ඔබ කුමන හෝ ආකාරයේ නව නිර්මාණයක් සිදු කරනවානම් එහි දී බොහෝ දෙනා විසින් ඔබට ලබාදෙන පළමු උපදෙස වන්නේ, ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලෙසයි. මොකද පේටන්ට් බලපත්‍රයක් මගින් සිදු කෙරෙන්නේ අවසරයකින් තොරව ඔබගේ නව අදහස භාවිතා කිරීමට, නිර්මාණය කිරීමට හෝ විකිණීම ඇති ඉඩකඩ ඇහිරීමයි. නමුත් ඔබ පුදුම වේවි අද අපි බොහෝ දෙනා භාවිතා කරන ඇතැම් දේවල් කෙතරම් ප්‍රසිද්ධියට පත් වුනත් තවමත් පේටන්ට් බලපත්‍රය ලබා නොමැති බව ඇසූවොත්. අපි දැන් කියන්නට සුදානම් වෙන්නේ ඒ ආකාරයෙන්, අනුකරණ පවා ඉදිරිපත් වීමට ඉඩ තිබුණත් තවමත් පේටන්ට් බලපත්‍රයක්‌ ලබා ගැනීමට සමත් වී නැති සුප්‍රසිද්ධ නිර්මාණ කිහිපයක් ගැනයි.

01. අන්තර්ජාලය

අන්තර්ජාලය කියන්නේ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට තරමක් අපහසු සංකල්පයක් තමයි. ඒ කොහොම වුණත් WWW (World Wide වෙබ් – ලෝක ව්‍යාප්ත ජාලය) හි නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී මහතා එය තවෙකෙකුට විකුණා මුදල් ගැනීම යන අදහස ප්‍රතික්ෂේප කළ අයෙක්. එය පොදුවේ සියලු දෙනාටම නිදහසේ භාවිතා කළ හැකි දෙයක් ලෙස තිබිය යුතු බව ඔහු විශ්වාස කළා. මේ නිසා ඔහු 1991 දී ප්‍රථම වරට නිකුත්කළ අන්තර්ජාලය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට උනන්දු වූයේ නැහැ. කොහොම නමුත් 2004 දී ඔහුට මිලේනියම් තාක්ෂණික ත්‍යාගය හිමි වුණේ ඔහුගේ නිර්මාණයෙන් මනුෂ්‍ය වර්ගයාගේ දියුණුවට ඇති ප්‍රයෝජනවත් බව නිසාමයි. එම සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, තමා එම නිර්මාණයට මුදල් අය කලා නම් එය කිසිසේත්ම අද පවතින ආකාරයේ සාර්ථකත්වයකට පත් නොවන බවත්, එසේ වූවා නම් එය ලෝකය පුරා ව්‍යාප්ත ජාලයක් නොව සීමිත පිරිසකට භාවිතා කල හැකි කුඩා ජාල බොහොමයක් ලෙස පමණක් පවතිනු ඇති බවයි.

02. පරිඝනක මූසිකය.

පරිගණකයක ඇති “මවුස් එක”, එහෙමත් නැත්නම් “මූසිකය” ඇත්තෙන්ම පේටන්ට් බලපත්‍රය ලැබූ නිර්මාණයක්. නමුත් ඒ ඉතාම සුළු කාලයකට පමණයි. එය 1963දි නිර්මාණය කළ ඩග්ලස් එංගල්බාර්ට් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තත් එය 1987 දී කල් ඉකුත් වුනේ එය අතිශයින් ජනප්‍රිය වීමට ඉතා සුළු කාලයකට පෙරයි. නමුත් ඩග්ලස් කිසිම අවස්ථාවක එය විකිණීමට හෝ මුදල් අය කිරීමට උත්සාහ කළේ නැති අතර 2013 දී ඔහු මියගියා. බොහෝ දෙනෙක් නොදන්නා විශ්මිත කාරණය වන්නේ ලොව පළමු පරිගණක මූසිකය ලී වලින් තැනූ එකක් බවත්, එහි තිබුණේ එක් බොත්තමක් පමණක් බවත්ය. ඇත්තෙන්ම එහි ඉඩ තිබුනේ එක බොත්තමක් සඳහා පමණයි. මොකද එය ඒ තරම් කුඩායි!

03. ඉමොටිකොන්ස්.

