ග්‍රේටා ටින්ටින් එලිනෝරා හර්මන් තුන්බර්ග් කියන්නේ ස්වීඩන් ජාතික පරිසර ක්‍රියාකාරිනියක්. 2003 ජනවාරි 03 වන දින උපත ලද ඇය දේශගුණික වෙනස්වීම නිසා මනුෂ්‍ය වර්ගයාට අත්විඳින්නට සිදුවන අර්බුද ගැන හඬක් නැගූ නිසා ජාත්‍යන්තරව පිළිගත් චරිතයක් විය.පොදු මහ ජනතාව සහ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ ඔවුන් දේශගුණික විපර්යාසය මගහරවා ගැනීමට නිසි පියවර නොගැනීම පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළා. ඇයගේ ලාබාල වයසත් ඍජු කතා විලාශයත් නිසා ඉක්මනින්ම ජනතාව අතරට ගිය ඇය මේ වන විට Fritt Ord Award(2019) , Rachel Carson Prize (2019), Ambassador of Conscience Award (2019) ,Right Livelihood Award (2019) ,International Children’s Peace Prize (2019) සහ Time Person of the Year (2019) වැනි සම්මාන සහ අගය කිරීම් ගණනාවකටම හිමිකම් කියනවා. නමුත් අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඇයගේ පරිසර ක්‍රියාකාරී වැඩ ගැන නම් නෙවෙයි. ඇය කාල තරණය කළ පුද්ගලයකු ලෙස මෑතකදී ප්‍රසිද්ධියට පත් වීමට හේතුව ගැනයි. ලිපිය කියවලාම බලන්නකෝ.

2019 නොවැම්බර් මාසේ විට මාසයේ ට්විටර් හි(Twitter)පළවූ ඡායාරූපයක් නිසා මෙම ආන්දෝලනාත්මක කතාබහ ඇති විය.ඔවුන්ට අනුව නම් ග්‍රේටා තුන්බර්ග් යනු, අනාගතයේදී පෘථිවියට සිදුවන විනාශය දැක එය වලක්වා ගැනීමට අනාගතයෙන් වර්තමානයට එවූ කාල තරණය කරන්නියකි. එසේ සිතීමට හේතු වී තිබුණේ අවුරුදු 120කට වඩා පැරණි ඡායාරූපයක ක්ලොන්ඩිකේහි රත්තරන් කණින කුඩා ගැහැණු දරුවෙක් ග්‍රේටාට 100% සමාන පෙනුමකින් යුක්ත වීම නිසයි.(ක්ලෝන්ඩිකේ යනු ඇලස්කානු දේශ සීමාවට නැගෙනහිරින්, වයඹදිග කැනඩාවේ යුකෝන් භූමියේ කලාපයකි. එය පිහිටා තිබෙන්නේ ක්ලෝන්ඩිකේ ගඟ වටා ය. ක්ලොන්ඩිකේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 1896 දී ආරම්භ වූ ක්ලෝන්ඩිකේ ගෝල්ඩ් රෂ් නිසාය.) රත්තරන් පතලක වැඩ කරන දරුවන් තිදෙනෙකුගෙන් යුත් 1898 ඡායාරූපයක් වන මෙය, වාර්තාමය වැඩසටහන් ඡායාරූප ශිල්පියෙකු වන එරික් හෙග් ගේ ඡායාරූප එකතුවෙන් එක් ඡායාරූපයකි.

