ඉවුම් පිහුම් කිරීමේ ඇති කරදරකාරීම කොටස තමයි භාජන සේදීම සහ පිරිසිදු කිරීම. ඔබ අවධානය නොයෙදූ එක විනාඩියක් නිසා පිසමින් සිටි ආහාරය කර වී බඳුනේ අඩියට අල්ලනවා නම්, ඒ පිරිසිදු කිරීමේ කරදරේ දෙගුණ තෙගුණ වෙනවා. නමුත් පැය ගණන් අත කැඩෙනකන් අතුල්ලනවා වෙනුවට හැමෝටම එදිනෙදා හොයාගන්න පුළුවන් එකම එක අමුද්‍රව්‍යයක් යොදාගෙන විනාඩි 20ක්‌ වැනි කෙටි කාලයකින් මේ පිළිස්සුනු ආහාර බඳුනෙන් ඉවත් කරගත හැකි ක්‍රමයක් අපි කියලා දෙනවා. ඒ සඳහා පහත ක්‍රම හරියටම අනුගමනය කරන්න.

  • ඔබ‍ට අවශ්‍ය වන්නේ
  • ආහාර කර වී අඩියට ඇල්ලූ බඳුනක්.
  • උණු වතුර.
  • ලුණු.
  • රළු ස්පොන්ජ් එකක්.

පියවර 1 – පෙඟෙන්නට හරින්න.ආහාර පිළිස්සුනු භාජනය හොඳින් නිවුණු පසු ඒකට උණු වතුර පුරවා සාමාන්‍යය මේස ලුණු කුඩු, මේස හැඳි දෙක තුනක් එකතු කරන්න. ඉන්පසු හොඳින් ඒවා ජලයේ දියවන තෙක් කලවම් කොට මිනිත්තු තුනක් පමණ පෙඟෙන්නට හරින්න.
එකම එක අමුද්‍රව්‍යයක් පමණක් යොදාගෙන අඩිය කර වූ භාජනයක් පිරිසිදු කරගමු

පියවර 2 – රත් කරන්න.මිනිත්තු තුනකට පමණ පසු භාජනයේ අඩිය හොඳින් පිසදා එය ලිපේ තබා රත් කරන්න. වතුර හොඳින් බුබුළු දමමින් නටන තුරු මිනිත්තු 15ක් පමණ ලුණු යෙදූ වතුර රත් වෙන්නට ඉඩ හරින්න.

පියවර 3 – අතුල්ලා සේදීම.සාමාන්‍යයෙන් රත් කිරීමෙන් පසු භාජනයේ අඩියට ඇල්ලූ ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ඉබේම ගැලවී ඉවත් වනවා. නමුත් පොඩි ප්‍රමාණයක් හෝ ඉතිරි වී තිබෙනවා නම් ඊට පසුව ඔබ කළ යුත්තේ අතුල්ලා සේදීමයි. ඒ සඳහා භාජනය ලිපෙන් බා, ලුණු වතුර අඟල් භාගයක් පමණ ඉතිරි වන සේ වැඩි ටික හලා ඉවත් කරන්න. ඉන්පසු එයට තවත් අලුතෙන් ලුණු මේස හැදි දෙකක් පමණ එකතු කර රළු මතුපිටක් සහිත ස්පොන්ජ් එකක් භාවිතයෙන් අතුල්ලමින් පිරිසිදු කරන්න. අවශ්‍ය නම් භාජන සෝදන සබන් ටිකක් එයටම යොදා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. මේ පියවර අවසාන වන විට භාජනයේ සියලුම පිලිස්සුණු කොටස් ගැලවී ඉවත් වී තිබිය යුතුයි.

පියවර 4 – සෝදා වියලා ගැනීම.ඉන්පසු ඔබ සාමාන්‍යයෙන් භාජනය සෝදන ආකාරයට සාමාන්‍ය වතුර හෝ මද රස්නයෙන් යුත් වතුර සහ සබන් යොදා ගෙන භාජනය සෝදා වියළා ගන්න. ආහාර පිලිස්සී අඩිය අල්ලා තිබූ බවක් නොපෙනෙන තෙක්ම දැන් ඔබේ බඳුන පිරිසිදු වී දිස්නය දෙන අයුරු ඔබටම බලාගන්න පුළුවන්!