ඔබ ගන්නා ආහාර වලින් 30% ක් අමුවෙන් ආහාරයට ගත්හොත් එය බොහෝ රෝග වලට ඉතාම ගුණදායක දෙයක් බව ඔබ කලින් දැන සිටියා ද? ගැස්ට්‍රයිටිස්, බඩවැල් පිළිකා, ගුද මාර්ගයේ පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී බොහෝ රෝග ගණනාවකට මෙම අමුවෙන් ආහාර අනුභවය ඉතා හොඳ ප්‍රතිකර්මයක්. විශේෂයෙන් එළවළු සහ පලතුරු වැඩි වශයෙන් කිසිදු සැකසීමක් නොකර ඒ තිබෙන ආකාරයටම ආහාරයට ගැනීම ඉතාම සුදුසු බව බටහිර ලෝකයට ද ඒත්තු ගියේ හාවඩ් සරසවියේ මහාචාර්ය ස්ටීව් ෆනාලේ ගේ පර්‍යේෂණ වාර්තා වලින් පසුවයි.

නමුත් ලාංකික අපට මෙය අලුත් දෙයක් නම් නොවෙයි. අපි ගොටුකොළ සම්බෝල වගේම තිත්ත තුඹ කරවිල පවා සම්බෝල විදිහට හදලා හරි අගේට කාපු පලතුරු පවා සැලඩ් නොදා අමුවෙන්ම කාපු ජාතියක්. ඉතින් මේ අපේ සුන්දර ආහාර සංස්කෘතිය නිසයි ඒ කාලේ ජීවත් වුන මිනිස්සුන්ට අද තියෙන කිසිම ලෙඩක් දුකක් තිබුනේ නැත්තේ. ඉතින් ඔබත් අද සිට අපි කියාදෙන ඒ ඒ අසනීප වලට අමුවෙන් කන්න පුළුවන් ගුණදායක ආහාර වර්ග හොයාගෙන අමුවෙන්ම කන්න පුරුදු වෙන්න. ඔබ අපේක්ෂා කරන ඒ නිරෝගී ජීවිතය ඔබට පහසුවෙන්ම ලබන්න පුළුවන්.

දියවැඩියාවට-අමු ඇඹරැල්ලා ගෙඩියක් ලෙල්ලත් සමඟ කපාගන්න. ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් එක්ක දිනකට එකක් පමණක් කන්න. නැත්නම් කාමරංකා ගෙඩියක් කපාගෙන ලුණු ස්වල්පයක් සමඟ කන්න.

ඇඟේ උෂ්ණයට-පිපිඤ්ඤා ගෙඩියක් එහි මදයත් සමඟ කපාගන්න. ගම්මිරිස් ටිකක් ලුණු ටිකක් ඉස දිනපතාම දවල් කාලයේ කන්න. පොත්ත පමණක් අරින්න. මදය එලෙසම ගන්න. මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක් දිනපතාම කන්න.

ගැස්ට්‍රයිටිස් වලට-හොඳින් ඉදුණු මධ්‍යම ප්‍රමාණයේ වැලි ආත්තා ගෙඩියක් කපාගෙන කන්න. විශේෂයෙන් ලෙල්ල ආශ්‍රිතව ඇති කොටස හොඳින් සූරාගෙන කන්න.

දෑස් බොඳවීමට-කුඩා කැරට් ගෙඩියක් හොඳින් සෝදන්න. සිවිය ඉවත් කරන්න එපා. ගෙඩිය පිටින්ම කන්න. දිනපතාම මෙය කරන්න.

මලබද්ධයට-හොඳින් ඉදුණු බෙලි ගෙඩියකට සීනි ටිකක් දමාගෙන අමුවෙන් කන්න. අමු බෙලි ගන්න එපා. හොඳින් ඉදුණු ගෙඩියක්ම තෝරාගන්න.

බඩ පිපුමට-කුඩා ඉඟුරු කැබැල්ලක් හොඳින් සුද්දකර සෝදාගන්න. පසුව එය කුඩා කැබලි වලට කපාගන්න. වරකට එක් කැබැල්ලක් මුවට දමාගෙන හපන්න. එහි සාරය බොන්න.

ඇඟ කැසීමට / පලු මතුවීමට-බත් කනවිට ළපටි පොල් ගෙඩියකින් ගාගත් පොල් ටිකක් බත් සමඟ කන්න. නැත්නම් සමපෝෂ වැනි දෙයක් අලුතින් ගාගත් පොල් සමඟ මිශ්‍රකර කන්න.

අධි රුධිර පීඩනයට-අමු බීට් ගෙඩියක් ගන්න. එය කැබලි වලට කපාගන්න. වරකට එක් බීට් පෙත්ත බැගින් අමුවෙන් කන්න.

ඇඟ පණ නැතිකමට-ඉදුණු අලිගැටපේර ගෙඩියක් පලාගන්න. එය හැන්දකින් ඩෙසට් එකක් සේ කන්න. දිනපතාම උදේ වරුවේ හෝ දවල් කෑමෙන් පසුව මෙය ආහාරයට ගන්න.

මලපහ පිටකිරීමේ දුබලතාවයට-හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක් ගන්න. හොඳින් සෝදන්න. පෙති කපාගන්න. බත් සමඟ මේ අලුත් තක්කාලි පෙති කන්න. අවශ්‍ය නම් ලුණු ටිකක් ඉසින්න.

වයස්ගත ඇඟපත අමාරුවට-අලුත කපාගත් බී ළූණු ගෙඩියක් බත් සමඟ අමුවෙන් කන්න. වෙන කිසිම දෙයක් දමන්න එපා. බත් සමඟ අනාගෙන කන්න.

කාන්තාවන්ගේ මාසික වේදනාවට-අලුත කපාගත් අන්නාසි පෙති කිහිපයක් අමුවෙන් කන්න. මාසික ඔසප් වීම නිසා ඇතිවෙන යටිබඩ වේදනාවට ඉතාම හොඳයි.

අධික ලෙස මහන්සියි වීම නිසා ඇතිවන ඇඟපත අමාරුවට-මහන්සිවෙන ක්‍රියාකාරකමකට පසුව ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න. හැකිනම් ඉන්පසුව උණුසුම් කිරි වීදුරුවක් බොන්න.

මලානික බවට-ඇඟපත මලානික වී අධික අධික ලෙස අලසවෙන මොහොතක හොඳින් ඉදුණු රටඉඳි ගෙඩි හතර පහක් අමුවෙන්ම කන්න. හැකිනම් ඉන්පසු සීනි මුසුනොකළ තේ එකක් බොන්න.

නිතර නිතර අසනීප වීමට-දිනපතා අලුත් ඇපල් ගෙඩියක් අමුවෙන්ම කන්න.