ඉක්‌කයි මායි කොළඹ ගියා ඉක්‌කා තියා මං ආවා ඒ ජනවහරේ එන පොඩි දරුවන්ගේ කවියකි. මෙම කවිය නොකඩවා සත්වරක්‌ කීමෙන් ඉක්‌කාව නවතියි. එය ඉක්‌කාව නැවතීමට කෙම් පිළිවෙතකි. කෙම් ක්‍රම බොහෝවිට පැරණියන් ප්‍රයෝජනයට ගත්තේ මන්ත්‍ර සාස්‌ත්‍රයට, වෙදකමට, ගොවිතැනට බැඳුණු යහපත් දේ වෙනුවෙන්ය. කෙම් පිළිවෙත්, කෙම් පහන්, කෙම් වෙදකම යනුවෙන් කෙම් සඳහා නාමකරණයන් රැසකි.

කෙම් යනු කුමක්‌ද? එය කතාවෙන් තොරව කරන ක්‍රියාවකි. ප්‍රතිකාරයකි. කෙම් වෙදකමෙහිදී ඛෙහෙත්වල නම් නොකියෑවෙයි. ඇසක නගනයක්‌ මතු වූ විටෙක කිසිවකු ප්‍රයෝජනයට නොගන්නා තුත්තුරි ගසෙහි යුෂද කතා නොකර ඇසෙහි ගැල්වීම කෙම් ප්‍රතිකාරයකි. සර්පයකු දෂ්ඨ කළ අයෙකු වෙද නිවසට ගෙන ආ විට එය පවසන තැනැත්තාට වෙද මහතා අත දිගහැර කම්මුල් පහරක්‌ ගසයි. එයද කෙම් ශාස්‌ත්‍රයේ සර්ප විෂ බැස්‌සවීමට කරන කෙමකි. කම්මුල් පහරේ වේදනාව වෙනත් අයෙකුටය. සර්ප විෂ බැසීම සිදු වන්නේ සර්පයා දෂ්ඨ කළ රෝගියාගේය. ඉන්පසු රෝගියා වෙත ප්‍රතිකාරය යොමු වෙයි. පැමිණි පිරිස අනුවද රෝගියා සුවපත් කළ හැකිද නොහැකිද යන්න තීරණය කිරීමටද වෙද මහතාගේ ශිල්පය දක්‍ෂය. කෙම් ප්‍රතිකාරය ඇතැම් විටෙක සිදුවන්නේ රෝගී ස්‌ථානයට නොවේ.

දත් කැක්‌කුමට හුණු ස්‌වල්පයකින් නිවසේ යටලීයේ ඉරි හතක්‌ ඇඬෙයි. නැතහොත් කකියන දතෙහි කෙල යකඩ ඇණයක තවරා කතා නොකර කිරි ඇති ගසක (කොස්‌ ගසක) ගැසීමෙන් දත් කැක්‌කුම සුවවෙයි. පාන්දර කුකුළා හැඬලීමට පෙර තුඹ ගසකින් කොල කිහිපයක්‌ කඩා කතා නොකර එම යුෂ ගෙන දත් කැක්‌කුම ඇති පැත්තේ කනට වැක්‌කිරීමෙන් දත් කැක්‌කුම සුවවෙයි. කෙම් ක්‍රම ගුප්තය. රහස්‌ය. එම රහස්‌ රහසිගතව භාවිත කරන තරමටම එහි ප්‍රතිඵල වැඩිය. එය රටින් රටට මෙන්ම රටක පළාත් අනුවද විවිධ වෙයි.

කකුලක්‌ හිරි වැටුනු විට අනෙක්‌ කකුලේ මහපට ඇඟිල්ල පැගීමද හිරිවැටීම වළකන කෙම් ක්‍රමයකි. කැඩුණු කකුල වෙනුවට රෝගියා නිදා සිටින ඇඳේ කකුලක බේත් බැඳ රෝගියා සුවපත් කිරීමට තරම් අතීත කෙම් වෙදකම විශ්මිතය. ඛෙල්ලේ උලුක්‌කුවට නිදාගන්නා පැදුරු-කොට්‌ට අව්වේ දැමීමත් සරළ කෙමකි. කෙම් සඳහා සංඛ්‍යාත්මකව භාවිත කරන්නේ ඔත්තේ සංඛ්‍යාවන්ය. 3-5-7-9 ආදි සංඛ්‍යාවන්ගෙන් මැතිරීම, ගැට දැමීම, මන්ත්‍ර ශාස්‌ත්‍රයේ කෙම් ප්‍රතිකර්මයෝය. පළ නොදරන කොස්‌ ගසකට මෝල් ගසකින් හත්වරක්‌ පහර දෙන්නේ දරුවන් ඇති අම්මා කෙනෙකි. කතා නොකර කරන එම කෙම් ප්‍රතිකර්මයෙන් ගසේ පලදාව ඇති වෙයි. ගමේ රා මදින්නා කිතුලයකින් තමන් හට රා නොදුන හොත් ඇතැමෙකු කරන්නේ එම ගසේ කඳට මොල් ගසකින් තුන්වරක්‌ ගැසීමය. එයින් ගසේ මල ඇහිරී යයි. රා නැතිවෙයි.

