සාමාන්‍යයෙන් අවන්හල් වල පිළිගන්වන හැම්බර්ගර් වලට දමන මස් පෙත්තක් සහ එම බර ප්‍රමාණයේම නිවිති කොළ ටිකක් ගත්තොත්, ඔබ පුදුම වේවි ඒ මස් පෙත්තේ අඩංගු යකඩ ප්‍රමාණයට වඩා දෙගුණයක යකඩ ප්‍රමාණයක් එම බරට සමාන නිවිති ප්‍රමාණයේ අඩංගු වන බව ඇහුවොත්. නිවිති “සුපිරි ආහාරයක්” ලෙස හඳුන්වන්න තියෙන එකම හේතුව එහි තිබෙන අධික යකඩ ප්‍රමාණයම විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට නිවිති මගින් ඔබගේ ශරීරයේ සෞඛ්‍යය සහ ශක්තිය වැඩිදියුණු කරන්න තවත් නොයෙක් ආකාර වලින් දායක වෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ ගැනයි.

අස්ථි සහ මාංශ පේශිවල ශක්තිමත් බව සඳහා

නිවිති වල යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් සහ විටමින් C ඇතුළු බොහෝ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වෙනවා. විශේෂයෙන්ම, නිවිති වල අඩංගු වන මැග්නීසියම් අපගේ ස්නායු සහ මාංශපේශී සඳහා වැදගත් වෙනවා. ඒ වගේම මැග්නීසියම් මගින් අපගේ සිරුරේ ශක්තිය, පරිවෘත්තීය, ස්නායු සහ මාංශපේශීන් වල ක්‍රියාකාරීත්වයත් වැඩිදියුණු කරනවා. ඒ වගේම නිවිති මගින් අපගේ අස්ථි වල සෞඛ්‍යයද වැඩි දියුණු කරමින් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්ත්වයන් වැළඳීමෙන් වළක්වනවා. අස්ථි බිඳී යාමේ අවදානම අඩු කරන වෙනත් ආහාර වර්ග ලෙස කේල්, බ්‍රසල්ස් ස්ප්‍රවුට්, තක්කාලි සහ වට්ටක්කා හැඳින්විය හැකියි.

ඇස් පෙනීම වැඩි කර ගැනීම සඳහා

ලුටෙයින් සහ සීඇක්සැන්තින් යනු අක්ෂි රෝග ඇතිවීමේ අවදානම අඩු කරන අක්ෂි හිතකාමී මූලද්‍රව්‍යයන් වන අතර ඒ වර්ග දෙකම නිවිති වල දක්නට ලැබෙනවා. ඒ වගේම නිවිති තම ආහාර වේලට එකතු කර ගන්නා පුද්ගලයන්ට ඇස් පෙනීම පිරිහීමට සහ අන්ධභාවයට ප්‍රධාන හේතු දෙක වන ඇසේ සුද ඇතිවීම හා වයස් ගත වීමේදී සිදුවන අක්ෂි පරිහානිය ( Age-related Macular Degeneration -AMD) ඇතිවීමේ අවදානම අඩු බව විද්‍යාඥයන් විශ්වාස කරනවා.

රුධිර සංසරණය වැඩිදියුණු කර ගැනීම සඳහා

අධික රුධිර පීඩනයට එරෙහිව සටන් කළ හැකි පොටෑසියම් නිවිති වල ඉතා වැඩි වශයෙන් අඩංගු වෙනවා. එනම් නිවිති ඔබගේ රුධිර සංසරණය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර, ඖෂධ සඳහා ආදේශකයක් නොවන බව මතක තබාගන්න. ඔබට මේ වන විටත් අධික රුධිර පීඩනය තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයි.

සම සහ හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට.

නිරෝගී සමක් සහ හිසකෙස් පවත්වාගෙන යාම සඳහා අතිශයින් උපකාරී වන විටමින් A නිවිති වල අඩංගු වෙනවා. ඔබ ඇතැම්විට ඔබගේ රූපලාවන්‍ය නිෂ්පාදන වල අඩංගු ද්‍රව්‍ය අතර රෙටිනෝල් කියන වචනය දැකලා ඇති. රෙටිනෝල් කියන්නේ විටමින් A සඳහා කියන තවත් නමක්. මෙම විටමිනය සෛල විභේදනය උත්තේජනය කරනවා. ඒ අතරම හිසකෙස් හැලීයාම සහ සම වියලී ගැලවී යන තත්ත්වයට පත් වන්නේ මෙම විටමිනයේ ඌනතාවය නිසයි. ඒ වගේම සමේ සහ හිසකෙස් වල ව්‍යුහය සකස් කිරීමට අවශ්‍ය වන කොලැජන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන විටමින් C ද නිවිති වල අඩංගු වෙනවා.

නිසි ලෙස ආහාර ජීරණය සිදුකිරීමට.

ඉතා ඉහල මට්ටම් වලින් විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වීමට අමතරව නිවිති වල අපගේ ආහාර ජීර්ණය නිසි ලෙස පවත්වාගෙන යෑමට උපකාරී වන තන්තු ද විශාල වශයෙන් අඩංගු වෙනවා. තන්තු අඩංගු වන නිසා නිවිති මගින් මලබද්ධයත් වළක්වා ගන්න පුළුවන්. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අමුවෙන් හෝ පිසීමෙන් පසු වුණත් නිවිති අපගේ සෞඛ්‍යයට හිතකර වීමයි. ඒ නිසා සලාද ලෙස, පානයක් ලෙස, සෝස් වර්ග ලෙස සහ වෙනත් ඔබ දන්නා ඕනෑම ආකාරයකට පිස ගැනීම සඳහා නිවිති යොදාගන්න පුළුවන්. නමුත් අප කලින් කී ආකාරයට කිසිදු රෝගයක් සඳහා ඖෂධයක් වෙනුවට නිවිති භාවිතා කරන්න ඔබ‍ට බැහැ එය ලෙඩ රෝගවලින් වැළකීම සඳහා සහ සෞඛ්‍යමත්ව සිටීම සඳහා ගන්නා ආහාරයක් පමණයි. ඔබට මේ වන විටත් යම් රෝගයක් වැළඳී තිබෙනවා නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම අනිවාර්ය බව මතක තබා ගන්න.