බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද?’ (දානං වා බ්‍රහ්මචරියං වා – කතමංසු මහප්ඵලන්ති) යනුයි. නිමි රජුගේ නුවණට එය ගෝචර නො වී ය. උපෝසථ සිල් රකින රජුගේ සිල් තෙදින් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට මෙසේ පිළිතුරු දුන්නේ ය.

“හීනේන බ්‍රහ්මචරියේන – ඛත්තියේ උපපජ්ජති

මජ්ක්‍ධිමේන ච දේවදත්තං – උත්තමේන විසුජ්ඣති”

“බලවත් නැති බඹසරින් රජ කුලයේ උපදී. මධ්‍යම බ්‍රහ්මචරියාවෙන් දෙව් බවට පත්වේ. උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසිදු බව ලැබේ.”

“න හේතේ සුලභා කායා – යාච යෝගේන කේනචී

යේ කායේ උපපජ්ජන්ති – අනාගාරා තපස්සිනෝ’ති”

“අනගාරිකව කෙලෙස් තවන (බඹසර රකින) යම් කෙනෙක් බඹලොව උපදිනවා නම් එවැනි බ්‍රහ්මත්වයක් වෙන දානයකින් නම් නො ලැබිය හැක්කේ ය.”සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය. ඒ මෙසේ ය.“පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු ද තවත් බොහෝ දෙන ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය. ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.

හුදෙකලා ව තවත් කෙනෙකුගේ පහසක් හෝ සතුටු කිරීමක් නොමැතිව ලබන ඒ බඹසර සැපය කෙනෙක් නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ. (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)අතීතයේ විසූ යාමහනු, සෝමයාග, මනෝජව, සමුද්ද, මාද, භරත, ඉසිකාලි, රක්ඛිය, කස්සප, කිසවම්ව, අකිත්ති යන ඍෂිවරු අනගාරිකව සිල්වත් වූ, කෙලෙස් තවන, ඒ බඹසර මුල්කරගෙන කාම ලෝකය ඉක්මවා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහු ය. (ඒ බඹසරෙහි ආනිශංස යි).සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.

“පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. ඒ තාපසයෝ රස තෘෂ්ණාව මැඩ ධාර්මික භෝජනයෙන් යැපුනාහු ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.

තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය.

ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය. එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”

මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ, “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය.

මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය. පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ. ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය.

විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත. අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.

“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය

අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ

අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං

පරස්ස දාරං නාතික්කමෙය්‍ය”

“නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”

මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර හරි අගේට සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය. ජාතක කතා බොහෝමයක අප මහා බෝධිසත්වයන් කෙතරම් නම් බඹසර රැකි ජීවිත කතා වෙද්ද? සාම කුමරු හී පහර වැදී සිහිසුන් වෙද්දී දෙමාපියන් ”අපගේ පුත්‍රයා බ්‍රහ්මචාරීයි. ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා!” යි සත්‍යක්‍රියා කොට ජීවය ඉපැද්දවූහ. අහෝ බඹසර එතරම් අසිරිමත් ය. මහා සුදස්සන රජු සක්විති රජ ව තමා වෙනුවෙන් ම බිසෝවරු අසූහාර දහසක් සිටිද්දී අසූහාර දහසක් අවුරුදු බඹසර විසී ය.

අද ලෝකයට මේවා සිතා ගත නොහැකි තරම් ය.මහරහතන් වහන්සේලා විෂයෙහි දන් පැන් පුදා දෙව්ලොව දිව්‍යරාජයන් බවට පත් ඇතැම් දෙවිවරු තමන්ට සුගති උපත ලබා දුන් ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට (රහතන් වහන්සේලාට) උපහාර කෘතගුණ පිණිස බඹසර සීලය සමාදන් වූ අවස්ථා අප අසා ඇත. දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගණන් පිරිවරා සිටිද්දීත් බඹසර ම සුරකී. අරුමයකි! දිව්‍ය අප්සරාවකගේ ලස්සනට උපමා නැත. සක්විති රජුගේ ස්ත්‍රී රත්නය ද දිව්‍ය අප්සරාවකගේ ලස්සනට සමීප නැත. ඒ ලස්සනට වඩා බඹසර උතුම් ය. එවැනි ස්ත්‍රියකගේ පහසට වඩා බඹසර උතුම් ය.

