මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි.

මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සූත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී. පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි බොජ්ඣංග පරිත්ත වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි. එහි ගිලාන සුත්තං, දුතිය ගිලාන සුත්තං, තතිය ගිලාන සුත්තං ලෙස නම් කර ඇති එම සූත්‍ර තුන චතුභාණවාර පාලියට හෙවත් පිරිත් පොතට ගෙන ඇත්තේ පහත දැක්වෙන ආකාරයෙනි.

සංයුක්ත නිකාය චතුභාණවාර පාලිය

ගිලාන සුත්තං මහා කස්සපත්ථෙර බොජ්ඣංග පරිත්තං , දුතිය ගිලාන සුත්තං මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තං , තතිය ගිලාන සුත්තං මහා චුන්ද ත්ථෙර බොජ්ඣංග පරිත්තං

සංයුක්ත නිකායේ සූත්‍රය නම් කර ඇත්තේ එය දේශනා කිරීමට හේතු වූ සිද්ධිය මුල්කරගෙනය. පිරිත් පොතේ නම් කර ඇත්තේ පුද්ගලයා මුල් කරගෙනය. කෙසේ වුවද මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි. එහි බොජ්ඣංග හත ප්‍රකාශ කරන්නේ බොජ්ඣංග හත.

“…….. සම්බොජ්ඣංගො ඛො (මොග්ගල්ලාන) මයා සම්මදක්ඛාතෝ භාවිතො බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.” යන වැකියෙනි. මුලින් ඇති හිස් තැනට අනුපිළිවෙලින් 1. සති, 2. ධම්ම විචය, 3. විරිය 4. පීති 5. පස්සද්ධි 6. සමාධි 7. උපේක්ඛා යන වචන යොදනු ලැබේ. ඒ වැකියෙහි යොදා ඇති සම්බොජ්ඣංග, සම්ම දක්ඛාත, භාවිත, බහුලීකත, අභිඤ්ඤාය ,සම්බෝධාය, නිබ්බාණාය යන වචන ගැන අට්ඨ කථාවෙන් හා ගුරු ඇසුරින් දැනීමක් ඇති කර ගැනීම අවශ්‍ය ය. එසේම බොජ්ඣංග, සම්මා සම්බොජ්ඣංග යන දෙවන අර්ථ වශයෙන් වෙනස් වන අයුරු ද වටහා ගැනීම මැනවි. (බොධාය සංවත්තන් තිතී – බොජඣංගා අනුබුජ්ඣන්තීනි….. පටිබුජඣන්තිනි……. සම්බුජකථන්තීති බොජඣංගා – පසත්ථො සුන්දරො බොජ්ඣංගා සම්බොඣජංගා)

ගිලන් වූ විට සුවපත් භාවය

මහා කස්සප මහ රහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක බුදුරජාණන් වහන්සේ පිප්ඵලි ගුහාවට වැඩම කොට පැවැත් වූ දේශනාව (ගිලාන සුත්තං) මහා කස්සප ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රෝගාතුර වුණු දවසක ගිජ්ඣකූට පර්වතයට වැඩම කොට පැවැත් වූ දේශනාව (දුතිය ගිලාන සුත්ත) මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්ත නමිනුත් පිරිත් පොතේ දැක්වෙයි. එම සූත්‍ර දෙක්හිම වචන මාලාවේ වෙනසක් නැත. සුලු වෙනසකට ඇත්තේ ස්ථාන හා පුද්ගල නාමය පමණි. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගෙන් මෙසේ අසති.

“කච්චි තෙ කස්සප ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වේදනා? පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්ක මෝසානං පඤ්ඤායති. නො අභික්කමෝති කාශ්‍යප, ඔබ වහන්සේ ට ඉවසන්නට පුළුවන්ද? යැපෙන්නට පුළුවන් ද? දුක් වේදනාවන්, කැක්කුම් කොහොමද? අඩු ද? වැඩි නැද්ද? අඩු වන බවක් පෙනේ ද? වැඩි වන බවක් නො පෙනේද?

මහා කසුප් මහ රහතන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දෙති. “ න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්ක මෝසානං පඤ්ඤායති, නෝ පටික්කමොති (භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට ඉවසන්නට නොහැකියි. හතර ඉරියව්වලින් එක ඉරියව්වකවත් ශරීරය පවත්වා ගන්නට බැරිය. මගේ දුක් වේදනා ඉතා බලවත්ය. ඒවා වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. අඩුවක් වන බවක්වත් පෙනෙන්නේ නැත. ඒ තොරතුරු විමසීම මහා මොග්ගල්ලාන ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ දැක්වෙන්නේ ද ඒ ආකාරයෙන්මයි. මේ නිදසුනක් පමණි. වෙනසකට ඇත්තේ නම් ගම්වල පමණි. සසඳා බලන්න.

