ඕනෑම කාන්තාවකගේ රූපලාවණ්‍ය බඩු භාණ්ඩ ගොඩේ නැතුවම බැරි දෙයක් තමයි තොල් ආලේපන කියන්නේ. ඒ අතරිනුත් රතු පැහැති තොල් ආලේපන විශේෂයි. එක එක්කෙනා ළඟ විවිධ වර්ණයේ තොල් ආලේපන තිබුනත්, ඕනෑම කෙනෙක් ළඟ පොදුවේ දක්නට ලැබෙන වර්ණයක් තමයි රතු පාට. නමුත් මේ රතු පාට තොල් ආලේපන රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් විතරමද? ඇත්තෙන්ම නැහැ. අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැනයි. රතු පාට තොල් ආලේපන වලට අපි බොහෝ දෙනෙක් සිතනවාට දන්නවාට වඩා ලොකු ඉතිහාසයක් සහ ගමන් මගක්‌ තිබෙනවා.

කතාව ආරම්භ වන්නේ 20වන ශතවර්ෂයේ මුල් භාගයේ. හරියටම කියනවානම් 1912 අවුරුද්දේ. කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා ගැනීමේ උත්සාහය සඳහා කාන්තාවන් දහස් ගණනක් සහභාගි වී තිබුණු අතර ඒ සෑම දෙනාම එලිසබෙත් ආර්ඩ්න් ගේ නිව්යෝර්ක් හි පිහිටි රූපලාවණ්‍යාගාරය ඉදිරිපිටින් ගමනේ යෙදුණා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සඳහා අලුත් වෙළඳ නාමයක් සමඟ නව භාණ්ඩ හඳුන්වාදුන් එලිසබෙත් ආර්ඩ්න්ද මෙම කාන්තා අයිතීන් සුරැකීමේ උත්සාහය සඳහා සහභාගී වුනා. ඇය තමන්ගේ රූපලාවණ්‍යාගාරය ඉදිරිපිටින් යන සෑම කාන්තාවකටම රතු පැහැති තොල් ආලේපන ටියුබයක් ලබා දුන්නා.

මෙම සටනේ නායිකාවන් වූ එලිසබෙත් කේඩි ස්ටැන්ටන් සහ චාලට් පර්කින්ස් ගිල්මන් මෙම රතු පැහැති තොල් ආලේපන වලට ඉතාමත් කැමති වුනේ ඒවායේ ඇති පුරුෂයන් කම්පනයට පත් කිරීමේ හැකියාවත්, එම වර්ණයෙන් නිරූපණය වන කැරලිකාර ස්වභාවය සහ ස්වාධීනත්වය නිසයි. කාන්තා වර්ණයක් වූ රතු පැහැයෙන් අදහස් වුණේ නිකන්ම බලය සහ ශක්තිය නොව තම ඡන්ද අයිතිය සඳහා සටන් වැදුණු කාන්තාවන්ගේ බලයයි. අතීතයේදී රතු පැහැති තොල් ආලේපන ඊජිප්තුවේදී යොදා ගත්තේ වංශවත් කාන්තාවන් පමණක් වන අතර, ග්‍රීසියේදී ඒවා යොදා ගත්තේ ගණිකාවන් විසිනි.

මුල් කාලීන හොලිවුඩය රතු පැහැති තොල් ආලේපන අලංකාර සුවිශේෂී දෙයක් ලෙස සැලකුවා. නමුත් කිසිදු අරුතක් නැති අනෙකුත් වර්ණ මෙන් නොව රතු පැහැති තොල් ආලේපන පුරාතනයේ පටන් කිසියම් අරුතක් සමග ඉදිරියට ආ සංස්කෘතික අවියක් ලෙස භාවිතා වුණා. 20වන ශතවර්ෂයේ මුල් භාගයේ දී රතු පැහැති තොල් ආලේපන ප්‍රසිද්ධ වීමට පෙරාතුව, එය අසංවර, කාමුක කාන්තාවන්ගේ ලක්ෂණයක් ලෙස සැලකුණා. ඊටත් ඈත අතීතයේදී රතු පැහැති තොල් ආලේපන යක්ෂයා සම්බන්ධ දෙයක් ලෙස සැලකුණා. කෙසේ නමුත් එය සෑම විටම රහසිගත, බලගතු සහ භයානක ස්ත්‍රීත්වයක් කියා පෑවා.

