තාම හරියට වචන කතා කරගන්න බැරි බිළිඳුන් අපට කියන්න ඕන දේවල් හැඟවීමට විවිධ අමුතු හැසිරීම් යොදා ගන්නවා. කුඩා දරුවෙක් අඬනකොට ඒ ඔවුන්ට බඩගිනි නිසා හෝ ඇඳුමේ මලමුත්‍රා කරගෙන වැනි දෙයක් අපට හැඟවීමට බව අපි දන්නවා. ඔහුට වේදනාවක් වැනි දෙයක් දැනුනත් ඒ බව අපට දැන්වීමට අඬන එක තමයි කරන්නේ. මේ හැරුණුකොට ඇතැම් කුඩා දරුවන් පෙන්වන අමුතු හැසිරීම් ඔවුන් කරන්නේ ඇයි කියලාවත් අපට තේරුම් ගන්න බැරිවෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් වැඩිය අත්දැකීම් නැති, අලුතෙන් මවුපියන් වුනු අයට සහ දෙමව්පියන් වීමට බලාගෙන සිටින අයටයි මේ ලිපිය අපි ඉදිරිපත් කරන්නේ. මේ ලිපිය කියෙව්වහම කුඩා දරුවන්ගේ සමහර අමුතු පුදුම හැසිරීම් වලට හේතුවත් ඔවුන් මේවා කිරීමෙන් අපිට හඟවන්න හදන දේත් දැන ගන්න ඔබට පුළුවන්.

01. හුස්ම සිරකරගෙන සිටීම.

ඔබ ඇතැම්විට දැකලා ඇති කුඩා බිළිඳුන් හඬමින් සිටින අතරතුර විනාඩියක් පමණ හුස්ම අල්ලාගෙන සිටිනවා. එවිට ඔවුන් දරදඬු වී නිල් හෝ දම් පැහැයට හැරීම සිදු වෙනවා. ඇතැම්විට ඔවුන් විනාඩි කිහිපයකට සිහිසුන් වීම පවා සිදු වෙනවා. මෙය ඔබව ඉතාම භීතියට පත්කරන දෙයක් වුණත් එය ඇත්තෙන්ම කුඩා දරුවා විසින් හිතා මතා කරන දෙයක් නෙමෙයි. ඔවුන්ට දැනුණු බියක්, වේදනාවක් හෝ කම්පනයක් හේතුවෙන් නොදැනුවත්වම මේ දෙය ඔවුන් අතින් සිදු වෙනවා. ඒ වගේම මේ ක්‍රියාව හානි රහිතයි. බිලිඳාට අවුරුදු හතරක් පහක් පමණ වන විට මෙය සිදුවීම ක්‍රමයෙන් නැති වී යනවා.

2. නිතර ඇඳුම් ගැලවීම.

ඇතැම් කුඩා දරුවන් නිතරම ඇඳුම් ගැලවීමට උත්සාහ කරනවා. කුඩා වයසේදී ඇඳුම් නැතුව සිටීම එතරම් ලැජ්ජා සහගත දෙයක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඕනෑම තැනක ඇඳුම් ගලවා දැමීමට මැලි වෙන්නේ නැහැ. තවද මෙය බොහෝවිට සිදුවන්නේ තනියම ඇඳුම් ඇඳ ගැනීමට පුරුදු වූ වයසේ සිටින කුඩා දරුවන් මගිනුයි. ඔවුන් නිතර ඇඳුම් ගැලවීමට හේතුව එම ඇඳුම් ඔවුන්ට අපහසු නිසා හෝ දහඩිය නිසා විය හැකියි. ඒ වගේම තනියම ඇඳුම් ඇඳගැනීම අලුතින් ඉගෙන ගත් ක්‍රියාකාරකමක් නිසා එය නැවත නැවත අත්හදා බැලීමට ඔවුන්ට ඇති කැමැත්ත නිසා ඔවුන් මෙසේ ප්‍රසිද්ධ ස්ථානවල දී පවා හිටිහැටියේ ඇඳුම් ගැලවීම සිදු කරනවා.

3. නාන වතුර පානය කිරීම.

