තිරිවානා ආශ්‍රිත කර්මාන්ත


0
2.5k shares

සංවර්ධිත බොහෝ රටවල් එ් තත්ත්වයට පත්ව ඇත්තේ එම රටවල ඛනිජ සම්පත්වල අගය වැඩිකිරීම ඉවහල් කරගෙනය. ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් වැනි ඛනිජ සම්පත් නැති වූවද මෙරටට සුවිශේෂී වූ සමහර ඛනිජ සම්පත් බහුල වීමේ වාසනාව හිමිය. ශ්‍රී ලංකාවේ මැණික්‌ ලොව පතළ වීම නිසා එදා හෙළදිව ‘රත්නදීපය’ විය. ඊට අමතරව වැලි, මිනිරන්, හුණුගල්, තිරිවානා ගල් සහ පිඟන් මැටි ද රටට සම්පතකි.

ඒ ආශ්‍රිත කර්මාන්ත බිහිකොට නිසි ප්‍රතිඵල ලැබුවේ නම් මේ වන විට ශ්‍රී ලංකාව ද සංවර්ධිත රටක් වීමට බොහෝ අවකාශ තිබිණ. රට සතු භූ සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීමට මූලික හේතු වන්නේ ඒ සම්බන්ධ නිවැරදි තාක්ෂණ දැනුමක් සහ වෙළෙඳපොළ පිළිබඳ නිසි අවෙබෝධයක් ලංකාවේ ආයෝජකයන් සතු නොවීමයි. මෙරට ඇති බොහෝ ඛනිජවලින් කිසිදු භාණ්‌ඩයක්‌ නිෂ්පාදනය නොකර අමුද්‍රව්‍ය ලෙස අපනයනය පමණක් සිදු කරයි. දියුණු තාක්‌ෂණයක්‌ සතු රටවල් එම ඛනිජ ද්‍රව්‍යවලින් විවිධ භාණ්‌ඩ නිෂ්පාදනය කර විශාල මුදලක්‌ උපයනවා පමණක් නොව එම නිෂ්පාදන යළි මෙරටට ද අපනයනය කරයි. එවිට ඉතා විශාල මුදලකට ඒවා මිලදී ගන්නට ශ්‍රී ලාංකිකයන්ට සිදු වේ. මෙතෙක් පැවති එම තත්ත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්වලට ඉහළ වටිනාකමක්‌ ලබා දීමට දැන් කාලය එළැඹ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යය දැක්මේ එක් පරමාර්ථයක් වන්නේ දේශීය කර්මාන්ත සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමයි. ඒ අනුව ආනයන අඩුකර අපනයන වැඩි කිරීමට රජය පියවර ගනිමින් තිබේ. පසුගිය මාස කිහිපයේ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගත් අතර කර්මාන්ත අමාත්‍යවරයා විසින් ටයිල් සහ සනීපාරක්ෂක නිෂ්පාදන සහ තවත් බොහෝ දේ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබිණ. දේශීය කර්මාන්ත නැංවීමේ අරමුණින් ගත් එම ක්‍රියාමාර්ගය තුළ ඇතැම් ක්ෂේත්‍රවල එතෙක් පැවති කළු වලා අතර රිදී රේඛා නැඟෙමින් තිබෙනු දැකිය හැකිය.

