කොස් ඇටත් කඩෙන් ගන්න වෙලා කියලා යාලුවෙක් කිව්වා. ඒ කතාව දුර දිග ගිහින් මට අපේ ආච්චී වගේම කොස් ඇට මුල්ලත් මතක් උනා. කොස් ඇට මුල්ල කිව්වම ඒ ගැන දන්න අයත් ඇති නොදන්න අය කල්පනා කරන්න පුලුවන් මොකක්ද මේ කොස් ඇට මුල්ල කියන්න කියන්නේ කියලා.ඉස්සර ඒ කියන්නේ අපේ ආච්චිලගේ සීයලගේ කාලේ වතු පිටි ඉඩ කඩම් කොයිතරම් තිබුනත් එයාලා ඒවයේ පලදාව නාස්ති වෙන්න දුන්නෙ නෑ. අවාරේදී උනත් පාවිච්චි කරන්න ඒවා කල් තියාගත්තා. මෙහෙම කල් තියාගන්න එක එක ක්‍රම භාවිතා කලා. කොස් ඇට කල් තියාගන්න භාවිතා කලේ කොස් ඇට මුල්ල.

මේකට ගන්නේ ඉදුණූ වැල ගෙඩි වලින් ගන්න කොස් ඇට. මේ කොස් ඇට හෝදලා තෙත ගතිය යන්න අවුවේ වේලනවා. ඊට පස්සේ ගෙදර කුස්සියේ (ඉස්සර ගෙවල් වල තිබුනා බිම ගොම මැටි ගාපු කුස්සියක්) එහෙම නැත්නම් නොතෙමෙන තැනක් තෝරාගෙන (ගොඩක් වෙලාවට තෝරා ගන්නේ බිත්ති දෙකක් එකතුවෙන මුල්ලක්). එතන කොස් ඇට ටිකක් තුනී කරනවා. ඊට උඩින් වැලි ටිකක් දානවා.ආයේ කොස් ඇට තට්ටුවක්, ඊට උඩින් වැලි තට්ටුවක්. ඔය විදිහට කොස් ඇට ඉවර වෙනකන් ම තට්ටු විදිහට තැන්පත් කරනවා. උඩටම එන්නේ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනලා ඒ මැටි වලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්නයෙන් වහනවා. මේ කොස් ඇට වලට කියන්නේ වැලි කොස් ඇට කියලයි.

කොස් අවාරෙදි මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට ගන්නවා. පරිභෝජනය කරන්න උවමනා ප්‍රමානයට. මෙහෙම ගන්න කොස් ඇට නරක් වෙන්නෙ නෑ. පොත්ත නම් ඉක්මනට ගැලවෙනවා. මේ කොස් ඇට මාලුවට උයලා, තම්බලා, තම්බලා පොල් අඹරලා මැල්ලුමක් විදිහටත් පාව්ච්චියට ගන්නවා. අපේ ගෙදර උනත් කොස් වාරෙට බොහොමයක් කොස් වගේම කොස් ඇටත් නාස්ති වෙලා යනවා. ඉස්සර අපේ ආච්චී නම් බංකුවක් තියාගෙන ඉඳගෙන එක ඇටයක්වත් අහක නොදා එකතු කරගන්නවා.

ඉස්සර අපි කියනවත් එක්ක “අපේ ආච්චි ට කන්න නෑ වගේ මේවා එකතු කරනවා “කියලා. ඒත් වැඩිහිටියො උනාට පස්සේ, අද කල්පනා කරද්දී තමයි තේරෙන්නේ එයාලා හැම දෙයක්ම මොනතරම් අපූරුවට පිරිමහගත්තද කළමනාකරණය කරගත්තද කියලා. කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක අපි මේ දේවල් නොසලකා හැරියට මෙහෙම කල් තබා ගැනීම ආර්ථිකමය වාසියක් වගේම අවාරෙට කන්නත් ලැබෙනවා. කල්පනා කරලා බලද්දී අපි අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන ගොඩක් හොඳ දේවල් ඉවතට දාලා.

ගොඩක් දෙනෙක් කළුපොල් මාළුව ගැන අහලා තිබුණට අතළොස්සක් විතරයි කළුපොල් මාළුවේ රසය ගැන දන්නේ. අන්න ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර කළුපොල් මාළුවක් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.

කළුපොල් මාළුවට අවශ්‍ය ද්‍රව්‍ය-

  • ලොකු කොස් ඇට 25 ක් පමණ,
  • සිහින්ව කපාගත් රතු ළුණු මේස තේ හැඳි 04 ක්,
  • සිහින්ව කපාගත අමු මිරිස් කරල් 04 ක්,
  • කරපිංචා දළු ස්වල්පයක්,
  • උම්බලකඩ මේස තේ හැඳි 04 ක්,
  • ලුණු ස්වල්පයක්,
  • තුනපහ සහ බැදපු මිරිස් කුඩු,
  • පොල් කිරි කෝප්ප 01 ක්,
  • බැද අඹරා ගත් පොල් මේස තේ හැඳි 02 ක්,
  • බැද අඹරා ගත් හාල් මේස තේ හැඳි 02 ක්

සාදන ආකාරය : මුලින්ම කොස් ඇට පිරිසිදු කර, පොතු පිටින් කුඩා කැබලිවලට වෙන් නොවන සේ තලා ගන්න. මැටි වලඳකට තලාගත් කොස් ඇට දමා තැම්බෙන්න අවශ්‍ය පරිදි වතුර එකතු කරන්න. බැදපු හාල්, පොල් හා පොල් කිරි හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න. කොස් ඇට හොඳින් තැම්බෙන්න දෙන්න. කොස් ඇට තැම්බුණාට පස්සේ බැදපු හාල්, පොල් සහ පොල් කිරි එකතු කරන්න. විනාඩි 10 ක් පමණ තැම්බෙන්නට හැර ලිපෙන් ඉවතට ගන්න.