අපි තද පැහැති ඇඳුමක් ඇඳ සිටින අවස්ථාවකදී, විශේෂයෙන්ම රැස්වීමක් හෝ උත්සව අවස්ථාවකදී, ඔලුව කැසීම සහ ඔලුව කසන විට හැමදෙනාටම දකින්න පුළුවන් විදිහට සුදු පැහැති හිස්හොරි උරහිස් මතට වැටීම කොයිතරම් ඔබව අපහසුතාවයට පත් කරනවද කියලා අපි දන්නවා. හිස්හොරි කියන්නේ ලෝකයේ ඕනෑම ජන කණ්ඩායමක දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක්. හරියටම කිව්වොත් ලෝක ජනගහනයෙන් හරි අඩක්ම හිස්හොරි වලින් පීඩා විඳිනවා.

හිස්හොරි ඇතිවීමට හේතුව වන්නේ හිස්කබල මත ඇති සීබම් තරලයෙන් පෝෂණය වන මැලස්සේශියා (Malassezia) නම් දිලීරය සහ මැරුණු සෛලයි. මෙම දිලීරය හිස්කබල මත වාසය කිරීම සාමාන්‍ය දෙයක් වුණත්, එය ගැටලුවක් බවට පත් වන්නේ ඔවුන් විසින් සීබම් තරලයෙන් පෝෂණය වෙමින් ඒවා මේද අම්ල බවට බිඳ හෙළන විට සංවේදී සමක් ඇති පුද්ගලයන්ට එය අහිතකර වන විටයි. ඔලුව කැසීමට සහ වියලීමට හේතුවක් වන්නේද මෙයයි. ඔලුව කසන විට මැරුණු සෛල පැහැදිලිව පෙනෙන කැබලි ලෙස ගැලවී යනවා. ඒවා තමයි හිස්හොරි ලෙස ඔබගේ උරහිස මත පතිත වෙන්නේ.

මේද අම්ල වලට ඔබේ සමේ ඇති සංවේදීතාවය අනූවයි ඔබගේ ඔලුවේ හිස්හොරි ඇතිවන ප්‍රමාණය තීරණය වන්නේ. මේද අම්ල වලට අධික සංවේදීතාවයක් දක්වන කෙනෙකුගේ ඔලුවේ හිස්සොරි බොහෝ ප්‍රමාණයක් තිබෙන්න පුළුවන්. මෙම දිලීරය වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නෙ තෙතමනයක් සහිත පරිසර වලටයි. ඒ නිසයි උෂ්ණ කාලවලදී, ආර්ද්‍රතාවය සහ ඔලුවේ දහඩිය වැඩි වශයෙන් ඇති නිසා හිස්හොරි වැඩි බවක් ඔබ‍ට දැනෙන්නේ. නමුත් ශීත කාලවලදී තෙතමනයක් නැති වුනත්, ඇතිවන එම වියළි භාවය නිසා හිස කැසීමත් කලින් පරිදිම මැරුණු සෛල ගැලවී යාමත් සිදුවෙනවා. කෙටියෙන් කියනවා නම් අවුරුද්දේ මොන කාලයක වුණත් හිස්හොරි තිබෙන්න පුළුවන්.හිස්සොරි ඇතිවීම ඔබගේ සමේ සංවේදීතාවය සම්බන්ධ ගැටළුවක් නිසා එය සම්පූර්ණයෙන්ම නැති කර දැමීම තරමක් අපහසුයි. නමුත් ඔබට ගෙදරදීම සිදු කළ හැකි පහත ක්‍රම මගින් ඒවා බොහෝ දුරට පාලනය කළ හැකියි.

01. හිසෙහි තෙල් ගැල්වීම.ඉන්දියාවේ චර්ම රෝග විශේෂඥවරයෙකු ඔහුගේ අධ්‍යනයන්ගෙන් පසු හෙළි කරන්නේ, ‘හිස්සොරි පවතින කෙනකු ඔලුවෙ තෙල් ගෑම ඉතාම හොඳ’ බව පවසන කතාව ඇත්ත වශයෙන්ම ලොකු මිථ්‍යාවක් බවයි. ඔහු පවසන ආකාරයට තෙල් හරියට හිස්හොරි ඇති කරන දිලීර වර්ගයට පෝෂණය සපයන ආහාරයක් වගෙයි. ඔබගේ හිස්හොරි සහිත ඔළුවේ වියලි, කසන සමට තෙල් ගැල්වීම ඉතාම සුවදායක වුණත් ඇත්තෙන්ම එයින් වන්නේ ඔබගේ හිස්හොරි තත්ත්වය වැඩි වීම පමණයි. වඩාත්ම නරක දෙය වන්නේ තෙල් ගල්වා බොහෝ වේලාවක් තිබෙන්නට හැරීමයි. ඔබට තෙල් ගාන්නම අවශ්‍ය නම්, ගල්වා සුළු වේලාවකින්ම හොඳින් සෝදා හරින්න.

02. විනාකිරි.විනාකිරි වල ඇති ආම්ලික ගතිය මගින් හිස්හොරි ඇති කරන බැක්ටීරියා හා දිලීර විනාශ කිරීමටත්, මැරුණු සෛල කැබලි වශයෙන් ගැලවීමත්, හිසෙහි වියළි බව හා කැසීමත් අවම කරනවා. මේ නිසා හිස්හොරි ඇති කෙනෙකු ස්නානය කිරීමට පැය භාගයකට කලින් සුදු විනාකිරි සහ ජලය සමාන කොටස් මිශ්‍රකර හිසේ ගල්වා තබා සෝදා හරින්න.

