හෘදයාබාධ යනු වර්තමානයේ දී මරණ බොහොමයකට හේතු වන රෝගයකි. කාන්තා පුරුෂ භේදයකින් තොරව ඇතිවන මෙම තත්ත්වය ඇතැම් අවස්ථාවලදී වයස් භේදයකින් තොරවත් ඇතිවන අවස්ථා ඉඳහිට දක්නට ලැබේ. හෘදයාබාධ සඳහා විවිධ හේතු ඇතත් වත්මන් ජීවිත රටාව මෙම තත්ත්වයට බලපාන ප්‍රධානම හේතුව ලෙස සැලකිය හැකිය. කෙසේවුවත් හෘදයාබාධ වලට සුලභ, කාන්තා පුරුෂ වශයෙන් පොදු රෝග ලක්ෂණ ඇතත්, අපි මේ ලිපියෙන් කියන්නට යන්නේ කාන්තාවන් අතර පමණක් සුලභ වන රෝග ලක්ෂණයි. බොහෝ විට මේවා රෝග ලක්ෂණ වලට වඩා සාමාන්‍ය තත්ත්ව වන නිසා කාන්තාවන් විසින් නොසලකා හරින අවස්ථා දක්නට ලැබේ. මේ නිසා හෘදයාබාධ වලින් කාන්තාවන් මිය යාමේ වැඩි ප්‍රතිශතයක් ඇත. හෘදයාබාධ වලින් මරණ ඇතිවීමේ අවදානම අඩුකර ගැනීමට කාන්තා ඔබත් පෙර සූදානමක් ලෙස මෙම ලිපිය කියව දැනුවත් වන්න.

කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන හෘදයාබාධ රෝග ලක්ෂණ –

1. තෙහෙට්ටුව; හෘදයාබාධයක් ඇතිවීමට පැය/දින කිහිපයකට පෙර.
2. පිටේ ඉහළ පෙදෙසේ, බෙල්ලේ හෝ හනු/හකු වල වේදනාව.
3. හදිසියේ හුස්ම හිරවීම.
4. හේතුවක් නොමැතිව අජීර්ණය, ඔක්කාරය හෝ වමනය.

පුරුෂයින්ට හා කාන්තාවන්ට පොදුවේ හෘදයාබාධයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන පපුවේ වේදනාව, සිසිල් දහඩිය දැමීමක් සහ කරකැවිල්ල යනාදිය ඇතිවිය හැකිය. නමුත් උදරය, බෙල්ල, හකු හෝ පිටුපස වේදනාව, ඔක්කාරය, හෘදයාබාධයට පෙර පැය හෝ දින ගණනක් තෙහෙට්ටුව සහ තනිව හෝ පපුවේ වේදනාව සමඟ එන හුස්ම හිරවීම වැනි විශේෂ රෝග ලක්ෂණ කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ.ඇමරිකාවේ පුරුෂයින්ගේ හා කාන්තාවන්ගේ මරණ වලට ප්‍රධානතම හේතුව හෘද රෝග වන අතර, පිරිමින්ට වඩා කාන්තාවන්ට හෘදයාබාධයක් ඇති වුවහොත් මියයාමට වැඩි ඉඩක් ඇති බව පෙනීයයි. මෙයට එක් හේතුවක් වන්නේ කාන්තාවන් සැමවිටම පපුවේ වේදනාව හෝ අපහසුව වැනි සාමාන්‍ය හෘදයාබාධ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම වන අතර ඔවුන්ට බොහෝවිට බහුල නොවන විශේෂ හෘදයාබාධ රෝග ලක්ෂණ ඇති අතර ඒවා තර්ජනයක් ලෙස නොදකමින් නොසලකා හරියි.

“පපුවේ වේදනාව” හෘදයාබාධයක ප්‍රකට ලකුණක් වන අතර ඊට අමතරව වඩාත් සියුම් සංඥා ගැනද විමසිල්ලෙන් සිටිය යුතුය. ඔබට මීට පෙර හෘදයාබාධයක් ඇති වී ඇත්නම්, ඊළඟ වතාවේදී ඔබට එම රෝග ලක්ෂණම අත්විඳිය නොහැකි බව මතක තබා ගන්න. හෘදයාබාධයක සලකුනු හඳුනා ගැනීම ඉතා වැදගත් වේ, මන්ද යත්, හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන ‘අවහිර වූ ධමනි’ සඳහා කරන ප්‍රතිකාර, හෘදයාබාධයක් ආරම්භ වී පැයක් ඇතුළත වඩාත් හොඳින් ක්‍රියා කරන බැවිනි. ඔබ රෝග ලක්ෂණ හඳුනා නොගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමට ප්‍රමාද වුවහොත් එම ප්‍රතිකාර වලින් පලක් නැත. හදිසි වෛද්‍ය ප්‍රතිකාර යනු ජීවිතය හා මරණය අතර වෙනසක් ඇතිකළ හැකි දෙයකි. එමනිසා කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන පහත හෘදයාබාධ රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින්න.

