ජංගම දුරකථනය මේ වෙද්දි නැතුවම බැරි තාක්ෂණික උපකරණයක් වෙලා. හැමදෙනා ළඟම වගේ ජංගම දුරකථනයක් තියෙනවා විතරක් නෙමෙයි අපි බලන බලන තැන සිටින ඕන කෙනෙක් ඕනම වෙලාවක ජංගම දුරකථනයට එබීගෙන ඉන්නවා අපිට දකින්න පුළුවන්. මේක කොයිතරම් පුරුද්දකට ගිහින්ද කිව්වොත්, වැඩක් ඇතුවත් නැතුවත් ඒක ඔබ ඔබ ඉන්න සිරිතක් අපි හැමෝටම තියෙනවා. ජංගම දුරකථන අපේ වැඩ කොච්චර පහසු කරත් ඒක අපේ සෞඛ්‍යයට නම් එච්චර හිතකර වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි අපේ සෞඛ්‍යයට අහිතකර විදිහට ජංගම දුරකථනය පාවිච්චි කිරීමේදී කරන වැරදි මොනවද? ඒවා වළක්වා ගෙන අපේ ශරීරයට හිතකර ලෙස මේ තාක්ෂණික උපකරණය භාවිතා කරන්නේ කොහොමද? මේ ලිපිය අවසාන වෙනකන් කියෙව්වොත් ඒක ඔබටම සොයාගන්න පුළුවන්.

1. නිදාගැනීමේදී ජංගම දුරකතන ලඟ තබා ගැනීම.

බොහෝ දෙනෙක් නිදාගන්නා විට ජංගම දුරකතනය ළඟ තියාගන්නවා. මේකට හේතුව විදිහට ඇතැම් අය පවසන්නේ ඔවුන් ඊළඟ දවසේ උදෑසන අවදි වීමට එලාම් එක තබන්නේ ඡංගම දුරකථනයෙන් කියායි. කෙසේ නමුත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනය ළඟ තියාගන්න ඇත්තම හේතුව තමයි, නිදාගන්න අන්තිම මොහොතේදී ජංගම දුරකථන භාවිතා කරමින් ඉඳලා නිදා ගන්න සුදානම් වෙද්දීත් එය එහෙමම ළඟ තබා ගැනීම. ජංගම දුරකථනය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂකයක්‌ සහ ග්‍රාහකයක්‌. සරලවම කිව්වොත් ජංගම දුරකථනයකින් රේඩියෝ තරංග නිකුත් වෙනවා. තවමත් විද්‍යාත්මකව හරියටම තහවුරු වී නැතත් විද්‍යාඥයන් පවසන්නේ ජංගම දුරකථන වලින් නිකුත් වන කිරණ වලින් ඔබගේ මොළයට හානි වෙන්න පුළුවන් කියලයි.

මේ කිරණ වල බලපෑම තවම තහවුරු නැතත්, රාත්‍රිය පුරා ඔබගේ ජංගම දුරකතනයට එන කෙටි පණිවිඩ ආදී notifications නිසා ඔබගේ නින්දට බාධා වීම සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක් නිදාගතයුතු පැය ගණන නිදා ගැනීමට නොහැකිව එම කාලයට බාධාවීම කොහොමත් ඔබගේ මොළයට වගේම සිරුරේ හොඳ නැහැ කියල අපි දන්නවනේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඔබට ජංගම දුරකථනය වෙනත් කාමරයකින් තැබීමට බැරිමනම් නිදාගන්නා විට අඩුමගානේ එය airplane mode එකට දමා තබන්න. එහෙමත් නැත්නම් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර බැටරි මගින් ක්‍රියාකරන සාමාන්‍ය alarm එකක් ළඟ තබා ගන්න. එය ඔබේ සෞඛ්‍යයට හොඳයි වගේම ඔබේ ජංගම දුරකථනයටත් විවේකයක් ලැබෙනවා.

2. ජංගම දුරකථන වල ආලෝකයට දිගු වේලාවක් නිරාවරණය වීම.

ජංගම දුරකථන වලින් නිකුත් වෙන දීප්තිමත් ආලෝකය bluelight ලෙස හඳුන්වනවා. මෙම අලෝකයට දිගු කාලයක් නිරාවරණය වීම නිසා හිසේ කැක්කුම් ඇතිවීම සහ ඇස් පෙනීම දුර්වල වීම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනයෙන් නිකුත් වෙන මෙම දීප්තිමත් නිල් ආලෝකයට ඔබ නින්දට පෙර බොහෝ වේලාවක් නිරාවරණය වෙනවා නම් එය ඔබේ නින්දට උපකාරී වන මෙලටෝනින් නම් හෝමෝනයට බාධා කරනවා.

මේ නිසා ඔබට නින්ද නොයාම, දවස පුරාම ඇතිවනෑ තෙහෙට්ටුව සහ හිසේ කැක්කුම් වැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එමනිසා ඔබට වැඩක් නැති අනවශ්‍ය අවස්ථාවලදී ජංගම දුරකතනය දිහා බලාගෙන සිටීමෙන් වලකින්න. ඒ වගේම ජංගම දුරකථන වල ඇති නවතම ඔප්ෂන් එකක් ලෙස පැමිණෙන blue light filter/eye comfort එහෙමත් නැත්නම් මෙම දීප්තිමත් නිල් ආලෝකය වෙනුවට කහ පැහැති ඇසට සෞම්‍ය වර්ණයක් ලබා ලබා දෙන ඔප්ෂන් එක ක්‍රියාත්මක කරගන්න.

