මෛත්‍රී භාවනාව කරන්නට යන පුද්ගලයා විසින් මෛත්‍රිය හැඳින ගත යුතු ය. මෛත්‍රී චිත්ත බලයෙන් අන්‍යයන්ට සැපය ඇති කර දෙන සැටි, අන්‍ය්‍යන්ගේ දුක් කරදර දුරු කරන සැටි දත යුතු ය. මෛත්‍රී භාවනාව කළා වන්නේ අන්‍යයන්ට සුවයක් ඇති වන පරිදි අන්‍යයන්ගේ දුක් දුරු වන පරිදි, එය කළ හොත් ය. ධ්‍යානාභිඥා ලබා ඇති අයගේ සිත්වල නොයෙක් දේ කළ හැකි මහා බලයක් ඇත්තේ ය. සාමාන්‍ය ජනයාගේ සිත්වල ඇති බලය ඉතා සුළු ය.

එය පුළුන් රොදක් සෙලවීමට වත් ප්‍ර‍මාණ නො වේ. පුළුන් රොදක් ඉදිරියේ තබාගෙන සෙලවෙන්න සිතා බලන්න. කොතෙක් වර සිතුවත් එය නො සෙලවෙනු ඇත. සිතේ තරම එයින් තේරුම් ගන්න. ‘මෙත් වඩමි’ යි කියා. “සත්ත්වයෝ සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!!” යි සිතුවාට – කීවාට එයින් සත්ත්වයන් සුවපත් නො වෙනවා නම් ඒ මෙත් වැඩීම හිස් වැඩකි. හිස් වැඩක් නො වී සාර්ථක වැඩක් වන පරිදි මෙත් වැඩීමට උගත යුතු ය.

මෛත්‍රිය යනු මිත්‍ර‍ත්වය ය. අනුන්ට සතුරන් නැති වෙනවාට – වුවමනා දේ ලැබෙනවාට – දුක් කරදර නැති වෙනවාට – අනුන් දියුණු වෙනවාට – අනුන්ගේ සිත්වල ඇති නපුරුකම් නැති වී යනවාට – අනුන්ට නින්දා අපහාස නො ලැබෙනවාට – රෝගාදිය නැතිවෙනවාට – අන්‍යයන් ඔවුනොවුන් සමගියෙන් සතුටින් වාසය කරනවාට කැමති බව අනුකූල බව මිත්‍ර‍ත්වය ය.

මෛත්‍රිය ය. “අන්‍යයන්හට හිතකාමතාව මෛත්‍රිය’ යි ද කිය හැකි ය. එය එක් චෛතසික ධර්මයෙකි. ඒ චෛතසිකයෙන් යුක්ත වන සිත මෛත්‍රී චිත්තය ය. ඒ මෛත්‍රී චිත්තය අන්‍ය සත්ත්වයන් දෙසට යොමු කොට ඔවුනට යම් කිසි යහපතක් වන සැටියට නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාව ය.මෙත් වැඩීම අනුන්ට යහපතක් සිදු කිරීමේ අදහසින් අවංක ව ම කළ යුතු ය. අනුන් සුවපත් කිරීමේ අදහසින් තොර ව කරන වංක මෛත්‍රී භාවනාව සඵල නො වේ මිනිස් සිත ඉතා වංක ය. තමාගේ සිතේ වංකාව තමාට වත් තේරුම් ගත නො හෙන තරම් ය.

“සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යි මෙත් වඩන්නකු ගෙන් පුද්ගලයන් වෙන් කොට මොහු සුවපත් වෙනවාට කැමති ද? මොහුත් සුවපත් වෙනවාට කැමති ද? කියා වෙන වෙනම විමසුව හොත් සුවපත් වෙනවාට ඔහු නො කැමති අය බොහෝ දෙනකුන් සිටිය හැකි ය. එහෙත් ඔහු ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ යි මෙත් වඩයි. එසේ වඩන ඔහුගේ ඒ මෛත්‍රී භාවනාවෙහි සෘජු ගුණය නැත. එය වංකය, එබඳු භාවනාවලින් අර්ථ සිද්ධිය නො වේ.