ඉමොටිකොන්ස් හෝ ස්මයිලීස් ලෙස හඳුන්වන, අදටත් අපගේ පරිගණකවල පණිවිඩ හුවමාරුව සඳහා යොදා ගන්නා විවිධ හැඟීම් ප්‍රකාශිත මුහුණු සඳහා වන සංඛේත, පළමු වරට නිර්මාණය කළේ ඇමෙරිකානු ශිල්පියෙකු වන හාවේ බෝල් විසිනි. ඔහුට පැවරුණු රාජකාරිය වුණේ ඇමෙරිකානු රක්ෂණ සමාගමක් සඳහා සුදුසු නිර්මාණයක් ඉදිරිපත් කිරීමටයි. නමුත් එය ඉතාම ඉක්මනින් කාර්යාලයෙන් පිටත ජනතාව අතර ව්‍යාප්ත වුණා. ඔහු කිසිම අවස්ථාවක කර්තෘ හිමිකම් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු නොවූ අතර ඔහුට මුල් නිර්මාණය සඳහා ගෙවනු ලැබූයේ $45 ක් පමණයි. ඉමොටිකොන්ස් කාලයක් සමඟ ඉමොජිස් බවට පත්වූ අතර, බෝල් ගේ මුල් නිර්මාණයෙහි සඳහන් මුහුණ දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත වන අතර පටු ඕවලාකාර ඇස් දෙකකින් සහ සිනාවක් දැක්වෙන කටකින් යුක්තයි. බෝල් 2001දි මියගියා.

04. කැරෝකේ යන්ත්‍රය.

ඩයිසුකේ ඉනෝවූ ට ස්තුතිවන්ත වෙන්නට ජපාන තැබෑරුම්, නව යොවුන් වියේ ළමුන් සහ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට මිලදී ගත හැකි සංගීතය සපයන කුඩා තාක්ෂණික උපකරණයක් අපට හිමි වී තිබෙනවා. නමුත් ඔහු කිසිම අවස්ථාවක ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ නොකළ නිසා ඔහුගේ නිර්මාණය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී එයින් කිසිදු ලාභයක් ලබා ගැනීමටවත්, ඔහුගේ නිර්මාණ වල බාල අනුකරණ නිර්මාණය වීම වැළැක්වීමටවත් ඔහුට හැකි වුණේ නැහැ. කැරොකේ යන වචනයේ තේරුම “හිස් ඔකෙස්ට්‍රාව(Empty Orchestra)” යන්නයි. එකල නැගී එන තරුණ ගායකයන් විසින් වැඩිපුරම ඉල්ලන ලද ගීතය උනේ මයිකල් ජැක්සන්ගේ “බිලී ජීන්” නම් ගීතයයි.

05. ප්‍රහාරක රයිෆල-AK-47 රයිෆල බිහිවීම ගැන ඔබ කැමති වුණත් නැතත් එහි ඉතිහාසය පිළිබඳ දැන සිටීම වටිනවා එය පළමු වරට නිර්මාණය කලේ මිහායිල් කැලෂ්නිකොව් වන අතර එය නිෂ්පාදනය කිරීම සඳහා යැවුනා. කෙසේ නමුත් කැලෂ්නිකොව් සතුව පේටන්ට් බලපත්‍රයක් නොවූ අතර එහි මුල් නිෂ්පාදනකරුවා සතුව ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් තිබුණා. කලශ්නිකොව් පවසන පරිදි ඔහුට අවශ්‍ය වූයේ තමන්ගේ නිර්මාණය මගින් රටට යහපතක් කිරීම වන අතර එයින් ලාභයක් ලැබීමට ඔහුට අවශ්‍ය වී තිබුනේ නැහැ. ඔහු තමන්ගේ ජීවිත කාලය පුරාම කවියකු වී සිටි අතර පොත් 6ක්‌ද රචනා කළ අයෙක්. ඔහු 2013 දී මිය ගියා.

06. ටෙට්‍රිස් (Tetris)

ටෙට්‍රිස් ලෙස හැඳින්වෙන ප්‍රහෙලිකා ක්‍රීඩාව ඇත්ත වශයෙන්ම පේටන්ට් බලපත්‍රය ලැබූ අතර එහි අයිතිය තිබුණේ සෝවියට් ජනරජයටයි. නමුත් 1996 දි ඇලෙක්සි පැජිට්නොව් සහ හෙන්ක් රොජර්ස් එකතු වී ටෙට්‍රිස් ආයතනය නිපදවන තෙක්ම ඇලෙක්සි එයින් කිසිදු ලාභයක් ලැබුවේ නැහැ. ටෙට්‍රිස් යන වචනය නිර්මාණය කෙරුණේ ජර්මන් භාෂාවෙන් “හතර” යන්න අදහස් කෙරෙන “ටෙට්රා” යන වචනය සහ පැජිට්නොව්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන “ටෙනිස්”යන වචන දෙකේ එකතුවෙනි. අභ්‍යවකාශයේ දී ක්‍රීඩා කරන ලද පළමු වීඩියෝ ක්‍රීඩාව වුයේද ටෙට්‍රිස්ය. ඒ 1993 එක් අභ්‍යවකාශ මෙහෙයුමකදී මීර් නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ක්‍රීඩා කිරීම සඳහා එක් අජටාකාශගාමියෙකු විසින් ටෙට්‍රිස් ක්‍රීඩාව එහි රැගෙන යාමත් සමඟයි.

07. ගිනිකූරු.

