රතන සූත්‍රයේ නිදාන කථාව හෙවත් දේශනා කිරීමට හේතුව බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. ඉවත් ‍නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් විය. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය.අධිකලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය.

මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.

සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසිදු විය.ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ.

මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ.මෙම සූත්‍රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්‍රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත.

අපේ පැරැන්නන් රතන සූත්‍රයෙන් ප්‍රයෝජන ගත් හැටි-අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස වදාළ ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත ආදිය එදා පටන් ශ්‍රාවකයන් වනපොත් කරගෙන ආරක්ෂාව සලසාගත් බව සසුන් දන්නෝ දනිති.

මන්ත්‍ර විද්‍යාව දන්නා අය පෘථග්ජන ලෝකයේ අක්ෂර, ශබ්ධ, පද සංයෝගයෙන් නොයෙක් ප්‍රාතිහාර්යන් සිදුකරයි. අතීතයේ මන්ත්‍ර බලයෙන් නොපෙනී යෑම, අහසින් යෑම, වශී කිරීම, විරසක කිරීම, ගල් පැලීම, ගල් උණු කිරීම, නොයෙක් දේ මැවීම, අංගම් පිල්ලි ආදී නොයෙක් ගුප්ත ක්‍රමයෙන් තුළින් විස්කම් දැක්වීය. අදටත් එවැනි සමහර විද්‍යාවෝ වෙත්. ඒ සියල්ල අවිද්‍යාවෙන් වැසුණු ලොව අවබෝධ කර නොගත් රාග, ද්වේෂ, මෝහ තුළ කැලඹුණු ලෝකයේ හපන්කම් ය.

නමුත් එක් වචනයෙන් දහසක් ලෝකධාතු කම්පාකරවන, රහතුන් බිහිකරවන, දෙවියන් බඹුන් පවා හිස නමන, හිරු සඳු ද සරණ ගිය, තුන්ලොව අගපත්, සියල්ල දක්නා අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය කොතරම්ද? එසේනම් ඒ ආරක්ෂක පිරිත් දේශනා අපහට කොයිතරම් පිළිසරණක්ද?

මෝර පිරිත, වැසි පිරිත (මත්ස්‍ය රාජ පිරිත), වට්ටක පිරිත ආදී භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියෙහි තිරිසන් සතෙකුව හිඳ කළ සත්‍යක්‍රියා වල ආරක්ෂක බලය කල්පයක් පවතී නම්, තුන්ලොව ජයගත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හද මඩලින් පැන නැගුණු සත්‍යක්‍රියාව කොතරම් ආනුභාව සම්පන්න ද? රතන සූත්‍රයේ අර්ථ විමසන විට දී මෙම උතුම් සූත්‍ර දේශනාව කියමින් මිය ගියත් කම් නැතැයි අනිවාර්යෙන් සිතෙනු ඇත. මෙය විශාලා මහනුවර දී පන්ලක්ෂ අසූඅට දහසක් පිනැතියන් මගඵල ලැබූ දේශනාවයි. මෙය භාග්‍යවතුන් වහන්සේගේ මුව මඩලින් සත්වරක් දේශනා කළ එකම දේශනාවයි. මේ අනුව රතන සූත්‍රයේ එක් අකුරක රහතන් වහන්සේලා කී නමක් නම් වැඩ සිටිත් ද?

මෙතෙක් දේවාල වල ගිය වාර වලදී රතන සූත්‍රය පිරිත් කළා නම් මේ වන විට රතන සූත්‍රය සිද්ධි වනු ඇත. රතන සූත්‍රය ආනුභාවයෙන් කළ නොහැක්කක් නැත. කර්මයෙන් ආවරණය වී නොමැති නම්, සිතේ පංච නීවරණ බලවත් නැත්නම්, විශ්වාසය බලවත් නම් ඒ ශ්‍රද්ධා වන්තයාට රතන සූත්‍රය වනාහි ඉර්ධියකි. එබැවින් රතන සූත්‍රය නිතර භාවිතා කරන්න. මුළු ලොවටම සෙත් පතන්න.

