මුකුත් නොකර නිකන් කල්පනා කරමින් උඩ බලන් ඉන්න එක ඉතාම නරක දෙයක් හැටියටයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. නමුත් ලෝකයේ ඉතාම කීර්තියට පත් විද්වතුන් ඒක ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරලා තියනවා. කිසිම වැඩක් නොකර නිකන් කල්පනා කරමින් කාලය ගත කිරීම ඉතාම හොඳ දෙයක් බව ඇල්බට් අයින්ස්ටයින් සහ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් වැනි සුප්‍රසිද්ධ විද්‍යාඥයන් පවා අනුගමනය කළ දෙයක්. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සාපේක්ෂතාවාදය පිළිබඳ සිද්ධාන්තය ඔහුට කල්පනා වී තිබෙන්නේ මේ ආකාරයට කිසිවක් නොකර කල්පනා කරමින් සිටින අවස්ථාවකයි. අප සෑම විටම ඔබට ස්වයං දියුණුව සලසාගත හැකි උපක්‍රම ගැන සෙවීමටත් ඒවා බෙදා හදා ගැනීමටත් කැමැතියි. ඉතින් පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයට සැමදෙනාටම සාර්ථකත්වය ළඟා කර ගත හැකි පැය දෙකේ නීතියයි!

අයින්ස්ටයින්ගේ සිතුවිලි අත්හදා බැලීම:-ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ නිතරම සිතුවිලිවලින් අත්හදාබැලීම් සිදු කළ කෙනෙක්. ඔහුගේ සුප්‍රසිද්ධ සාපේක්ෂතාවාදය පිළිබඳ නියමය ඉදිරිපත් කිරීමට පෙර ඔහු පුද්ගලයකු වහලයෙන් වැටීම, ත්වරණය වන සෝපානයක් වැනි අවස්ථා සිතෙන් මවාගෙන ඒ අනුව සිද්ධාන්ත ගොඩනඟා තිබෙනවා. ඇත්තෙන්ම කියනවානම් නූතන භෞතික විද්‍යාවට අඩිතාලම වන අයින්ස්ටයින්ගේ සුප්රසිද්ධ සිද්ධාන්තයක් බොහොමයක් ඔහු සිතින් මවාගත් දේවල් වල ප්‍රතිඵලයන්. ඔබත් මේ නිසා නිතරම වැඩක යෙදී සිටිනවා වෙනුවට විවේකීව හිදිමින් යම් යම් දේවල් ඔබේ සිත මවා ගැනීමට උත්සාහ කරන්න. “මං මේ දෙය කළොත් මොනවා වේවිද?, මෙහෙම වුනොත් කොහොමද? “ආදී වශයෙන් යම් සිදුවීම් හිතෙන් මවා ගනිමින් එයින් ඇතිවන ප්‍රතිඵල ගැන සිතන්න.

ඔබගේ මනසට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න:-ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට නතර වී කල්පනා කරන්න. ඔබ‍ ජීවිතයේ මේ වන විට සිටින ස්ථානය ගැන තෘප්තිමත්ද? ඔබගේ අනාගත අරමුණු මොනවාද? ඒ සඳහා ඔබට සැලසුමක් තිබෙනවාද? ඔබ‍ අනාගතයේදී ඔබව දැකීමට කැමති කොයි ආකාරයටද? ඒ ගැන සිහින දකින්න. මේ ආකාරයෙන් දිගටම ඔබගේ මනසට නිදහසේ සැරිසරමින් දවල් හීන දැකීමට ඉඩ ලබා දෙන්න. දවල් හීන දැකීම නරක දෙයක් නොවෙයි. විද්‍යාඥයන් පවසන ආකාරයට එය කලින් සැලසුම් නොකළ හදිසි අවස්ථාවලදී ඵලදායී ලෙස ක්‍රියා කිරීමටත් වඩා නිර්මාණශීලී අදහස් බිහිවීමටත් බොහෝ සෙයින් උපකාරී වෙනවා.

ඔබ‍ ඔබෙන්ම ප්‍රශ්න නගන්න:-බොහෝ දෙනකුට ෆේස්බුක්හි පැය දෙකක් ගත කරන එක සාමාන්‍ය දෙයක් වුනත් තමන් වෙනුවෙන්, තමන්ගෙ අනාගතය වෙනුවෙන් කල්පනා කරමින් පැය දෙකක් ගත කිරීම අමාරු දෙයක්. නමුත් ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ දේ සිදු කරන්න. කොලයක් සහ පෑනක් අතට ගන්න. ඔබට ජිවිතයේ ළඟා කරගැනීමට අවශ්‍ය වුණු අරමුණු, මේ වන විට එයින් ළඟා වී අවසන් අරමුණු සහ අද වන තුරුත් ළඟාකර ගැනීමට නොහැකි වූ අරමුණු වෙන වෙනම සටහන් කරන්න. ඔබට ලඟා වීමට නොහැකි වූ අරමුණු කරා යාමට ඔබට බාධාවක් වන්නේ මොනවාදැයි සටහන් කරන්න. ඔබට ඒ සඳහා ළඟා වීමට ශක්තියක් වන දේවල් සටහන් කරන්න. තවත් මාස 6 කින් ඔබ ඔබව දැකීමට කැමැති මොන ආකාරයෙන්ද කියා සටහන් කරන්න. ඉන්පසු ඔබ සටහන් කළ ලැයිස්තුවේ ඔබගේ අරමුණු කරා යාම වලක්වන සෘණාත්මක දේවල් ඉවත් ඉවත්කරමින් ඔබට අරමුණු කරා ළඟා වීමට උපකාරී වන දේවල් තවත් ලං කරගනිමින් ඉදිරියට යාමට හැකි වන සේ පියවරෙන් පියවර සැලසුමක් නිර්මාණය කරන්න. ඉදිරි දින කිහිපය, ඉදිරි සතිය, මාසය, මාස දෙක ඇතුලත ඔබ සම්පූර්ණ කළයුතු දේවල් සටහන් කරමින් කෙටිකාලීන ලෙස සැලසුම් ගොඩනඟන්න.