තිරිවානා ආශ්‍රිත කර්මාන්ත ඒ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ලොව ඉතා පිරිසුදු තිරිවානා ශ්‍රී ලංකාව සතුවුවද තිරිවානා ගල් ආශ්‍රිත අවසාන නිෂ්පාදනය සඳහා ලොව විශාල වෙළෙඳපළක් පැවතියද මේ දක්වා ශ්‍රී ලංකාව එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමක් සිදු නොවීය. බොහෝ සමාගම් තිරිවානා ගල් කුඩුකර අපනයනය කරද්දී එම තත්ත්වය වෙනස් කර ඊට වැඩි වටිනාකමක් දීමට කටයුතු කර ඇත්තේ එකම ශ්‍රී ලාංකික සමාගමක් පමණි. ඒ හංසගිරි සමූහ ව්‍යාපාර අනුබද්ධ රුහුණු ලංකා මිනර්ල් සමාගමයි. ඔවුන් තිරිවානා (QUARTZ) ආශ්‍රිත අවසන් නිෂ්පාදනය ලෙස තෝරාගත්තේ ස්ලැබ්ය. තිරිවානා ස්ලැබ් ශ්‍රී ලාංකිකයන්ට තරමක වෙනස් අත්දැකීමක් වුවද ලෝක වෙළෙඳපො‌ෙළ් ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතී. දිගු කාලයක් පුරා එම ස්ථානය දිනාගෙන තිබුණේ ග්‍රැනයිට් ය. ගෘහ අලංකරණයේදී මුළුතැන්ගෙය, නානකාමර, පොළොව ආදියට සුඛෝපභෝගී තේරීමක් ලෙස තිබූ ග්‍රැනයිට් පරදමින් තිරිවානා එම ස්ථානයට පත්වී තිබේ.

ඊට හේතුව ග්‍රැනයිට් ස්ලැබ්වලට වඩා වඩා තිරුවානා ස්ලැබ් භාවිතය පහසු සහ සෞඛ්‍යාරක්ෂිත වීමය. තිරිවානා ස්ලැබ් බවට පත්කරන්නේ උසස් තාක්ෂණික ක්‍රියාවලියක් යටතේ වන බැවින් එම ස්ලැබ්වල ඉතා සියුම් කුහර හෝ ඇති නොවේ. එම නිසා තිරිවානාවලින් නිෂ්පාදිත ස්ලැබ් තුළ දිය කාන්දු නොවන අතර පැල්ලම් නොරැඳේ. පිරිසුදු කිරීම සහ නඩත්තුව පහසු වන අතර දිගුකල් පැවැත්ම ද සහතික කළ හැකිය. ග්‍රැනයිට් සහ කිරිගරුඩ මත බැක්ටීරියා පහසුවෙන් වර්ධනය වන අතර තිරුවානා ස්ලැබ් තුළ එවැන්නක් සිදු නොවේ. එබැවින්

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ආහාරපාන ක්ෂේත්‍රයේ ග්‍රැනයිට් වෙනුවට භාවිත කරන්නේ තිරුවානාය. තිරිවානා ස්ලැබ් මත සීරීම් ඇතිනොවන බැවින් කාර්යාල කවුන්ටර් සඳහා ද අගනා තේරීමකි. එවැනි වටිනා නිෂ්පාදනයක් වන තිරිවානා ස්ලැබ් ‘ක්‍රිස්ටල් ස්ටෝන්’ නමින් දැන් දේශීය වෙළෙඳපොළට පැමිණ තිබේ. එම අභියෝගාත්මක කාර්යයේ නියමුවා වන රුහුණු ලංකා මිනරල්හි කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික කාරිවසම්ගෙන් අප ඒ පිළිබඳ වැඩිදුරටත් විමසුවෙමු.

“වසර 20-25ක දිගු කාලයක් තිස්සේ තිරිවානා කුඩු කර පවුඩර් එකක් විදිහට අපනයනය කිරීම මෙරට විවිධ සමාගම් විසින් සිදුකළා. එවැනි තිරිවානා පවුඩර් කිලෝ එකක මිල රුපියල් 30ක් පමණ වනවා. මෙහෙන් යවන තිරිවානා පවුඩර්වලින් චීනය හෝ වෙනත් රටක් විසින් ස්ලැබ් නිෂ්පාදනය කර ආනයනය කරනවා. එවිට අපි රුපියල් 30ට යැවූ තිරිවානා කුඩු පවුර් එකට රුපියල් 150-160ක් වැනි මුදලක් වනවා. ඔවුන් ඒ ලාභය ලබන්නේ කම්කරු සහ කළමානාකාරීත්වයේ වැටුප් සහ අනෙකුත් අමුද්‍රව්‍යවලට සුළු මුදලක් වැය කරලයි. මේ තත්ත්වය අධ්‍යයනය කරද්දි අපි වටහාගත් දෙයක් තමයි තිරිවානා ස්ලැබ් අපි ලංකාවෙම හදනවා නම් ඒවා ආනයනය කිරීමේදී වැයවන රුපියල් 150ම ඉතිරිකර ගත හැකි බව. ඊට හේතුව අමුද්‍රව්‍ය, මානව ශ්‍රමය සහ තාක්ෂණය යන සියලු දේම සියයට සියයක්ම ශ්‍රී ලාංකිකයි. යන්ත්‍ර සූත්‍ර සහ තිරිවානා කුඩු මිශ්‍ර කිරීමට භාවිත කරන ගම් වර්ග හැරුණු විට යොදාගන්නා අනෙක් සියලුම දේවල් දේශීයයි. එවැනි තත්ත්වයක් තුළ තිරිවානා ස්ලැබ් රට ඇතුළතම නිෂ්පාදන කළ හැකි නම් ආනයනය සඳහා යන මුදල් රටට ඉතිරි වෙනවා. ඒ නිසයි අපි ‘ක්‍රිස්ටල් ස්ටෝන්’ නිෂ්පාදනය ආරම්භ කළේ.”