ඇස්‌වහ – කටවහ ද කෙම් සම බද්ධව පවතියි. ඇතැමුන් උදැසනක දැකීම, පෙරමගට හමුවීම අසුබය. ගැමියන් තම පඳුරේ ඇති කෙසෙල් කැන, ගෙඩි පිරීගිය කොස්‌ගස විශේෂිත පුද්ගලයන්ගේ දැකීමෙන් වළකා ගැනීමට උත්සාහ කරති. එම විශේෂිත පුද්ගලයන්ගේ දැකීමෙන් වදනකින් ගස්‌ වඳ පීදීමටත්, පලදාව අකාලයේ හැලීයැමටත් හැකි බව ගැමි විශ්වාසයයි. “බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට” යනුවෙන් ද “මෙම නිවසට බුදු සරණයි” යනුවෙන් ද ලියා තැබීම ආරක්‍ෂක කෙම් ක්‍රමයකි. එහෙත් තනාගෙන එන නිවාස ඉදිරිපස යක්‍ෂ මුහුණු, පඹයන් එල්ලීම අසුබ හානිකර බව නොදැන හෝ තමන් වෙත ළඟාකර ගැනීමකි. පහත් ආත්මයන්ගේ බලවේගයනට එම නිවාස ගොදුරුවීම නිවසට, නිවැසියන් හට අයහපත උදාවීමකි. ආදියෙහි කුඹුරට බසින ගොවියා දැත එක්‌කර අහසට නමස්‌කාර කරයි.

උදැල්ලට දැත් එක්‌කර වඳියි. කුඹුරේ පස්‌ පිඩක්‌ ගෙන සිප පසෙක තබයි. එයද ගොවිතැන ආරම්භයේ කෙරෙන යහපත් කෙම් පිළිවෙතකි. නොපෑගුණු දිය පහරකින් වැලි දෝතක්‌ ගෙන සුවඳ දුම් අල්ලා “සබ්බ පාසස්‌ස” ගාථාවෙන් විසිඑක්‌ වර මතුරා නිහඬව කුඹුරේ සතරකොන ඉසීම ගොයම් මැස්‌සන්ගෙන් ගොයම ආරක්‍ෂාවන කෙම් පිළිවෙතකි. පීදෙන ගොයමට පරණ සිවුරු කැබලි වලින් පහන්තිර අඹරා කොහොඹ තෙල්වලින් කුඹුරේ නියර මත පහන් දැල්වීමද කෘමි උවදුරට කෙම් පිළිවෙතකි. බදාදා – සෙනසුරාදා යන දෙදින කෙම්මුර දිනයන් ලෙස හැඳින්වෙයි. එම දිනයන්හි දේව ආකර්ෂණය බලවත්ව යොමුවන බව විශ්වාසයකි. ගුප්ත විද්‍යාත්මක පදනමක්‌ ද කෙම් ක්‍රමයන් බලවත් වීමට හේතුවයි. මන්ත්‍ර ශාස්‌ත්‍රයද එයට මූලික වෙයි.

