෙයි ද, එතෙක් කල් ම මාගේ දන් පැන් පිළිගන්නා සේක්වා“ යනුවෙනි.

එපමණ කාලයක් දානයට ඇරයුම් කිරීම භික්ෂු වහන්සේලා පිළිගත්තේ නැත. ඒ හේතුවෙන් මහ රජතුමා ක්‍රමයෙන් කාලය අඩුකරමින්, අවසානයේ සත් දිනක්වත් දානය පිළිගන්නා සේක්වා යැයි ආරාධනා කරනු ලැබීය. සත් දවසක ආරාධනය මහා සංඝයා වහන්සේලා පිළිගෙන වදාළහ. මහත් වූ සතුටට පත් වූ දුටුගැමුණු රජතුමා විසින් ස්තූප භූමියේ අවට දහඅට ස්ථානයක මණ්ඩප තනවනු ලැබූවේ ය. එම මණ්ඩපයන්ට සංඝයා වහන්සේලා වඩමවා සත් දවස ම සඟ සතු මහා දානයන් දුන්නේ ය.

ඉන් අනතුරුව දුටු ගැමුණු මහ රජතුමා අඬ බෙර ගස්සවා ඉක්මනින් ම උළු වඩුවන් රැස් කර වූයේ ය. උළු ගඩොල් සෑදීමට දන්නා අය පන්සියයක් පමණ පැමිණියේ ය. “තොප මහා සෑය ඉදි කිරීමට ගඩොල් සාදන්නේ කෙසේ ද?” යැයි රජතුමා ඇසුවේ ය. “මා කම්කරුවන් සියයක් ලබාගෙන, මැටි ගැලකුත් ලබාගෙන ය. ඒ ගැලේ මැටි එක් දිනක දී අවසන්වන තුරු ගඩොල් සාදන්නම්” කියා ය. රජතුමා ඔහු වළක්වන ලදී.

අනෙක් පුද්ගලයා ගැල් භාගයක මැටි වැඩ එක් දිනකින් කරන්නම් කිවේ ය. තවත් වඩුවෙක් ගැල් කාලක මැටි වැඩ දවසින් කරන්නම් කීවේ ය. තවත් වඩුවෙක් අමුණු දෙකක මැටි දිනක් තුළ වැඩ කරන්නම් කීවේ ය. මහ රජතුමා එම උළු බාස්වරු සතර දෙනා ම වැළැක්වී ය.

එම අවස්ථාවේ දී එතැන සිටි නුවණැති ව්‍යක්ත සිරිවඩ්ඪක නමැති උළු බාස් මහ රජතුමාට මෙසේ කීවේ ය. “වංගෙඩියේ කොටා කුල්ලෙන් පොළා, මිරිස් ගලේ අඹරවා ගත් එක් අමුණක මැටියෙන් දිනක් වැඩ කරන්නම්”. මෙසේ කී විට ස්තූප කර්මාන්තයේ දී සක් දෙවිඳු හා සමාන මහත් වූ වීර්යයකින් යුක්ත වූ මහ රජතුමා ඔහුගේ අදහස පිළිගන්නා ලදී. එසේ නම් තොප කොයි ආකාර හැඩයකින් ද මහා සෑය ගොඩනගන්නට සිතා සිටින්නේ දැයි විමසන්නේ ය. ඒ අසන සැණින් විශ්වකර්ම දෙව්පුතු ඔහුට ආවේශ වූයේ ය.

විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්මෙන් යුක්තව ඒ නැණවත් උළු බාස් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජතුමා ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒ දිය පිටට ගැසූ කල් හි රන්තලියේ පිර වූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුළක් පැන නැං‍ඟේය. “පින්වත් මහ රජතුමනි, මෙබඳු සුන්දර සෝභා ඇති ස්තූප ගර්භයක් ගොඩනගන්නෙමි යි” එම වඩුතුමා පැවසුවේ ය. එකල්හි දුටුගැමුණු මහ රජතුමා අතිශයින් ම සතුටට පත් වූයේ ය. කහවණු දහසක් වටිනා වස්ත්‍ර යුගලක්, රන් කැටයම් දැමූ කහවණු දහසක් වටිනා මිරිවැඩි සඟලක්, කහවණු දොළොස් දහසක් ඔහුට ලැබෙන්නට සැලැස්විය.

සැදැහැ සිතින් ඔද වැඩී ගිය සිත් ඇති දුටුගැමුණු මහ රජතුමා, මා මිනිසුන් නො පෙළවා සෑය ගොඩනගන තැනට ගඩොල් ගෙනෙන්නේ කෙසේ දැයි සිත සිතා සිටින කල් හි ඒ ඒ දිනට වුවමනා ගඩොල් දේවානුභාවයෙන් මහා සෑයේ දොරටු සතර අසල ගොඩගසන්නේ ය. මේ දේවානුභාවය දුටු, දුටු ගැමුණු මහ රජතුමා අතිශයින් ම සතුටට පත් වූයේ ය.

මෙහි කිසියම් වූ කටුත්තක් නොමිලේ නොකළ යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒ ඒ දොරටුවෙහි සොළොස් ලක්ෂය බැගින් රන් කහවනු ද, බොහෝ වස්ත්‍රාභරණයන් ද ප්‍රණීත වූ ආහාරයන් ද, සුවඳ විළවුන් වර්ගයන් ද, මුව සුවඳ කරවන්නා වූ බෙහෙත් වර්ගයන් ද, තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ට ම අවශ්‍ය පරිද්දෙන් ගන්නට සැලැස් වූ‍යේ ය.

ස්වර්ණමාලි මහා සෑය කරවන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සිය දහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතිවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තා හ. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් ම පින්කම් කළහ.

තෙරුවන් සරණයි ..!