දරුවකු තොටිල්ලේ නිදා ගන්නා අවදියේදී, එහෙම නැත්තන් මව් තුරුලේ නිදාගන්නා අවධියේදී, මව සහ පියා රාත්‍රියේ නින්දක් ලබාගන්නේ ඉතාම අපහසුවෙන්. මොකද දරුවන් වරින් වර අවදි වීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඔවුන්ට රාත්‍රිය පුරා අවදියෙන් සිටීමට සිදු වෙනවා. නමුත් එක්තරා වයසකට එළැඹීමෙන් පසු දරුවෙකු තොටිල්ලෙන් ඇඳට මාරු කරනවා. එවිට දරුවා තරමක් වයසින් වැඩිලා නිසා බොහෝ දෙමාපියන් සිතන්නේ දැන්වත් තමන්ට රාත්‍රියේ හොඳ නින්දක් ලබාගන්න පුළුවන් වේවි කියලයි.

නමුත් ඇත්තෙන්ම එය සිදු නොවන්නේ, තොටිල්ලට හෝ දෙමාපිය තුරුලට හුරු වූ ළමයෙක් හිතන තරම් ඉක්මනට ඇඳට හුරු වන්නේ නැති නිසා. ඔවුන් පුරුදු පරිදිම කරදර කරමින් ඇඬීම සිදු කරනවා. ඒ නිසා අපි මේ ලිපියෙන් යේල් විශ්වවිද්‍යාලයෙහි ළමා රෝග පිළිබඳ අධ්‍යක්ෂකවරයෙකු විසින්, කුඩා දරුවෙකු ඇඳක තනිවම නිදාගැනීමට හුරු කරවීම සඳහා අනුගමනය කලයුතු පියවර කිහිපයක් ඉදිරිපත් කරනවා.

දිවා කාලයේ පුහුණුව අරඹන්න –

දරුවාට දිවා කාලයෙහි නිදාගැනීම පුරුදු කරන්න. එය ක්‍රීඩාවක් ආකාරයෙන් සිදු කරන්න. මේ සඳහා ඔබ සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී නිදාගන්න විට කරන ආකාරයෙන් දත් මද්දවා, රාත්‍රී නිදන ඇඳුමක් අන්දවා, නින්ද යාම සඳහා කතන්දරයක් කීම වුවත් සිදු කළ හැකියි. ඒ වගේම දරුවා ඇඳෙහි තනියම නිදා ගන්නට උත්සාහ කරන සෑම අවස්ථාවකම ඔහුව අගය කිරීමට අමතක කරන්නත් එපා.

සෑම විටම එය ක්‍රීඩාවක් කිරීමට දරුවාව පොලඹවන ආකාරයෙන් සිදු කරන්න. තනිවම නිදාගන්නා විට දරුවා කැමතිම සෙල්ලම් බඩුවක් (ටෙඩි බෙයාර් කෙනෙකු) තුරුළු කරගෙන නිදා ගැනීම සඳහා ඔහු හුරු කරවන්න. “තනියම ඇඳෙහි නිදා ගන්නා” ක්‍රීඩාව පිළිබඳ ඔහුට නිතරම උද්යෝගයක් ඇති කරවන්න.

දරුවෙකුට එක්වරම තනිවම ඇඳක නිදා ගැනීමට බල කිරීම අපහසු නිසා මුලින් මෙය විනෝදාත්මක ක්‍රීඩාවක් ආකාරයෙන් දහවල් කාලයේදි සතියකට තුන් හතර වතාවක් සිදු කරන්න. කල් ගතවීමේදී එම වාර ගණන වැඩි කරන්න ඔබට පුළුවන්.

රාත්‍රී කාලයේ තනියම නිදා ගැනීමට ඉඩ හැරීමට කලින් මේ පුහුණුව උදෑසන හෝ දහවල් කාලයේ පැය කිහිපයක් සතියකට කිහිප වතාවක් සිදු කරන්න.

ඔවුන් තනිවම ඇඳෙහි ඉන්නා කාලය වැඩි කරන්න –

මුලින්ම ඔබ, විදුලි පහන් නිවීමෙන් පසු දරුවාට නින්ද යාමට කෙතරම් වේලාවක් ගත වනවාදැයි සොයා බැලිය යුතුයි. මේ සඳහා ලේසිම ක්‍රමය වන්නේ නින්ද යනතෙක් දරුවන් සමඟ සිටීමයි. දරුවාට නින්ද යනතෙක් එතැන සිටීමට සිදුවීම කරදරකාරී දෙයක් නිසා මේ ක්‍රමය සඳහා ඔබට හොඳ ඉවසීමක් අවශ්‍ය වෙනවා.

