දීර්ඝායුෂ ලබාදෙන, සියලු අසනීප වලට ගුණදෙන, රස වර්ග පහම කැටිවුන දේවමය පලතුරක් ලෙස නෙල්ලි ආයුර්වේදය තුළ පිළිගැනෙනවා. හින්දු භක්තිකයින් විශ්වාස කරනා අන්දමට මෙම නෙල්ලි සුර අසුර යුද්ධයේදී විශ්ණු දෙවියන්ගේ මුවින් පිටවුන කෙල පිඩකින් හටගත් ඖෂධීය ශාකයක්.

දේශීය නෙල්ලි මෙන්ම විදේශීය රට වලින් හඳුන්වා දී ඇති නෙල්ලි වර්ග ද අපට වෙළඳපොලේදී දැකගත හැකියි. මෙය වෙන්කර හඳුනාගත හැක්කේ නෙල්ලි වල ප්‍රමාණය සහ බර අනුවයි. දේශීය නෙල්ලි විදේශීය නෙල්ලි වලට වඩා ප්‍රමාණයෙන් සහ බරින් අඩු යි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස වර්ග පහම සමන්විත ශරීර යහ පැවැත්ම, නිරෝගී බව, ආයුෂය, චිර ජීවනය, යොවුන් බව නංවාලන වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන් සමනය කරන විශ්මිත ඔසුවක්. ඒ විතරක් නෙවෙයි පුරාණ රජවරුන්ගේ තරුණ බව රැකගැනීම සඳහා විශේෂයෙන් සැකසූ රහස් ඖෂධයක් වන චාවන්ප්‍රශ් නම් රසායනය තුළද අඩංගු වන ප්‍රධාන ඖෂධයක්.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉතාම අවම කරන, ලේ වල ඇති සීනි මට්ටම අදහාගත නොහැකි ලෙස අඩු කරන මේ විශ්මිත පලතුරේ ඇති ගුණය කියා නිමකළ නොහැකියි. දෑස්වල පෙනීම අසාමාන්‍ය විදිහට යලිත් ලබාදෙන ඔසුවක් ලෙසත් නෙල්ලි ප්‍රකටයි. එසේම අක්මාව සුරකින රසායනිකයක් ද එහි ඇතුළත්.

කාන්තාවන් පෙලෙන භයානකම අනතුරක් වූ අකලට හිසකෙස් පැසීම, හිසකෙස් වැටීම හා හිසකෙස් අඩුවෙන් වැවීම සඳහා යොදාගන්නා විශ්මිත බෙහෙත වන්නේද නෙල්ලි හෙවත් අම්ලායි.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ නෙල්ලි හෙවත් අම්ලා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමයි. එය දහසක් රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නක්.

මේ තරම් උත්තම ගුණ පිරුණු ඖෂධයක් මිහිපිට තවත් නොමැති තරම්. ඒ තරමටම නෙල්ලි වල ගුණ බහුලයි. ඒ නිසාම අද ලෝකය පුරාම තම නීරෝගීකමත්, සනීපයත්, නව යොවුන් පෙනුමත් ගැන සිතන අයගේ ප්‍රියතම පානය වී ඇත්තේ අම්ලා පානය හෙවත් නෙල්ලි යුෂ පානයයි.

ඔබට හැකියාවක් තියෙනවා නම් සතියකට දෙවතාවක් වත් නෙල්ලි ජූස් එකක් හදාගෙන බොන්න. එය ඔබට සිතාගන්නටවත් බැරි තරමට පහත විශ්මිත ගුණ නොඅඩුව ලබා දේවි.

ඉදුණු නෙල්ලි 100g ක අඩංගු ගුණ

  •  ජලය – 81.8 g
  • ශක්තිය – 58.0 kcal
  • මාංශ ජනක ධාතු – 0.5 g
  • මේදය – 0.1 g
  • කැල්සියම් – 50 mg
  • පොස්පරස් – 20 mg
  • යකඩ – 1.2 mg
  • තයමින් – 30 mg
  • රිබෝප්ලේවින් – 10 mg
  • නියසීන් – 0.2 mg
  • විටමින් A – 04 mg
  • විටමින් C – 600 mg

නෙල්ලි වලින් ඔබට ලැබෙන සියලු ගුණ

  •  අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි
  • හිසකේ ශක්තිමත් කරයි
  • අකලට හිසකෙස් පැසීම නවත්වයි
  • අලුත් හිසකේ වර්ධනය කරයි
  • සම පැහැපත් කරයි
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි
  • අස්ථි ශක්තිමත් කරයි
  • හෘදයාබාධ අවම කරයි
  • වයසට යාම අඩු කරයි
  • රුධිරයේ සීනි මට්ටම අවම කරයි
  • දෑස් පෙනීම වැඩි කරයි
  • දාහය නසයි
  • කුසගින්න වඩවයි
  • හදවතට ගර්භාෂයට හිතකරයි
  • හොඳ මුත්‍ර කාරකයකි
  • සමේ රෝග නසයි
  • මලබද්ධය නසයි

සියලු ගුණ සපිරි නෙල්ලි යුෂ පානය හදමු අවශ්‍ය ද්‍රව්‍ය

  •  පිරිසිදු කළු තිත් නොමැති අලුත් නෙල්ලි ගෙඩි 10 ක්
  • මී පැණි තේ හැඳි 02 ක්
  • ලුණු තේ හැඳි කාලක්
  • අයිස් වතුර වීදුරුවක්

සාදාගන්නා ආකාරය
01. ලුණු තේ හැන්දක් දැමූ වතුරේ නෙල්ලි ගෙඩි ටික දමා විනාඩි 10 ක් පමණ තබන්න. හොඳින් සෝදාගන්න.

02. සෝදාගත් නෙල්ලි ගෙඩිවල ඇට ඉවත් කර කුඩාවට කපාගන්න.

03. දැන් එය බ්ලෙන්ඩරයකට දමන්න.

04. අයිස් වතුර වීදුරුව සහ මී පැණි එක්කරන්න. ලුණු තේ හැඳි කාලක් ද දමන්න.

05. හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පෙරාගෙන ඉක්මණින් බොන්න.

නෙල්ලි ජූස් පානය කර පැය 1/2 ක් යනතුරු වෙනත් කිසිම පානයක් හෝ ආහාරයක් ගන්න එපා. එයට ශරීරය තුළ ඇති කටයුත්ත කරන්නට ඉඩක් දෙන්න. මේ පානය සතියට දෙවතාවක්වත් හදාගෙන බොන්න. හොඳ ශරීර සනීපයක්ද සමඟින් අදහාගත නොහැකි නව යොවුන් පෙනුමක් ඔබට ලබාගත හැකිවේවි.