මදුරුවන් කියන්නේ ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වෙන ඩෙංගු මැලේරියා බරවා ඇතුළු බොහෝ භයානක ලෙඩ රෝග සඳහා වාහකයෙක් ලෙස ක්‍රියා කරන කෘමියෙක්. ඇතැම් අයට මදුරු දෂ්ඨනයන් නිසා ආසාත්මිකතා පවා ඇති වෙනවා. කැසීම, රතුවීම, බිබිලි දැමීම ආදී කරදරකාරී තත්ත්ව වලට මුහුණ දීමට අපට මේ නිසා සිදුවෙනවා. ඒ නිසා අපි අද කියා දෙන්නේ මදුරු දෂ්ඨනයන්ගෙන් ඇතිවන මෙවන් අපහසුතා වලින් වැලකීමට සහ ඉක්මනින් සහනයක් ලබාගැනීමට නිවසේදීම සිදු කරන්න පුළුවන් පුංචි ප්‍රතිකර්ම කිහිපයක්.

01. අයිස්

ඉදිමීම සහ වේදනාව නැති කර ගන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි අයිස් කියන්නේ. කෙලින්ම ඔබගේ සම මත අයිස් ගැටීමට නොදී, රෙදි කැබැල්ලකට අයිස් කැට කිහිපයක් දමා එය පොට්ටනියක් ලෙස සකසා මිනිත්තු දහයක්, පහළොවක් පමණ මදුරු දෂ්ඨනය නිසා ආසාදනය වූ ස්ථානය තවන්න.

02. කෝමාරිකා.

කෝමාරිකා ස්වභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා. කෘමී දෂ්ඨනයක් සිදුවූ ස්ථානයක ඒ වහාම සිදු වන ඉදිමීම සහ කැසීම අඩු කර ඉක්මනින් සුවය ලබා දීමට කෝමාරිකා වලට හැකියි. කෝමාරිකා ඉත්තකින් එහි මදය වෙන්කර ගෙන සත්ත්ව දෂ්ටනය සිදු වූ ස්ථානයේ මිනිත්තු දහයක් පහළොවක් පමණ හොඳින් පිරිමදින්න. කෝමාරිකා මදුරු දෂ්ඨනයන් සඳහා පමණක් නොවෙයි හිරුඑළියට සිදුවන පිළිස්සීම් වලින් ආරක්ෂා වීමටත් යොදා ගන්න පුළුවන්.

03. දෙහි.

දෙහි, ඒවායේ ඇති ප්‍රදාහ තත්ත්වයන් වළකන සහ නිර්වින්දක ගති ලක්ෂණ ඇති සංඝටක සඳහා ප්‍රසිද්ධයි. මේ නිසා දෙහි මගින් වේදනාව සහ ඉදිමීම අවම කිරීමට පුළුවන්. ඔබට කෙලින්ම දෙහි කැබැල්ලක් ආසාදනය වූ ස්ථානයේ පිරිමදින්න පුලුවන්. එහෙමත් නැත්නම් දෙහි යුෂ සමග පොඩිකරගත් බැසිල් කොළ හෝ මින්ට් කොළවල පේස්ට් එකක් සාදා ගෙන එම ස්ථානයේ ආලේප කිරීමට පුළුවන්. එමගින් ආසාධිත ස්ථානය සිසිල් කෙරෙනවා.

04. බේකින් සෝඩා සහ ඇපල් සයිඩර් විනාකිරි.

බේකින් සෝඩා වල පවතින භාෂ්මික ස්වභාවය නිසා මදුරු දෂ්ඨනය නිසා කැසීමක් ඇති කරන ස්ථාන වල pH අගය උදාසීන කරමින් එම ස්ථානවල කැසීම අඩු කරනවා. බේකින් සෝඩා තේ හැන්දක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගෙන මදුරු දෂ්ඨනය සිදු වූ ස්ථානයේ ආලේප කර මිනිත්තු විස්සක් පමණ තබන්න. ඉන්පසු එය මද උණු වතුරෙන් සෝදා හරින්න. ඇපල් සයිඩර් විනාකිරි අනෙක් විනාකිරි වර්ග වලට වඩා ආම්ලික ගතියෙන් අඩුයි. මේ නිසා එය සමෙහි pH අගය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට සම සඳහා යොදාගන්න පුළුවන්. ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ඔබේ සම මත කෙලින්ම පිරිමදින්න. එහෙමත් නැත්නම් ඔබ ස්නානය කරන වතුරට ඇපල් සයිඩර් විනාකිරි ටිකක් එකතු කරගෙන ඒ වතුරෙන් ස්නානය කරන්න.

05. ළූනු සහ සුදු ළූනු.

ළූණු සහ සුදුළූනු වල අඩංගු සංඝටක මඟින් ඉදිමීම සහ කැසීම අඩු කරනවා. ඒ වගේම මේවායේ ඇති ප්‍රබල සුවඳ නිසා ඉන්පසු මදුරුවන් ඔබ ලඟා වීමත් අඩු කෙරෙනවා. ලූණු හෝ සුදු ලූණු යන දෙකෙන් එකක් හොඳින් පොඩි කර මදුරු දෂ්ඨනය සිදු වූ ස්ථානයේ තබා මිනිත්තු කිහිපයකින් සෝදා හරින්න.

06. ලුණු.

ලුණු කියන්නේ ඉතාම පහසුවෙන් සොයා ගන්න පුළුවන් ද්‍රව්‍යයක්. ලුණු වල ඇති ප්‍රදාහ තත්ත්වයන් වලකන ගුණ සහ විෂබීජ නාශක ගුණ නිසා එය මේ වගේ අවස්ථාවකදී වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඔබ කරන්න ඕන සාමාන්‍යය මේස ලුණු ටිකක් වතුර මිශ්‍ර කරලා එම දියරයෙන් ආසාදනය වූ ස්ථානය සේදීම පමණයි.

07. මී පැණි.

මී පැණි වල විෂබීජ නාශක ගුණ තිබෙන නිසා මදුරු දෂ්ඨනය සිදු වූ ස්ථානය විෂබීජවලින් ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්. මේ සඳහා අමු මී පැණි යොදා ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. මී පැණි ස්වල්පයක් මදුරු දෂ්ඨනය සිදුවූ ස්ථානයේ ආලේප කරන්න. එමගින් ඔබට කැසීමට ඇති වුවමනාවත් අඩු වෙන්නෙ, මීපැණි මඟින් ඇලෙනසුළු ස්ථරයක් සම මත නිර්මාණය කිරීම නිසයි.

08. අත්‍යවශ්‍ය තෙල් වර්ග. ( Essential oils)

ලැවෙන්ඩර්, රෝස්මේරි, ටී ට්‍රී ඔයිල් සහ කොහොඹ වැනි ස්වභාවික තෙල් වර්ග මගින් කෘමි දෂ්ඨනයන් සඳහා තාවකාලික සහ ක්ෂණික සහනයක් ලබාගන්න පුලුවන්. මේ තෙල් වර්ග, එම ශාක වලින් ආසවනය මගින් කෙලින්ම වෙන්කර ගන්නා ලද තෙල් වර්ග නිසා ඒවායේ ප්‍රබල සුවඳක් අඩංගු වෙනවා. මේ නිසා ඒවා මදුරු විකර්ශකයක් ලෙසත් යොදා ගන්න පුළුවන්. මේ වර්ගයේ තෙලකින් බිංදු කිහිපයක් ජලය සමඟ මිශ්‍ර කර එය මදුරු දෂ්ඨනය සිදුවූ ස්ථානයේ ආලේප කරන්න.