මෛත්‍රී භාවනාව කරන්නට යන තැනැත්තා විසින් අවංක ව මෙත් වැඩිය හැකි වන පරිදි පළමුවෙන් තමාගේ සිත සකස් කර ගත යුතු ය. සිත සකස් කර ගැනීමේ නොයෙක් ක්‍ර‍ම විශුද්ධිමාර්ගයේ දක්වා ඇත්තේ ය. මෙහි ද අප විසින් ඉතා හොඳය යි පිළිගත් එක් ක්‍ර‍මයක් දක්වනු ලැබේ. මතු දැක්වෙන වන්තිය පාඩම් කර ගන්න.

“මම තමන් වහන්සේ නසන්නට තැත් කරන පරම සතුරන්ට ද යහපතක් ම කරන සකල සත්ත්වයන්ටම කල්‍යාණ මිත්‍ර‍යකු වන බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් මි. මාගේ බුදුරජාණන් වහන්සේ අනුව මම ද සකල සත්ත්වයන්ට ම මිත්‍රයෙක් වෙමි. මම මිතුරන්ගේ ද මිත්‍රයෙක් මධ්‍යස්ථයන්ගේ ද මිත්‍රයෙක් සතුරන්ගේ ද මිත්‍රයෙක්, සෑම දෙනාගේ ම මිත්‍රයෙක් වෙමි.”

මේ වගන්තිය පාඩම් කරගෙන උදයෙහි දශවරක් ද, දහවල දශවරක් හා රාත්‍රියේ නින්දට සූදානම් වී නින්ද යන තුරු ද කියමින් නිදනු. මෙසේ දින දශයක් කරනු. මසක් පමණ එසේ කළ හොත් වඩාත් හොඳ ය. යම් කිසිවක් මෙසේ දින ගණනක් කීමෙන් ඒ කීම අනුව කියන්නහුගේ සිත සකස් වේ. මෙසේ දින ගණනක් සජ්ඣායනා කිරීමෙන් ඒ පුද්ගලයාට “තමා ලෝකයේ සැම දෙනාට මිත්‍ර‍යෙක් ය, ඒ නිසා සැම දෙනාට ම යහපත කළ යුතු ය” යන හැඟීම ඇති වේ.

අනුන් ඔබට සතුරු කම් කළ ද ඔබ ඔවුන්ට යහපත කරන, ඔවුන්ගේ මිතුරකු සැටියට ම සිටින්න. ඔවුන්ට නපුරක් නො සිතන්න. මිතුරන්ට කවුරුත් යහපත කරති. මහාත්මයකු වන්නට බුදුරදුන්ගේ ධර්මය පිළිපදින්නකු වන්නට සතුරන්ට ද යහපත කරන්නකු විය යුතු ය.ඉහත කී පාඨය සජ්ඣායනා කිරීමෙන් “මම දැන් ලොවට මිත්‍රයෙක් ය, මා විසින් ලොවට යම්කිසි යහපතක් කරන්නට ඕනෑය” යන අදහස පහළ වුවහොත් තමා විසින් ලොවට කිනම් යහපතක් කළ හැකි ද කියා සොයනු. රිසි සේ ආහාරපාන නො ලබන බොහෝ ජනයා ඇති මේ ලෝකයෙහි ආහාරපාන සපයා දී ඔවුන් සුවපත් නො කළ හැකි ය.

