අප එදිනෙදා ජීවිතයේදී සිදු කරන බොහොමයක් කටයුතු සඳහා කාලය වැඩිපුර වැය වන්නේ අපි ඒවා කරන හරිම ක්‍රමය නොදන්නා නිසයි. සුළු දෙයක් උනත් අපි හරිම ක්‍රමය දන්නෙ නැතුව කරනවා නම් ඒ සඳහා බොහෝ වේලාවක් වැය වෙනවා. ඉතින් මේ ලිපියෙන් අපි කියන්නේ මේ ආකාරයට එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා අප නොහිතා නාස්ති කරන කාලය අවම කරගන්න පුලුවන් උපක්‍රම කිහිපයක් ගැනයි. මේ ක්‍රම අනුගමනය කරනවා නම්, අනවශ්‍ය දේවල් සඳහා වැය කරන කාලය අවම කරගෙන අපිට ඒ හැම වැඩක්ම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්.

01. බෝතල් වලින් ලේබල් ගැලවීම.

වීදුරු හෝ ප්ලාස්ටික් බෝතල් වලින් ලේබල් ගැලවීම කරනකොට බොහෝ දෙනෙක් තමන්ගේ නියපොතුවලින් සූරමින් එය ගලවන්න උත්සාහ කරනවා. මේ නිසා ලේබලය හරිහැටි ගැලවෙන්නේ නැහැ වගේම අපේ නියපොතු වලටත් හානි වෙනවා. ඇතමුන් ලේබලය තෙමා එය සූරා ඉවත් කරන්න උත්සහ කරනවා. නමුත් එවිට ලේබලය කැබලි විදිහට තමයි ගැලවී යන්නේ. ඉතින් අපිට ලේබලය ඉරා ගන්නේ නැතුව, බෝතලයේ සීරීම් ලකුණු හෝ ලේබලයේ කැබලි ඉතිරි කරන්නෙත් නැතුව එය පහසුවෙන් ගලවා ගන්න ඕන නම් ඊළඟ දවසේ හිසකෙස් වියලනයක් (Hair dryer/blow dryer) ඒ මතට මිනිත්තු කිහිපයක් එල්ල කරගෙන සිටින්න.

02. ඉඳිකටුවට නූල දැමීම.

ඉදිකටුවේ හිස ඉතාම කුඩා නිසා හොඳින් ඇස් පේන කෙනෙකුට වුණත් එය තුලින් නූලක් යැවීම එතරම් පහසු වෙන්නේ නැහැ. ඉතින් වයසක, එතරම් ඇස් නොපෙනෙන කෙනෙක්ට ඉඳිකටුවට නූල දමා ගැනීම කෙතරම් අපහසු දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා අදින් පස්සේ මේ ක්‍රමය අත්හදා බලන්න. නූල සමතලා වන පරිදි ඔබේ අත්ලෙහි තබන්න. එය අදින්න එපා. දැන්, ඉඳිකටුව එහි හිස පහතට සිටින සේ හරවා, නූල දිගේ ඉඳිකටුව ගෙනැවිත් කෙළින් කරන්න.

03. කෙසෙල් වැඩි කාලයක් කල් තබා ගැනීම.

කෙසෙල් කියන්නේ ඉක්මනින්ම ඉදී නරක් වන පලතුරක්. මේ නිසා කෙසෙල් බොහෝ කාලයක් තබා ගන්න අමාරුයි. නමුත් මේ ක්‍රමයෙන් නම් ඔබට සාමාන්‍ය කාලයට වඩා දින කිහිපයක් හෝ වැඩිපුර කෙසෙල් කල්තබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබ කරන්න ඕනේ ෆොයිල් කොලයක් ගෙන රූපයේ දක්වා ඇති පරිදි කෙසෙල් ඇවරියෙහි කොන ආවරණය කිරීම පමනයි.

04. සත්ව ලොම් ඇලුණු සෝපා පිරිසිදු කර ගැනීම සඳහා.

බල්ලන් පූසන් වැනි සතුන්ගේ ලොම් ඇලුණු සෝපා පිරිසුදු කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ ගම් සහ ලේටෙක්ස් අත්වැසුමක්‌ පමණයි. මුලින්ම ඔබ ලේටෙක්ස් රබර් වලින් නිමවූ අත් වැසුමක් ගෙන එහි අල්ල පැත්තට ගම් බිංදු කීපයක් දමා එය අතෙහි පළඳවාගෙන සෝපාව එම අතින් පිරිසිදු කරන්න. සෝපාවේ ඇලුණු සත්ත්ව ලොම් ඉක්මනින්ම එයට ඇදී එන අයුරු ඔබට දකින්න පුළුවන්.

05. ටයිල් පිරිසිදු කර ගැනීම සඳහා.

ටයිල් පිරිසිදු කරගැනීමේදී අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අපහසුම කොටස තමයි ටයිල් අතර දාර. මේ සඳහා ඔබගේ නිවසේ ඉවත දමා ඇති විද්‍යුත් දත් බුරුසුවක්( Electric toothbrush ) තිබෙනවා නම් එය යොදා ගන්න ඔබ‍ට පුළුවන්. අතින් අතුල්ලා පිරිසුදු කරනවට වඩා විද්‍යුත් දත් බුරුසුවක් මගින් ඔබ‍ට ළඟා වීමට අපහසු ටයිල් දාර ඉක්මනින් පිරිසිදු කර ගැනීමට ඔබ‍ට පුළුවන්.

