බුදු දහම අනුව ගමන් කරන සැදැහැවත් පින්වතුන් පින් දහම් සිදු කරන්න කිසිදා ප්‍රමාද නොවෙනු ඇත.නමුත් බොහෝ දෙනා පින් දහම් සිදු කරාට ඒ පිළිබද නිසි අවබෝධයකින් තොරවයි පින් දහම් සිදු කරන්නේ.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න කල්පනා කරේ ඔබ නිතර නිතර සිදු කරන චෛත්‍යය පිරිසිදු කිරීම, තෙල් තබා ගන්නා බඳුන් පිදීම,පෙරහන් කඩ පිදීම,පවන් අතු පිදීම,ආදී පින් දහම් වලින් ඔබට ලැබෙන ආනිසංස ගැනයි.

චෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංස -පහංකර හිමි පෙර ජිවිතයක දැව කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට සාදා ඇති චෛත්‍යයෙහි කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අට වරක් චෛත්‍යයට වැඳ පිටුනොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් ද පහල වුනි. තුන්සිය වතාවක් සක් දෙවිඳු වී උපන්නේ ය. විසිපස් වතාවක් සක්විති රජවිය. මනුලොව දී මේ විපාක ලැබුනා හ.

මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම.වනයට ගියේ ද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතී ම.වනයේ කණු, කටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම.කුෂ්ඨ රෝගයද,ගණ්ඩ, කිලෙස,මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගයද, දද, කැසිලි ආදියද නො වීම.ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම.රන්පැහැපත් සිරුරක් ලැබීම.අකමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹේ.සිත එකඟ වේ. මනාව සමාධි වේ.කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි.අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමට ද මේ පින උපනිශ්‍රය වී ඇතිබව( 336 වන අපදානයේ දැක්වේ.)

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට තෙල් බෙහෙත් තබාගැනීමට බඳුන් පිදීමෙන් ලැබෙන අනුසස්.මනා රූ ඇත්තෙකු වේ.මනා වචන ඇත්තේ වේ.උසස් සිත් ඇත්තේ ද වේ.අවික්‍ෂිප්ත සිත් ඇත්තේ ද වේ.සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂිත වූයේ ද වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පෙරහන් කඩ පිදීමේ ආනිසංස පහ. දීර්ඝායුෂ ලැබේ.අවි ආයුධවලින් පීඩා නො ලබයි.වසවිස වලින් හිංසාවක් නො වේ. අතුරු මරණයකට පත් නො වේ.සොර සතුරන්ට හිංසා කළ නො හැක්කෙකු වේ.(පිළින්‍දිවච්ඡ අපදානය)

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පවන් අතු පිදීමේ ආනිසංස.ශරීර දාහ නැත්තෙකු වේ.මානසික දාහ නැත්තෙකු වේ.රාග ගිනි නිවීමේ ශක්තිය ලැබේ.ද්වේෂ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.මෝහ ගිනි නිවීමේ ශක්තිය ලැබේ.මාන ගිනි නිවීමේ ශක්තිය ලැබේ. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ලැබේ.ශීතයෙන් හා ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.(පිළින්‍දිවච්ඡ අපදානය)

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට නිය කපන අවි පිදීමේ ආනිසංස පහ.බොහෝ දැසි දස්සන් ලැබේ.ගව අශ්ව සම්පත් ලැබේ.ආරක්ෂක මෙහෙකරුවන් ලැබේ.කෙස් රැවුල් කපන්නන් ලැබේ.බත් පිසන්නන් ලැබේ.(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දැලි පිහියා පිදීමේ ආනිසංස.හැම කල්හි ම ශූරයෙක් වේ.තැම්පත් සිත් ඇත්තෙකු වේ.විශාරද පුද්ගලයෙකු වේ.ධෛර්යවන්තයෙක් වේ. වීර්යවන්තයෙක් වේ.ඔසවා ගන්නා ලද සිත් ඇත්තෙක් වේ.තීක්‍ෂණ නුවණ ලැබේ.වාසිදායක හිමි මීට කල්ප අනූහතරකට පෙර පිහියක් දුන් පිනින් කල්ප අනූහතරක් යන තුරු ම අපාගත වී නැත.(අපදාන පාලි 240 වන අපදානය)

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පාත්‍ර දානයේ ආනිසංස පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ. උපද්‍රව නැත්තෙක් වේ.අනතුරු නැත්තෙක් වේ.අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.ස්ථීර සිත් ඇත්තෙකු වේ.හැම කල්හි ම ධර්මයට කැමති වේ.කෙලෙස් අඩු කෙනෙක් වේ.ආශ්‍රව ද රහිත වෙත්.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඡත්‍ර දානයේ ආනිසංස.ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය.(අපදාන පාලි 293 වන අපදානය)ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ හතක් සැප ලැබී ඇත. එසේම කුසල බලයෙන් හැත්තෑ හත් වතාවක් සක් දෙවිඳු වූ අතර දහස් වතාවක් සක්විති රජ විය.( 412 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමියන්ට ඡත්‍ර දානයේ අනුසස් අටක් ලැබී ඇත.ශීතලෙන් පීඩා නො ලැබේ.තම ශරීරයෙහි කුණු නො ඇලෙයි.උපද්‍රව නැත්තෙක් වේ.අන්‍යයන් ගේ ගෞරවයට පත් වේ.සියුම් වූ සමක් ඇත්තෙක් වේ.සිත පිරිසිදු වේ.ඌෂ්ණයෙන් පීඩා නො ලැබේ.බොහෝ විචිත්‍ර කුඩ ලැබේ.