රතන සූත්‍රය පිරිත් කර ගන්නා අයුරු-හොඳින් සිල් සමාදන්ව තෙරුවන් වැඳ හැකිනම් ඇනවුම් පිරිතත් වරක් සජ්ඣායනා කර, රතන සූත්‍රයෙන් අදාළ කාරණය සිහිකර පිරිත් කරන්න. රතන සූත්‍රය යනු උදේ සවස සිහිකළ යුතු මහා ආනුභාව සම්පන්න ආරක්ෂා පිරිතයි. එයින් එහා බලයක් නැතැයි කිවහැකි තරම්. මනාව සිත පහදවාගෙන වරක් සජ්ඣායනා කළත් ඇති. සිහි කළත් ඇති. සිහි කළත් ප්‍රමාණවත් නම් තුන් වර, සත් වර, විසිඑක් වර, එකසිය අට වර, දහස් වර, ලක්ෂ වර සජ්ඣායනා කිරීම ගැන කථා කළ හැකි දෙයක් වේ ද? සිහි කරන්න කරන්න පිහිටයි. වාර ගණන පුරන්නට වේගයෙන් සජ්ඣායනා කිරීම නිවැරදි දැයි සලකා බලත් වා. හිත ක්ලේෂයෙන් යටපත් වූ විට පිරිතේ බලය ආවරණය වන බව මිලින්ද ප්‍රශ්නයේ එන බැවිනි. සිත පහන් බවයි, විශ්වාසයයි පෙරට ගනිත්වා! වාර ගණන පසුව සිතත්වා!

රතන සූත්‍රය ආරක්ෂාවට ගන්නා අයුරු-නිතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් සිටින කෙනාට සියලු උවදුරු දුරු වෙන්නට පටන් ගනී. පළමුවෙන් මෙසේ කරන්න. පිරිසුදු පැන් වලට හෝ තැඹිලි ගෙඩියකට තමාගේ දිව වේලෙන තුරු, තොල් වේලෙන තුරු, උගුර ආතුර වන තුරු, සිතට දැනෙන තුරු රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එය තුන් වරක් හෝ හත් වරක් හෝ විසිඑක් වරක් හෝ සිය වරක් හෝ එකසිය අටවරක් හෝ වන්නට පිළිවනි. ඉන් අනතුරුව එය හිස්බඩට පානය කරන්න. පළමුවෙන්ම තමා ආරක්ෂා විය යුතුය. ඉන් අනතුරුව අන් අයටද සෙත් කළ හැකි ය. පැරණි පොත්පත් හා ජන සංස්කෘතියේ එන ආරක්ෂා විධි, කෙම් ක්‍රම වල අසන්නට කියවන්නට ලැබුණු ලෙස මෙසේ සටහන් කරමු.