සරලව පැවසුවද එය අභියෝගාත්මක කාර්යයක් වූවාට සැක නැත. ඒ පිළිබඳ බුද්ධික කාරියවසම් මෙසේ කීවේය.

” අපේ සමාගම ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන්. සිමෙන්ති ඇතුළුව ඊට අදාළ බොහෝ දෙවල් අප ආනයනය කළා. නමුත් ආනයනයෙන් ඔබ්බට ගොස් බොහෝ දෙනා පහසුවෙන් ආයෝජනය කරන තේ, ඇඟළුම් අංශ දෙකෙන් මිදී දේශීය අමුද්‍රව්‍යයකට වැඩි අගයක් දෙන නිෂ්පාදනයක් අපනයනය කිරීමට සමාගමක් විදිහට අප තීරණය කළා. එවැනි නිෂ්පාදන ගැන වැඩිදුර අධ්‍යයන රාශියක් කිරීමෙන් පසුව යන්තෝපකරණ මිලදී ගැනීමට චීනයට ගිය අවස්ථාවකදී තමයි ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදනය පිළිබඳ මූලික අදහස ඇතිවුණේ. ඉන්පසු ඒ පිළිබඳ තාක්ෂණය ඇතුළු සියලු දේ පිළිබඳ නිසි අධ්‍යයනයකින් සහ දැනුවත් වීමකින් පසුව අප ඒ සඳහා යොමුවුණා. නමුත් ව්‍යාපාරය ආරම්භ කරන විට අප අභියෝග රැසකට මුහුණ දුන්නා. චීනයෙන් යන්ත්‍ර ගෙනැවිත් අවුරුදු එකහමාරකට පස්සෙයි ඊට අනුමැතිය ලැබුණේ. ඊට හේතුව ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදනය ලංකාවට අලුත් නිසා සමහර නිලධාරීන් තීරණ ගැනීමට බය වුණා. ඒ වෙද්දිත් ආනයන සමාගම් 4ක් හිමි අපේ සමාගමට අපනයන ව්‍යාපාරයක් ඇරඹීම එතරම්ම දුෂ්කර වුණා. අලුත් ආයෝජනයක් සඳහා බැංකු ණය ගැනීම ඊටත් වඩා අසීරුයි. මුල් අවස්ථාවේදී අපට කමර්ෂල් බැංකුවෙන් ණය මුදලක් ලබාදුන්නා. දෙවැනි අදියරේදී ලංකා බැංකුව ණය ලබාදුන්නා. චීනය වැනි රටවල් බාල අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදන පිරිවැය අඩුකර ගත්තත් අපි භාවිත කරන්නේ සියයට 99.99ක්ම පිරිසුදු තිරිවානා, ඉහළම ගුණාත්මක තාක්ෂණය යටතේයි. ඇමෙරිකාවේදී අපේ නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් පවතින්නේ අපගේ නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ නිසයි. දැනට ලංකාවේ එකම ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදන ආයතනය අප වන නිසා මෙම කර්මාන්තයට අදාළ සියලුම දේ අප විසින්ම කරගත යුතුව තිබෙනවා. මුලින්ම අපේ ඉලක්කය වුණේ ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ආදී විදේශීය වෙළෙඳපොළ. ඒ අනුව නිෂ්පාදනවලින් සියයට 50ක් ඉතා පහසුවෙන් අපනයන කිරීමට මුල් අවස්ථාවේදීම අපට හැකිවුණා. ඒ වගේම අපි දේශීය වෙළෙඳපොළ තුළත් ස්ථාවර වෙමින් තිබියදීයි කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇතිවුණේ. නමුත් රජය ටයිල් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීම නිසා අපට කර්මාන්තශාලාව වසන්නේ නැතිව පවත්වාගෙන යෑමේ හැකියාව ලැබුණා. රජය ඒ තහනම තවදුරටත් දීර්ඝ කරනවා නම් අපිට අපේ නිෂ්පාදන කටයුතු තවත් පුළුල් කිරීමට අවස්ථාව ලැබෙනවා.” ඔහු පැවසුවේ කර්මාන්තයක් ලෙස ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදනය දියුණු විය යුතු බව ද අවධාරණය කරමිනි.