රත්තරන් පතලක තමාගේ වාසනාව සොයන මිනිසුන්ගේ සුවිශේෂී ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට 19වන සියවසේ අවසාන කාලය වන විට මේ ස්වීඩන් ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා වන එරික්ට හැකිවී තිබුණි. මෙම ඡායාරූපයේ සිටි එක් දැරියක් ග්‍රේටා තුන්බර්ග්ට අතිශයින් සමාන ලක්ෂණ පෙන්වනවා. ඒ බාහිර රූපයෙන් පමණක් නොවෙයි ඇයගේ තියුණු අභියෝගාත්මක බැල්ම සහ ගොතන ලද කොණ්ඩය පවා ඒ ආකාරයෙන්ම ඡායාරූපයේ සිටින දැරියටත් තිබෙනවා. “ඇය අනාගතයේ සිට අපට අනතුරු හැඟවීමට පැමිණි අයෙක් නම් ඇය අතීතයේ ඡායාරූපයක සිටින්නේ කෙසේදැයි අසන පුද්ගලයන්ට කියන්න තියෙන්නෙ, ඇය කාල තරණය කරන්නියක් නම් ඇයට අතීතය අනාගතය වර්තමානය අතර ඕනෑම කාලයකට යන්න පුළුවන් බවයි. අතීතයේ දවසක වාසනාව සොයා ගිය ඇයට එහිදී වාසනාව හමු නොවූ නිසා අනාගතයටත් ඉන්පසු වර්තමානයටත් පැමිණ ඇති බව විශ්වාසයි” ජැක් ස්ට්‍රේන්ජ් නම් තැනැත්තා ඔහුගේ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණා.

එම ඡායාරූපයේ සිටින එක් දැරියකගේවත් නමක් සඳහන් වී නොමැති නිසා ඔවුන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට අපහසු වුණා. එම ඡායාරූපවල කාලය සහ dominion creek නම් ස්ථානය පමණයි සඳහන් වුනේ. කෙසේ නමුත් එකල උමතුවෙන් මෙන් රත්තරන් සෙවූ පවුල්වල මිනිසුන් ගෙවූ කටුක ජීවිතය නම් එම ඡායාරූපවලින් ඉතා හොඳින් නිරූපණය වුණා.එරික් විසින් ඔහුගේ බරැති කැමරාව ඔසවාගෙන ප්‍රදේශය පුරා ඇවිදිනවාට අමතරව රත්රන් සෙවීමෙහි නිරත වී තිබුණත්, කිසිදිනක රත්තරන් නම් හමුවුනේ නැති බව ඔහු පවසා තිබුණා.

කෙසේ නමුත් සියැටල් හි තිබූ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ලේඛනාරක්ෂක නම් පවසන්නේ එම ඡායාරූපයේ ඇත්තේ කාල තරණය කරන ස්වීඩන් ගැහැණු දරුවෙකු පිළිබඳ සාක්ෂියක් යැයි පිළිගැනීමට තමා තුළ ඇත්තේ සැකයක් බවයි. එරික් හෙග් විසින් ඔහු⁣ගේ මෙම ඡායාරූප එකතුව වොෂින්ටන් විශ්ව විද්‍යාලයට භාරදී වසර 50කටත් වඩා වැඩිය. විශ්වවිද්‍යාලයේ කාර්යමණ්ඩලය විසින් මෙම ඡායාරූපය බොහෝ කලක් තිස්සේ හැඳින සිටි අතර ඒ, එම ඡායාරූපයෙන් පිළිබිඹු වන රත්තරන් සොයන ළාබාල දරුවන්ගේ ජීවිතයේ කටුක බව මැනවින් නිරූපණය වන නිසා පමණක් මිස ග්‍රේටාගේ රූපයට දරන සමානකම නිසා නොවෙයි.

1997 සිට විශ්ව විද්‍යාලයේ ඩිජිටල්කරණය කරන ලද එකතුව අන්තර්ජාලය හරහා සෙවීමට අවස්ථාව ලබා දී තිබූ අතර, මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගයක් මගින් තුන්බර්ග් සෙවීමේදී තරුණ පතල් කම්කරු දරැවාගේ මුහුණ වැරදියට තෝරාගෙන ඇති බවයි මේ වන විට විශ්වාස කෙරෙන්නේ.නිර්භීත පරිසර ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග්ගේ මෙම ඡායාරූපයට දක්වන සමානකම ගැන ඔබගේ අදහස කුමක්ද ? ඇය සැබවින්ම කාලය තරණය කරන්නියක්ද? ඇය එතරම් අඩු වයසකින්ම දේශගුණ විපර්යාස ගැන මිනිසුන්ට අනතුරු හඟවමින් පරිසර ක්‍රියාකාරිනියක් වුනේ ඇය අනාගතයෙන් පැමිණි නිසාද ?එසේත් නැත්නම් මේ එම ලාබාල කම්කරු දරුවාගේ පුනරුත්ථාපනයක් ද ?නැත්නම් නිකන්ම අහම්බයක් ද ?