ඔවුනට ඇඳුම් පැළඳුම් සැපයීම ද නො කළ හැකිය. බොහෝ දුප්පතුන් ඇත ද පොහොසත් කොට ඔවුන් සුවපත් නො කළ හැකි ය. මේ සත්ත්ව සමූහයට උපකාරයක් වශයෙන් කළ හැකි දෙයක් ඇත්තේ මෙත් වැඩීම පමණෙකි. මෙත් වැඩීමෙන් සත්ත්වයනට ආහාර පානාදිය ලබා දිය නො හැකි ය. මෙත් වැඩීමෙන් තමාගේ සිත අනුව අන්‍යයන්ගේ සිත් හැඩගැස්වීමෙන් එක්තරා උපකාරයක සත්ත්වයන්ට කළ හැකි ය.

සිත දුබල බැවින් චිත්ත බලයෙන් ද්‍ර‍ව්‍යවල යම්කිසි විශේෂත්වයක් සිදු කිරීම පහසු නැත. එක් පුද්ගලයකුගේ සිත අන්‍යයකුගේ සිතෙහි ගැටෙන ස්වභාවයක් ඇති බැවින් මෙත් වඩන්නහුට තමාගේ සිතින් අන්‍යයන්ගේ සිත්වල යම් යම් වෙනස්කම් කළ හැකි ය. මෙත් වැඩීමෙන් අනුන්ගේ සිත්වල ක්‍රෝධ ඊර්ෂ්‍යා වෛරයන් තුනී කළ හැකි ය. නැති කළ හැකි ය. ඒවා ඇති නො වන පරිදි අනුන්ගේ සිත් සකස් කළ හැකි ය.

ක්‍රෝධය මහානර්ථකර ධර්මයකි. එය ඇති වූ කල්හි හොඳ නරක නො පෙනේ. කළ යුත්ත නො කළ යුත්ත නො පෙනේ. තරමකට ඇති වූ කෝපය නිසා පරුෂවචන කියයි. තවත් එය දියුණු වූ කල්හි අතින් පයින් පහර දෙයි. තවත් දියුණු වූ කල්හි ගල්මුල් පොලුවලින් පහර දෙයි. ආයුධවලින් පහර දෙයි. අනුනගේ වස්තුව විනාශ කරයි. සමහර විට ක්‍රෝධයෙන් අන්ධ වූ පුද්ගලයා මවට ද පියාට ද පහර දෙයි. සිල්වත් ගුණවත් පැවිද්දන්ට පහර දෙයි. කරුණාවත් සහෝදර සහෝදරියන්ට සෙසු නෑයන්ට අනර්ථ කරයි. බලවතුන්ගේ කෝපය නිසා යුදගිනි ඇවිලී ලක්ෂ ගණනින් ජනයා නැසෙති. නගර ග්‍රාමයෝ විනාශ වෙති. අපමණ ධනය විනාශ වෙයි.

ක්‍රෝධය ඇති වූ පුද්ගලයා අනුන්ට නොයෙක් දුක් ඇති කර තෙමේ ද දුක්ට පත්වෙයි. ක්‍රෝධය නිසා පව්කම් කොට අපාගත වන්නෝ ඉතා බොහෝ ය. ඊර්‍ෂ්‍යාව වෛරය යන දෙක ද ක්‍රෝධය සේ ම නපුරු ය. අනර්ථකරය. මහානර්ථකර වූ ඒ ක්‍රෝධ ඊර්‍ෂ්‍යා වෛරයන් නැති නම් ලොවට මහත් සැනසිල්ලකි. සැපතකි. මෙත් වැඩීමෙන් ලෝකයෙහි ක්‍රෝධ – ඊර්‍ෂ්‍යා – වෛරයන් අඩු කරන්නා වූ යෝගාවචරයා ක්‍රෝධ ඊර්‍ෂ්‍යා වෛරයන් නිසා ජනයාට වන අපමණ දුක් කරදර නැති කිරීමෙන් ලොවට මහත් වූ යහපතක් සිදු කරන්නෙකි. ඔබ ලෝකයට මිතුරකු වී ඇති නම් හිතවතකු වී ඇති නම් මෙත් වැඩීමෙන් ලොවට සිදු කළ හැකි යහපත කරන්න.