ඇමරිකාවේදී කාන්තා ඡන්ද අයිතිය සඳහා සිදු කෙරුණු සටනේදී රතු පැහැති තොල් ආලේපන භාවිතා කිරීම ඇරඹීමත් සමඟ ඊට සමකාලීනව කාන්තා ඡන්ද අයිතිය සඳහා සටන් වැදුණු ජාත්‍යන්තරයේ වෙනත් රටවල් පවා රතු පැහැති තොල් ආලේපන භාවිතය ආරම්භ කළා. මෙම සටන යුරෝපය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ආදී රටවල්වලට පැතිරීමත් සමඟ බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ සංවිධායකයන් එකට එක්ව පා ගමන්, උපවාසයන් ආදී විවිධ උපක්‍රම ක්‍රියාත්මක කිරීමෙහි යෙදුනා.

ඒ අනුව අමෙරිකානු සටන්කාමීන් අනුගමනය කරමින්, බ්‍රිතාන්‍ය කාන්තා ඡන්ද අයිතිය සඳහා වූ සටනේ නායිකාව වූ එමලින් පෑන්ක්හර්ස්ට් විසින් පළමු වරට තමන්ගෙ සහෝදර සටන්කාමීන්ට ආදර්ශයක් සපයමින් රතු පැහැති තොල් ආලේපන භාවිතය ආරම්භ කළා. මේ අවධිය වන විට කෝර්සෙට් වැනි ඇඟට ඉතාමත් අපහසු ඇඳුම් ඇඳීම කාන්තාවන් විසින් නවතා දැමූ අතර ඒ වෙනුවට “කොකෝ චැනල්” වැනි සුප්‍රසිද්ධ නිර්මාණකරුවන් විසින් නිමවන ලද වඩාත් සුවපහසු විලාසිතාවන් ජනප්‍රිය වුනා. ඒ සමඟම කැරලිකරුවන් පමණක් නොව අනෙක් සෑම කාන්තාවක්‌ අතරම මෙම රතු තොල් ආලේපන ඉබේම ජනප්‍රිය වුණා.

දෙවන ලෝක යුද්ධය අවධියේ දී රතු පැහැති තොල් ආලේපන විශේෂයෙන් කරළියට ආවේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රසිද්ධියේම රතු පැහැ තොල් ආලේපන වලට දැඩි විරෝධයක් දැක්වූ නිසයි. මේ නිසා මිත්‍ර රටවල රතු පැහැති තොල් ආලේපන භාවිතා කිරීම සහයෝගය දැක්වීමේ ලක්ෂණයක් ලෙස සැලකුණු අතර බ්‍රිතාන්‍යයේදී ඉතා ඉහළ බදු නිසා රතු පැහැති තොල් ආලේපන මිලට ගැනීම අපහසු වූ විට කාන්තාවන් ඒ සඳහා බීට්රූට් යුෂ භාවිතා කළා. නමුත් පුරුෂයන් යුද්ධයට කැඳවීමත් සමඟ කාන්තාවන් ඔවුන්ගේ සාම්ප්‍රදායික රාජකාරි ඉටු කිරීමට නිවස තුළට කොටු වුනා.

මෙහිදී කාන්තාවන් විසින් වැඩකරන ජනතාව අතරට එක්වීම සඳහා රතු පැහැති තොල් ආලේපන භාවිතා කළා. එහිදී ඔවුන් රටේ අමාරු කාල වලදි ප්‍රතිරෝධය දැක්වීමට ඔවුන්ට ඇති හැකියාව එයින් නිරූපණය කළා. විශේෂයෙන්ම හොවාර්ඩ් මිලර් විසින් නිමවූ, “රෝසි ද රිවෙටර්” නම් ජනප්‍රිය පෝස්ටරය මගින් කර්මාන්ත ශාලාවල කම්කරුවන් ලෙස කාන්තාවන් බඳවා ගැනීම ආරම්භ කිරීම සඳහා විශාල පිටුවහලක් වුණා.

