රට ඉඳි කියන්නේ ඉතාමත් රසවත් පලතුරක්. කළු, තද දුඹුරු, රතු වර්ණයේ සිට දීප්තිමත් කහ පැහැය දක්වා ඉඳි වල වර්ණය වෙනස් වෙනවා. වඩාත්ම බහුල රට ඉඳි වර්ග දෙක තමයි මෙඩ්ජූල් සහ ඩෙග්ලේට් නූර් කියන වර්ග දෙක. රසවත් පලතුරක් වීම හැරුණුකොට රට ඉඳි වල වෙනත් බොහෝමයක් ප්‍රයෝජන තිබෙනවා. මොකද ඉඳි කියන්නේ ඉතාම ගුණදායක, පෝෂක බහුල පලතුරක්. අපි මේ ලිපියෙන් කියන්නේ ඒ ගැනයි.

01. පෝෂණ ගුණය.

රටඉඳි, විශේෂයෙන්ම වියලි රටඉඳි වල බහුලව කැලරි අඩංගු වෙනවා. මෙම කැලරි විශාල වශයෙන් කාබෝහයිඩ්‍රේට වලිනුත් ඉතිරි සුළු ප්‍රමාණයක් ප්‍රෝටීන වලිනුත් ලැබෙනවා. කැලරි හැරුණු කොට වෙනත් විටමින්, ඛනිජ ලවණ සහ තන්තු විශාල ප්‍රමාණයක් රට ඉඳි වල අඩංගු වෙනවා. පහතින් දැක්වෙන්නේ රට ඉඳි ග්‍රෑම් 100ක අඩංගු වන පෝෂණ සංඝටකයි.

* කැලරි – 277

* කාබෝහයිඩ්රේට – 75g

* තන්තු -7g

* ප්‍රෝටීන් – 2g

* පොටෑසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 20%

* මැග්නීසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 14%

* තඹ – දෛනික අවශ්‍යතාවයෙන් 18%

* මැංගනීස් – දෛනික අවශ්‍යතාවයෙන් 15%

* යකඩ – දෛනික අවශ්‍යතාවයෙන් 5%

* විටමින් B6 – දෛනික අවශ්‍යතාවයෙන් 12%

02. විශාල වශයෙන් තන්තු අඩංගු වීම.

රට ඉඳි ග්‍රෑම් 100ක තන්තු ග්රෑම් 7ක ප්‍රමාණයක් අඩංගු වීම නිසා ඔබගේ දෛනික තන්තු අවශ්‍යතාවය සපුරා ගැනීමට ආහාරය සඳහා රට ඉඳි එකතු කර ගැනීම ඉතාම හොඳ විසඳුමක්. තන්තු මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරමින් මල බද්ධය වලක්වාලීමත්, මලපහ හොඳින් නිපදවීමත් සිදු කෙරෙනවා. එක්තරා අධ්‍යනයකට අනුව දිනකට රට ඉදි 7 බැගින් දිනපතා සති තුනක් තිස්සේ රටඉඳි ආහාරයට ගත් මිනිසුන් 21දෙනෙකුගේ කලින් තිබුනාට වඩා ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු වී මලබද්ධය නැති වුණ අයුරු දක්නට ලැබුණා.
ඒ වගේම රුධිර සීනි මට්ටම පාලනය කිරීම සඳහාත් තන්තු උපකාරී වෙනවා. තන්තු මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉක්මනින් සහ පහසුවෙන් සිදුවීම නිසා ආහාර ගැනීමෙන් පසු රුධිරයෙහි සීනි මට්ටම වේගයෙන් ඉහළ යාම වළක්වනවා. මේ නිසා යම් ආහාරයක් ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම කෙතරම් ඉක්මනින් ඉහල යනවාදැයි මැන බැලෙන ග්ලයිසිමික් දර්ශකයේ පහළ අගයක් තමයි රට ඉඳි ලබා ගන්නේ.

03. රෝග වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිඔක්සිකාරක.

ඉඳි වල විවිධ රෝග වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිඔක්සිකාරක බොහොමයක් අඩංගු වෙනවා. පහතින් දැක්වෙන්නේ රටඉඳි වල බහුලවම අඩංගු වන ප්‍රතිකාරක වර්ග තුනක්‌.

* ෆ්ලේවනොයිඩ්ස්: ෆ්ලේවනොයිඩ් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය දැවිල්ල (Inflammation) අඩු කිරීමට සහ දියවැඩියාව, ඇල්සයිමර් රෝගය සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමේ හැකියාව පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලනවා.

* කැරොටිනොයිඩ්ස්: කැරොටිනොයිඩ හදවතේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන බව සනාථ වී ඇති අතර ඇස් ආශ්‍රිත ආබාධ, එනම් අක්ෂි පරිහානිය (macular degeneration) වැනි රෝග ඇතිවීමේ අවදානම අවම කරනවා.

* ෆීනොලික් අම්ලය: එහි Anti inflammatory ගුණ සඳහා ප්‍රසිද්ධ ෆීනලික් අම්ලය විසින් හර්දයාබාද සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.