සිත එකඟ කොට යම් කිසි සත්ව කොට්ඨාසයකට යොමු කොට ඔවුන් සුවපත් කරන අටියෙන් අවංක ව මේ සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! එකෙක් අනිකකුට නපුරක් නො කෙරේවා! හැම දෙන ම ඔවුනොවුන්ගේ යහපත කැමති වෙත්වා’ යි නැවත නැවත සිතන කල්හි යෝගාවචරයා ගේ ඒ මෛත්‍රී චිත්තය එයට ලක් වන සත්ත්වයන් ගේ සිත්වල ගැටීමෙන් මඳින් මඳ ඔවුන්ගේ සිත්වල ඇති වෛර නැති වෙයි. තුනී වෙයි.

සිත්වල ඇති නපුරු ගතිය ක්‍ර‍මයෙන් නැති වෙයි. යෝගාවචරයාගේ මෛත්‍රී චිත්තයේ බලවත් බව දුබල බව අනුවත් භාවනා කරන කාල ප්‍ර‍මාණය අනුවත් එයට ලක්වන සත්ත්වයන් ගේ සිත් සකස්වීම සිදු වේ. එක වරට ම සියලු ම සත්ත්වයන් අල්ලා කරන මෛත්‍රිය එතරම් බලවත් නො වේ. එබැවින් දිශාදේශාදි වශයෙන් සත්ත්වයන් වෙන් වෙන් වශයෙන් ගෙන මෙත් වැඩීම කළ යුතු ය. පහනක ආලෝකය දුර යත් යත් ම හීන වන්නාක් මෙන් චිත්ත බලය ද දුර යත් යත් ම හීන වේ. එහි බලය වඩා ඇත්තේ සමීපයට ය.

මේ ශාසනයෙහි මෙත්තා විහාරීන්ගෙන් අග්‍ර‍ වූ අස්සගුත්ත තෙරුන් වහන්සේ වැඩ සිටි තිස්යොදුන් පමණ වන මහ වෙනෙහි විසූ තිරිසන් සත්ත්වයන් තෙරුන් වහන්සේ ගේ මෛත්‍රී චිත්තානුභාවයෙන් ඔවුනොවුන් සමගියෙන් විසූ බව චූළසකුලුදායි සූත්‍ර‍ අටුවාවෙහි කියා තිබේ. උන්වහන්සේ විසුවේ ධර්මාශෝක රාජ කාලයේ ය. ලක්දිව සිතුල්පව්ව විහාරයේ විසූ විසාඛ තෙරුන් වහන්සේ ගේ මෛත්‍රී චිත්තය නිසා ඒ වනයෙහි විසූ භූතයන් ඔවුනොවුන් මෛත්‍රියෙන් සමගියෙන් විසූ බව විසුද්ධිමග්ග යෙහි කියා තිබේ.

හොඳින් මෙත් වඩන යෝගීන් වෙසෙන තැන්වලට පැමිණෙන උත්පත්තියෙන් ම ඔවුනොවුන්ට විරුද්ධ සත්ත්වයෝ ද එකිනෙකාට හිංසා නො කරති. මේ සියල්ල සිදුවන්නේ මෙත් වඩන තැනැත්තා ගේ සිත අනුව ඔහුගේ මෙත් සිතට ලක් වන සත්ත්වයන් ගේ සිත් හැඩ ගැසීම නිසා ය. මෙත් වැඩීමෙන් අන්‍යයන්හට පහසුවෙන් ම සිදු කළ හැකි දෙය සිත් සකස් කිරීම ය. සිත් සකස් කිරීම් වශයෙන් අනුන්ට යහපතක් කරනු පිණිස මෙත් වැඩීම කරන්න.

