ඉතිහාසය පුරාම දරුණු ගණයේ අපරාධ කරපු පුද්ගලයන් ගැන වාර්තා වෙනවා. හෙළරහස් තුලින් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඇඟ කිලිපොලා යන තරමේ දරුණු අපරාධයක් කරපු ඉතාලි ජාතික කාන්තාවක් ගැනයි. ඇය ලෙනාඩා සියන්සියුලි. මේ කාන්තාව මිනී මස් වලින් සබන් සහ කේක් වර්ග සාදා තියෙන බව ඔබ විශ්වාස කරනවාද? ඇත්තටම ඇය මිනිස් වෙස්ගත් යකෂණියක් වගෙයි.

ලෙනාඩා සියන්සියුලි උපත ලබන්නේ වර්ෂ 1893 ඔක්තෝබර් 15 වැනිදා. ඇගේ මව දූෂණයට ලක්වීම නිසා සිදුවුනු ගැබ්ගැනීමක් හේතුවෙන් ඇය උපත ලබන නිසාම ඇගේ මව ඇයට ආදරය කරන්නේ නැහැ. කුඩාකල සිට චිත්ත පීඩාවට පත් වෙන ලෙනාඩා සියන්සියුලි කුඩා අවධියේදීම සියදිවි නසාගැනීම් සිදුකරගන්න දෙවරක්ම උත්සාහ කරලා තියෙනවා. කොහොමහරි අවසානයේ 1914දී ලෙනාඩා සියන්සියුලි රෙජිස්ටර් කාර්යාලයක ලිපිකරුවෙකු වුණ රෆායෙල් පන්සාඩි සමග විවාහ වෙනවා. ඇගේ මව මේ විවාහයට දැඩි ලෙසම විරුද්ධ වුණු නිසා ඇයට ශාප කරනවා.

විවාහ වී වසර කිහිපයක් ඇතුළත ලෙනාඩා වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිරගත වෙනවා .ඉන්පසුව නිදහස් වී පැමිණෙන ඇය සැමියත් එක්ක දුර පළාතක පදිංචියට යනවා. අවසානයේ 1930 වසරේදී භූමිකම්පාවක් නිසා ඔවුන් අලුතෙන් පදිංචියට ගිය නිවසත් විනාශයට පත් වෙනවා. ලෙනාඩා සියන්සියුලිගේ විවාහ ජීවිතය තුල ගැබ්ගැනීම් දාහතක් සිද්ධ වුණත් ගබ්සාවීම් නිසා ඉන් දරුවන් තුන්දෙනෙක් අහිමි වෙනවා. තරුණ වියේදීම තවත් දරුවන් දස දෙනෙක් මිය යනවා. මේ නිසා අවසානයේ ඉතුරු වෙන්නේ දරුවන් හතර දෙනෙක් විතරයි. හිතාගන්න පුළුවන්ද දහතුන් දෙනෙක් මිය ගිය මවකගේ මානසික තත්වය. ඇය මියගිය දරුවන් ගැන වද නොවී ජීවත්වන දරුවන් සිවුදෙනා ආරක්ෂා කරගන්න උත්සාහ කළා. මේ අතරින් ඇය වඩාත්ම කැමැති වුණේ ගුසෙප් නම් පුත්‍රයාටයි. ජීවිත කාලය පුරාම තමන්ට අත්විඳින්න වුණු ගැටලු සහගත සිදුවීම් සියල්ල තමන්ගේ මෑණියන් විසින් කරපු ශාපයේ ප්‍රතිඵල කියලයි ඇය විශ්වාස කරන්නේ.

ලෙනාඩා දැඩි ලෙස මිථ්‍යා මත විශ්වාස කළ කාන්තාවක් වෙනවා. මේ නිසාම ඇය අනාගතය පිළිබඳ අනාවැකි කියන්නියක් වෙත යනවා. ඇය ලෙනාඩාට අනතුරු අඟවා ඇත්තේ විවාහවී දරුවන් ලබන නමුත් ඇයගේ සියලු දරුවන් ඇය ඉදිරියේ මිය යන බවයි. මේ කාලයේ දී 1939 දේවල් දෙවන ලෝක සංග්‍රාමයට සූදානම් වීමට ඉතාලි ජාතිකයන් තරුණයන් එක්‍ රැස් කරනවා. මේ නිසා ඇය දැඩි ලෙස ආදරය කල ගුසෙප් අහිමිවේයැයි දැඩි බියෙන් පසු වෙනවා. අවසානයේ මිත්‍යා විශ්වාස වලට අනුව ඇය තම පුතු බේරගන්න තියෙන එකම ක්‍රමය මිනිස් බිලි පූජා පිදීම බව විශ්වාස කරනවා. ඇගේ දරුවාව ආරක්ෂා කරගන්න දරුණු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඊට ඇය තෝරාගන්නේ බලාපොරොත්තු නැතුව අවදානමට ලක්වෙලා ජීවත්වෙන මැදිවියේ කාන්තාවන්.