එවැනි රන් ලියවැල් වන් අප්සරාවන් ලක්ෂයකගේ පහසට වඩා බඹසර උතුම් ය. ඒ දේවතාවෝ බඹසර රකිත්. එකල බඹසර සමාදන් වූවෝ මෙසේ ප්‍රාර්ථනා කරත්. එනම් “නිවන් දකිනා මොහොත දක්වා ස්ත්‍රියක් තබා පිරිමියෙක්වත් අපගේ කය ස්පර්ශ නොකරත්වා! අප ඇසුරු කරන පිළිසඳරේ යෙදෙන පිරිමින් ද අතේ දුරින් වෙත්වා! ස්ත්‍රීන් ගැන කවර කතා ද?” යනුවෙනි. මිනිසුනේ, එතරම් බඹසර සුවය ඒ උත්තමයෝ අත්දකිති. මේ අනුව බලන කල බඹසරට කැමැත්තක් උපදවා ගැනීමත් කෙතරම් පිනක් දැයි සිතේ…

දිනක් මලියදේව මහරහතන් වහන්සේ තම වයෝවෘද්ධ ගුරු ස්වාමීන් වහන්සේ පැන් පහසු කිරීමට අවසර ඉල්ලූ සේක. මොහොතක් නිහඬ වූ ගුරු ස්වාමීන් වහන්සේ එයට අවසර ලබා දුන් සේක. පසුව උන්වහන්සේ මෙසේ පැවසී ය. “ආයුෂ්මත් මලියදේව, මගේ උපසම්පදාවෙන් දැනට වස් හැටක් වෙනවා. ඒ වස් හැටට ම අද තමයි තවත් කෙනෙක් මගේ ඇඟට අත තිබ්බේ” අරුමයකි. එවැනි යුග සිතා ගත නො හැකි ය.සත්පුරුෂ යුගය එසේ ගෙවී යද්දී වර්තමානයේ කාමය අඳුරු වලාවක් සේ ලොව වසාගෙන හමාර ය. තාක්ෂණික උපකරණවලින් බඹසර සුන්නද්දූලි කරන්නේ ය. බටහිර අධ්‍යාපනයෙන් බඹසර අතුගා දමන්නේ ය.

අහෝ ඔවුන් බඹසර රකින්නන් මානසික රෝගීන් සේ දකිත්. මිය යන තෙක් කාම ක්‍රීඩා කිරීම වීරකමක් සේ දකිත්. ඔවුහු ප්‍රේතයන් සේ, තිරිසනුන් සේ, මවක් පියෙක් නැත්තවුන් සේ රති ක්‍රීඩා කරත්. කොළඹ ප්‍රදේශයේ ඇතැම් ජාත්‍යන්තර පාසල්වල සිසුවියන් තම කන්‍යාභාවය නැති කර ගත් ප්‍රීතියෙන් පන්ති කාමරයේ සාද පවත්වන බව අසන්නට ලැබී කන් අගුළු වැටිනි. අහෝ මිනිසා මරණින් මතු කොහේ නම් උපදී ද?ඇතැම් පාසල්වල සිසුවන් තරුණ ගුරුවරියන් හා පෙම් බස් දොඩත්ලු. මව දූෂණය කොට, දුව දූෂණය කොට සල්ලාලයන් හිරේ වැටෙත්ලු. පිරිමින් පිරිමින් හාත්, ස්ත්‍රීන් ස්ත්‍රීන් හාත් මඟුල් කෑමට නීතිය සදත්ලු. කියන් මිනිසුනේ මෙවැනි ලොවකට බඹසරේ සුළං රැලිවත් යාවිදෝ?

ඒ පරම විරාගී මහා කස්සප මුනිඳානෝ සිහිවෙත්. ඒ නිකැලැල් බඹසර, මහරහතන් වහන්සේලාගේ පිවිතුරු බඹසර, යශෝදරාවන්ගේ බඹසර, ඒ නිකෙලෙස් මුනිවරු පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේගේ බඹසර උතුම් ය! අහෝ උතුම් ය! එනිසා අද ද යම් පිනැතියෙක් බඹසර පුරුදු කරත් නම් එය සාමාන්‍ය හැකියාවක් නො වේ. විවාහ වන තුරු සිල් රකිත් නම් කෙතරම් සුන්දර ද? විවාහ වූ අය උපෝසථ ආදිය සමාදන්ව කාලෙන් කාලෙට හෝ බඹසර රකිත් නම් කෙතරම් අගේ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ නිය සිළට ගත් පස් පිඬක් සේ සුළු පිරිසක් ලොව බඹසර රකිනා බවයි.