චිත්තබලයෙන් සිදු කළ නො හෙන අර්ථ ඇති වචන හා නිශ්චිතාර්ථයක් නැති වචනත් මෙත් වැඩීම සඳහා නො ගත යුතු ය. “සුවපත් වෙත්වා” යනුවෙහි බොහෝ අර්ථ ඇත්තේ ය. ආහාර නැතියකුට ආහාර ලැබීමත් සුවයෙකි. ඇඳුම් නැතියකුට ඇඳුම් ලැබීමත් සුවයෙකි. ඇඳුම් ඇතියකුට වඩා හොඳ ඇඳුම් ලැබීමත් සුවයෙකි. ගෙයක් නැතියකුට ගෙයක් ලැබීමත් සුවයෙකි. හොඳ ගෙයක් ඇතියකුට වඩා හොඳ ගෙයක් ලැබීමත් සුවයෙකි. රස්සාවක් නැතියකුට රස්සාවක් ලැබීමත් සුවයෙකි. පහත් රස්සාවක් ඇතියකුට උසස් රස්සාවක් ලැබීමත් සුවයෙකි.

නිර්ධනිකයකුට ධනය ලැබීමත් සුවයෙකි. ධනවතකුට තවත් ධනය ලැබීමත් සුවයෙකි. ධනවතකුට තවත් ධනය ලැබීමත් සුවයෙකි. බිරියක නැතියකුට බිරියක ලැබීමත් සුවයෙකි. සැමියකු නැතියකට සැමියකු ලැබීමත් සුවයෙකි. දරුවන් නැතියකුට දරුවන් ලැබීමත් සුවයෙකි. තවත් මෙහි නො කී බොහෝ සුව ඇත්තේ ය. එබැවින් ‘සුවපත් වේවා’ යනු නිශ්චිතාර්ථයක් නැතියකි. නිශ්චිතාර්ථයක් නැති එබඳු වචනවලින් එක් අර්ථයකුදු සිදු නො වේ. අනේක සුවයන් අතුරෙන් සිදු කළ හැකි යම්කිසි සුවයක් නියම කරගෙන ඒ සුවය ලබාදීම සඳහා මෙත් වැඩීමේ දී ‘සුවපත් වෙත්වා’ යනු භාවිතා කිරීම සුදුසු ය. මේ සත්ත්වයනට වෛරය හා ක්‍රෝධය නැති බවත් එක් සුවයෙකි. ඒ සුවය ලබාදීම සඳහා ‘සුවපත් වෙත්වා’ යි භාවනා කිරීම සුදුසු ය.

‘නිදුක් වෙත්වා’ යනු ද එසේ ම බොහෝ අර්ථ ඇතියකි. ජාතිදුක – ජරාදුක – ව්‍යාධිදුක – මරණදුක – අප්‍රිය සම්ප්‍රයෝග දුක – ප්‍රිය විප්‍රයෝග දුක – ආහාර සෙවීමේ දුක – පව්කම්වලට විපාක වශයෙන් ලැබෙන දුක් යන මේවා “නිදුක් වෙත්වා” යි මෙත් වැඩීමෙන් නැති කළ නො හැකි ය. මෙත් වැඩීමේ දී ‘නිදුක් වෙත්වා’ යන වචන පාවිච්චි කළ යුත්තේ වෛරය හා කෝපය හේතු කොට වන දුක් ඇති නොවීම සඳහා පමණෙකි.