3. අඩු සංඥා තත්ත්ව යටතේ දුරකථනය භාවිතය.

ඔබේ දුරකථනය අඩු සංඥා තත්වයන් එහෙමත් නැත්නම් low signal තත්ත්වයක් පෙන්නනවනම් ඔබ දුරකථනය භාවිතා නොකර සිටීමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද අඩු සංඥා තත්ත්ව යටතේදී ඔබේ දුරකථනය සම්ප්‍රේෂකයක් ලෙස ඉතාම ප්‍රබල ලෙස සංඥා නිකුත් කිරීමට උත්සාහ ගන්නවා. එනම් ඔබේ දුරකතනයෙන් වැඩි ජවයක් යොදාගෙන ක්‍රියා කරන අවස්ථාවේදී ඔබේ සෞඛ්‍යයට ඉතාම අහිතකරයි.

එම නිසා ඔබේ ජංගම දුරකථනය low signal පෙන්නන අවස්ථාවක ජංගම දුරකථන ඔබට හැකි තරම් ඈතින් තැබීමට උත්සාහ ගන්න. ඒ වගේම ජංගම දුරකථනය මේ විදියට අඩු සංඥා තත්ත්ව යටතේ පවතින විට ජංගම දුරකථනය රත් වීම සිදුවෙනවා. තවත් කියනවා නම් ඔබට නිතරම හේතුවක් නැතිව හිසේ කැක්කුම ඇති වනවා නම් ඔබ පරික්ෂා කරලා බලන්න ඔබගේ දුරකථනය ඔබට නොදැනුවත්වම හරි නිතරම අඩු සංඥා තත්ත්ව යටතේ පවතිනවා වෙන්න පුළුවන්.

4. දුරකතනය නිතරම ඔබේ සමට ස්පර්ශ වන සේ තැබීම.

දුරකතන සහ පිළිකා අතර ඇති සම්බන්ධය පිළිබඳ මේ වන විටත් ලෝකයේ බොහෝ අධ්‍යයන අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ දුරකථන රත් වීමට හේතුවන මෙගාහර්ට්ස් 900ක (900MHz) සම්ප්‍රේෂක තරංග නිකුත් කරන අවස්ථාවේදී. මේ විදියට දුරකථනය රත් වෙලා තියෙන අවස්ථාවක එය සිරුරට ළඟින් තබා ගැනීමෙන් හෝ එය ස්පර්ශ කර තබා ගැනීමෙන් එම රස්නය කුඩා කොටස් වශයෙන් ඔබේ සිරුර උරා ගන්නවා.

මෙය සිරුරට අහිතකරයි. එම නිසා ඔබ දුරකථනය භාවිතා කරන්නේ නැති අවස්ථාවලදී එය හැකි තරම් ඈත්ව තැබීමටත්, ඔබ දුරකථන ඇමතුමක් ගන්නා විට වගේ නම් විශේෂයෙන් speakerphone හෝ headset එකක් භාවිතයෙන් දුරකතන ඇමතුම් ලබාගැනීමටත් සැලකිලිමත් වෙන්න. ජංගම දුරකථනය එහා මෙහා රැගෙන යන අවස්ථාවේදී සාක්කුවේ හෝ අතේ තබා ගෙන යනවාට වඩා ඒ ඔබේ ගමන් මල්ලට දමාගෙන යාම වඩාත් සුදුසු වෙනවා.

5. වැරදි ඉරියව්වලින් ජංගම දුරකථනය භාවිතා කිරීම.

ජංගම දුරකථනය වැරදි විදිහට භාවිතා කිරීමෙන් ඔබගේ ඇඟිලි ඉදිමීමට රතුවීමට හේතු වෙමින් අස්ථි වල විවිධ සංකූලතා ඇති කරන tenosynovitis නම් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ල නමාගෙන ඔබ කාලයක් තිස්සේ ජංගම දුරකථනයෙන් වැඩ කරනවා නම් ඔබේ බෙල්ල ආශ්‍රිතව කොඳුඇට පේලියේ විවිධ අපහසුතා කැක්කුම් ආදිය ඇති වෙන්න පුළුවන්. කාලයක් ගතවූ විට ඔබගේ හිසේ බර මෙන් පස් ගුණයක බරක් ඔබේ ගෙලට දැනිමට පටන් ගන්නවා.එවිට ඔබගේ ගෙල විසින් හිස කෙළින් තබා ගැනීමට ප්‍රතික්ෂේප කිරීමක් සිදුවෙනවා. එම නිසා කුදු වීම වැනි ගෙල ආශ්‍රිත විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන්. මෙය වළක්වා ගැනීමට හැකි තරම් දුරකථනය ඔබේ ඇස් මට්ටමට ගෙන කොන්ද සහ ගෙල කෙළින් තබාගෙන භාවිතා කිරීමට සැලකිලිමත් වෙන්න.

අපි මේ කියලා දුන්නෙ ජංගම දුරකථන භාවිතා කිරීමේ දී ඕනෑම කෙනෙක් කරන බහුල වැරදි කිහිපයක්. මීට අමතරව බොහෝ වැරදි එක එක්කෙනා පෞද්ගලික මට්ටමෙන් නොදැනුවත්වම සිදු කරනවා වෙන්න පුළුවන්. මේ නිසා හැකි තරම් ජංගම දුරකථන භාවිතා කලයුතු නිවැරදි ක්‍රමය ගැන දැනුවත් වීමට උත්සාහ ගන්න