ඔබ ගෙවත්තෙන් කඩා ගන්නා හෝ මිලදී ගන්නා පලතුරු අමු අවස්ථාවකදී ඒවා ඉදෙන තෙක් නිකන්ම දින ගණනක් බලා සිටිනවා වෙනුවට ඉක්මනින්ම ඉදවා ගැනීමට ක්‍රම කිහිපයක් අපි මෙහි කියලා දෙනවා. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී යම් සලාදයක් සෑදීමට ඔබ ගෙනා පලතුරු අවශ්‍ය ප්‍රමාණයට ඉදී නැත්නම්, උත්සවයට පෙර ඒවා ඉදීමට කාලයක් නැත්නම්, මේ ක්‍රම ඔබට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේවි. පලතුරු ඉදවීම සඳහා, සාමාන්‍යයෙන් පලතුරු ඉදීමේදී එහි ඇතුළත සිදුවන රසායනික ක්‍රියාවලිය ඔබ දැනගත යුතුයි. පලතුරු වල ඉදීමට හේතු වන එතිලින් නම් වායුවක් නිපදවෙනවා. ඉතින් රසායනික ද්‍රව්‍ය නොමැතිව අපට පලතුරු වලින් නිපදවෙන මෙම එතිලින් වායුව ඒ තුළම සිර කර තබා ගැනීමට ක්‍රම සොයා ගන්න පුළුවන් නම් ඒවා ඉදවීම අපහසු දෙයක් නෙවෙයි. පහතින් දැක්වෙන්නේ ඒ සඳහා පහසු ක්‍රම කිහිපයක්.

01. කඩදාසි බෑග්.මෙම ක්‍රමය ඔබට අලිපේර, කෙසෙල්, ඇපල්, පෙයාර්ස් වැනි බොහොමයක් පලතුරු සඳහා යොදාගන්න පුළුවන්. ඔබ‍ට ඉදවීමට අවශ්‍ය පලතුරු කඩදාසි බෑගයක බහා, ඇතුළත වාතය පිටතට නොයන සහ පිටත වාතය ඇතුලට නොඑන සේ හොඳින් වසා තබන්න. එවිට පලතුරු වලින් නිපදවෙන එතිලින් වායුව ඒ තුළම සිරවී ගෑස් කුටියක පරිසරයක් එය තුල නිර්මාණය කරනවා. එවිට පලතුරු ඉක්මනින්ම ඉදීම සිදු වෙනවා.

02. කෙසෙල්.ඉහතින් දැක්වූ කඩදාසි ක්‍රමය තවත් වැඩිදියුණු කිරීමට කෙසෙල් වලට පුළුවන්. කෙසෙල් කියන්නේ ඉතාම හොඳින් එතිලින් වායුව නිපදවන පලතුරක්. ඉතින් අපි හිතමු ඔබ‍ට අලිපේර ඉදවා ගැනීමට අවශ්‍යයි කියලා. ඒවා නිකන්ම කඩදාසි බෑග් එක තුලට දමනවාට වඩා කෙසෙල් ගෙඩියකුත් සමග බෑග් එකට දමා වසා තබන්න. කෙසෙල් ගෙඩියක් සමඟ අලිපේර වඩා ඉක්මනින් ඉදීම සිදුවෙනවා. ඒ ඉදුණු කෙසෙල් ගෙඩියක් නම්, ක්‍රියාවලිය ඊටත් වඩාත් ඉක්මන් වෙනවා. ඇපල් කියන්නෙත් කෙසෙල් වගේම හොඳ එතිලින් නිෂ්පාදකයෙක්.

03. සහල්.ජංගම දුරකතනයක් වතුරට වැටුණු විට එහි වතුර ඉවත් කරගැනීමට එය සහල් ගොඩක ඔබා තබන ක්‍රමය බොහෝ දෙනෙක් දන්නවා ඇති කියලා අපි සිතනවා. ඉතින් මේ ක්‍රමයේදීත් ඒ ආකාරයටම ඔබ‍ට ඉදවා ගැනීමට අවශ්‍ය අඹ වැනි පලතුරු සහල් ගොඩක ගිල්වා තබන්න. එවිට එතිලින් වායුව හොඳින් සිරකෙරෙන නිසා පළතුරු, දිනකින් හෝ දෙකකින්ම ඔබට අවශ්‍ය තරමට ඉදවා ගැනීමට පුළුවන්.

04. ලිනන් රෙදි.මේ ක්‍රමය ඔබට පීච්, අඹ, ඇප්‍රිකට් වැනි පලතුරු (Stone fruits) සඳහා යොදාගන්න පුළුවන්. මේ සඳහා දෙකට තුනට නැමූ ලිනන් රෙදි දෙකක් ගන්න. එකක් මේසය මත අතුරා, එය උඩින් ඔබ‍ට ඉදවා ගැනීමට අවශ්‍ය පලතුරු ගෙඩි තරමක් ඈතින් , ඒ කියන්නේ එකිනෙක නොගෑවෙන සේ තබන්න. ඉන්පසු ඒ පලතුරු සියල්ල වැසෙන සේ අනිත් ලිනන් රෙද්ද ඒ මතින් එලන්න. මේ ක්‍රමයෙනුත් ඔබට පලතුරු ඉක්මනින් ඉදවා ගන්න පුළුවන්.

05. උෂ්ණත්වය.ගොඩක්ම අමු කෙසෙල් ගෙඩි ඉදවා ගැනීමට අවශ්‍යද? ඔබ‍ට ඒ මොහොතට අවශ්‍ය තරම් ගෙඩි කිහිපයක් කඩාගෙන, 300°F උෂ්ණත්වයේ මිනිත්තු 30-50 පමණ බේක් කරගන්න. එවිට ඔබට කෙසෙල් ගෙඩි අතින් පොඩි කළ හැකි තරමට ඒවා මෘදුව ප්‍රනීතව ඉදවා ගැනීමට පුළුවන්. නමුත් ඔබට ඒ තරම් කාලයක්වත් ගත කරන්න බැරි තරම් හදිස්සියි නම් ගෑරුප්පුවක් ගෙන තරමක් හිල් සිටින සේ කිහිප වතාවක් අනින්න. ඉන්පසු මිනිත්තුවක් දෙකක් මයික්‍රෝවේව් උඳුනේ රත් කර ගන්න.