මගේ පියා කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා භක්තියකින් සිටි අයෙකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමියකු වූ ඔහු දැනට ජීවතුන් අතර නැත. නමින් මුනිදාස අභයවික‍්‍රමය. 1950 පමණ සමහර අවුරුදුවල පුර පසළොස්වක පෝය දොළහම කතරගම කිරිවෙහෙර ඉදිරිපිට සිය හිතවතුන් සමග අටසිල් සමාදන් වී දවසම එහි ගත කිරීම ඔහු නොකඩවා කරගෙන ගියේය. ඒ පිරිස අතර එවකට හිටපු ඇමැතිවරයකු වූ හබරාදූව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.එස්. ගුණසේකර, ගාල්ලේ උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යක්ෂ පී.පී. ආටිගල, ගාල්ලේ දිස්ත‍්‍රික් උසාවියේ තෝල්ක මුදලි එස්.එස්. සිල්වා, වරල්ලේ යාප්ලන්ඞ් වතුයාය අයිති එම්.ඞී. යාපා, කොළඹ කොල්ලූපිටියේ දෘෂ්ටි පරීක්‍ෂක ඇල්බට් එදිරිසිංහ (පසු කලෙක ගණේගම දේවමිත්ත නමින් පැවිදි විය) යන මහත්වරු ද වූහ.

මා දන්නා තරමින් මේ පිරිස අතරින් දැනට ජීවත්ව සිටින්නේ ගණේගම දේවමිත්ත ස්වාමීන් වහන්සේ පමණක් විය හැකිය. උන්වහන්සේත් ඉතා වයෝවෘද්ධ වියේ විය යුතුයි. මගේ පියාගේ මූලිකත්වයෙන් ගාල්ලේ බෝසත් ආය ර්‍්‍ය ශීල සමාජය නමින් සංවිධානයක් පිහිටුවාගත් මේ පිරිසට ගණේගම සරණංකර, නෙළුවේ ගුණානන්ද, හීනටියන ධම්මාලෝක නා හිමිවරු ද සහයෝගය දුන්හ. එවකට මගේ වයස අවුරුදු දහයක් පමණ විය. මම ද පියා සමග මේ සිල් පිරිසට එකතුවීමි. මට මතක හැටියට කිරිවෙහෙර නායක හිමියන් වූයේ පොලොම්මාරුවේ රේවත ස්වාමීන් වහන්සේය. කතරගම අභිනවාරාමාධිපති වූයේ ආයුපාල නාහිමියෝය. කිරිවෙහෙර ගරා වැටී වල් බිහිවී තිබුණි. බොහෝ වන්දනාකරුවෝ දේවාලයට ගොස් පුද පූජා පවත්වා නැවත ගමන් ආරම්භ කරති. කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යාමක් නොවීය. දේවාලයේ සිට කිරිවෙහෙරට වූයේ අඩි පාරකි.

ඒ දෙපස පොල්පලා කඩ කීපයක් විය. දේවාලයට නුදුරින් කිරිවෙහෙර පැත්තට වෙන්නට නාහිමියන්ගේ ආවාස ගෙය විය. එය සිංහල උළු සෙවිලි කළ පහසුකම් ඉතා අඩු ආවාසයකි. නළ ජලය හෝ විදුලිය පහසුකම් නොවීය. සිල්ගත් පිරිස රාත‍්‍රිය ගත කෙළේ එහි ආලින්දයේය. රාත‍්‍රී කාලයේ මිදුලේ ඇවිදීමක් නොවූයේ කිරිවෙහෙර අසලට වල් අලින් රංචු පිටින් පැමිණෙන නිසාය. දේවාලය ඉදිරිපිට වූයේ පොල් අතු සෙවිලි කළ කඩ පෙළකි. එවකට තිබූ එකම විශ‍්‍රාම ශාලාව දැනට කෞතුකාගාරය වශයෙන් ඇති රාම ක‍්‍රිෂ්ණ මිෂන් නමින් හැඳින්වූ විශ‍්‍රාම ශාලාවකි. ගෙඟන් එගොඩවීමට තිබුණේ ලෑලිවලින් සාදන ලද එල්ලෙන පාලමකි. කීප දෙනෙක් වේගයෙන් ගමන් කළොත් එය දෙපැත්තට පැද්දෙන්නේ උංචිල්ලාවක් ලෙසිනි. ගෙඟන් එගොඩ වී දේවාලයට යාමට ප‍්‍රථම හැම දෙනාම හිසේ දෙහි ගා මැණික් ගෙඟන් දිය නා ගෙන සුදු රෙදිවලින් සැරසී යාම සිරිතක් වශයෙන් කෙරිණ.

