බළලුන් කියන්නේ අරුම පුදුම සතුන් ජාතියක්. ඇතැම්විට අපි දැකලා තියෙනවා බළලා හිස් බිත්තියක් දෙස බලාගෙන සිටිනවා. නමුත් අපි ඒ දෙස බලන විට එතන ඇත්තෙන්ම මුකුත් නැහැ. ඉතින් අපි බොහෝ විට කල්පනා කරනවා ඌ බලන් ඉන්නේ මොකක් දිහා ද කියලා. බළලුන් හා සබැඳි බොහෝ අද්භූත කතන්දර තිබෙනවා. ජනප්‍රවාද වල සිට විවිධ මිථ්‍යා කතාවන්හි හා ප්‍රවාද වල අද්භූත සිද්ධීන් හා සබැඳි කතා වලදී බළලුන් බොහෝ විට වස්තු විෂය වෙනවා. කොහොම නමුත් මේ ආකාරයෙන් බළලුන් අපට නොපෙනෙන දේවල් දෙස එක්වරම බලා සිටීමේ අදහස ගැන මිත්‍යා විශ්වාස වලට වඩා විද්‍යාත්මක හේතු වලට නැඹුරු වීම වඩාත් සුදුසුයි.

 බළලුන්ට ඉතාමත් විශිෂ්ට පෙනීමක් තිබෙනවා.

බළලුන්ගේ දෘෂ්ටි හැකියාව මිනිසුන්ට සහ අනෙක් බොහෝ සතුන්ට වඩා ඉතාම විශිෂ්ට වෙනවා. මේ නිසා ඔවුන් බොහෝවිට අපට නොපෙනෙන ඉතාමත් කුඩා දේවල් පවා දකිනවා. උදාහරණයක් විදියට, බිත්තියේ සිටින කුඩා මකුළුවෙකු හෝ සෙවනැල්ලක් පවා ඉක්මනින්ම ඔවුන්ගේ ඇසට හසු වෙනවා. ඇතැම් අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි, බළලුන්ට ආලෝකයේ අපට නොපෙනෙන තරංග සංඛ්‍යාත වන පාරජම්බුල කිරණ ආදියත් ඇසට දෘශ්‍යමාන වන නිසා ඊළඟ දිනයේදී ඔබේ බළලා ඔබ‍ට නොපෙනෙන දෙයක් දෙස බලා සිටීම ගැන කලබල වෙන්න එපා. ඒ ඔහු ඔබ‍ට වඩා යමක් එතැන දකින නිසා මිස එතන කිසිම අද්භූත හේතුවක් නැහැ.

 බළලුන්ට ඉතා විශිෂ්ට ශ්‍රවණ හැකියාවක් තිබෙනවා.

බලලුන්ගේ ශ්‍රවණ හැකියාව මිනිස්සුන්ට වඩා පමණක් නොවෙයි වෙනත් බොහෝ ක්ෂිරපායී සතුන්ටත් වඩා වැඩියි. උදාහරණයක් වශයෙන් බල්ලන්ගේ ශ්‍රවණ පරාසය 67Hz – 45kHz වන අතර බළලුන්ගේ ශ්‍රවණ පරාසය 48Hz – 85kHz පමණ වෙනවා. මේ නිසා බළලුන්ට තණකොළ සරන ශබ්දයේ සිට අපට කනට නෑසෙන කුඩා ශබ්ද පවා ශ්‍රවණය වෙනවා. එමනිසා ඔබගේ බලලා බිත්තියේ ඔබට නොපෙණෙන යමක් දෙස බලාගෙන සිටිනවා නම් එහි අදහස එම බිත්තිය හරහා යන ජල නළයක වතුර ශබ්ධය හෝ එතැනට පැමිණි කෘමීන් පිරිසකගේ ශබ්දය ඔහුට ශ්‍රවණය වීම විය හැකියි.

බළලුන් යමක් අවබෝධ කරගැනීමට උත්සාහ දරමින් සිටිනවා විය හැකියි.

බළලුන්ගේ මොළය දිගු කලක් තිස්සේ පර්යේෂණ සඳහා ඉතා රසවත් විෂයයක්ව තිබෙනවා. විද්‍යාඥයන්ට එය සම්පූර්ණයෙන් අවබෝධ නොවුනද, බළලුන්ට මිනිසුන් පරිදිම සිද්ධිමය මතකයක් (episodic memory) ඇති බවත්, යම් සිද්ධියක් මතක් කර කවදා, කොහේදි, කුමක් සිදු වුණාද ආදී දේවල් නැවත කල්පනා කර බැලීමේ හැකියාව ඔවුන්ටත් තිබෙනවා. එසේම බිත්තියක් වැනි යමක් දෙස එක දිගට බලාගෙන සිටීමෙන් ඔවුන් යමක් අවබෝධ කරගැනීමට තැත් කරමි අවධානය එක තැනක රඳවා ගැනීමට උත්සාහ කරනවා. උදාහරණයක් වශයෙන් යම් අනතුරක සේයාවක් දනුනුවිට හෝ ඒ අවස්ථාවේ ඔහුට ඇසෙන ශබ්දයක හෝ ආලෝකයක ප්‍රභවය අවබෝධ කරගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටිනවා විය හැකියි.

ඇතැම් විට ඔවුන්ට වෛද්‍ය සහය අවශ්‍ය මොහොතක් වීමටත් හැකියි.

හයිපෙරෙස්ටේෂියා (hyperesthesia)නම් තත්වය යනු බළලුන්ගේ අසාමාන්‍ය හැසිරීම් හා සම්බන්ධ රෝග තත්වයකි. එහි රෝග ලක්ෂණ අතරට හදිසියේ වලිගය ඉබේ ගැස්සීම, ඇසේ කනිනිකාව විශාල වීම, ශබ්ද නගා කෙඳිරි ගෑම, යමක් කෙරෙහි අතිශයින් අවධානය යොමු කර සිටීම සහ පාලනයකින් තොරව මුත්‍රා පහවීම හැඳින්විය හැකියි. මෙම තත්වයට හේතු එතරම් පැහැදිලි නැති අතර මානසික ආතතිය හා හදිසි රෝගාබාධ (Seizures) හේතු විය හැකි බව පැවසෙනවා. ඔබේ බළලා තුළ මේ වගේ දෙයක් ඔබ දුටුවහොත්, වහාම පශු වෛද්‍යවරයෙකු හමුවෙන්න අමතක කරන්න එපා.

ඔබේ බළලාත් මෙලෙස බිත්තියේ ඔබ නොදකින දෙයක් ලෙස එක්වර ඇසිපිය නොහෙළා බලා සිටිනවා ඔබ දැක තිබෙනවාද? ඇතැම් අය පවසන පරිදි ඒ, ‘ඔබට නොපෙනෙන අවතාරයක් දෙස ඔහු බලා ගෙන සිටිනවා’ නොවන බව දැන් ඔබ දන්නවා. ඒ වගේම එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔබ දන්නවා.නමුත් අපි අන්තිම කරුණේදී කියූ ආකාරයෙන් ඔහුගේ වෙනත් හැසිරීම්ද දක්නට ලැබෙනවා නම් ඔබේ සුරතල් බළලාට වෛද්‍ය ආධාර ලබා දීමට අමතක කරන්නත් එපා!