ටිම් බර්නර්ස් ලී වගේම ගිනිකූරු වල නිර්මාතෘ වූ රසායන විද්‍යාඥය ජෝන් වෝකර්ටද තමන්ගේ නිර්මාණය පොදුවේ බොහෝ පිරිසකට නිදහසේ භාවිතා කළ හැකි දෙයක් බවට පත්කළ යුතු වුණා. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ගින්දර නිර්මාණයක් කර ගත හැකි දෙයක් ලෙස ගිනිකූරු නිපදවූ අතර එය නිර්මාණය කල නිශ්චිත දිනයක් ගැන සොයා ගැනීමට නොමැති වුනත් මෙය බොහෝවිට 1820ගණන්වල විය යුතු බව කියැවේ. 1970 දශකයේ දී වෝකර් පදිංචි ගම් ප්‍රදේශයෙන් ඔහුට ගෞරව පිණිස ප්‍රතිමාවක් ඉදිකිරීමට කටයුතු කල අතර පසුව සොයාගත් පරිදි එය ඇත්තෙන්ම ඔහුට පෙනුමෙන් අතිශයින් සමාන ජෝන් වෝකර් නම් වෙනත් තැනැත්තෙකු ආකාරයට ඉදිකරන ලද්දක්. ඔවුන් එම වරද සොයා ගන්නා ලද්දේ ජාතික චිත්‍ර කෞතුකාගාරයේදී සත්‍ය වෝකර් ගේ රූපය දැකීමෙන් පසුවයි. ඉන්පසු එම ප්‍රතිමාව ඉවත් කර තිබෙනවා.

08.මොනොක්ලෝනල් ප්‍රතිදේහ.

මොනෝක්ලෝනල් ප්‍රතිදේහ කියන්න මාතෘ සෛලවලට හැම අතින්ම සමාන වූ ප්‍රතිශක්තීකරණ සෛල වලින් තැනුණු ප්‍රතිදේහ වලටයි. 1975දි සීසර් මිල්ස්ටයින්ට තමන්ගේ නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත්‍රයක්‌ ලබා ගැනීමට අවස්ථාවක් හිමිඋනත් ජාතික පර්යේෂණ සංවර්ධන අධිකාරිය විසින් එයට බලපත්‍රය ලබා නොදුන්නේ එහි හදිසි වැදගත්කමක් හෝ අවශ්‍යතාවයක් හඳුනා ගත නොහැකි බව පවසමිනි. නමුත් අද වන විට වැඩිපුර ම විකිණෙන ඖෂධ වලින් 10න් 6ක්ම මොනොක්ලෝනල් ප්‍රතිදේහ වර්ගයි. මිල්ස්ටයින් සහ ඔහුගේ සහයක ජෝර්ජස් කොහ්ලර් 1984දි ඔවුන්ගේ නිර්මාණය සඳහා වෛද්‍ය විද්‍යාව පිණිස පිරිනමන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

09. චුම්භක තීරු.

නවීන ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් තාක්ෂණය සඳහා අප ස්තුතිවන්ත විය යුතු වන්නේ රොන් ක්ලයින් හටයි. අතීතයේදී වෙළඳසැල්වල කැෂියර්වරුන්ට අංක වෙනම පරීක්ෂා කළ යුතු වුවත් රොන්ගේ නිර්මාණය නිසා එය ස්කෑනරයකින් පරික්ෂා කළ හැකි පරිදි ප්ලාස්ටික් කාඩ් පතකට ඇතුලත් කිරීමට හැකි විය. ඔහුගේ නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක් හිමි වුණේ නැතත් ඔහුගේ කතාව නම් සාර්ථක එකක්. ඔහුගේ වෙනත් බොහොමයක් නිර්මාණ තුළින් ඔහුට ඉතා විශාල වශයෙන් මුදල් ගලා එන්නට විය.

10. ෆිජට් ස්පිනර්.

මෙයත් පේටන්ට් බලපත්‍රය මුලින් හිමි වී පසුව අහිමි වූ තවත් සිද්ධියක්. කැතරින් හෙටින්ගර් පළමුවෙන්ම මෙම කුඩා ක්‍රීඩා භාණ්ඩය නිර්මාණය කළ අතර ඇය මුලින් පේටන්ට් බලපත්‍රය ලබා ගත්තත් පසුව ඇයට ඩොලර් ඩොලර් 400 ක මිලක් ගෙවීමට නොහැකි වූ තැන එය කල් ඉකුත් වී ගියා. නමුත් මේ වන විට එය ලෝකයේ සෑම තැනකම වගේ ඉතාම ජනප්‍රිය භාණ්ඩයක් වී හමාරයි. මෙය හුදෙක්ම ක්‍රීඩා භාණ්ඩයක් පමණක් නොව තෙරපි සඳහා යොදා ගන්නා භාණ්ඩයක්ද වෙනවා. ADHD, ඔටිසම් සහ විශාදය වැනි තත්ව වලින් පෙනෙන කුඩා දරුවන්ට තෙරපි ක්‍රීඩා භාණ්ඩයක් ලෙස fidget spinner යොදාගැනෙනවා.