ඇතැම් කුඩා දරුවන් ස්නානය කරමින් සිටින අතරතුර හිටිහැටියේම එම වතුර අරගෙන පානය කරනවා අපි දැක තිබෙනවා. මෙයට හේතුව තමයි ඔවුන් පානීය ජලය සහ ඔවුන් නාන වතුරෙහි වෙනස නොදැන සිටීම. ඒ වගේම කුඩා දරුවන් බොහෝවිට වතුරෙහි සෙල්ලම් කරන නිසා එම වතුර ඔවුන්ගේ සෙල්ලමේම කොටසක් හැටියටයි ඔවුන් දකින්නේ. ඒ නිසා එම වතුර බීම ඔවුන් විනෝදයට කරන දෙයක්. එම නිසා හදිසියේවත් ඔබේ දරුවා නාන වතුර පානය කරනවා ඔබ දුටුවොත් බොහෝ කලබල වී ඔවුන්ගේ අතට ගසා එය ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. එසේ කිරීමට හේතුව නොතේරෙන නිසා කුඩා දරුවන් මෙයින් බියටත් කම්පනයටත් පත් වෙන්න පුළුවන්. ඔවුන් නාන වතුර බීමට සැරසෙන විට සෙමෙන් ඔවුන්ගේ අත් වලින් එම වතුර ඉවත් කරමින්, එය නොකළ යුතු දෙයක් බව ඉරියව්වලින් ඔවුන්ට පෙන්වා දෙන්න.

4. ඔලුව හප්පා ගැනීම.

නිදා ගැනීමට සැරසෙන විට හෝ රාත්‍රියේදී ඇතැම් කුඩා දරුවන් ඔවුන්ගේ හිස මෙට්ටය මත, තොටිල්ලේ ගැට්ටේ හෝ කොට්ටය ආදිය මත හප්පා ගන්නවා ඔබ දැක ඇති. ඇතමුන් පවසන්නේ මෙය ඇඟිල්ල ඉරීම වැනි, කුඩා දරුවන් තැන්පත් කරවන දෙයක් කියලයි. ඇතැමුන් පවසන්නේ මේ රෝගයක් කියලයි. නමුත් මෙය සාමාන්‍ය තත්වයක්. බිලිඳුන්ගෙන් 15%ක්ම මෙය සිදු කරනවා. නමුත් මෙම ඔලුව හප්පා ගැනීම තමාට හානියක් කරගැනීමට තරම් බලයකින් සිදු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති නිසා මෙය හානිදායක වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේත් නැහැ.

5. කුඩා වස්තු නාසයට, කනට සහ ඇසට ඔබා ගැනීමට උත්සහ කිරීම.

කුඩා බිළිඳුන් නිතරම කුතුහලයෙන් පසු වන පිරිසක්. මේ නිසා ඔවුන් කුඩා වස්තු දුටු ඒවා ඔවුන්ගේ කනට, නාසයට දමා ගැනීමට උත්සාහ කරනවා. මෙමගින් ඔවුන් පරීක්ෂා කර බලන්නේ මෙම කුඩා වස්තු ඔබා ගැනීම මගින් තමාට කුමක් සිදු වේවිද කියායි. කුඩා දරුවන් අසා දැන ගන්නවාට වඩා තමන් විසින්ම සිදුකර අත්දැකීම් ලබා ගැනීමට කැමති නිසා මෙම හැසිරීම පෙන්වනවා.

6. අමුතු දේවල් ආහාරයට ගැනීම.

අමුතු දේවල් කිව්වට මේවා අමුතු වෙන්නේ වැඩිහිටියන්ට පමණයි. කුඩා දරුවන් දකින දකින ඕනෑම දෙයක් කටේ දමා ගන්නවා. ඒ නිසා ඔවුන් ඔබ කවන කෑම නැතුව, එම කෑම එකෙන්ම බිම හැරුණු කෑම කැබලි කටේ දමා ගැනීමට පෙලඹෙනවා. ඒ වගේම නාසයේ ඇති හොටු වල සිට බිම තිබෙන කුඩා කෘමින් පවා ඔවුන් කටේ දමාගන්නවා. මේකට හේතුවත් මම කලින් කියපු හේතුවමයි. එනම් ඔවුන් කුතුහලයෙන් පිරුණු පිරිසක් නිසා තමයි ඔවුන් මේ දේ සිදුකරන්නේ. කුඩා දරුවන් හැටියට ඔවුන් අත්දකින අලුත් දේවල් මොනවාද කියා හඳුනාගැනීමට ඔවුන්ට ඇති එකම ක්‍රමය රස බැලීමයි.

