නියපොතු සපාකෑම සාමාන්‍යයෙන් ළමා කාලයේ ආරම්භ වී වැඩිහිටි වියටත් ගෙන යා හැකි පුරුද්දක් වන අතර එහි අතුරු ආබාධ ඔබට ලස්සන දෑත් අහිමි වීමට වඩා බරපතළ දේවල් වෙන්න පුළුවන්. නැවත නැවත නියපොතු සපාකෑමෙන් ඔබේ නියපොතු වටා සම දුර්වල වී ආසාදනය විය හැකි අතර, නියපොතු වර්ධනය වන පටක වලට හානි වීමේ ප්‍රතිඵලයක් ලෙස නියපොතු අසාමාන්‍ය ලෙස පෙනෙන්න පුළුවන්. ඔබේ මුඛයෙන් ඔබේ ඇඟිලිවලට සහ නියපොතු වලින් ඔබේ මුහුණට සහ මුඛයට හානිකර බැක්ටීරියා සහ වෛරස් සම්ප්‍රේෂණය වන විට ඔබ විවිධ රෝග වලටත් ගොදුරු වෙන්න පුළුවන්.

මේ නිසා ඔබගේ නියපොතු සපා කෑමේ නරක පුරුද්ද නැතිකර ගැනීමට චර්ම රෝග විශේෂඥයන් විසින් නිර්දේශ කරන පහත පුරුදු අනුගමනය කරන්න.

01. නියපොතු සෑම විටම කොටට තබා ගන්න.නියපොතු සැමවිටම කොටට තිබීමෙන්, ඔබ‍ට නියපොතු කන්න අවශ්‍ය වුණත් කන්න දෙයක් නැහැනේ. මේ නිසා නියපොතු වැවෙන වැවෙන ගානට ඒවා කපමින් නිරන්තරයෙන් නියපොතු හොඳටම කොටට තබා ගන්න උත්සාහ කරන්න. කිසිම විටෙක නියපොතු දිගට වැවෙන්න ඉඩ හරින්න එපා.

02. තිත්ත රසැති නිය ආලේපනයක් ආලේප කරන්න.දැන් ඔබ හිතනවා ඇති “අපි නිය ආලේපන මිලදී ගන්නේ රස බලලා නෙවෙයිනේ” කියලා. නමුත් සෑම නිය ආලේපනයක්ම වගේ තිත්ත රසින් යුක්තයි. එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා මිලදී ගන්නට, විශේෂයෙන් නියපොතු කන අය සදහාම නිර්මාණය කළ අධික තිත්ත රසකින් යුත් නිය ආලේපන පවා තිබෙනවා. එහෙම නැතත් සාමාන්‍ය නිය අලේපන වලත් සෑම විටම තිත්ත සහ අප්‍රසන්න රසායනික ද්‍රව්‍ය රසයක් එන නිසා නිය පොතු කන බොහෝ දෙනෙක්ව අධෛර්යමත් කිරීමට එම රසය සමත් වෙනවා.

03. නිතර නිය අලංකාරව තබා ගන්න.රූපලාවන්‍යාගාර වලින් මැනිකියෝ ලෙස ඔබගේ දෑතේ නියපොතු ලස්සනට තබා ගන්න ක්‍රම තිබෙනවා. ඉතින් මුදල් වියදම් කර එවන් සත්කාරයක් ලබාගැනීමෙන් පසු නියපොතු සපා කෑමට ඔබ තරමක් මැලි වෙනවා. මොකද ඔබ සල්ලි වියදම් කරලා ලස්සනට පෙනෙන්න තියෙන නියපොතු හපලා විනාස කරගන්න එක අපරාධයක් කියලා ඔබට හිතෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ නිවසේ සිටින කෙනෙක් නම්, ගෙදරදි රබර් අත් වැසුම් පැළඳගෙන ඉන්න ඔබට පුළුවන්. එයින් ගෙදර දොරේ රළු වැඩකටයුතු හා උපකරණ වලින් ඔබේ දෑතේ සම සහ නියපොතු ආරක්ෂා කරගන්න පුලුවන් වගේම නියපොතු සපා කෑමත් අවහිර කෙරෙනවා.