මහ පොළොව සේ පිරිසක් කාම ක්‍රියාවෙන් ම සතුටු වෙති. දාන ලක්ෂයකට වඩා බඹසර උතුම් බව නැවතත් මෙහි දී සිහිවේ.බඹසරට ආසා කරන්න. බඹසර රැකි මුනිවරුන්ට වන්දනා කරන්න. විරාගී කථා කතා කරන්න. කාමුක කථාවලින් පව් රැස් වන බව සිතන්න. තමාගේ බඹසර නොකියා රහතුන්ගේ බඹසර වර්ණනා කරන්න. ඒ විරාගී ජීවිතවලට උපහාර කරන්න. මහා කස්සප ආදී මුනිවරුන්ට දුහුවිල්ලක් සේ ජීවිතය පුදන්න. තමන් භාග්‍යවතුන් වහන්සේගේ දාසයෙක් වැනි යැයි සිතන්න. කෙලෙස් පීඩාවට ශාප කොට, නිකෙලෙස් බව නම් වූ අමා නිවන එක ම සැනසීම බව සිතන්න. බඹසර රකින්න අමාරු අයටත් බඹසර පිණිස මෙතුළින් පුණ්‍ය උපකාරයක් වනු නියතයි. ලොවේ බ්‍රහ්මචාරීන් අබියස අපගේ ජීවිත දුහුවිල්ලක් වේවා! බ්‍රහ්මචාරී ගුණයට නමස්කාර වේවා!

බඹසර සීලයේ අනුහස්

  • පින්වත්නි බඹසර සීලය කියලා කියන්නේ ඉතාම ආනුභාව සම්පන්න සීලයක්. මේ කාලේ බඹසර ගැන කතා කරන්න වාසනාවක් ලැබීම මම හිතන්නේ ඉතා වටිනවා. හේතුව බඹසර කියන එක බඹසර සුරකීම කියන එක, සමාජෙන් දුරස්වීගෙන යන එකක්. බඹසර සුරකින එක විතරක් නෙවෙයි, සාමාන්‍ය සිල් රැකීමට පවා වර්ථමානයේ බොහෝදෙනෙක්ගේ ආකල්පය, මේ වර්ථමානේ සමාජයත් එක්ක ඕක කරන්න බෑ කියන එක. නමුත් ඒ බහුතරයකගේ අදහස එහෙම වුනාට, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ දෙනෙක්, මේ උතුම් ප්‍රතිපදාවන් වල සමාදන් වෙලා වාසය කරනවා. බඹසර කියලා කියන්නේ ඉතාම ආනුභාව සම්පන්න සීලයක්.
    බඹසර රැකීමේ ආනිසංස ගැන, කුද්දක නිකායේ ඛද්දක පාට අට්ඨ කතාවේ සිල් පද තෝරනකොට එහි බඹසර රැකීමේ අනිසංස සඳහන් වෙනවා. ඉතින් මට ඒ ඔක්කෝම අනුපිළිවලට ඉදිරිපත් කරන්න මතකයක් නෑ. කෙනෙකුට ඕනේ මූලාශ්‍රය මම කීවා. ඛුද්දක පාඨ අට්ඨ කතාවේ මේ ගැන සඳහන් වෙනවා.
  • බඹසර රකින් කෙනා පින්වත්නි බොහෝ දෙනාට ප්‍රිය වෙනවා කියනවා. බඹසරේ පළවෙනි ආනිසංසය, ඒ බඹසර සුරකින් කෙනාට මේ ජීවිතයේදීම ලැබෙනවා කියනවා. බොහෝ දෙනාට ප්‍රියයි.
  • කාන්තිමත් ප්‍රභාෂ්වර සිරුරක් ලැබෙනවා කියනවා. බඹසරේ ආනිසංස. දුටු දුටුවන්ගේ සිත්, සිත් ඇදී යන ස්වභාවයේ, දුටුවන්ගේ සිත් ප්‍රය උපද්දන ස්වාභාවයේ සිරුරක් ඔහුට ලැබෙනවා. බඹසරේ අනිසංස ඒකත්.
  • බඹසර රකිනවනම් සතුරෝ ඈත් වෙනවා කියනවා. සතුරෝ නැතුව යනවා. පහවූ සතුරන් නැති බව බඹසරේ අනිසංස කියනවා. බඹසර කියන්නේ ඒක තේජස්. ඒ තේජස නිසා සතුරු පාර්ශවයක් හැරෙන්නේ නෑ.
  • ඊළඟට කෙනෙක් බඹසර ආරක්ෂා කරන කෙනෙක්ට, සුවසේ නින්ද යනවා. සුවසේ අවදිවෙනවා. මම හිතන්නේ මිනිස්සුනගේ ජීවිතයේ, මේ ආනිසංසයම කොච්චර දුර්ළබද? සනීපෙට නිදාගෙන සනීපෙට අවදිවෙන මිනිස්සු කොච්චර අඩුද ? යමෙක් බඹසර රකිනවනම්, ඔහු සුවසේ සැතපී සුවසේ අවදිවෙනවා.
  • බඹසර ආරක්ෂා කරන කෙනට විශාරද බව උපදිනවා කියනවා.

​පතිවත රැකීමේ ආනිසංස

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය.

  • දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය.
  • කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.
  • සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය.
  • රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය.
  • ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.
  • ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය.
  • විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.
  • මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය.
  • මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.
  • ‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය.
  • ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?
  • ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි.
  • ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.
  • එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක.
  • ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.
  • ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.
  • මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි
  • නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය..