01. ඉහල කොලස්ටරෝල් මට්ටමක් ඇති පුද්ගලයන් බිත්තර ආහාරයට ගැනීම සුදුසු නැහැ.බිත්තර සම්බන්ධව ඇති පළමු මිත්‍යාව තමයි මේ. අතීතයේ පටන්ම හෘද රෝග ඇති පුද්ගලයන්ට ඉහල කොලස්ටරෝල් මට්ටම් ඇති ආහාර වලින් වැළකී සිටීමටයි වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ. බිත්තර වල කොලෙස්ටරෝල් 211mg ක් එනම් ඔබගේ දෛනික නිර්දේශයෙන් 70%ක්‌ පමණ අඩංගු වෙනවා. මේ නිසා ඉහල කොලස්ටරෝල් මට්ටමක්‌ ඇති ආහාර ලයිස්තුවේ බිත්තරත් අඩංගු වුණා. කෙසේ නමුත් මේ වන විට විද්‍යාව වෙනස් වෙමින් පවතිනවා. අධ්‍යන වලින් හෙළි වී ඇති පරිදි රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට හේතු වන්නේ සන්තෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය සහ සරල සීනි වර්ගයි. බිත්තර වලින් ඔබට එවන් බලපෑමක් නැහැ. මේ නිසා සතියකට බිත්තර හතරක් පහක් පමණ ආහාරයට ගැනීම හදවත් රෝග අවධානමක් ඇති පුද්ගලයන්ට තවමත් සෞඛ්‍යාරක්ෂිතයි.

02. සම්පූර්ණ බිත්තරයටත් වඩා බිත්තර සුදු මදය පමණක් සෞඛ්‍යාරක්ෂිතයි.සාමාන්‍යයෙන් සැහැල්ලු උදේ ආහාර වේලක් සඳහා නිර්දේශ කරන ආහාරයක් තමයි බිත්තර සුදු මද වලින් සැදූ ඔම්ලට්. එයට හේතුව තමයි සම්පූර්ණ කැලරි 72ක් පමණ අඩංගු බිත්තරයක සුදු මදයේ අඩංගු වන්නේ කැලරි 17ක් පමණක් වීම. ඒ වගේම බිත්තර සුදු මදයේ මේදය අඩංගු වන්නෙත් නැහැ. නමුත් එය සම්පූර්ණ බිත්තරයට වඩා පෝෂ්‍යදායි සහ සෞඛ්‍ය සම්පන්නයි බව කීම එතරම් සුදුසු නැහැ. එයට හේතුව වන්නේ ප්‍රෝටීන හැරුණුකොට විටමින් D, විටමින් B12 වැනි ඒවා බොහෝමයක් කහ මදයේ අඩංගු වී තිබීමයි. ඒ වගේම උදේ ආහාරය සඳහා බිත්තර ලබා ගන්නවා නම් කහමදය නොමැතිව සුදු මදයක් පමණක් ගැනීමෙන් කුස පිරීම සිදු වන්නේත් මද වශයෙන්. මේ නිසා නිතරම සම්පූර්ණ බිත්තරයම ආහාරයට ගැනීම වඩා පෝෂ්‍යදායී වෙනවා.

03. සුදු මදයේ අතිශයින්ම ප්‍රෝටීන් බහුලයි.සුදු මදයේ ප්‍රෝටීන් බහුල බව ඉතාම ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම ඉතාම අවම කැලරි ප්‍රමාණයකුත් මේදය රහිත වීමත් නිසා බොහෝ දෙනෙක් කහ මදය ඉවත් කර සුදු මදය පමණක් ආහාරයට ගැනීමට වර්තමානයේ පෙළඹෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔබේ ශක්තිය උත්තේජනය කරන බොහෝ විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද සහ සුදු මද පමණක් ආහාරයට ගැනීමේදී ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය වගේ දෙගුණයක් ප්‍රෝටීන්, කහ මදය සමඟ ආහාරයට ගැනීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.

04. සුදු බිත්තරවලට වඩා දුඹුරු බිත්තර පෝෂ්‍යදායි වෙනවා.මෙය ඉතාම විශාල මිථ්‍යාවක්. සුදු හාල් වලට වඩා රතු සහල් හොඳ නිසා, සුදු පාන් වලට වඩා දුඹුරු පැහැති කුරක්කන් පාන් හොඳ නිසා, මිනිසුන් සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර හොඳ බව කියනවා.නමුත් සුදු බිත්තර සහ දුඹුරු බිත්තර වල කිසිදු පෝෂණමය වෙනස් කමක් නැහැ. බිත්තර වල වර්ණයට හේතු වන්නේ ජානයි. එනම්, සාමාන්‍යයෙන් සුදු පැහැයට හෝ ලා පැහැයට හුරු කිකිළියන් විසින් සුදු පැහැති බිත්තර ලන අතර දුඹුරු හෝ රතු පැහැයට හුරු කිකිළියන් විසින් දුඹුරු බිත්තර ලෑම සිදු කරනවා. ඒ හැරුණුකොට පෝෂණමය වශයෙන් දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා වෙනසක් නැහැ.

05. බිත්තර තැබීමට ඇති හොඳම ස්ථානය වන්නේ ශීතකරණයේ දොරයි.සාමාන්‍යයෙන් ඕනෑම ශීතකරණයක දොරේ බිත්තර දැමීමට ස්ථානයක් වෙන්කර තිබෙනවා. මේ නිසා අප පුරුදු වී සිටින්නේ බිත්තර ගෙනා වහාම එම රාක්කයේ බිත්තර ඇසිරීමටයි. නමුත් ඇත්තෙන්ම බිත්තර ගබඩා කිරීමට හොඳම ස්ථානය එය නොවේ. නිතරම දොරක් ඇරෙන වැසෙන විට එම බිත්තර නිරන්තරයෙන් උෂ්ණත්ව වෙනසකට භාජනය වෙනවා. මේ නිසා ශීතකරණය ඇතුලේ තට්ටුවක පිටුපසට වන්නට බිත්තර ගබඩා කිරීමයි වඩාත් සුදුසු වන්නේ. එවිට උෂ්ණත්ව වෙනස්වීම් වලට භාජනය නොවන නිසා දිගු කාලයක් නැවුම්ව නරක් නොවී තබා ගැනීමට පුළුවන්.