කිරිවෙහෙර වල් බිහි වී තිබුණත් දේවාලයේ පෙරහර පුද සිරිත් අවුරුදු පතා නොපිරිහෙලා ඉටු කෙරිණි. විදුලි බලය නොතිබුණ නිසා විදුලි බල උත්පාදන යාන්ත‍්‍රයකින් පෙරහර කාලයට විදුලිය සැපයීය. එය ඉතා පුදුම සහගත සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව මැණික් ගෙඟ් වතුර මට්ටම පැවතියේ ඉතා ඉහළ මට්ටමකය. මට මතක හැටියට පානදුර මෝටර් රථ සමාගම අයිතිව සිටි ලියෝ ප‍්‍රනාන්දු මහතා තමාට අයත් ලොරියක විදුලි උත්පාදක යන්ත‍්‍රයක් සවිකර තිබුණි. පෙරහර කාලයට සතියකට පමණ කලින් ලියෝ ප‍්‍රනාන්දු මහතා කතරගම දේවාලයට අවුත් පුද පූජා පවත්වා විදුලි උත්පාදක යන්ත‍්‍රය සහිත ලොරිය ගඟ මැදින් දේවාලය පැත්තට ගැනීම සඳහා ගෙඟ් වතුර මට්ටම අඩු කර දෙන ලෙස කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටි විට දින කීපයකින් වතුර මට්ටම පහත බසී. එවිට ලොරිය දේවාලය අසලට ගඟ මැදින් ගෙන එයි. මෙය අවුරුදු පතා සිදුවූ අප දන්නා හාස්කමකි. එවකට රාත‍්‍රී 10.00ට දේවාලයේ ගේට්ටුව වැසූවිට කිරිවෙහෙරට යා හැකිවූයේ රාම ක‍්‍රිෂ්ණා මිෂම ළඟින්වූ අඩි පාරකිනි.

දැන්නම් මේ පාරවල් විශාල ලෙස තනා වාහන ධාවනය කිරීමේ පහසුකම් ද ඇත. ඒ කාලයේ දිනක් මගේ පියා තනිවම කිරි වෙහෙර වන්දනා කර අවසන් වන විට රෑ බෝ වී තිබේ. පසුව කළුවරේම ඉහත කී අඩිපාර දිගේ රාම ක‍්‍රිෂ්ණ මිෂම පැත්තට එන විට කැලේ අතරමංවී ඇත. වල් අලි ගස් අතු පොඩි කරන ශබ්දය ද ඇසෙන්නට වූයෙන් ලොකු ගසක් ළඟට ගොස් පාර සොයා දෙන ලෙසට කතරගම දෙවියන්ට කන්නලව් කොට තිබේ. ඒ සමගම ලන්තෑරුමක් අතින් ගත් සුදු රෙදි ඇඳගත් අයෙක් පියා ළඟට අවුත් රාත‍්‍රී කාලයේ මෙහි කුමක් කරන්නේදැයි විමසා ඇත. සිදුවූ දෙය කී පසු මේ පුද්ගලයා තමා පසු පස එන ලෙස පියාට පවසා රාම ක‍්‍රිෂ්ණ මිෂම පෙනෙන තෙක් මානයට අවුත් අතුරුදන් වී තිබේ.තවත් දිනෙක කතරගම දෙවියන් කෙරෙහි එතරම් විශ්වාස නොකළ මගේ ඥාති සහෝදරයකුට කතරගම දෙවියන්ගේ හාස්කම් පෙන්වීමේ අදහසින් ඔහුත් සමග කතරගම ගියා.

මම ද ඒ පිරිසට එකතු වීමි. එකල කතරගම යන හැම කෙනකුම ආහාර ගත්තේත් පූජා වට්ටි පිළියෙළ කර ගත්තේත් දේවාලය ඉදිරිපිට වූ කඩවලිනි. නව නගරයේ අද වීරසිරි හෝටලය නමින් හැඳින්වෙන හෝටලය එදා ඉතා කුඩාවට තිබුණේ ද මෙතැනය. එවකට එහි අයිතිකරුවන් වූ වීරකෝන් මහතා හෝ වෙද මහතා දැන් ජීවතුන් අතර නැතුව ඇත. මගේ පියා නිතර කතරගම පැමිණි නිසාත් ඔහු තුළ තිබූ දේව භක්තිය නිසාත් මේ කඩ අයිතිකරුවෝ ඉතා හිතවත් වූහ. ඒ දිනවල දැඩි නියඟයක් හටගෙන මැණික් ගෙඟ් ජල මට්ටම පහත බැස ගොවිතැන් පාළුවී දැඩි රශ්නයකින් යුක්ත විය. කඩ අයිතිකරුවෝ මගේ පියා සමග නියඟය නිසා ඇතිවූ සිය දුක් ගැනවිලි කියන්නට වූහ. හාස්කම් පෙන්වන්නට ඕනෑ.

අද රෑට වැස්ස ලබා දෙන්න, දෙවි හාමුදුරුවන්ට කියමු යනුවෙන් පැවසූ පියා අප සමග කිරිවෙහෙර ළඟට ගොස් බුදුන් වැඳ තෙල් මල් පූජා කොට පිරිත් කියා දේවාලය ඉදිරිපිටට පැමිණුනි. ඉන්පසු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරවා පිරිත් කියමින් දේවාලය වටේ පැය බාගයක් පමණ ගමන් කළෙමු. එක වරම මුළු පළාතම දෙවනත් කරමින් අකුණක් පුපුරා ගියේය. ඒ සමගම ධාරානිපාත වැස්සක් පටන් ගෙන පැය දෙකක් පමණ එය පැවතිනි. මේ සිදුවීම් වීරසිරි හෝටලයේ අයිතිකරුවන් දන්නා නමුත් ඒ අය ජීවතුන් අතර නැතුව ඇති. මෙයට අඩ සිය වසරකට පෙර තිස්සමහාරාමයේ සිට කතරගම ගියේ බර කරත්තවලිනි. තාර දැමූ පාරක් නොවීය. මග දෙපස දවල් කාලයේ පවා අලි දක්නට ලැබුණි. වන්දනාකරුවෝ කතරගම දෙවියන් කෙරෙහි අසීමිත භක්තියකින් යුක්ත වූහ.
උපාලි අභයවික‍්‍රම