ඉක්කාව සෑදුණු විට කතා නොකර කටට වතුර ටිකක් වැඩිපුර ගන්න. ඉන්පසු දකුණු පාදයේ මාපටැඟිල්ලෙන් වම් පාදයේ මාපටැඟිල්ල තද කරගෙන වතුර ටික උගුරු හතකට බොන්න. ඉක්කාව ක්ෂණිකව නතර වේ.මෙය හා බැඳුණු පෞද්ගලික සිද්ධියක්ද සිහිපත් වේ. 2003දී එංගලන්තයේ සිටියදී දිනක් දිවා ආහාර ගැනීමට සූදානම් වෙත්ම ඉක්කා වැටෙන්නට පටන්ගත්තේය. ඉන්පසු මා මෙම කෙම පටන්ගන්නා විටම පුතා වැඩ ඇරී පැමිණියේය. මා සිටගෙන සිටින බව දුටු ඔහු “මොකද ඔය?” ඇසීය. මා අතින් සංඥාවක් කර වතුර උගුරු හත බි අවසන් කොට “ඉක්කාවට කෙමක් කළා” කීවෙමි.විනාඩියක් පමණ කෙටි කාලයකදී සාර්ථක ප්‍රතිඵල ලැබිම මෙහි විශිෂ්ටත්වයයි.

ඇසක නගනයක් ඇතිවීම- කතා නොකර තුත්තිරි ගසේ බඩය මිරිකූ විට පිටවෙන යුෂය නගනයේ ගෑම, කාටත් නොපෙනෙන සේ අලුයම එළිය වැටෙන විටම මෙය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. නගනය සෑදී එන අවස්ථාවේදීම ලුණු කැටයක් නැවුම් මැටි වළඳක ඇල්වතුරෙන් උරච්චි කර නැගෙනහිර බලා හිරු උදාවට පෙර ගෑම. කාටත් නොපෙනෙන සේ බළලකුගේ වල්ගය නගනයේ ඇතිල්ලීම.

දත් කැක්කුම සඳහා කතා නොකර නොපීදුණු දෙහි ගසක් ළඟට ගොස් බස්නාහිර දිශාවට ඇති අත්තකින් කොළ ටිකක් කඩා ගෙනැවිත් කොටා දත් කැක්කුම ඇති පැත්තේ කම්මු‍ලේ තබා බැඳීම.කතා නොකර රත්මල් ‍පොකුරක් කඩා ගෙනැවිත් දත් කැක්කුම ඇති පැත්ත තුන්වරක් පිසදමා, රෝගියාගේ හිසකේ ගසකින් බැඳ ගසක එල්ලීම.

දත් පණුවන් කෑම (වෛද්‍ය විද්‍යාව අනුව දත් පණුවන් ඇත්තේ නැත)ගම්මිරිස් ඇට තුනක් ගෙන ඊට උණුවතුර බින්දු 3ක් දමා තළා ආබාධිත දත මුල තබන්න. මෙය කතා නොකර කළ යුතුය. ක්ෂණයකින් සුවවේ. (මෙයද මා අත්දුටු කෙමකි)

ගෘහ ජීවිතය හා බැඳුණු කෙම්- අලුතින් ගොඩනගන නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක ඉදිරිපස කාටත් පෙනෙන සේ පුහුල් ගෙඩි එල්ලීම, පඹයන් සාදා එල්ලීම, වෙස්මුහුණු එල්ලීම. මෙයින් අපේක්ෂා කරන්නේ ගොඩනැගිල්ල දෙස බලන අයගෙන් ඇතිවිය හැකි ඇස්වහ, කටවහ දුරු කරවා ගැනීමය. ඒ දෙස බලන අයගේ ඇස් කෙළින්ම යොමුවන්නේ එල්ලා ඇති වස්තුවටය. පිටතට නොපෙනෙන සේ තහඩු හෝ ‍පොලිතින්වලින් ආවරණය කරන්නේද අනුන්ගේ ඇස්වලින් බේරා ගැනීමටය.කෙනකු මළගිය අයකු සිහිනෙන් දැක බිය වී, කෑගසන විට ගැහැනියක විසින් ඔහුගේ හෝ ඇයගේ දෙපතුල්වලට ඉලපතකින් පහර දෙමින් ‘පලයන්, පලයන්, පලයන්’ කී විට ඒ මළගිය අය යළි සිහිනෙන් ඉවත්ව යන බව කියති.

ළදරුවන් බාලගිරි දෝෂයෙන් ආරක්ෂා කරගැනීමට-දරුවකු උපන් පසු නිවසට ඇතුළු වන දොරේ හෝ දොරවල්වල ඉදිරිපස ‘බාලගිරිය අද නොවේ හෙට’ යනුවෙන් ලිවීම ඈත අතීතයේ පටන් පැවත එන කෙම් ක්‍රමයකි. මෙයින්ද බලා‍පොරොත්තු වන්නේ නිවසට පැමිණෙන අයගේ අවධානය එයට යොමු කරවා ගැනීමය.

