ඔබ ඔබේ සෞඛ්‍යය ගැන බොහෝ සැලකිලිමත් වන පුද්ගලයෙක් නම් ඔබේ ආහාර ගැනත් ඉතාමත් සැලකිලිමත් වෙනවා ඇති. විශේෂයෙන්ම ඔබ ආහාරයට ගන්නා සීනි වැනි කුඩා දේවල් ගැන පවා. ඉතින් වර්තමානය වන විට දෛනිකව සුදු සීනි භාවිතයේ ඇති අහිතකර ප්‍රතිඵල ගැන වැඩි වශයෙන් ප්‍රචාරය වෙනවා. මේ ප්‍රචාර නිසා සුදු සීනි වලම තද පැහැති ඥාතියා වන “දුඹුරු සීනි” වඩා හොඳ බවක් ඉස්මතු වී පෙනෙනවා. නමුත් ඇත්තෙන්ම සුදු සහ දුඹුරු සීනි වල වෙනසක් තිබෙනවාද? සුදු සීනි වලට වඩා දුඹුරු සීනි හොඳයිද? අපි ලිපියෙන් සොයා බලන්නේ ඒ ගැනයි.

සායනික පෝෂණවේදී වෛද්‍ය රූපාලි දත්තා ට අනුව කැලරි වශයෙන් සහ පෝෂණමය වශයෙන් බැලූ විට සුදු සහ දුඹුරු සීනි යන දෙක අතිශයින්ම සමානත්වයක් දක්වනවා. එකම වෙනස තිබෙන්නේ ඒවායේ වර්ණයෙහි, රසයෙහි සහ ඒවා යටත් වන රසායනික ක්‍රියාවලිය අනුව පමණයි. හරියටම කිව්වොත් දුඹුරු සීනි කියන්නේ, සීනිවලම ව්‍යුත්පන්නයක් වන මොලෑසස් නම් සිරප් එක එකතු කළ සුදු සීනි වලටම තමයි. නමුත් සුදු සීනි වලට වඩා අඩු රසායනික ක්‍රියාවලියකට යටත් නිසා දුඹුරු සීනි, “අමු සීනි(Raw sugar)”ලෙසත් හඳුන්වනවා.
සුදු සීනි කැට වලට මොලෑසස් නිශ්චිත ප්‍රමාණයක් එකතු කිරීමෙන් මෘදු, තරමක් ඇලෙනසුළු දුඹුරු සීනි ලැබෙනවා. ඒවායේ පෝෂණ ගුණයේත් වෙනසක් නැති නිසා, වර්ණයෙහි බලපෑමක් නැති ආහාර රෙසිපි සඳහා ඔබ‍ට සුදු හෝ දුඹුරු සීනි යන දෙකෙන් ඕනෑම එකක් යොදා ගත්තා කියලා ගැටළුවක් වන්නේ නැහැ.

අපි මීළඟට බලමු සුදු සීනි සහ දුඹුරු සීනි නිර්මාණය කිරීම සඳහා සිදු කරන ක්‍රියාවලියේ වෙනස අනුව මේ දෙකෙහි වෙනසක් පවතිනවා ද කියලා. වෛද්‍යවරුන්ට අනුව සුදු සීනි කියන්නේ සම්පූර්ණයෙන්ම කාබෝහයිඩ්‍රේටයි. එනම් ශරීරය තුළදී මේවා මේදය බවට පත් වී වෙනත් ගැටලු ඇති කිරීමට හැකියාවක් තිබෙනවා. දුඹුරු සීනි කියන්නේ මොලෑසස් එකතු කරන ලද සුදු සීනි වලටමයි. දුඹුරු සීනි වලට ඒ වර්ණය ලැබෙන්නේ මේ මොලෑසස් නිසයි. නමුත් දුඹුරු සීනි වල සුදු සීනි වලට වඩා තරමක් ජලය වැඩිපුර අඩංගු වෙනවා. ඒ වගේම දුඹුරු සීනි වල සුදු සීනි වලට වඩා ග්‍රෑම් 1ක කැලරි 0.25 ක අඩුවක් තිබෙනවා. ඒ වගේම දුඹුරු සීනි වල, සුදු සීනි වලට වඩා ඉතාම සුළු වශයෙන් සාන්ද්‍රගත පැණි රස අඩුයි. මොලෑසස් නිසා දුඹුරු සීනි වල ඛනිජ ලවණත් ඉතාම සුළු ප්‍රමාණයක් වැඩියෙන් අන්තර්ගතයි.

දුඹුරු සීනි වල 95% ක් සුක්‍රෝස් සහ 5%ක්‌ මොලෑසස් අඩංගු නිසා එමඟින් එහි තෙතමනයේ සහ රසයේ වෙනසක් ඇති වුණත්, සුදු සීනි වලට වඩා විශාල කැපී පෙනෙන පෝෂණමය වෙනසක් නැහැ. ඒ කියන්නේ සුදු සීනි තරම්ම දුඹුරු සීනිත් අහිතකරයි කියන එකයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට සහ බර අඩු කර ගැනීම නිර්දේශ කරන පුද්ගලයන්ට සුදු සීනි වලට වඩා දුඹුරු සීනි හොඳයි කියා ලබාදීම ඇත්තෙන්ම ඵලක් නැති ක්‍රියාවක්.

මේ නිසා වෙළෙඳ ප්‍රචාර වලට රැවටෙන්න එපා. නිර්මාණය කිරීමේදී සිදු කරන ක්‍රියාවලිය තරමක් වෙනස් වුණත් මේ දෙක අතිශයින්ම සමානයි. ඔබ යම් ආහාරයකට දුඹුරු සීනි එකතු කරන විට, එයට සුදු සීනි එකතු කලොත් ලැබෙන කැලරි ප්‍රමාණයටම සමාන කැලරි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේ නිසා සුදුසුම දේ වන්නේ ප්‍රමාණාත්මකව භාවිතයට ගැනීමයි. දුඹුරු සීනි හෝ සුදු සීනි වෛද්‍යවරුන් විසින් දෛනිකව ලබා ගැනීමට නිර්දේශ කරන ප්‍රමාණයට ලබා ගැනීමෙන් හානියක් වන්නේ නැහැ.