1. හෘදයාබාධයකට පෙර ඇතිවන වෙහෙසකාරී/තෙහෙට්ටු ගතිය.

පනක්‌ නැති ගතිය හෝ අසාමාන්‍ය වෙහෙස කාන්තාවන් තුළ ඇතිවන හෘදයාබාධයක බහුල ලකුණකි – හෘදයාබාධ ඇති කාන්තාවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් දුර්වලතාවය හෝ මාංශ පේශි වෙහෙසට පත්වීම අත්විඳින අතර ව්‍යායාම මගින් ඇතිවන වෙහෙසක් ලෙස එය ගණන් ගත නොහැක. මෙම රෝග ලක්ෂණය හදිසියේ ඇතිවිය හැකිය, නැතහොත් එය හෘදයාබාධයකට පෙර දින හෝ මාස ගණනක් පැවතිය හැකිය. තවද මෙම තෙහෙට්ටුව බොහෝ විට නින්ද නොයෑම සමඟ එකට පැමිණිය හැක.

2. සිරුරේ ඉහළ කොටසේ වේදනාව.

හෘදයාබාධයක සලකුණු ලෙස ඔබේ පිටට, බෙල්ලට, උදරයට (නාභියට ඉහළින්), හක්ක ප්‍රදේශයට හෝ ඔබේ එක් අතකට හෝ ඒ දෙකෙහිම අපහසුතාවයක් හෝ වේදනාවක් ඇති විය හැකිය. ඊට අමතරව ඔබ සැලකිලිමත් වියයුතු දේ මෙන්න:

  •  පහළ හකු වටා තද ගතියක් ඇති වීම.
  •  ඔබේ බෙල්ලේ අපහසුතාව.
  •  ඔබේ උගුරේ දැවෙන ගතියක් හෝ හුස්ම හිරවීම.
  • ඔබේ උරහිස් දෙකෙන් එකක් හෝ දෙකම වටා බර ගතිය, පීඩනය හෝ කැක්කුම.
  • උරහිස් තල අතර කුඩා කැක්කුමක්.
  • ඔබේ අත් දෙකෙහිම හිරිවැටීම, පුපුරු ගසන ගතිය, බර ගතිය හෝ වේදනාව.

හකු, බෙල්ල, උදරයේ ඉහළ හෝ පිටුපස වේදනාව කාන්තාවන්ට වඩාත් සුලභ දර්ශකයන් වන නමුත් මෙම ප්‍රදේශවල වේදනාව පිරිමින්ටද පොදු අනතුරු ඇඟවීමේ සලකුණු විය හැකි බව මතක තබා ගන්න.

3. හුස්ම ගැනීමේ අපහසුතාවය.

ඔබට පපුවේ වේදනාව දැනෙන වේලාවට පෙර හෝ ඒ මොහොතේදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවිය හැකිය. ඇතැම්විට එය ඔබ අත්විඳින එකම රෝග ලක්ෂණය විය හැකිය. ඒ නිසා හදිසියේම ඔබට කිසිදු කායිකව වෙහෙස වන කටයුත්තක නිරත වී නොමැතිවත් හුස්ම ගැනීමට අමුතුවෙන් වෙහෙසක් ගන්නා බව දැනෙනවා නම් එය හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකිය. නැවතත්, මතක තබා ගන්න පිරිමින්ටද හුස්ම ගැනීමේ අපහසුතාවය රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

4. ඔක්කාරය සහ වමනය.

පිරිමින් හා සසඳන විට කාන්තාවන්ට හෘදයාබාධයක ලක්ෂණ ලෙස අජීර්ණය, ඔක්කාරය හෝ වමනය ඇතිවීමේ අවදානම දෙගුණයක් වේ. ඔවුන්ට උදරයේ වේදනාවක්ද ඇති විය හැකිය. අවාසනාවකට මෙන්, මෙය හුදු ආහාර ජීර්ණයේ අවුලක් ලෙස බැහැර කිරීමට කාන්තාවන් පෙළඹේ.

පුරුෂයින්ට හා කාන්තාවන්ට පොදු හෘදයාබාධ ලක්ෂණ –

1. පපුවේ වම් පස හදිසි පීඩනයක්‌ හෝ වේදනාව.

හෘදයාබාධ ඇතිවීමේ වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ ඔබේ පපුවේ වම් පැත්තෙහි හෝ මධ්‍යයේ ඇති වන අපහසුතාව හෝ වේදනාවයි. මෙය අපහසුතාවයක්‌ ඇතිවෙන ආකාරයේ අධික පීඩනයක්‌, මිරිකීමේ සංවේදනයක්‌ හෝ වේදනාව වැනි හැඟීමක් ඇති කළ හැකිය. එය අජීර්ණය හෝ පපුවේ දැවිල්ලක් වැනි හැඟීමක්ද ඇති කල හැකිය. මෙම සංවේදනය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් තිබෙන අතර ඇතැම්විට නැතිවී ගොස් නැවත ඇතිවිය හැක.

2. හීන් දහඩිය දැමීම.