උළුක්කුව තුන් කුලුඳුල් කෙනකු ලවා උළුක්කු වූ ස්ථානය අතගෑම සුවය ලැබිමට කරන කෙම් ප්‍රතිකාරයකි.

වාහනයකට බළලකු හසුවීම බළලා හැපුණු පසු රෝද හතරටම එක බැගින් දෙහි ගෙඩි හතරක් තබා ඒවා තැළී යන්නට වාහනය පැදවීම කෙමක් ලෙස කරනු ලැබේ. ඇතැම් අය දේවාලයකට ගොස් කපුමහතා ලවා මෙය කරවා ගැනේ.

ගස්වලට කෙම්- තැඹිලි හා ‍පොල් ගස්වල පලදාව අඩු නම් හෝ නැත්නම් ගසේ මුදුනේ ඇති මටොළු එකතු කර කරටිය තළා, ඒවා කරටිය මත තබා ගිනි තැබිම.කොස්, දෙල් ආදී කිරි ඇති ගස්වල පලදාව නැත්නම් ගසට රස්නය දැනෙන සේ ගිනි ගොඩවල් ගැසීම.අලිගැටපේර ගසක ගෙඩි හටනොගන්නේ නම් ගසේ අතුවලට ගැසීම හා නැමීම ආදී ලෙසට හිරිහැර කිරීම දෙහි, දොඩම්, ජමනාරන් වැනි පැඟිරි ගස්වල පලදාව නොමැති වූ විට ‍පොල් ලෙලි එල්ලීම.

අකුණුවලින් ආරක්ෂා වීමට අකුණු ඇතිවන අවස්ථාවලදී උදැල්ලක්, උලක් වැනි යකඩවලින් සාදා ඇති දෙයක් මිදු‍ලේ තැබිමට ආදි කාලයේ සිටම ජනයා පුරුදු වී සිටියි. මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ ලෝහවලට විදුලිය ආකර්ෂණය වන බැවින් නිවසට හානියක් විය නොහැකි බවය.මේ හැර ඕනෑම අයකුට කළ හැකි වචන කීපයකින් යුත් මන්ත්‍රයක් යම්කිසි වාර ගණනක් මතුරා ප්‍රයෝජනයට ගතහැකි කෙම් වර්ග රාශියක්ද ඇත

කුඩා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරණවිට දරුවාගේ ආහාර සහිත කෑම පිඟාන දරුවාගේ හිස වටා හත් වරක් කරකවා දරුවාගේ කෙළ මිශ්‍රකර කථා නොකර ළිපට දැමීම.

කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ කෙමකි.

පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.

කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි.

කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.

අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්‍යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි.

ඇඳිරියේ ආරක්ෂාව පිණිස කළුව කෙටීම යනු ඝණ කළුවරේ ගමනක් යෑමට පිටත්වීමට ප්‍රථම ‘ඉතිපිසෝ’ ගාථාව කියා බුදු ගුණ සිහිකර කථා නොකර අතේ දබර ඇඟිල්ලෙන් ඉරි 3ක් සමාන්තරව පො‍ළවේ ඇඳීම

යන්ත්‍රවලට කිලි අසුවීම වැළකීමට මාවී ඇටයක් සුරය තුළට කථා නොකර දමයි. මෙය පුර පක්ෂයේ උදය වරුවක ශුභ මුහුර්ථයකින් සිදු කිරීම වඩාත් ප්‍රතිඵල දායකය.

කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.

ගොම්මනේ ඇසට කුඩා කෘමියෙකු ඇතුල් වී දැවිල්ල , වේදනාව ඇති වූවහොත් ඒ බව දැනුණු විගසම එතනම නැවතී එතැන් සිට පියවර 7ක් නොහැරී කථා නොකර පසු පසට ගමන් කිරීම තුළ කෘමියා ඉවතට පැමිණේ. ‍වේදනාව දැවිල්ල සමනයවේ.

කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්‍රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.

කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය.

මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.

කක්කල් කැස්සට හිඟමනේ ගොස් ගෙවල් 7කින් සිඟාගෙන ආ කැකුලු සහල් කුණු ගොඩක තබා උයා කුඩා ගුලි 7ක් ගසා කථා නොකර රෝගියාට කන්න දීම

කිරි දරුවන් නින්දෙන් හැඬීම වැළකීමට දකුණු අත වෙදඟිල්ලෙන් දරුවාගේ නළලේ කළු තිලකයක් තැබීම කළ යුතුවේ.