දරුවාට නින්ද යාම සඳහා ලයිට් ඕෆ් කිරීමෙන් පසු විනාඩි පහළොවක් ගත වනවා යැයි සිතන්න. ඔබ විනාඩි දහයක් ගතවන විට ආපසු එන බවට පොරොන්දු වෙමින් සුළු වෙලාවකට කාමරයෙන් එළියට යන්න. විනාඩියකින් පමණ නැවත පැමිණෙන්න. ඉන්පසු ඔබ නොමැතිව දරුවා තනිවම සිටීම ගැන ඔහුව අගය කරන්න. මේ සඳහා දරුවාව සිප වැළඳ ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

ඉන්පසු දරුවාට නින්ද යන තෙක් ඔහු සමඟ සිටින්න. ඊලග රාත්‍රියේදීත් ඒ දේම කරන්න. නමුත් ඔබ කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීම සඳහා ගත කරන වේලාව විනාඩි දෙකක් තුනක් වශයෙන් ක්‍රමයෙන් වැඩි කරන්න.

ක්‍රමයෙන් දරුවා තනිවම නිදා ගන්නා කාලය වැඩි වෙනවා. මුලින් ඔබ නැවත පැමිණෙන තෙක් අවදියෙන් සිටීමට පුරුදු වූ දරුවා ඔබ කාමරෙන් පිටත ගත කරන වේලාව විනාඩියෙන් විනාඩිය වැඩි කරන විට ඔබ එනතෙක් නොසිට නින්දට වැටීමට පටන් ගන්නවා.

දරුවා තනිවම ඇඳෙහි සිටීම සඳහා තදබල විරෝධයක් පෙන්වනවා නම් –

ඔබ කාමරෙන් පිටතට යාමට නැඟිටින විටම, ඔබත් සමග ඒමට ඇඳෙන් බැසීමට සූදානම් වන හෝ ඇඬීමට සූදානම් වන දරුවන් සඳහායි මේ ක්‍රමය යොදාගත යුතු වන්නේ. මේ සඳහා කලින් ක්‍රමයටත් වඩා ප්‍රබල ඉවසීමක් අවශ්‍ය වෙනවා.

කලින් ක්‍රමයේ පරිදිම රාත්‍රී කාලයේදී නිදා ගැනීමට පෙර සිදු කරන සියලුම කටයුතු කරවා දහවල් කාලයේ නිදා ගැනීමට යොමු කරන්න.

විදුලි පහන් නිවීමෙන් පසු ඉතාම සුළු මොහොතකට කාමරයෙන් පිටතට යාමට හේතුවක් සොයාගන්න. උදාහරණයක් ලෙස රූපවාහිනිය නිවා දැමීමට හෝ දොර වැසීමට වැනි සුළු හේතුවක් සොයා ගන්න.

ඉන්පසු තත්පර 30-60 පමණ කාමරයෙන් එළියේ සිටින්න. ඔබ කාමරයෙන් එළියේ සිටින වේලාව රඳා පවතින්නේ ඔබ නොමැතිව දරුවාට තනිවම සිටීමට හැකි වෙලාව අනූවයි. ඉන් පසුව කලින් පරිදිම ආපසු පැමිණ දරුවා තනිවම සිටීම ගැන ඔහුව සිප වැළඳ ගනිමින් අගය කරන්න.

ඉන්පසු නැවතත් සුළු හේතුවකට කාමරයෙන් එලියට යන්න. පළමු රාත්‍රියේදී මෙසේ විසි වතාවක් පමණ එලියට යාමත් නැවත ඒමත් සිදු කරන්න. එය තරමක් වෙහෙසකාරී කටයුත්තක් වුණත් තනිවම නිදා ගැනීම තදබල ලෙස ප්‍රතික්ෂේප කරන දරුවකු සඳහා එසේ කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඉන්පසු කාමරයෙන් පිටත ගත කරන කාලය කලින් පරිදිම ක්‍රමයෙන් වැඩි කරන්න. ක්‍රමයෙන් දරුවා ඔබ නොමැතිව සිටින කාලය වැඩි වන අතර විනාඩි, පැය ගණන් වල සිට එය දින ගණනක් දක්වා වැඩිවන විට ඔබ‍ට රාත්‍රී කාලයේදී තනිවම නිදා ගැනීම සඳහා දරුවාව යොමු කළ හැකියි. පුහුණුව අවසන් !