අමනුෂ්‍ය කරදර වලට රතන සූත්‍රයෙන් පිහිට-උතුම් සෑයක්, උතුම් බෝධියක් සමීපයේ හෝ ධාතු මන්දිරයක හෝ හෝ බුදුන් වඳින ස්ථානයේ පහනක් දල්වා පිරිත් පැන්, තැඹිලි, අබ, සුවඳ කුඩු, මුහුදු වැලි, නූල්, පිරිත් කිරීමට පිරිසුදු තෙල් ආදිය පිරුවටයක් යෙදූ අසුනක තබා සිල් සමාදන්ව තෙරුවන් වැඳ ඇනවුම් පිරිත කියා රතන සූත්‍රයෙන් පිරිත් කරන්න. අතීතයේ බොහෝ දෙනා 108 වර පිරිත් කිරීමට ප්‍රිය කළ හ. එසේ බොහෝ වාර ගණනක් පිරිත් කරනු. ඉන් අනතුරුව ආතුරයාට තැඹිලි හිස්බඩට බොන්න දෙනු. පිරිත් පැන් තුන් වරුව දෙනු. පිරිත් නූල් බඳිනු. අබ හා සුවඳ කුඩු ආතුරයාටත් නිවසටත් උදේ සවස දින 07 ක් දුම් අල්ලනු. පිරිත් තෙලින් උදේ සවස දින 21 ක් පහන් දල්වනු. නිවසට ඉඩමට පිරිත් පැන්, මුහුදු වැලි ඉසිනු. සෑම කටයුත්තකදීම රතන සූත්‍රය සජ්ඣායනා කර කර කරනු. අමනුෂ්‍ය උවදුරු වලට පමණක් නොව භූමි දෝෂ, බහිරව දෝෂ, ප්‍රේත දෝෂ සියල්ලටම ප්‍රත්‍යක්ෂයි. නොපෑගුණු තැනකින් ගත් ගල් එලෙස පිරිත් කොට ඉඩමේ වළලනු. භූමි ආරක්ෂාවයි. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් පිරිත්කොට සුරයක දමා පැළඳීම සියලු යහපති. “යං කිඤ්චි විත්තං” යන ගාථාව කියා පැන් ඉසීමෙන් යක්ෂ දිෂ්ටි දුරු වේ. සෑ මළුවක ගිතෙල් පහන් දල්වා සමන්පිච්ච මල් පුදා රතන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් (108 වරක්) තමන් කරන්නට යන දේ යහපත් ද අයහපත් ද යන්න තමාට ම පෙන්නුම් කරයි.

පුංචි ළමුන්ට රතන සූත්‍රයෙන් පිහිට-සිහිනෙන් බයවෙනවාට පිරිත් පැන් දෙනු. පිරිත් තෙල් ගානු. පිරිත් නූල තබනු.කිරි වමන දමනවාට මව් කිරට පිරිත් කර දෙනු. බඩ රිදෙනවාට හා පණුවන්ට වදකහ මවු කිරෙන් ගලගා පිරිත් කොට පොවනු.රතු බිබිලි හා සමේ රෝග, සිහිනෙන් බය වීම, හැඬීම ආදියට අබ පිරිත් කොට දුම් අල්ලනු.අළු වලට පිරිත් කොට මොට්ටු තබනු. ඇඬීම නවතී.
නාවනා කල පිරිත් පැන් කලවම් කරනු. උවදුරු දුරු වේ.ඉඳුල් කැවීමේ දී පිරිත් කරනු. සියලු ආරක්ෂාවයි.නිතර අඬනවාට පිරිත් කියමින් ළමයාගේ රෙදි කොන ගැටගසනු. ඇඬීම නවතී.

නඩු හබ හා සතුරු කරදර වලදී රතන සූත්‍රයෙන් පිහිට-තමන් යුක්ති නම් (නිවැරැදි නම්) පිරිත් තෙලින් තිලක දී යනු. රන් තැඹිලි තෙල්, සඳුන් තෙල් 108 වර පිරිත් කොට රන් සුරයක හෝ වෙනත් සුරයක දා පැළඳගෙන යනු. යුක්තිය දිනයි. සතුරන් මිතුරු වේ.නිතර ගාථා සිහි කරනු. යුක්තිය දිනයි.සමන්පිච්ච මල් පුදා සෑයක් බෝධියක් ළඟ පිරිත් කොට සතුරන් මැදට යනු. මිතුරු වේ.ඉඩම් ආරවුල් වලදී තමන් යුක්ති නම් සපුමල් පිරිත් කොට ඒ ඉඩමට දමනු. ආරවුල් සංසිඳේ.

