අලිපේර නොහොත් අලිගැටපේර (Avocado/ Alligator Pear) පොටෑසියම්, මැග්නීසියම්, ෆෝලේට්, සෞඛ්‍ය සම්පන්න ඔමේගා-3 මේද අම්ල, ප්‍රෝටීන, තන්තු සහ විටමින් A,C,E වැනි පෝෂකාංග වලින් අනුන පලතුරක්. ඒ වගේම එය ඔබගේ මොළයේ සෞඛ්‍යය සඳහාත් ඉතාම ගුණදායකයි විතරක් නොවෙයි සලාද, පාස්ටා,සැන්ඩ්විච් සහ අයිස්ක්‍රීම් වැනි ඕනෑම ආහාරයක රසය වැඩිකර ගැනීම සඳහා පහසුවෙන් එකතු කරගන්නත් පුළුවන්.

මේ සෑම අවස්ථාවකම අපි ආහාරය සඳහා එකතු කර ගන්නේ අලිපේර වල කහ පැහැති මදයයි. නමුත් අපි කිව්වොත් ඉතාම වටිනා මූලද්‍රව්‍ය වලින් අනුන අලිපේර ගෙඩියේ ඇති හොඳම කොටස තමයි අපි දිනපතාම ඉවත දමන්නේ කියලා? ඔව් ටෙක්සාස් රියෝ ග්‍රාන්ඩේ වැලී විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ සිසුන් පිරිසක් විසින් අලිපේර සම්බන්ධයෙන් වටිනා සොයාගැනීමක් සිදුකලා.

එම කණ්ඩායම විසින් හොඳින් වියලා පොඩිකරගත් අලිපේර බීජයේ පොත්තෙන් අවුන්ස 21ක කුඩු ප්‍රමාණයක් නිර්මාණයක් කරගත්තා. එය තවදුරටත් කොටස් වලට වෙන් කිරීමේදී ඔවුන් එහි අලිපේර බීජයේ පොත්තේ තෙල්(Seed husk oil) තේ හැඳි 3ක් සහ බීජයේ පොත්තේ ඉටි (Seed husk wax) අවුන්සයක ප්‍රමාණයක් ඇති බව සොයාගත්තා. ඉන්පසු ඔවුන් එහි අඩංගු මූලද්‍රව්‍ය මොනවාදැයි අධිතාක්ෂණික ක්‍රමවේදයක් භාවිතයෙන් සොයා බැලුවා.

ඒ අනුව පොත්තේ තෙල් කොටසෙහි විවිධ සංයෝග 116ක් හමු වූ අතර එම 116 අතර වෛරස විනාශ කිරීමට, පිළිකා සෛල ඇතිවීම වැළැක්වීමට සහ ඇතරෝස්ක්ලේරෝසිස් (Atherosclerosis) නොහොත් ධමනි සිහින් වීම වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ වලට අත්‍යාවශ්‍ය වන සංයෝග හමුවුණා. පොත්තේ ඉටි කොටසෙහි විවිධ සංයෝග 16ක් හමු වූ අතර එහි ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා සහ ප්ලාස්ටික් නම්‍යශීලි කිරීම සඳහා යොදා ගන්නා සංයෝගයන් අඩංගු වුණා.

පරීක්ෂක කණ්ඩායම තවදුරටත් පැවසුවේ සාමාන්‍යයෙන් අප එදිනෙදා අපද්‍රව්‍ය ලෙස ඉවත දාන අලිපේර ගෙඩියේ කොටස ඇත්ත වශයෙන්ම එහි ඇති වටිනාම කොටස බවයි. ඔවුන් පවසන ආකාරයට එහි අඩංගු සංයෝග පිළිකා, හෘද රෝග සහ වෙනත් රෝග බොහොමයක් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකියි. අලිපේර ඇටයේ ඇති පිටත ආවරණය වන මෙම පොත්තෙහි ඇති ගුණ ප්‍රසිද්ධියට පත් වීමත් සමග බොහෝ ආයතන විසින් මේ පිළිබඳ අවධානය යොමු කළ අතර එය මිනිස්සුන්ට පරිභෝජනයට ගැනීමට හැකි ආකාර පිලිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.