1941 වනවිට හමුදාවට බැඳෙන කාන්තාවන් සඳහා රතු පැහැති තොල් ආලේපන අනිවාර්යෙන් කෙරුණා. මේ නිසා විවිධ රූපලාවණ්‍ය වෙළඳ නාම මගින් ඊට අදාලව අලුතෙන්ම රතු පැහැති තොල් ආලේපන නිකුත් කිරීම ආරම්භ වුණා. උදාහරණ ලෙස එලිසබෙත් ආර්ඩ්න් විසින් “ජයග්‍රාහි රතු” සහ හෙලේනා රූබන්ස්ටයින් විසින් “රෙජිමේන්තු රතු” ආදී ලෙස යුද්ධයට අදාළ නම් වලින් රතු පැහැති තොල් ආලේපන නිර්මාණය කිරීම විලාසිතාවක් බවට පත් වුණා.

නමුත් රජය විසින් හමුදාවේ සේවය කරන කාන්තාවන් සඳහා තොල් ආලේපන සහ නිය ආලේපන වර්ගයක් නිර්මාණය කිරීම සඳහා බාර දුන්නේ එලිසබෙත් ආර්ඩ්න්ටයි. කෙසේ නමුත් මෙම වර්ණය මගින් කාන්තාවන් සතු ආත්ම විශ්වාසය සහ ශක්තිය නිරූපණය කෙරුණු අතර යුද්ධයෙන් පසු එලිසබත් ටේලර් වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් විසින් රතු පැහැති තොල් ආලේපන භාවිතා කිරීම මගින් එම ආත්ම විශ්වාසයට තවත් අලංකාර ස්ත්‍රීත්වයක් එකතු කෙරුණා.

එදා සිට අද දක්වා විවිධ කැරලි සහ උද්ඝෝෂණවලදී කාන්තාවන් සහ පිරිමින් විසින් විවිධ සළකුණු වර්ණ ආදිය යම් යම් දේ අදහස් කිරීමට යොදා ගත්තත් රතු පැහැය තොල් ආලේපන එදා මෙදා තුර නොවෙනස්ව ශක්තිය සහ කැරැල්ලේ සංකේතයක් ලෙස නොවෙනස්ව පවතිනවා. 2015දී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකදී ගැටුමේ උච්චතම අවස්ථාවක දී මැසිඩෝනියානු කාන්තාවක් විසින් පොලිස් නිලධාරියකුගේ පළිහක් සිපගත්තේ ඒ මත රතු පැහැති තොල් සලකුණක්ද සනිටුහන් කරමිනි. 2018 දී නිකරගුවාවේ කාන්තාවන් සහ පිරිමින් දෙපිරිසිම විසින් රතු පැහැති තොල් ආලේපන සහිතව ඔවුන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරියේ රාජ්‍ය විරෝධී සටන් සඳහා සහභාගි වූ කැරලිකරුවන් නිදහස් කිරීම සඳහා සහාය දැක්වීමටයි.

පසුගිය දෙසැම්බරයේ දී චිලී රාජ්‍යයේ කාන්තාවන් 10 000කට අධික පිරිසක් කළු පැහැති රෙදි පටිවලින් දෑස් බැඳගෙන, රතු පැහැති ස්කාෆ් සහ රතු පැහැති තොල් ආලේපන සමගින් මහ මඟට බැස්සේ රට තුළ සිදු වන ලිංගික හිංසනයන්ට එරෙහිවයි. බොහෝ දෙනෙක් නොදන්නා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත මෙම රතු පැහැති තොල් ආලේපන ඉදිරියටත් ස්ත්‍රීත්වය, සටන්කාමීත්වය සහ ශක්තිය පිළිබිඹු කරමින් ඉදිරියටත් ලොවේ නොවෙනස් ජනප්‍රියතාවයක් පවත්වා ගනු ඇත.