මේ විදිහට ලෙනාඩා සියන්සියුලිගේ පළවෙනි ගොදුර වෙන්නේ ෆවුස්ටිනා සෙට්ටි නම් අවිවාහක කාන්තාවක්. ලෙනාඩා සියන්සියුලි ෆවුස්ටිනා සමග හිතවත්කමක් ගොඩනගාගෙන ටික කලෙකින් ඇයට විෂ මත්ද්‍රව්‍ය ලබාදී මරණයට පත් කරනවා. අවසානයේ පොරවකින් ඇගේ සිරුර කොටස් නවයකට කපා කෑලි බදුනකට දමා සබන් සෑදීමට ගන්නා කෝස්ටික් සෝඩා කිලෝ හතක් එකතු කරනවා. අවසානයේ මේවා කැටි ගැසුණු පසු උඳුන තුළ වියළා පිටි සීනි චොකලට් කිරි බිත්තර සමග බටර් මිශ්‍රකර කේක් එකක් හදනවා. අවසානයේ ෆවුස්ටිනාගේ මස් වලින් හදපු කේක් එක ගුසෙප් සහ ඇය රස බලනවා. එසේ කිරීමෙන් ගුසෙප් ආරක්ෂා වන බව ඇය විශ්වාස කරනවා.

දෙවැනි ගොදුර වෙන්නේ ෆ්‍රැන්චෙස්කෝ සෝවි නම් කාන්තාවක්. ඇයට පියනෙන්සා ප්‍රදේශයේ පාසලක රැකියාවක සොයාදෙන බව ඒත්තු ගන්වමින් ලෙනාඩා ඇයව කොටුකර ගන්නවා. සෙට්ටි වගේම විෂ මත්ද්‍රව්‍ය ලබාදී ෆ්‍රැන්චෙස්කෝව මරා පොරවකින් කපා කලින් විදියටම කේක් සකස් කරනවා.

මේ යක්ෂ ගැහැණියගේ තුන්වන ගොදුර වෙන්නේ වර්ජිනියා කැසියෝපෝ. ඇගේ මිනී මස් වලිනුත් ලෙනාඩා මේ විදියටම කේක් වර්ග සකස් කරලා තියෙනවා. ඒවගේම වර්ජිනියාගේ මස් සහ මේදය දිය වුණාට පසු කොලොන් බෝතලයකට එකතු කරනවා. ඒවා යොදාගෙන ඇය ක්‍රීම් සහ සබන් සකස් කරනවා. ඇය විසින් මේ මිනී මස් වලින් සකස් කරන කේක් සහ ක්‍රීම් සබන් සියල්ල ඇගේ අසල්වැසියන් සහ හිත මිතුරන් අතර බෙදාදී තියෙනවා.

අවසානයේ කාන්තාවන් තුන්දෙනෙක් මේ විදිහට අභිරහස් ලෙස අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ පිළිබඳ සැකපිට ලෙනාඩා අත්අඩංගුවට ගන්නවා. නමුත් මුල් අවස්ථාවේදී ලෙනාඩා කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ. මේ මිනීමැරුම් කිසිවකට ඇය කිසිම සාක්ෂියක් ඉතිරි කර නැහැ. අවසානයේ පොලිසය විසින් ඉතා සූක්ෂමව මේ මරණ සඳහා ගුසෙප්ව අත්අඩංගුවට ගන්න යන බව දන්වනවා. ඒ අනුව ඇය තමන් කල සියලු මරණ පාපොච්චාරණය කරනවා.

සාමාන්‍යයෙන් කෙනෙකුට හිතාගන්නවත් බැරි තරමට දරුණු විදිහට මනුෂ්‍ය ඝාතන කරපු ලෙනාඩා සියන්සියුලි වසර 30 ක සිර දඬුවමකට යටත් වෙනවා. කොහොම නමුත් අවසානයේ 1970 ඔක්තෝබර් 15 වැනිදා කාන්තා සිරමැදිරියකදී මස්තිෂ්ක ඇපොප්ලෙක්සි රෝගයෙන් පෙලුනු ලෙනාඩා සියන්සියුලි මිය යනවා. ඉතින් ඇය විසින් මේ ඝාතන සිද්ධ කරන්න යොදාගත් පොරෝ සහ මිනී මස් කේක් සකස් කරන්න ගත්ත කල්දේරම් හා තවත් සාක්ෂි ගණනාවක් රෝමයේ අපරාධ විද්‍යා කෞතුකාගාරයේ තවමත් ප්‍රදර්ශනය කර තියෙනවා.