උණුසුම් කාලගුණයක් හෝ එවන් කිසිදු හේතුවක් නොමැතිව ඔබට හීන් දාඩිය/සිසිලක් සහිතව දාඩිය දැමීම හෝ අධික ලෙස දහඩිය දැමීමක් සිදුවෙනවා නම් එයද හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකිය.

3. කරකැවිල්ල.

හෘදයාබාධයක් ඇති වනවිට සිහිමූර්ජා වන අවස්ථා ඔබ දැක ඇති. නමුත් හදිසියේ ඇතිවන කරකැවිල්ල හෝ සැහැල්ලු,මත් බව හර්දයාබාදයක ලක්ෂණයක් බව ඔබ දැන සිටියාද?

හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

අධික රුධිර පීඩනය, රුධිරයේ ඇති අධික සීනි හා කොලෙස්ටරෝල් මට්ටම වැනි දේවල් හෘදයාබාධ වලට බලපාන සුලභ සාධකයි. මීට අමතරව ආතතිය හා විශාදය වැනි මානසික තත්ත්වද බලපෑ හැක. පහත දැක්වෙන්නේ හෘදයාබාධ අවදානම අවම කර ගැනීමට කල හැකි දේවල් කිහිපයකි.

1. පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීම.

පෝෂ්‍යදායී ආහාර වේලක් යනු සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍යම සාධකයකි. ඔබගේ ආහාර වේල එළවළු හා පලතුරුවලින් බහුල විය යුතු අතර ඊට අමතරව අඩු මේද මස්, මාළු සහ ධාන්‍ය වර්ග වලින් සමන්විත විය යුතුය. මීට අමතරව ඔබ සීනි ලුණු සහ අහිතකර මේද වර්ග ගැනීම පාලනය කළ යුතුය.

2. ව්‍යායාමවල නිරත වීම.

ව්‍යායාම මගින් ඔබගේ සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවයි. ඊට අමතරව ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කර රුධිර පීඩනය පහළ මට්ටමකට ගෙන එයි. දිනපතා විනාඩි තිහක්වත් වත්තේ වැඩ කිරීම හෝ දිවීම වැනි සාමාන්‍ය ව්‍යායාම් වල නිරතවීම සුදුසුය. අධ්‍යන වලට අනුව නිතිපතා දුවන පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමේ අවධානම 45% කින් අඩුය.

3. දුම්කොළ නිෂ්පාදන භාවිතය.

ඕනෑම ආකාරයක දුම්කොළ නිෂ්පාදන ඔබගේ සෞඛ්‍යයට අහිතකරය. එසේම සිගරට් දුමට නිරාවරණය වීමද ඒ ආකාරයෙන්ම භයානක දෙයකි. නමුත් දුම්කොළ නිෂ්පාදනවලින් ඈත් වීම ආරම්භ කල වහාම එම අවදානම පහත වැටෙන අතර එමගින් හෘදයාබාධ වැළඳීමේ අවදානම 50%කින් වසරක් තුළදී අඩු කළ හැකිය.

4. ශ්වසන ව්‍යායාම වල නිරත වීම.

මන්දගාමී, මධ්‍යම හා වේගවත් චක්‍ර සමඟ රිද්මයානුකූල, චක්‍රීය හුස්ම ගැනීමේ ක්‍රමවේදයක් ඇතුළත් වන “සුදර්ශන් ක්‍රියා යෝගා” ලෙස හැඳින්වෙන යෝගී හුස්ම ගැනීමේ තාක්ෂණය ඔබට මානසික ආතතිය හා මානසික අවපීඩනය සමඟ කටයුතු කිරීමට උපකාරී වේ.
උජ්ජායි(ujjayi) හෝ “ Victorious breath” ලෙස හැඳින්වෙන මන්දගාමී හුස්ම ගැනීමේ චක්‍රය තුළ විනාඩියකට හුස්ම 2 සිට 4 දක්වා ගනු ලබන අතර භස්ට්‍රිකා(Bhastrika)හෝ “Bellows breath” නම් වේගවත් හුස්ම ගැනීමේ චක්‍රය තුල විනාඩියකට හුස්ම 30 ක් ආශ්වාස ප්‍රශ්වාස කෙරේ. පුහුණු වෘත්තිකයෙකුට මෙය ඔබ‍ට ඉගැන්විය හැකිය.

5. භාවනා කිරීම.

පර්යේෂණයන්ට අනුව, මානසික අවපීඩනය හා මානසික අවපීඩනය වැඩි කරන කාංසාව ඇති පුද්ගලයින්ට භාවනාව උපකාරී වේ. පහසුවෙන් අසුන්ගෙන, අනාගතයට හෝ අතීතයට ඔබේ මනස යොමු වීමට ඉඩ නොදී, වර්තමානයේ සිහිය පවත්වාගෙන, ඔබේ ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය යොමු කරන්න. දිනකට අවම වශයෙන් මිනිත්තු 20 ක් භාවනා කිරීමට උත්සාහ කරන්න. නිතිපතා පුහුණුවීමෙන් ඔබේ ප්‍රතිලාභ උපරිම කර ගත හැකි බව මතක තබා ගන්න.