“විදේශ රටවල මෙය කර්මාන්තයක් විදිහට තිබෙන නිසා ස්ථාවර බවක් තිබෙනවා. කර්මාන්තයක් විදිහට අපේ රටෙත් මෙම නිෂ්පාදන පුළුල් වීම තුළ රටේ තවත් මෙවැනි කර්මාන්තශාලා ඇතිවනවා. පුහුණු ශ්‍රමිකයන් බිහිවනවා. ඒ වගේම යන්ත්‍රසූත්‍ර අමතර කොටස් ගෙන්වන්නන් බිහිවනවා. අපේ රටෙත් දැන් දේශීය වෙළෙඳපොළක් සැකසෙමින් තිබෙනවා. උදාහරණයක් විදියට ෆෝර්ට් සිටි සහ කොළඹ අලුත් අපාර්ට්මන්ට් රාශියක් හැදෙනවා. එවිට තිරිවානා ස්ලැබ් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙනවා. නමුත් ඒවා පිටරටින් ගෙන්වුණොත් දේශීය නිෂ්පාදකයාට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. එම නිසා ටයිල් ආනයනය රජය නතර කළා වගේ තිරිවානා ස්ලැබ් ගෙන්වීමත් නතර කරනවා නම් මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට තවත් ව්‍යාපාරිකයන් නිරායාසයෙන්ම පෙලඹෙනවා. සාමාන්‍යයෙන් ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදනය කරන එක ප්‍රඩක්ෂන් ලයින් එකකට ඩොලර් මිලියන දෙකහමාරක් තුනක් ආයෝජනය කළ යුතුයි. දැනට අපේ කර්මාන්තශාලාව එක ප්‍රඩක්ෂන් ලයින් එකක් පැය 8යි වැඩ කරන්නේ. සේවකයන් 100ක් සේවය කරනවා. නමුත් වෙනත් රටවල් මේ වගේ ප්‍රඩක්ෂන් ලයින් එකක් අඩුමගානේ පැය 20ක් වත් වැඩකරනවා. සේවකයන් 100 දෙනකුගෙන් එක ලයින් එකක් වැඩ කරන අපිට පැය 16ක් වැඩ කරන තරමට දියුණු කරගන්න පුළුවන් නම් සේවකයන් සංඛ්‍යාවත් දෙගුණ කළ හැකියි. ඒ සඳහා අපිට දේශීය වෙළෙඳපොළේ ඇණවුම් වැඩිකර ගත යුතුයි.”

