උදරය සහ බඩවැල් ආශ්‍රිත ප්‍රශ්න ආවම විඳින්න වෙන දුක් කරදර ටික ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.. බඩේ ආම්ලිකතාවය, තුවාල, අධික උෂ්ණය හා බඩවැල් වල සිදුවන විවිධ රසායනික තත්වයන් වගේ බොහෝ රෝගාබාධ අපේ බඩවැල් කුණු කානු බවට පත්කරනවා.

කෙනෙකුගේ නිරෝගීකමේ තිඹිරි ගෙය තමයි එයාගේ බඩවැල් ටික. බඩවැල් වලින් පස්සෙ තමයි ශරීරයේ අනිත් දේවල් ටිකෙන් ටික ලෙඩ වෙන්න ගන්නේ. කොටින්ම කිව්වොත් පිළිකා සෛල වැඩිපුර හැදෙන්නෙත් බඩවැල් ආශ්‍රිතවයි. එය එතරම්ම සංවේදීයි. මේ නිසා තමයි අතීතයේ හිටපු ඍෂිවරුන් පවා බඩවැල් සිසිල්ව, පිරිසිදුව හා නිදහස්ව තබාගන්නා ලෙස ප්‍රකාශ කලේ. කෙනෙකුගේ බඩවැල් පිරිසිදු නම් ඔහුට හෝ ඇයට ඉතා සුවබර නිරෝගී ජීවිතයක් ලැබෙනවා. එසේ නොමැති වූ විට මේ මිහිපිට අපාය ඔහුගේ ශරීරය තුළ මැවෙන්නට පටන් ගන්නවා.

කෘතිම කෑම බීම, අහිතකර ආහාර පුරුදු, අධික මත්පැන් පානය, අධික පාරිසරික උෂ්ණත්වය, සමබල ආහාර වේලක් නොමැතිකම, එළවළු, පලතුරු, කිරි වැනි ස්වාභාවික ආහාර වලින් ඈත්වීම, ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් සිරුරට නොලැබීම, නොසන්සුන් මානසිකත්වය වැනි ඔබ නොසිතන බොහෝ දේ සෘජුව හා වක්‍රව ඔබේ බඩවැල් ඔබට නොදැනිම තුවාල කරනවා. නගරයක අපිරිසිදු ජලය බැහැර කරන කානු පද්ධතිය විනාශ වෙනකොට නගරයට සිදුවන ශෝකාන්තයම ඔබේ කුස තුළත් ටිකෙන් ටික නිර්මාණය වෙන්න ගන්නවා. නගරයේ නීරෝගී කම ආරක්ෂා කරන නගරයම පිරිසිදු කරන ඒ කාණු පද්ධතිය හොඳට නඩත්තු කරමින් රැකබලා ගන්න ඕන වගේ ඔබටත් ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්න නම් ඔබේ ශරීර අභ්‍යන්තරයේ පවතින මෙම බඩවැල් ටික හොඳට නඩත්තු කරගන්න ආරක්ෂා කරගන්න වෙනවා.

ඉතින් මේ විදිහට ඔබේ බඩවැල් වල තිබිය යුතු නියමිත ක්ෂාරීය ගතිය පවත්වා ගනිමින් බඩවැල් පිරිසිදු කර සිසිල් කරන විශ්මිත බෙහෙතක් සොබාදහමෙන් අපට දායාද කර දී තිබෙනවා. සමහරවිට මෙම විශ්මිත සුප්‍රසිද්ධ ඔසු පැළෑටිය දැනටමත් ඔබේ ගෙදර මල් පෝච්චියක හෝ ඔබ හිටවගෙන ඇති. ඒ තමයි කෝමාරිකා. මේ විශ්මිත පැළෑටියේ ඖෂධීය ශාක සාරය ඔබේ බඩවැල් තුළට ගමන් කර එහි ඇති අහිතකර රසායනික පරිසරය වෙනස් කරමින් බඩවැල් සිසිල් කර සැනසිලි දායක උදරයක් ඔබට නිර්මාණය කර දෙන්න සමත්කම් දක්වනවා. ඉතින් වෙනදා වගේම අද අපි ඔබට කියලා දෙන්නේ මේ විශ්මිත ශාකයේ ඖෂධීය සාරය කැටිකළ රසවත් ගුණවත් පානයක් පහසුවෙන් හදාගන්න හැටියි.

කෝමාරිකා පානය සාදාගැනීම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය :-

  •  අඟල් 04 ක කෝමාරිකා කැබලි 02 ක්
  • පොල් වතුර කෝප්ප 1/2 ක්
  • දොඩම් බෑයක යුෂ
  • සීනි තේ හැඳි 01 ක්

සාදන පිළිවෙල

01. මුලින් කෝමාරිකා කැබලි දෙක හොඳින් සෝදාගන්න. හැමවිටම පානයක් සඳහා කෝමාරිකා ගන්නා විට අලුත් කෝමාරිකාම ගන්න.

02. හොඳින් සෝදාගත් කෝමාරිකා කැබලි දෙක හොඳින් කැපෙන පිහියකින් සුද්ද කරගන්න. කෝමාරිකා කැබැල්ලේ පිටත තද කොළපාට පොත්ත සූරා ඉවත් කරන්න.

03. දැන් අතින් හොඳින් මිරිකමින් කෝමාරිකා යුෂ ගන්න. එසේ ලබාගත් කෝමාරිකා යුෂ හොඳින් පෙරෙන පෙරණයකින් පෙරාගන්න.

04. එසේ පෙරාගත් කෝමාරිකා යුෂ ටික බ්ලෙන්ඩරයකට දමන්න. හොඳින් මිරිකාගත් දොඩම්, පොල් වතුර, සීනි එකතුකරන්න.

05. තත්පර 10 ක් පමණක් බ්ලෙන්ඩර් කරන්න. පසුව යළිත් හොඳින් පෙරාගෙන අයිස් කැට දෙකක් දමා පානය කරන්න.

මෙය උදෑසනක පානය කරන්න. දවසම කූල් එකේ ඉන්න.