භාවනා කිරීමේදී පළමුවෙන් තමාට ම මෙත් වැඩිය යුතු ය. එය වරක් දෙකක් කිරීම ප්‍ර‍මාණවත් ය. ඉන්පසු අන්‍යයන්ට මෙත් වැඩීම කළ යුතු ය. එය සත්ත්වයන් කොටස්වලට බෙදා ගෙනත් සකල සත්ත්වයන් ම ගැනත් කළ යුතු ය. මුලින් කළ යුත්තේ සත්ත්ව කොට්ඨාශවලට මෙත් කිරීම ය. තමාට මෙත් කොට ඉක්බිති තමා වෙසෙන ආරාමයේ සකල සත්ත්වයනට මෙත් වඩනු. එක් වරක් හෝ වාර බොහෝ ගණනක් හෝ මෙත් වඩනු. එක් කොට්ඨාශයකට වාර බොහෝ ගණනක් මෙත් වඩා අන් කොටසකට මෙත් වැඩීම වඩා හොඳ ය. ආරාමයේ සත්ත්වයන්ට මෙත් වඩා ගොදුරුගමට ද අනතුරුව මුළු රටට ද අනතුරු ව මුළු සක්වළට ම ද මෙත් වඩනු. මෙය මෙත් වැඩීමේ එක් ක්‍ර‍මයෙකි.

“මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං එරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථං” යනාදීන් බොහෝ සූත්‍ර‍වල දක්වා තිබෙන්නේ දිශා වශයෙන් මෙත් වැඩීම ය. පා නැති සත්ත්වයෝ ය, දෙපා ඇති සත්ත්වයෝ ය, සිවුපා ඇති සත්ත්වයෝ ය, බොහෝ පා ඇති සත්ත්වයෝ ය කියා ද, කුඩා සත්ත්වයෝ ය, මධ්‍යම සත්ත්වයෝ ය, මහා සත්ත්වයෝ ය කියා ද; තවත් නොයෙක් ලෙස ද සත්ත්වයන් කොටස් කර ගෙන මෙත් වැඩීම තමතමන්ට රිසි සේ කළ හැකි ය.

තමාට මෙත් කිරීම :“මම වෛර නැත්තේ වෙම්වා. නපුරු සිත් නැත්තේ වෙම්වා සතුරු මිතුරු මැදහත් සැම දෙනාගේ ම යහපත කැමති සත්පුරුෂයෙක් වෙම්වා නිදුක් වෙම්වා සුවපත් වෙම්වා.”මෙසේ තමාට පළමුවෙන් මෙත් කරනු. නපුරු සිතය යනු අනුන් ගේ ශරීරයට හෝ ජීවිතයට හෝ ගෞරවයට හෝ කීර්තියට හෝ ධනයට හෝ හානියක් වේවාය කියා හෝ හානියක් කරන්නට ඕනෑ ය කියා හෝ ඇති වන සිත ය. ‘නිදුක් වීම ය’ යනු වෛරය නිසා නපුරු සිත නිසා වන දුක් නොවීම ය. ‘සුවපත්වීම’ යනු ඒ දුක්වලින් මිදීමේ සුවය ලැබීම ය. සැම තැනදී ම ඒ වචනවල අර්ථය එසේ සලකනු.

ආරාමස්ථයන්ට මෙත් කිරීම :“මේ අරමෙහි වෙසෙන සියල්ලෝ ම වෛර නැත්තෝ වෙත්වා. නපුරු සිත් නැත්තෝ වෙත්වා. එකෙක් අනිකකු පහත් කොට නො සිතාවා. එකෙක් අනිකකුට නපුරක් නො කෙරේවා. සැම දෙන ම ඔවුනොවුන්ගේ යහපත කැමතියෝ වෙත්වා නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.”මෙසේ මෙත් වැඩීමේ දී ආරාමයේ පරිච්ඡේදය සලකා ගෙන එය තුළ වෙසෙන ගිහියෝ ය, පැවිද්දෝ ය, කුඩා මහත් සියලු තිරිසනුන් ය, වෘක්ෂාදියෙහි භූතයෝ ය යන සැම දෙන ම සලකා ගෙන මෙත් කරනු. ගොදුරු ගම් ආදියට මෙත් වැඩීමේ දී ද එසේ සලකා මෙත් වඩනු.