06. නාන කාමරයේ වතුර මල (Shower) පිරිසිදු කර ගැනීම.

නාන කාමරයෙහි වතුර මල එහෙමත් නැත්නම් ශවර් එකේ හිස මල බැඳී තිබීම ඕනෑම නිවසක නාන කාමරයෙහි දක්නට ලැබෙන සුලභ දසුනක්. ඉතින් එම මලකඩ ඉවත් කර ගැනීමට ඔබට විනාකිරි යොදාගන්න පුළුවන්. විනාකිරි පිරවූ පොලිතින් බෑගයක් ෂවර් එකේ හිසෙහි ගැටගසා රාත්‍රිය පුරා තිබෙන්නට හරින්න. පසුදා උදෑසන එහි මලකඩ ඉවත් වී තිබෙනු දකින්නට පුළුවන්.

07. දුරකථන චාජර් ආරක්ෂා කර ගැනීමට.

දුරකථන චාර්ජර් නැමීම, ඇඹරීම නිසා නිතර කැඩී යන අතර ඒ නිසා අපිට ඒවා නිතර නිතර අලුතින් මිලදී ගන්නට සිදු වෙනවා. එය ඇත්තෙන්ම මුදල් නාස්තියක්. ඉතින් අපිට දුරකථන චාර්ජර් නොකැඩි ආරක්ෂා කර ගැනීම සඳහා පරණ පෑනක ඇති දඟරයක් එහෙමත් නැත්නම් ස්ප්‍රින් එකක් යොදා ගන්න පුලුවන්. ස්ප්‍රින්ග් එකක් චාජරයේ වයරය වටා යෙදූ විට ඒ තැන්වලින් වයරය නැමීම වළකින නිසා කැඩී යන්නෙත් නැහැ.

08. කුඩා දරුවන්ට අත්සේදීම පුරුදු කිරීමට.

අත් සේදීම කියන්නේ මේ දිනවලදී විශේෂයෙන් වැදගත් වන දෙයක්. ඉතින් කුඩා දරුවන්ව අත් සේදීම සඳහා පෙළඹවීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔවුන් සඳහා තබා ඇති දියර සබන් බෝතලයට ලෙගෝ කැට හෝ වෙනත් කුඩා සෙල්ලම් බඩු දැමීමයි. එමගින් බෝතලයට කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා ආකර්ෂණීය පෙනුමක් ලැබෙන නිසා ඔවුන් ඔබ කිව්වත් නැතත් ඔවුන් කැමැත්තෙන්ම අත් සේදීමට පෙළඹේවි.

09. මයික්‍රොවේව් උදුනේ ආහාර රත් කරන විට.

කලින් දිනයේ ඉතුරු වූ පීසා කැබැල්ලක්, රොටි කැබැල්ලක් හෝ වෙනත් එවැනි ආහාරයක් මයික්‍රොවේව් උදුනක දමා රත් කිරීමේදී එහි ඇතිවන වියළි බව නැති කර ගැනීම සඳහා එම ආහාරය සමග මයික්‍රෝවේව් උඳුන තුළින් වතුර වීදුරුවක්ද තබන්න.

10. පිරිසුදු කිරීම සඳහා.

ටයිල් සහිත බිත්ති, පොළොව ආදී ඕනෑම දෙයක් අතින් අතුල්ලමින්, වෙහෙස මහන්සි වෙමින් පිරිසිදු කරනවා වෙනුවට යොදාගත හැකි උපකරණයක් තමයි විදුලි බුරුමය. අදින් පසු ඔබ දන්නවා බුරුමය යොදාගත හැක්කේ හිල් විදීමට පමණක් නොවන බව. බුරුමයේ කටුව ඇති කොටසට බුරුසුවක හිස කොටස සම්බන්ධ කරන්න. ඉන්පසු බුරුමය ක්‍රියාත්මක කළ විට ඔබ අතින් අතුල්ලමින් එතෙක් කල් කළ සියලු පිරිසිදු කිරීමේ ක්‍රියාවන් ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් කර ගැනීමට ඔබට පුළුවන්.

11. බාල්දියකට වතුර පුරවා ගැනීම.

නාන කාමරය තුල පහතින් ටැප් එකක් නොමැති අවස්ථාවකදී ඔබට සින්ක් එකෙන් බාල්දියකට වතුර පුරවා ගැනීමට සිදුවෙනවා නම් එය කොතරම් අපහසු කටයුත්තක්දැයි ඔබ දන්නවා ඇති. මොකද සින්ක් එක තුල බාල්දිය තබා වතුර පිරවීමට නොහැකි නිසා. එවිට කෝප්පය වැනි දෙයකට වතුර පුරවමින් කිහිප වතාවක්, බොහෝ වේලාවක් තිස්සේ බාල්දියට වතුර පිරවීමට ඔබ‍ට සිදු වන නිසා ඒ සඳහා උපක්‍රමයක් ලෙස ඔබට ඩස්ට්පෑන් එකක් හෝ ස්කූප් එකක් වැනි උපකරණයක්, රූපයේ දක්වා ඇති පරිදි ඇටවීමෙන් පහසුවෙන් හා ඉක්මනින් බාල්දියට වතුර පුරවා ගැනීමට ඔබ‍ට පුළුවන්.