ඇවිදීමට යන්න, පරිසරය රස විදින්න:-උද්‍යානයක් වැනි තැනක හෝ ඔබ‍ට නිදහසේ කල්පනා කළ හැකි වෙනත් තැනකට ඇවිදීමට යන්න. පරිසරයේ සුන්දරත්වය අගය කරමින් කල්පනාවේ යෙදෙන්න. විශේෂයෙන්ම ඔබ ගැටලුවකට මැදි වී ඇති අවස්ථාවක එම ආතති තත්වය මගහරවාගෙන ඉක්මනින් විසඳුමක් කරා එළඹීමටත්, නිර්මාණශීලී අදහස් පහළ වීමටත්, ඔබගේ මානසික සෞඛ්‍යයටත් ඉතාම හිතකර දෙයක් තමයි ස්වභාවධර්මය රස විඳීම සහ නිදහසේ කල්පනා කිරීම.

ඔබටම ලිපියක් ලියන්න:-තරමක් විකාර අදහසක් වගේ පෙනුනත් මෙය ඉතාමත් ඵලදායි ක්‍රියාවක්. ඔබ ඔබටම ලිපියක් ලියන්න. එහි ඔබවම අගය කරන්න. ඔබ මෙතෙක් ළඟාකරගත් ජයග්‍රහණයන් සහ ඒ වෙනුවෙන් ඔබ කළ කැපවීම සටහන් කරන්න. ඔබව වර්ණනා කරන්න. ඒ සමඟම ඔබගේ අනාගත සැලසුම් එහි සඳහන් කරන්න. ඒවා ළඟා කරගත් විට ඔබට ඇති වාසි ප්‍රයෝජන හා ඉන් ලැබෙන සතුට ගැන විස්තරාත්මකව සටහන් කරන්න. මෙය වෙන කිසිවෙකු නොව ඔබම කියවන ලිපියක් නිසා එහි ඔබට සිතෙන ඕනෑම දෙයක් සටහන් කිරීමට මැලි නොවන්න. ඔබගේ මුහුණට සිනහවක් ගෙනෙන සහ අධිෂ්ඨානශීලී බවක් දැනෙන දේවල් ලියන්න.පවසන්නෙකු සහ සවන් දෙන්නෙකු ලෙස ඔබගේ සිතුවිලි විමසා බැලීමට එය ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔබ ලිපියේ ලියන දේ ඔබේ මනසේ කොහොමත් තියන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒවා කොළයක සටහන් කිරීම, එය ලිපියක් සේ ඔබට ලැබී ඔබම කියවීම, ඒවා මනසේ නිකන්ම තිබෙනවාට වඩා ඉතාම ඵලදායි දෙයක්. එයින් ඔබට ඔබගේ සැලසුම් ගොඩනැඟීමට සහ ඒවා ඉටු කර ගැනීමට වඩා හොඳ අධිෂ්ඨානශීලී බවක් ලැබෙනවා.

සතියට පැය දෙකක්! :-ඔබ කල්පනා කරනවා ඇති මේ පැය දෙකේ නීතිය කොයි විදිහටද සැලසුම් කරන්න ඕනේ කියලා. පැය දෙකක් කියන්නේ තරමක් ලොකු කාලයක් වගේ දැනුනත්, අපි මේ පැය දෙක යොදාගන්න කියන්නේ සතියක් පුරාවට. එනම් ඔබ අද කල්පනා කරමින් මිනිත්තු 15ක් ගත කරනවා නම් හෙට මිනිත්තු 5ක්, ඊලග දිනයේ විනාඩි 20ක්, ආදී වශයෙන් ඔබට කැමති කාල පරතරයන් තුල එක දිගට දවස් වල හෝ දවසක් හැර දවසක් හෝ ඔබට වෙලාව ඇති ඕනෑම මොහොතක් යොදාගෙන සතියකටම පැය 2ක් මෙසේ ඔබේ සිතුවිලි වලට ඉඩ ලබා දෙන්න. බොහෝ විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් විසින් අනුගමනය කරන මෙම ක්‍රමවේදය අත්හදා බැලූ බොහෝ දෙනෙකුටත් මෙයින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ලැබී තිබුණා. ඔවුන් පවසන්නේ සමාජ මාධ්‍ය ජාලාවල ගත කරන කාලයෙන් මිනිත්තු කිහිපයක් බැගින් ගෙන සතියකට පැය දෙකක් ගත කිරීමෙන් තමන්ට වඩා හොඳ නිර්මාණශීලී අදහස් පහළ වූ බවත්, වඩා හොඳ අධිෂ්ඨානශීලී බවක් සහ සැහැල්ලුවක් දැනෙන බවත්ය. ඔවුන් සියලු දෙනාම පවසා තිබෙන්නේ එය ඉතාමත් සාර්ථක අනාගතයක් සඳහා සිදු කළ වටිනා ආයෝජනයක් බවයි.