ගොදුරුගම් ආදියට මෙත් වැඩීම :“අපගේ ගොදුරු ගමෙහි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! නපුරු සිත් නැත්තෝ වෙත්වා! යනාදීන් ඉහත කී පරිදි ගොදුරු ගමට මෙත් වඩනු. මේ දිවයිනෙහි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් දිවයිනට මෙත් වඩනු. මේ සක්වළ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් සක්වළට මෙත් වඩනු. අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් අන් සක්වළවල සත්ත්වයනට මෙත් වඩනු. අවසානයේදී “සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා” යනාදීන් සකල සත්ත්වයන්ට මෙත් වඩනු.

දිශා වශයෙන් මෙත් වැඩීම :නැගෙනහිර වෙසෙන සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් නැගෙනහිරට ද, ඉක්බිති දකුණු දිග සියලු සත්ත්වයෝ කියා දකුණට ද, බස්නාහිර වෙසෙන සියලු සත්ත්වයෝ – උතුරු දිග සියලු සත්ත්වයෝ – උඩ වෙසෙන සියලු සත්ත්වයෝ – යට වෙසෙන සියලු සත්ත්වයෝ යි වාක්‍යය යොදා ගෙන ඒ ඒ දිශාවලට ද මෙත් වැඩීම කළ යුතු ය. මඳ වේලාවක් වරක් දෙකක් භාවනා කිරීමේ දී පිළිවෙළින් සදිසාවට මෙත් වඩනු. වැඩි වේලාවක් භාවනාවෙහි යෙදෙනවා නම් එක් දිශාවකට ම වාර බොහෝ ගණනක් මෙත් වැඩීම යහපති. එසේ කිරීමේ දී මෙත් වඩන දිශාවට මුහුණ ලා හිඳ ඒ දිශාවට සිත යොමු කොට සිත ඒ දිශාවෙහි පතුරුවා තබා ගෙන ඒ දිශාවේ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහස පෙරදැරි කරගෙන භාවනා කරනු. යම්කිසි දිශාවකට දින ගණනක් මෙත් වැඩුවහොත් එහි ඵල දක්නට ලැබෙනු ඇත.

පෞද්ගලික වශයෙන් මෙත් වැඩීම :එක් පුද්ගලයකුට මෙත් වැඩීමේ දී ඔහුගේ නම මුලට යොදා “වෛර නැත්තේ වේවා! නපුරු සිත් නැත්තේ වේවා! අනුන් පහත් කොට නො සිතාවා! අනුන්ට නපුරු කම් නොකෙරේවා! අනුන්ගේ යහපත කැමතියෙක් වේවා! නිදුක් වේවා! සුවපත් වේවා!” යි භාවනා කරනු.සතුරුකම් කරන පුද්ගලයකුට මෙත් කළ හොත් ඔහු ගේ සතුරු කම් කිරීම නවතිනු ඇත. සම්පූර්ණයෙන් නො නැවතුන ද අඩු වනු ඇත.

බොහෝ කොට මෙත් කිරීමෙන් සමහර විට සතුරා මිතුරකු ද විය හැකි ය. යම් කිසි කරුණකට අනිකකුගේ සහාය වුවමනා වූ විට ඔහුට මෙත් කරනු. ඔහුගේ සහාය පහසුවෙන් ලැබිය හැකි වනු ඇත. පෞද්ගලික ව මෙත් වැඩීමේ ප්‍ර‍තිඵලය මෛත්‍රී චිත්තය බලවත් කල්හි ඉක්මනින් ලැබෙනු ඇත. මෛත්‍රී චිත්තය දුබල නම් ඵල ලැබීමට කල් ගත වේ. යම් කිසි කරුණක් සඳහා කෙනකුට පෞද්ගලික ව මෙත් කිරීමේ දී ඒ පුද්ගලයා වෙසෙන තැන දැන ඔහු වෙසෙන දිශාවට මුහුණ ලා හිඳ ඔහුගේ මුහුණ අරමුණු කොට ගෙන මෙත් වඩනු.(රේරුකානේ චන්ද්‍රවිමල හිමි – ශාසනාවතරණය)