පෘථිවියේ වගේම ජීවින් සිටින සහ ජිවින්ට වාසය කල හැකි පරිසරයක් තිබෙනවා දැයි පරික්ෂා කරන ග්‍රහලෝක අතරින් ඉදිරියෙන්ම සිටින්නේ රතු ග්‍රහයා නොහොත් අඟහරු ග්‍රහයායි. යුරෝපීය විද්‍යාඥයන් පිරිසක් විසින් මේ ග්‍රහලෝකයේ ඕසෝන් සහ කාබන් ඩයොක්සයිඩ් වායුන් ඇති බව නිරීක්ෂක යානයක් මගින් සොයාගනු ලැබූවා. ඊට අමතරව ඔවුන් විසින් මීතේන් වායුව ඇති බවත් සොයාගත්තා. එහි වැදගත්කම වන්නේ මීතේන් යනු ප්‍රධාන වශයෙන් ජීවින් විසින් නිකුත් කරන වායුවක් වීමයි.

අඟහරු ග්‍රහයා මත මීතේන් වායුව ඇති බව සොයා ගත්තේ 2003දී. එතැන් පටන් විද්‍යාඥයන් විසින් පෘථිවියෙන් පිටත ජීවය පැවතිය හැකි බව අනුමාන කරනවා. එයට හේතුව වන්නේ මෙම වායුව ගිනිකඳු ක්‍රියාකාරිත්වය වැනි දෙයකින් නිපදවීම හැරුණුකොට ක්ෂුද්‍ර ජීවීන් විසින් නිකුත් කිරීම වැනි ජෛව විද්‍යාත්මක කටයුත්තක් මගින්ද නිපදවිය හැකි නිසයි.

යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සියට අයත් නිරීක්ෂක යානයක් මගින් එකතු කරගත් නව දත්ත වලට අනුව, විද්‍යාඥයන් අඟහරු ග්‍රහයා මත මීතෙන් වායුව දැකීමට බලාපොරොත්තු වුණු ස්ථාන වල කාබන්ඩයොක්සයිඩ් සහ ඕසෝන්ද ඉහළ සාන්ද්‍රන වලින් ඇති බව දක්නට ලැබුණා. එනම් සාමාන්‍යයෙන් විද්‍යාඥයන් මීතේන් විශාල වශයෙන් දක්නට බලාපොරොත්තු වන ස්ථානවලම, එම නිශ්චිත තරංග ආයාමයන් වලම මෙම අනිත් වායුන්ද දක්නට ලැබීම ඉතා සුවිශේෂී දෙයක් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කෙවින් ඔල්සෙන් පවසනවා. ඒ වගේම ඔවුන් අඟහරු ග්‍රහයාගේ කලින් නොදුටු නව ස්ථානවලත් ඕසෝන් ඇති බව සොයා ගත්තා.

වසර දෙකකට අධික කාලයක් තිස්සේ සිදුකරන ලද අධ්‍යන වලින්, අඟහරු වල වායුගෝලය පෘථිවි වායුගෝලය මෙන් සිය ගුණයක් පමණ තුනී බව සොයා ගත්තා. එසේම අඟහරු වල වායු ගෝලය තුළ යම් ප්‍රමාණවලින් ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, ඕසෝන්, ආගන් සහ වෙනත් අංශූන් ඇති බවද සොයා ගැනුණා. විද්‍යාඥයන්ට අනුව මීතේන් සොයා ගැනීමට බලාපොරොත්තු වන ස්ථානවල කාබන්ඩයොක්සයිඩ්ද හමු වීම ඉතාම වැදගත් දෙයක් වනවා. ඊට හේතුව මෙම වායුව වසර 400ක් පමණ නොනැසී පවතින නිසා, එම වායූන් හමුවන ස්ථානවල යම් කිසි භූ විද්‍යාත්මක ක්‍රියාකාරකමක් හෝ ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකමක් සිදුවිය හැකි බව අනුමාන කරන නිසයි.

එම වායුව අඟහරු මත දක්නට ලැබීමට හේතුව ක්‍ෂුද්‍රජීවීන් නම්, එය අඟහරු මත ජීවයක් පවතින බවට සාක්ෂියක්‌ බව ඔවුන් පවසනවා.
කෙසේ නමුත් අඟහරු ග්‍රහයා මත සිදුකෙරෙන පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතිනවා යම් දිනෙක ඔවුන්ට ක්ෂුද්‍ර ජීවීන් හෝ වෙනත් විශේෂයක ජීවයක් මෙම ග්‍රහලොව මත පවතින බව සොයාගැනීමට හැකි වුණහොත් එය විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක් වනු ඇත.