විෂ කැවුනාම රතන සූත්‍රයෙන් පිහිට-ඇඹුල් වර්ග 05 ක් අඬු කෝප්පයක පමණට ගෙන රතන සූත්‍රයෙන් පෙර පරිදි පිරිත් කොට හිස් බඩට බොනු.පැය භාගයකින් එකවිට පිරිත් කළ තැඹිලි ගෙඩියක් බොන්න. සියලු අනවින හූනියම් කැපී යයි. සත්තයි.සීලය සමාදන්ව පහන් සිතින් මෛත්‍රිය වඩමින් කරන්න. ඉක්මන් සුවය සැලසේ. නිතර පිරිත් පැන් බොන්න. දුම් ඇල්ලීම ආදී වත් කරන්න.සර්ප විෂට පිරිත් තෙල් ගානු. විෂ බසී.විෂ ගෙඩිවල දී පිරිත් තෙල් සර්වවිෂදි ආදී ඊට ගාන බෙහෙතක් පිරිත් කොට ගා පිරිමදිනු. සුවවේ.

දරුවන් නැතුවාට රතන සූත්‍රයෙන් පිහිට-සත් දවසක් බඹසර රැක බෝධි පූජා පවත්වා බාර වනු. ස්ත්‍රීය ඍතුවන දවසේ 108 වරක් පිරිත් කොට පැන් බොනු. දරුගැබ පිහිටයි.පිරිත් පැන් නිතර බොනු. කුස දරුවාට ආරක්ෂාවයි. දරුවන් නැත්තම් ඉහත පරිදි ඇඹුල් පහ පිරිත් කොට බඩේ විෂ නැතිකර ගන්න. දරු ප්‍රසූතියේ දී සියලු ආරක්ෂාවයි. උදේ සවස භාවිතා කරනු.

සතුන්ගෙන් වන උවදුරු වලට රතන සූත්‍රයෙන් පිහිට-පිරිත් තෙල් ගානු. සර්පයෝ නොකත්. කෑවත් විෂ බසී.සපුමල් පිරිත් කොට වී අටුකොටු වලට දමනු. සතුන් නොකත්. පිරිත් පැනින් ගවයන් නාවනු. ගවයෝ බෝ වෙත්.කැලේ යන විට සිහි කර කර යනු. උවදුරු නොපැමිණෙත්. බීජ ඉසින විට, හාන විට, කුඹුර කොටන විට පිරිත් කිරීමෙන් සතුන් නොකත්.ගොයමට ඉසිනු. මැස්සන් නැති වේ. තේ වගාවට, රබර් වගාවට, පොල් වගාවට, එළවළු වගාවට, පළතුරු වගාවට සුදුසු පරිදි යොදාගනු. පිස්සු බලු විෂට පිරිත් පැන් දී පිරිත් තෙල් ගානු. සියලු උවදුරු වලට උදේ සවස සිහි කරනු.

වෙනත් රෝග වලට රතන සූත්‍රයෙන් පිහිට-සියළු රෝග, උවදුරු, උපද්‍රව වලදී පිරිත් කිරීම, පිරිත් පැන් දීම, නූල් දැමීම, සියලු ආරක්ෂාව පිණිස පවතී. මෙය භාග්‍යවතුන් වහන්සේගේම හද මඩලින් පැන නැගුණු සත්‍යක්‍රියා ආශිර්වාදය බැවින් තුන් ලොවටම ආරක්ෂාව යි. පිරිත් පැන් බොනු. පිරිත් පැනින් මූණ සෝදනු. මුහුණේ අඳුර නැතිවී ශ්‍රියා වැඩේ. වසංගත දුරුවේ. පිරිත් තෙල් කකුලේ ගා යන්න. පහසුවෙන් දුර යන්න පුලුවන් වෙයි. ශරීරයට බෙහෙත් අහන්නේ නැතිවාට බෙහෙතට පිරිත් කර දෙනු.බෙහෙත අහයි. මීමැස්මොරේට පිරිත් කොට සතියක් තුන් වරුව බැගින් පිරිත් පැන් දෙනු. සුව වේ.

පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් රතන සූත්‍රයේ අසිරිය පිළිබඳ දේශනා කළ සුමධුර ධර්ම දේශනය පළමු කමෙන්ටුව තුළ අඩංගු වේ. රතන සූත්‍රයේ අමා මිහිර සොයන පින් ඇත්තෝ එය ද නරඹත්වා…