ඇසේ එන නගන සඳහා බත නටන විට එන බත් පෙන ගාන්න. එසේම නගනයට තුත්තිරි ගසේ ඉස්මද කථා නොකර ගාන්න. තවද උදෑසන නැඟිට කථා නොකර ගෙය පිටුපසට ගොස් තමාගේම මුත්‍රා නඟනය මත ආලේප කළ යුතුයි.

කිළි නැති වීමට කථා නොකර දෙහි කොළ පොඩිකර හිසෙහි ගා ගැනීමත් කථා නොකර අමු ගොම ගොඩක් පාවහන් රහිතව පෑගීමත් කථා නොකර ළි‍ඳෙන් වතුර ඇද මුහුණ කට සේදීමත් කිරීම.

කුඩා ළමුන්ට කක්කල් කැස්ස සැදුන විට, උදේ කපුටා හැඬීමට පෙර, කැහි පිත්තා වැලක් ළඟ පොල්තෙල් පහනක් දල්වාඑම වැල ගලවා රෝගී ළමයා කරේ බැඳීමෙන් කක්කල් කැස්ස නවත්වා ගත්හ.

ඇසේ නගනයක් එනබව දැනුනවිට අලුයම නැගිට කතා නොකර ගොස් තුත්තිරි ගසක් ගලවා එහි බඩයේ ඉස්ම ඇස්වල තවරා ගැනීම අදත් ගම්බදව සිදුකරන කෙමකි. උදෑසන නැගිට කතා නොකර ලුනු කැටයක් ගෙන ඇසේ නගනය එන තැන පිසදමා ගින්නට දමන්න. මෙය දින තුනක් කිරීමෙන් නගනය සුව වේ. තවද නගනයක් ඇති වූ විට ලුනු කැටයක් ගෙන කිසිවෙකු සමග කතා නොකර එය කලයට දමා ‘නඟනේ කළයට පොඟනේ‘ යනුවෙන් තුන්වරැවක් තුන්දිනයක් පැවසීම නගනය සඳහා වූ තවත් කෙමක් විය.

දත් කැක්කුම සුවකර ගැනීමට භාවිතා කරන කෙම් ක්‍රම ද බොහෝමයක් ඇත. කිසිවෙකු සමඟ කතා නොකර, කඩදාසි කොලයක ශාස්ත්‍රීය ක්‍රමයකට කොටු කීපයක් අදියි. අනතුරුව දත් කැක්කුම ඇති අයගෙන් ‘ දැන් සනීපදැයි‘ අසයි. එවිට රෝගියා ‘ඔව් සනීපයි‘ යනුවෙන් පිළිතුරු දිය යුතුයි. එවිට එම කොටුව තුළ රවුමක් අදියි. මෙලෙස සත්වරක් අසා රවුම් හතක් ඇදිය යුතුය. හත්වෙනි කොටුවේ රවුම ඇඳ අවසන් වෙද්දී දත් කැක්කුමද අවසන් වෙයි. පසුව කොලය තුනට නමා දත් කැක්කුම ඇති පැත්තේ කම්මුලේ තුන්වරක් අතුල්ලා හිසට උඩින් විසිකළ යුතුය. එළබටු ගසක් අවට පිරිසිදුකර, සුදුවැලි ස්වල්පයක් අතුරන්න. තෙවරක් ගස වටා යමින් ගසට වඳින්න. දත් කැක්කුම ඇති අය සිහිකර ඔහුගේ දත් කැක්කුම සුවවේවා! යනුවෙන් සිතමින් ගස වටේ යමින් එහි කොලයක් කඩා ගස මුල දමන්න. මෙලෙස හත්වටයක් කැරකෙමින් කොල හතක් කඩා ගස මුල දමන්න. රෝගියාගේ දත් කැක්කුම සුව වෙයි.

දවස් දෙක තුනකට වරක් හැදෙන උනට අපූරු කෙමක් පැරැන්නන් විසින් භාවිතා කර ඇත. මුරුංගා පොතු, දිවුල් පොතු, වරකා පොතු, අමුකහ එකට අඹරා පිරිසිදු රෙදි කැබැල්ලක් දවටා මල් බුලත් තට්ටුවක පේකර උණ ගැනීමට පෙර දින පහන් දොර කපුටා හැඬීමට පෙර කිසිත් නොදන්වා උන ගැනෙන රෝගියාගේ අතේ බැඳීම එම කෙමයි.