03. බේකින් සෝඩා.බේකින් සෝඩා ස්ක්‍රබ් එකක් ආකාරයට ක්‍රියා කරමින් හිස් කබලේ ඇති මැරුණු සෛල ඉවත් කරනවා. මේ මැරුණු සෛල ඉවත් කිරීමේ ක්‍රියාවලිය වැදගත් වන්නේ, එම සෛල හිස්කබලේ එකතු වීමෙන් හිස්සොරි වැඩිපුර පිටතට දර්ශනය වන නිසයි. මේ නිසා හිසෙහි මැරුණු සෛල වරින්වර මෙලෙස ස්ක්‍රබ් කර ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. බේකින් සෝඩා වල මෙලෙස මැරුණු සෛල ඉවත් කිරීමේ ගුණයට අමතරව, දිලීර වලට එරෙහිව ක්‍රියා කිරීමත්, හිස් කබලේ කැසීම සහ රතු වීම අවම කිරීමේ හැකියාවත් තිබෙනවා. බේකින් සෝඩා භාවිතය ඉතාම පහසුයි. ඔබ කළ යුත්තේ ඔබ භාවිතා කරන ෂැම්පූ එකට බේකින් සෝඩා ටිකක් එකතු කර ස්නානය කරන විට සාමාන්‍ය පරිදි ෂැම්පු කර ස්නානය කිරීමයි.

04. කොහොඹ.කොහොම කියන්නේ ඉතාම ඖෂධීය ශාකයක්. මේ නිසයි අතීතයේ සිට අද දක්වාත් සමේ විවිධ ගැටලු සඳහා කොහොඹ යොදාගන්නේ. විශේෂයෙන්ම එහි ඇති බැක්ටීරියා හා දිලීර නාශක ගුණය නිසා මෙය ඉතාම සුවිශේෂ ස්වාභාවික ඖෂධයක් ලෙස සලකනවා. ඉතින් කොහොඹ වල මේ ගුණය ඔබට හිස සඳහාත් යොදාගන්න පුළුවන්. හිස්හොරි ඇති කෙනෙකු කොහොඹකොළ යෙදූ වතුර හොඳින් තම්බා එම වතුර නිවුණු පසු හිසේ ගල්වා සෝදා හරින්න.

05. ටී ට්‍රී ඔයිල්.ටී ට්‍රී ඔයිල් (Tea tree oil) වල අඩංගු බැක්ටීරියා හා දිලීර නාශක ගුණය නිසා ඒවා කුරුලෑ හා දිලීර වලට එරෙහිව නිපදවන බොහෝ ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. ටී ට්‍රී ඔයිල් තරමක් සාන්ද්‍ර ලෙස ඔබට වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙනවා. එයින් බින්දු කිහිපයක් ඔබගේ ෂැම්පු එකට එකතු කර සාමාන්‍ය පරිදි ෂැම්පු කර ස්නානය කරන්න.

06. සුදුළූනූ.සුදුළූණු වල ඇති සැර ගන්ධයට ඇතැම් අය අකමැති වුනත්, ඒවායේ ඇති ඖෂධීය ගුණ නම් අසීමිතයි. එහි ඇති දිලීර නාශක ගුණය අපට හිස්හොරි වලට එරෙහිව යොදා ගන්නට පුළුවන්. මෙවන් අවස්ථාවකදී, ඒ කියන්නේ ඖෂධයක් ලෙස යොදා ගන්නා විට, පිසින ලද සුදුලුනු භාවිතා කරන්න එපා. ඔබ සෑම විටම භාවිතා කළ යුත්තේ අමු සුදුලූනුයි. සුදු ළූනූ බිකක් හෝ දෙකක් හොඳින් පොඩිකර වතුර සමඟ මිශ්‍රකර හිසේ ගල්වන්න. පසුව සුළු වේලාවකින් සෝදා හරින්න. ඔබ එහි සුවඳට අකමැති නම් මී පැණි සහ ඉඟුරු සමඟ මිශ්‍රකර භාවිතා කරන්න.

07. කෝමාරිකා.කෝමාරිකා වල ඇති බැක්ටීරියා හා දිලීර වලට එරෙහිව සටන් කිරීමේ ගුණයට අමතරව එහි ඇති සිසිල් බව නිසා හිස් කබලේ කැසීම නවත්වා සමනය කිරීමටත්, මැරුණු සෛල ඉවත් කිරීමටත් හැකියාවක් තිබෙනවා. නැවුම් කෝමාරිකා ඉත්තකින් මදය වෙන් කරගෙන තරමක් පොඩි කර හිස් කබලේ ගල්වා එතරම් ප්‍රබල නැති ෂැම්පු එකකින් (Mild shampoo) හෝ හිස්හොරි වලට එරෙහිව ක්‍රියාකරන ෂැම්පු එකක් (Anti-dandruff shampoo) භාවිතා කර සෝදා හරින්න. තරමක් සෙම ගතිය ඇති කෙනෙකු කෝමාරිකා හිස්කබලේ ගැල්වීමේ දී ප්‍රවේශම් වන්න. මොකද කෝමාරිකා සීතල නිසා ඔබගේ සෙම ඇවිස්සීමට පුළුවන්.