එහෙත් මහා චුන්දර ත්ථෙර බොජ්ඣංග පරිත්තයේ ඊට වඩා වෙනස්කම් ඇත. බුදුරජාණන් වහන්සේ අසනීප ව රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැනගත් මහා චුන්ද තෙරුන් වහන්සේ එහි වැඩම කළහ. එහි දී බුදුරජාණන් වහන්සේ ‘පටිභන්තුං තං චුන්ද බොජ්ඣංගා (චුන්ද ඔබට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා) යි වදාරති. ‘සත්තිමේ භන්තේ බොජ්ඣංගා භගවතා සම්ම දක්ඛාතා, භාවිතා බහුලීකතා අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තන්ති (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත බොජ්ඣංග ධර්ම මනා කොට වදාරන ලද්දේ ය. වඩන ලද්දේ ය. නැවත නැවතත් වඩන ලද්දේය. පුරුදු කරන ලද්දේ ය. ඒවා මනා කොට දැනීම පිණිස, සම්මා සම්බෝධිය පිණිස, පවතින්නේ) යි පවසා, චුන්ද තෙරණුවන් බුදුරජාණන් වහන්සේට ඇසෙන සේ කියා පෑහ.

මහා කස්සප, මහා මොග්ගල්ලාන යන දෙනමත්, බුදුරජාණන් වහන්සේත් දැඩි සේ ගිලන් බවට පත් වූ අවස්ථා තුනක දී සත්ත බොජ්ඣංග ධර්මයන්ට සවන් දීමෙන් සුවපත් වූ බව ‘වුට්ඨාභි ච තම්හා ආබාධා තථා පහීනොච…… සෝ ආබාධෝ යි’ ඒ ඒ සූත්‍ර අවසානයෙහි දැක්වෙයි.

ඉහත දැක් වූ බොජ්ඣංග සූත්‍රවලට අමතරව පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථයෙහි ද බොජ්ඣංග පිරිතක් දැක්වෙයි. පාලි භාෂාවෙන් රචිත ගාථා එකොළොසකින් යුත් ඒ පිරිත පශ්චාත් කාලීනයකු විසින් අක්ෂර පිහිටුවා ප්‍රබන්ධ කරන ලද්දකැයි, සැලකෙතත් ඒ බොජ්ඣංග පිරිත අවසානයේ ‘රෝග සුවය සඳහා රෝගීන්ට කියන පිරිතකැ’ යි විශේෂයෙන් සටහන් කර ඇත. ඒ බොජ්ඣංග පිරිත මෙසේය.

01. “සංසාරේ සංඝරන්තානං – සබ්බ දුක්ඛ විනාසකේ

සත්ත ධම්මේ ච බොජ්ඣංගේ – මාර සේනප්පමද්දිනෝ

 

02. බුජ්ක්‍ධිත්වා යේ පි මේ සත්තා – තිභවා මුත්තාහි උත්තමා

අජාතිං අජරංව්‍යාධිං – අමතං නිබ්භයං ගතා

 

03. ඒවමාදි ගුණෝපේතං – අනේක ගුණ සංගහං

ඕසධංව ඉමං මන්තං – බොජ්ඣංගාච තතෝ පරේ

 

04. බොජ්ඣංගෝ සති සංඛාතෝ

ධම්මානං විචයෝ තථා

විරියං පීති පස්සද්ධි

බොජ්ඣංගා ච තතෝ පරේ

 

05. සමාධිපෙක්ඛා බොජ්ඣංගා

සත්තේ තේ සම්ම දස්සිනා

මුනිනා සම්ම දක්ඛාතා

භාවිතා බහුලීකතා

 

06. සංවත්තන්ති අභිඤ්ඤාය

නිබ්බානාය ච බෝධියා

ඒතේන සච්ච වජ්ජේන

සොත්ථි තේ හෝතු සබ්බදා

 

07. ඒකස්මිං සමසේ නාථෝ

මොග්ගල්ලානඤ්ච කස්සපං

ගිලානෝ දුක්ඛිතෝ දිස්වා

බොජ්ඣංගෝ සත්ත දේසයී

 