ඇසට රොඩ්ඩක්, කුඩා සතෙකු වැටුන විට එය ඉවත් කර ගැනීමට අනුගමනය කළ කෙමකි මේ. ‘‘ ඇසේ කුණු පෝ‘‘ යනුවෙන් හත්වරක් පිටි අත්ලෙන් ඇස පිසදමමින් හත් අඩියක් පිටුපසට ගිය විට ඇසේ වැටුන රොඩ්ඩ හෝ සතා ඉවත් වේ. නිදකුම්බා මුලක් උදුරා සෝදා රොඩ්ඩ වැටුන ඇසට විරුද්ධ පැත්තේ හක්කේ තබා හොඳින් හපන්න. එඉස්ම සහිත කෙළ හත් පාරක් විසි කරන්න. රොඩ්ඩ ඉවත් වේ.

ඇඟිල්ලක් උලුක්කු වූ විට අනික් අතේ සමාන ඇඟිල්ල පිරිමැදීමෙන් රෝගී ඇඟිල්ල සුවකර ගැනීමේ කෙමක් ඇත. උලුක්කු වූ විට නිවුනනෙකු ලවා එම ස්ථානය අද්දවා ගැනීම තවමත් ගැමියන් භාවිතා කරන කෙම් ක්‍රමයකි.

ඇඟේ ඉන්නන් හට ගත් විට කතා නොකර එම ඉන්නන් ගණන් කර එයට සමාන පරිදි ගල්කැට අහුලා ගන්න. එක ඉන්නෙකු තුවාල කර කහ දියරෙන් සේදූ තඹ කාසියක් තුවාලකල ඉන්නා මත අතුල්ලා එම කාසිය හා ගල්කැට තුන්මංසලක හෝ සිව්මංසලක දැමීම ඉන්නන් නැතිකර ගැනීමේ කෙම් ක්‍රමයකි.

බෙහෙත් එඬෙරු ගසේ පොත්තක් පහත සිට උඩට ගලවා ඉනේ බැඳීමෙන් බඩ එළිය යෑම නවත්වා ගැනිමේ ක්‍රමයක් අපේ පැරැන්නෝ අතර විය. එමෙන්ම බෙහෙත් එඬරු ගසේ පොත්තක් උඩට සිටින සේ ගලවා කරේ බැඳීමෙන් ඔවුන් වමනය නවත්වා ගත්හ. තමන් හැඳ සිටින ඇඳුමෙන් පටියක් ඉරා තමන්ගේම මූත්‍රාවලින් එය තෙමා බෙල්ලේ බැඳ ගැනීමෙන් වමනය නතර කිරීමේ ක්‍රමයක් පැරැන්නෝ දැන සිටියහ.

ඇස්වහ කටවහ දුරු කිරීමට කථා නොකර ළිපේ අළු හෝ වළඳක දැලි මුහුණේ තවරා ගැනීමද කුඩා දරුවන්ගේ මුහුණේ කම්මුල ප්‍රදේශයේ ලොකුවට කැපී පෙනෙන සේ කළු තිලකයක් තැබීමද , කපුටන් නාන තැනකින් ගත් වතුරෙන් මෙන්ම කම්මලේ ආයුධ පණ පෙවූ පසු ආයුධ නිවෙන්නට දැමූ වතුරෙන් මුහුණ සේදීමද , මිරිස් පුච්චා දුම් ඇල්ලීමද ‘තුක්… තුක්…’ කියා තුන් පැත්තට කෙළ ගැසීමද මළ හිරු යාමයේ කථා නොකර නිවසේ දොරකඩ පොල්කටු පුච්චා එම පොල්කටු අඟුරු මතට අබ දමා පිළිස්සීමද අලුයම කපුටන් හැඬීමට පෙර කථා නොකර ළිඳෙන් වතුර කළයක් ගෙන ඇට ඇටි පස් වර්ගයද, කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක්ද දමා කඩ වැස්ම බැඳ ගුප්ත ශාස්ත්‍රය හොඳින් දත් ඇදුරු තුමෙකු ලවා මතුරවා එම ජලය ස්නානය කිරීම හා එසේ ස්නානය කළ ජලය නොපිහිදා ඇඟටම ‍වේලෙන්නට හැරීම පසුව හිස් කළය කිරි ගසක ගසා බිඳ දැමීම. කථා නොකර පැඟිරි තෙල් ඉසීමෙන් මැස්සන් පලවා හැරිය හැක.