ඔවුන් කටේ දමාගන්නා මෙවැනි අමුතු දෙයක් නැවත කටේ දමා ගැනීමට පෙළඹෙන්නේ එය ඔවුන්ට හොඳ රසයකින් කලින් වතාවේ දැනුණු නිසයි. ඒ නිසා ඔවුන් එය හොඳ දෙයක් ලෙස තීරණය කරනවා. කටට දමා ගත් දෙයින් ඔහු අකමැති රසයක් දැනුණා නම් ඔවුන් නැවත වතාවක් එය කටට දමාගැනීමට පෙළඹෙන්නේ නෑ. මෙහි ඇත්තේ සරල සංකල්පයක්. හරියට ඔබ කවන කෑම එකේ ඇති කරවිල කැබැල්ලක් දරුවා එක වතාවක් රස බලා ප්‍රතික්ෂේප කරනවා නම් ඊළඟ වතාවෙ එය කටේ දමා ගැනීමට කැමැත්තක් දක්වන්නෙ නෑ වගේ. ඒ වගේම අප්‍රසන්න දෙයක් ලෙස ඔබට සිතුණත්, අධ්‍යනයකින් හෙළි වී තිබෙන පරිදි හොටු කුඩා ළමුන්ට රසවත් දෙයක් ලෙසයි දැනෙන්නේ. එමනිසයි වරක් කට දමා ගත් පසු ඔවුන් නැවතත් එය කිරීමට පෙලඹෙන්නේ.

7. හිසකෙස් ඇදීම.

වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන් විසින් හිසකෙස් ඇදීම හෝ කැරකැවීම වැනි දේ සිදුකරනවා. මෙය බොහෝ විට ඔවුන් සිදුකරන්නේ තමාව තැන්පත් කරගැනීමට සහ ඔවුන්ට කම්මැලි නිසයි. වයස අවුරුදු 3 පමණ වන විට ඔවුන්ගේ ම ක්‍රියාවට වැඩිහිටියන්ගේ හැසිරීම් ඔහු නිරීක්ෂණය කරන නිසා ඔවුන්ට අවධානය ලබා ගැනීමට උපක්‍රමයක් ලෙස මෙය යොදා ගන්නවා. නමුත් මීට වඩා වයසින් වැඩි දරුවන් මෙසේ හිසකෙස් ඇදීම ADHD නම් රෝග තත්ත්වය නිසා සිදු වෙන්න පුලුවන්.

8. එකම කතාන්දරය නැවත නැවත ඇසීම.

කුඩා දරුවන් බොහෝ විට ඔබ කියාදෙන කතාවක් හෝ දෙකකට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. මොවුන් එය නැවත නැවතත් කියන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙම වෙලාවට දරුවාට ඒ කතාව කලින් අසා තිබෙන නිසා වෙනත් කතාවක් ඇසීමට බලකරන්න එපා. ඒ වෙනුවට ඔවුන්ට එම කතාව නැවතත් කියාදෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න. මෙසේ එකම කතාව ඔබට නැවත නැවත කියා දීමට බල කිරීමෙන් ඔවුන්ට තමන් පාලනයෙහි සිටින බවට හැඟීමක් එනවා. එය ඔවුන්ට සමකාමී වීමට පහසුවක් වෙනවා. ඒ වගේම ඔබ රාත්‍රියේ ඔහුට අනිවාර්යෙන්ම කතාවක් කියා දෙන බව දාන්න නිසා සහ, එම කතාව අවසාන වෙන හැටි ඔවුන් දැනගෙන සිටීමත් නිසා ඔවුන්ට සාමකාමී ලෙස සැහැල්ලුවෙන් නින්දට යන්න පුළුවන්. කලින් අසා නැති කතාවක් කියා දීමෙන් එහි අවසානය ගැන දැනගැනීමට තිබෙන කුතුහලය නිසා ඔවුන් නිදා නොගෙන සිටීමට පෙළඹෙන්න ඉඩ තියෙනවා.

ඔබේ දරුවන් මෙම හැසිරීම් වලින් එකක් හෝ කීපයක් පෙන්වනවා තිබෙනවද? ඒ වගේ අවස්ථාවලදී ඔබ ප්‍රතිචාර දැක්වුයේ කොයි ආකාරයටද? මේවාට අමතරව තවත් අමුතු හැසිරීම් ඔබේ දරුවා දක්වනවාද? එහෙනම් ඒවා අනිත් අයත් එක්ක බෙදා හදාගන්න. මොකද එය තවත් කෙනකුට උදව්වක් වෙන්න පුළුවන්.