දකුණු ලක ඇල්පිටිය රත්තොටුවිල අක්කර 22කින් යුතු සුන්දර භූමි පෙදෙසක පිහිටා තිබෙන ක්‍රිස්ටල් ස්ටෝන් කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යන අයුරු දැකගත හැකි විය. විශාල රබර් වත්තක පිහිටි කර්මාන්තශාලවේ ශබ්දය පිටතට නොයන බැවින් ශබ්ද දූෂණයෙන් තොරය. වර්ෂා ජලය කර්මාන්තශාලාවේ කටයුතු සඳහා යොදාගැනෙන අතර එම ජලය ද නැවත නැවත ප්‍රයෝජනයට ගැනීම සිදුකරයි. සේවකයන් සහ කාර්ය මණ්ඩලය ද රත්තොටුවිල ගම්වැසියන් ය. ස්වාභාවික පරිසරයට කිසිදු හානියක් නොකර කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමෙන් ගම්වැසියන්ට මෙන්ම ගමට ද යහපතක් සැලසෙන බව කළමනාකාරීත්වයේ අදහසයි. නිෂ්පාදන ධාරිතාව වැඩිවද්දී ඒ සඳහා තිරිවානා ගල් සපයන සැපයුම්කරුවන් ද වැඩිවන බැවින් ඒ හරහා ද තවත් රැකියා අස්ථාව වැඩිවේ. එමෙන්ම ක්‍රිස්ටල් ස්ටෝන් නිෂ්පාදනයට තිරිවානා කුඩු කිරීමෙන් පසු ඉතිරි වන තිරිවානාවලින් පෙබල්ස් නිෂ්පාදනය කිරීම ස්වයං රැකියාවක් ලෙස ග්‍රාමීය ජනතාවට හඳුන්වාදීමෙන් ගෘහ ආර්ථිකය ද නංවාගත හැකි බව බුද්ධික කාරියවසම් පැවසීය. තිරිවානා පෙබල්ස් මේ වන විට ගෘහ අලංකරණයේදී මෙන්ම අපල උපද්‍රවවලින් ආරක්ෂා වීමට පලඳන ජනප්‍රිය ආභරණයකි. ක්‍රිස්ටල් ස්ටෝන් විශාල නිවාස සහ හෝටල් සංකීර්ණ සඳහා බහුලව යොදාගැනුණද මෙරට සාමාන්‍ය ජනතාව අතර ඒවා භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ඇත්තේ අඩු අවබෝධයකි. ඒ පිළිබඳව අප කාරියවසම්ගෙන් විමසුවෙමු.

“දේශීය පාරිභෝගිකයන් බොහෝ විට පැන්ට්‍රි ටොප් එකට භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නේ ග්‍රැනයිට්. නමුත් අපි මුලින් කී හේතු නිසා දැන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ග්‍රැනයිට් භාවිත කරන්නේ නැහැ. කවුන්ටර්, බාත්රූම්, කිචන් ටොප් වගේම මේස සඳහාත් ක්‍රිස්ටල් ස්ටෝන් භාවිත කළ හැකියි. ඒ වගේම දේශීය පාරිභෝගිකයන්ට දැරිය හැකි මුදලකට අලෙවි කරන්නත් පුළුවන්. ඒ සඳහා දේශීය වෙළඳපොළ පුළුල් විය යුතුයි වගේම කර්මාන්තයක් විදිහට එය රට තුළ ස්ථාවර විය යුතුයි. එවිට ක්‍රිස්ටල් ස්ටෝන් සඳහා විදෙස් වෙළෙඳපොළ ඉල්ලුම සපුරන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා. එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආනයන තහනම තව මාස 6ක්වත් දිගු කරන්න. ඉන්පසු ආනයනය කරන ස්ලැබ් සඳහා අමතර බද්දක් පනවන්න. ඒ මඟින් දේශීය වෙළෙඳපොළ නිෂ්පාදනය වැඩිවූ විට අපනයන ආදායම වගේම ආනයන වියදමත් අඩුකර ගැනීමෙන් මෙරටට විශාල සේවයක් සැලසීමට දේශීය ආයෝජකයන්ට හැකිවේවි”

දේශීය කර්මාන්ත නඟා සිටුවීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ බොහෝ දේශීය ව්‍යවසායකයන් බලාපොරොත්තු දල්වා ගත් සිතින් පසුවෙති. ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරමින් සෞභාග්‍යයේ මාවත කරා රට ගෙනයෑම බලධාරීන්ගේ වගකීම බවද අවධාරණය කරමු.


Like it? Share with your friends!

0
2.5k shares
admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format