04. පුරුද්ද වෙනස් කරන්න.බොහෝ දෙනෙක් නියපොතු කන්නේ පුරුද්දක් ලෙස විතරක්ම නෙවෙයි. ඔවුන් කලබල වූ විට සහ ආතතියෙන් පෙළෙන විටත් නියපොතු සපා කෑමට පෙළඹෙනවා. ඉතින් එවන් අවස්ථාවකදී වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන සෙල්ලම් බඩු හා උපකරණ තිබෙනවා. උදාහරණයක් විදියට ආතතියෙන් පෙළෙන පුද්ගලයන්ට එවන් අවස්ථාවකදී මිරිකීමට කුඩා රබර් බෝල හෝ වෙනත් එවැනි උපකරණ තිබෙනවා. ඔබත් එවැන්නක් සෑම විටම අත ළඟින් තබා ගන්න. එවිට ඔබ ආතතියට හෝ කලබලයට පත්වූ විට අත කටට ගෙන යනවා වෙනුවට, අත කාර්යබහුල කිරීමට වෙනත් හිතකර ක්‍රීඩාවක් ඔබට තිබෙනවා. මේ නිසා කාලයක් ගත වීමේදී ඔබගේ නරක පුරුද්ද නිතැනින්ම නැතිවෙලා යනවා.

05. නියපොතු සපා කෑමට මුල්වන හේතුව සොයා ගන්න.ඔබ දැක ඇති ඇතැම් විට නියපොතු වල දෙපසින්, සම සහ නියපොත්ත අතරින් පුංචි නියපොතු කැබලි වැනි ඒවා ඉදිරියට විත් තිබෙනවා. (Hang nails) ඇතැම් අය නියපොතු කෑමට පෙළඹෙන්නේ මෙවන් කුඩා කැබලි කටින් සපා ඉවත් කිරීමට තැත් දරන නිසයි. ඇතැම් අය නියපොතු හපන්නේ අප කලින් කියූ පරිදි ආතතිය හා හිතේ කලබලකාරී ස්වභාවය නිසයි. ඇතැම් අය අලස බව සහ පාළුව තනිකම නිසාත් මෙම නරක පුරුද්දට යොමු වෙනවා. ඉතින් ඔබ මුලින්ම ඔබගේ නියපොතූ සපාකෑමට හේතුව හඳුනාගන්න. ඉන්පසු වෛද්‍යවරයෙකු හමුවී එවන් තත්ත්වයකදී ඔබට කල හැකි දේවල් ගැන සාකච්ඡා කරන්න. නියපොතු සපාකෑමට හේතුව ඒ ආකාරයෙන් ඔබට නැති කර ගැනීමට පුළුවන් නම්, එම හේතුව තුළින් ඇති වූ පුරුද්දත් ඉබේම නැති වී යාවි.

06. නියපොතු සපාකෑම ක්‍රමානුකූලව නවත්වාගන්න.බොහෝ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ නියපොතු සපාකෑම ක්‍රමානුකූලව පියවරින් පියවර නවත්වා දැමීමේ ක්‍රමවේදයකුයි. මුලින්ම, “මම අද පටන් මගේ මහපට ඇඟිලි වල නියපොතු කන්නේ නෑ” යයි අධිෂ්ඨාන කරගන්න. එය නිතරම සිහියේ තබාගන්න. ඊළඟට ඔබ නියපොතු සපාකන සෑම අවස්ථාවකදීම මහපට ඇඟිලි සිතා මතාම මඟහරින්න. දික්‌ වූ නිය පොතු කැබැල්ලක්‌ වැනි ඔබව පොළඹවන දෙයක් දුටුවත් මහපට ඇඟිල්ලෙ නියපොතු සපාකෑම බලහත්කාරයෙන් නවත්වා ගන්න. සතියකින් පමණ පසු ඔබ සිතන්න, “මම අද ඉඳන් මගේ සුලැඟිලි වල නියපොතු හපන්නේ නැහැ” කියලා. ඒ ආකාරයට සතියෙන් සතිය ඔබ එක ඇඟිල්ල බැගින් අඩු කරමින් සිදු කරන්න. කෙසේ හෝ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ඔබට එක ඇඟිල්ලකවත් නියපොතු සපා කෑමට බැරි වීමයි.