04. මොළයේ සෞඛ්‍යයට දායක වීම.

දැවිල්ල (Inflammation) අඩු කිරීමට සහ ඇල්සයිමර් රෝගය වැළැක්වීමට උපකාරී වන ප්‍රතික්‍ෂුද්‍රජීවී ද්‍රව්‍ය මොළයේ නිර්මාණය වීම රට ඉඳි මඟින් වළක්වනවා. මීට අමතරව මතකය වැඩි දියුණු කිරීම, චර්යාමය වෙනස්කම් සහ ආතතිය අඩු කිරීම වැනි දේවල් වලට සම්බන්ධව රටඉඳි වල සාර්ථක ප්‍රතිඵල සතුන් මගින් සිදුකළ පරීක්ෂණ වලදී පෙන්වා තිබෙනවා.

05. ප්‍රසූතිය පහසු කිරීමට.

අධ්‍යයන වලින් හෙලිවී ඇති පරිදි දරු ප්‍රසූතියට සති කිහිපයකට කලින් සිට දිනපතා රට ඉඳි ආහාරයට ගන්නා කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය ස්වභාවිකවම පහසුවෙන් සිදුවීමත්, ඒ සඳහා ගතවන කාලය අඩු වන බවත් ඔප්පු වී තිබෙනවා. එයට හේතුව රටඉඳි වල ඇති, ගැබිණි කාන්තාවන්ගේ ඔක්සිටොසින් ප්‍රතිග්‍රාහක හා බැඳෙන සංඝටක විසින් ඔක්සිටෝසින් වල ක්‍රියාව අනුකරණය කිරීම නිසයි. ඔක්සිටොසින් යනු ප්‍රසූතියකදී සංකෝචන ඇති කිරීම සඳහා හේතු වන හෝර්මෝනයයි.

06. රසකාරකයක් ලෙස.

රට ඉඳි කියන්නේ පළතුරු වල හමුවන සීනි වර්ගය වන ෆ්‍රක්ටෝස් වල ස්වභාවික ප්‍රභවයක්. මේ නිසා රට ඉඳි ඉතාමත් ප්‍රණීත පැණි රසකින් යුක්තයි. පැණි රසට අමතරව එහි අඩංගු වන පෝෂක, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක සලකා බලන විට රට ඉඳි, සුදු සීනි සඳහා වන ඉතාම හොඳ ආදේශකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ඔබ රටඉඳි සහ වතුර 1:1 අනුපාතයට යොදා පේස්ට් එකක් සාදාගෙන සීනි අවශ්‍ය වෙලාවට භාවිතයට ගන්න. නමුත් ඔබ මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ ඉඳි වල කැලරි බොහෝ සෙයින් අඩංගු වන බැවින් පමණ ඉක්මවා භාවිතා කිරීමද හිතකර නොවන බවයි.

07. වෙනත් සෞඛ්‍යමය ප්‍රතිලාභ.

* අස්ථි සෞඛ්‍යය සඳහා – රට ඉඳි වල මැග්නීසියම් යකඩ කැල්සියම් පොස්පරස් වැනි ඛනිජ ලවණ අඩංගු වන නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා ගුණදායක බව සොයාගෙන තිබෙනවා.
* රුධිර සීනි මට්ටම සඳහා – රට ඉඳි වල අඩු ග්ලයිසිමික් දර්ශකය නිසා එමගින් රුධිරයේ සීනි මට්ටම යාමනය කළ හැකි බව පැවසෙනවා.

නමුත් ඔබ මතක තබාගත ඇති විශේෂ කාරණය වන්නේ මේවා තරමක් දුරට අධ්‍යනය කර තිබුණත්, හරිහැටිම තහවුරු කරන ආකාරයෙන් අධ්‍යනය කර නොමැති බවත්, මේවා කිසිසේත්ම ඖෂධ සඳහා ආදේශකයක් ලෙස ක්‍රියා නොකරන බවත්ය.

08. ආහාරයට එකතු කර ගැනීමේ පහසුව.

රට ඉඳි ඉතාම රසවත් පලතුරක් නිසා ඒවා කෙලින්ම ආහාරයට ගැනීමට අමතරව වෙනත් ආහාර සඳහා එකතු කර ආහාරයට ගැනීමටත් පුළුවන්. උදාහරණයක් ලෙස ඕට්ස් සඳහා රට ඉඳි කිහිපයක් දැමීම, සලාද සඳහා, කේක් සඳහා, සෝස් වර්ග සඳහා, බිස්කට් සඳහා ආදී විවිධ වෙනත් කෑම වර්ගවලට රට ඉඳි එකතු කර ගැනීමෙන් ඒවායේ රසය තවත් වැඩිකර ගැනීමට ඔබට පුළුවන්. නමුත් අප කලින් කියූ පරිදි රට ඉඳි ප්‍රමාණාත්මකව ආහාරයට ගැනීමට සැලකිලිමත් විය යුතුයි.