08. තේ ච තං අභිනන්දිත්වා

රෝගා මුචිචිංසු තං ඛණේ

ඒතේන සච්චවජ්ජේන

සොත්ථි තේ හෝතු සබ්බදා

 

09. ඒරදා ධම්ම රාජාපි

ගේළඤ්ඤෙනාභි පිළිතෝ

චුන්දත්ථෙරෙන තංයේව

භණා පෙත්වාන සාදරං

 

10. සම්මෝදිත්වා ච ආබාධා

තම්හා වුට්ඨාසි ඨානසෝ

ඒතෙන සච්ච වජ්ජේන

සබ්බදා

 

11. පහීණා තේ ච ආබාධා

තිණ්ණන්නම්පි මහේසිනං

මග්ගාහත කිලේසාච

පත්තානුපත්ති ධම්මතං

ඒතේන සච්ච වජ්ජේන

සොත්ථි තේ හෝතු සබ්බදා”

 

ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක්

මෙම බොජ්ඣංග පිරිත එකසිය අටවරක් හෝ ඊට අඩු වැඩි වාර ගණනක් කියා පැරණි තෙරවරු, වෙදවරු, වැඩිහිටියෝ රෝගීන්ට ආශිර්වාද කළහ. මෑතක් වනතුරු රජයේ රෝහල් කරා වැඩම කර පැවැත් වූ භික්ෂූන්ගේ ආරෝග ශාලා සේවයේ දී උන්වහන්සේලා මෙම බොජ්ඣංග පිරිත භාවිතා කළහ. තම නිවසේ නැතහොත් රජයේ රෝහලක, ඇඳක පැදුරක වැතිරී දුකින් කල් ගෙවන රෝගියාට පන්සලේ හාමුදුරුවන්ගේ මුවින් පිටවන ඒ කාරුණික වදන්වලින් ලැබුණේ මහත් සැනසීමකි. එම සේවය සැලසූ භික්ෂුව ද ‘යො ගිලානං උපටිඨහති සෝ මං උපට්ඨහති” යන බුදු වදන අනුව ක්‍රියා කරන කුසල් රැස් කර ගත්තේ ය.

මෙසේ බුදුරජාණන් වහන්සේගේ පටන් සියල්ලන්ටම රෝගාතුර වූ අවස්ථාවලදී ශ්‍රවණය කළ පමණින් මහත් සැනසිල්ලක් ගෙන දුන් ‘බොජ්ඣංග‘ යන වචනයේ අර්ථය තේරුම් ගැනීම අප කාටත් ප්‍රයෝජනවත්ය. මෙය විවිධ නයින් අටුවාටිකා ග්‍රන්ථයන්හි විස්තර කර ඇත. මුලදී සරලව තේරුම් ගැනීම වඩා පහසුය. ඒ සඳහා සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ඇතුළත් භික්ෂු සූත්‍රයේ මේ සරල අනුවාදය කියවන්න. “භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නමස්කාර කොට පසෙක හිඳ මෙසේ ඇසුවේ ය.” ස්වාමීනි, බෝධි අංග, බොජ්ඣංග කියා කියනු අසන්නට ලැබේ. ස්වාමිනී, කොපමණකින් මේ බෝධි අංග කියා කියනු ලැබෙද්ද?” මහණ, අවබෝධය පිණිස පවතීයි යි බෝධි අංග (බොජ්ඣංග) කියනු ලැබේ. මහණ, මෙහි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම නිස්සිතව සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මේ සත් බෝධි අංග වඩන ඔහුගේ සිත කාමාසවයෙනුත් මිදෙයි. භවාසවයෙනුත් මිදෙයි. දිට්ඨාසවයෙනුත් මිදෙයි. අවිජ්ජාසවයෙනුත් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය කියා ඤාණය වෙයි. ජාතිය අවසන් විය…..” මේ වෙනුවෙන් තව අනෙකක් නැහැ කියා දැන ගනී. මහණ, අවබෝධය පිණිස පවතී යයි බෝධි අංග කියා කියනු ලැබේ.” (සිංහල සංයුක්ත නිකාය 2. 892 පි)

එක් එක් බොජ්ඣංගයන් අනුපිළිවෙළට හැදෑරීමෙන් ද සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තය කියවීමෙන් ද සත්ත බොජ්ඣංගය පිළිබඳ දැනීමක් ලබා ගැනීමට මග පාදා ගත හැකිය