දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ. එය අද ලක්දිව බෞද්ධයන් අතර නිරන්තරයෙන් සිදුවන ජනපි‍්‍රය ආගමික කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා ම පෙර පැවති බෝධි පූජාව අද වන විට විවිධ වෙනස් වීම්වලට භාජනය වී ඇත. මෙම වෙනස් වීම් නිසා අද බෝධි පූජාව පැවැත්වීමේ අරමුණු ද වෙනත් මගක් ගෙන ඇත.බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි.

බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.බෝධි යනු අවබෝධ බැවින් බෝධි පූජාව ද අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් ය. නමුත් අද ඇතැම් අයෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් දැයි විමසිය යුතු ය. බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන බොහෝ අයගේ අරමුණු වනුයේ අපල උපද්‍රව දුරු කරවා ගැනීම හා සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වැනි කරුණු ය.

හදිසි ආබාධවලට ලක්වූවන්ට ආශිර්වාද පිණිස ආගමික කටයුතු කිරීමෙන් ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරලිය හැකි ය. එය කායික නිරෝගී භාවයට ද සෘජු ව බලපානු ඇත. හඳහන පරීක්‍ෂා කරවා ගැනීමෙන් අපල ඇති බව දැනගත් විට හා ඡ්‍යොතිෂවේදීන් බෝධි පූජා පැවැත්වීම නිර්දේශ කළ විට පන්සල බෝධිය සිහිවන බෞද්ධයෝ ද අද සිටිති. මල් පහන් ආදී නෙකවිධ පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට ගාථා කවි ගායනා කරමින් දින ගණන් ඇතැම්හු බෝධිය ඉදිරිපට යාඥාවන් පවත්වති. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වේ. මෙලෙස පූජාවන් පැවැත්වීමේ දී බොහෝවිට අරුත්සුන් සෝභනකාරී වැඩවල ඇතැම්හු යෙදෙති.

ශාස්ත්‍රය නිසි ලෙස නොදත් හා මූල්‍යමය අරමුණු පමණක් ඇති ඡ්‍යොතිෂවේදීහු ද කිසිදු පදනමක් නැතිව දින ගණන් බෝධි පූජාවන් කිරීම නිර්දේශ කරති. සියලු පූජා ද්‍රව්‍යයන් එකම ස්ථානයක තබා පූජාව පැවැත්විය යුතු යැයි ඡ්‍යොතිෂවේදියෙකු නිර්දේශ කළ බැවින් මල් පහන් ආදී සියලු ද්‍රව්‍යයන් බෝධිය අසල බුදුකුටිය තුළ තබා සිදුකළ බෝධිපූජාවක් අවසන් වූයේ මල් ආසන, තිරරෙදි ආදිය ගිනිබත් වීමෙන් බව මෑතක දී අපට සැල විය. ඇතැම් විට බෝධිපූජා පැවැත්විය යුතු කාලවකවානු ද නියම කෙරේ. ඇතැම්හු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට පැමිණෙති. බෝධි පූජාව යනු බුද්ධිය මුල් කරගෙන යෙදිය යුතු ආගමික කාර්යයක් බව බෝධි පූජාව පවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

බෝධිපූජාවෙන් පමණක් අපල දුරු නොවේ. බෝධියට මෙන්ම අනෙක් වෘක්‍ෂලතාදියට ද ආදරය කළ යුතුය. සොබාදහමට පරිසරයට ලැදිව දිවි ගෙවීමෙන් අපල අනතුරු අවම කරගත හැකි ය.විහාරස්ථානයෙන් ම ඇති තරම් ජලය ගෙන බෝධිය නාවන ඇතැම්හු පිපාසිත සතෙකුට ජල බිඳක් දීමට මැලි වෙති. බුදුරදුන්ගේ නව ගුණ සිහි කරමින් ඒ පිහිටෙන් අපල දුරුවේවායි කවි ගායනා කෙරේ. යමෙකුගේ ගුණ ගායනා කිරීම ස්තුති පූජා ගණයට වැටේ. ඉන් පින් සිදුවේ.“නවගුණ ශාන්තිය” හෝ නවග්‍රහ ශාන්තිය ලෙස නම් කොට ඇති පැරණි කාව්‍ය මාලාව තුළ ඉල්ලීම් රාශියක් ඇතුළත් වේ. බෝධි පූජාවෙන් පමණක් මේ සෑම පැතුමක් ම ඉටුවේ දැයි සැක සහිතය. මල් පහන් ආදිය පුදා බෝධිය ළඟ වන්දනා කිරීමෙන් සියලු පැතුම් ඉටුවෙන බවක් බුදු දහමේ සඳහන් නොවේ.

බෝධි පූජාවෙන් ශාන්තිය උදා නොවන බව ඉන් අදහස් නොකෙරේ. බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු ය.සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය.

රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවකි. එය බුදුරදුන් සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කරන ඉල්ලීම සාධාරණද? එය ඉටු වේවි ද? මේ පිළිබඳ අප බුද්ධිමත් ව කල්පනා කළ යුතු ය.පාලි භාෂාව පිළිබඳ අනවබෝධය නිසා බොහෝ විට ගාථාදිය සදොස්ව වහරන අතර අනවබෝධයෙන් මිදීමට හෙළ බසින් පමණක් වන්දනා කරන අවස්ථා ද ඇත. කෙසේ පැවැත්වූවත් බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය. ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.

  • ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම.
  • පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම.
  • බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම.
  • යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම.
  • අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම.
  • ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම.
  • බෝධි වන්දනා ගාථා හා කවි ගායනය.
  • තෙරුවන් ක්ෂමා කරවා ගැනීම.
  • දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම.
  • මෛත්‍රී භාවනාව
  • පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)

විහාරස්ථාන යනු විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථාන නොවේ. බෝධි පූජාවට පමණක් නොව ආගමික ස්ථානයකට යන විට චාම් හා සම්පූර්ණ ඇඳුමකින් සැරසීම මුලින් ම කළ යුතු ය. පූජා ද්‍රව්‍යයන් ශ්‍රද්ධාවෙන් හා පිරිසුදුව සකසා ගැනීම කළ යුතු ය. හැම දෙයක් ම මිලට ගැනීමට වඩා අවම වශයෙන් තමා විසින් ම තම නිවසින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවලය. පහන් කපුරු ආදිය දල්වන්නේ නම් ඒවා දැල්විය යුත්තේ ඒ සඳහා පිළියෙළ කොට ඇති ස්ථානවල පමණි.

බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වති.එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙනු ඇත. ඇතැම් තැනක පෙරේත තටුවක් මෙන් බුද්ධ පූජාව ද පවත්වනු පෙනේ. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කොට, සමහර විට ඒ මත හඳුන්කූරු ද ගසා මල් අසුන් උඩ තබති. එය බුදුරදුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගැනීමට නො හැකි ය. එබැවින් මෙවැනි පූජාවන් තැබීමේ දී පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා පිරිසුදු භාජන ද යොදා ගත යුතු ය. අඬු කැඩුණු, බිඳුණු, අපිරිසුදු භාජන සිඟන්නෙකුටවත් පිළිගැන්වීම සිදු නොකළ යුතු ය. එසේ තිබියදී බුද්ධ පූජාවට, බෝධිපූජාවට අපිරිසුදු භාජන යොදා ගැනීම කෙතරම් නුසුදුසුද? වන්දනාවට යොදාගන්නා කවි හා ගාථා පිළිබඳව ද අප තුළ නිසි අවබෝධයක් තිබිය යුතු ය.අප පංචශීලය සමාදන් වනුයේ පාලි භාෂාවෙනි.

අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ සදොස් ව වැහැරීමත් ඒ සඳහා විකල්පයක් ලෙස සිංහලය පමණක් භාවිත කිරීමත් බුද්ධිගෝචර නොවේ. සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු වී ඇත.පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසල තීව්‍ර වීමට හේතු වේ.

බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වේ. මල් පිදීම ද එසේ ය. මල් පි‍්‍රය උපදවන වස්තුවකි.උතුම් හා උසස් බවේ සංකේතයකි. පැරණි දඹදිවවාසීහු උසස් කෙනෙක් දක්නට යාමේ දී මල් පොකුරක් ගෙන යති. ඒ අනුව බුදුරදුන් බැලීමට ආ අය ද මල් ගෙන ආහ. මල් පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස පැරැන්නන් සිතූහ. ඒ සිරිත අනුව මල් පූජාව ආරම්භ විය. මල්වලින් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් එය කරන නිසා යහපතක් වේ. පිනක් සිදුවේ.අප පහන් දල්වන්නේ බුදුරදුන් උදෙසාය. උන්වහන්සේට ගෞරවය පිණිස ය. මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

බෝ මළු ඇමදීමේ අනුසස්

වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිනෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. තමන් පැමිණිවිට මලසුන්වල පරමල් ඇතිනම් ඉවත් කළයුතුය. මලසුන් අපවිත්‍ර වී ඇත්නම් සොදා පිරිසිදු කළයුතුය.ව් විහාර ගෙය අපිරිසිදු වී ඇත්නම් ඇමද පිරිසිදු කළයුතුය. දාගබ අවට බෝධිය අවට කසල ඇතිනම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැලෑටි වැවී ඇත්නම් ඉවත් කළයුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝය. එය ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගතහැකි පින්කමකි.ඇමදීමන් ලැබෙන බොහෝ අනුසස් සකිං සම්මජ්ජකථෙරාපදානය බෝධිසම්මජ්ජකථෙරාපදානය යන දෙකෙහි දක්වා තිබේ.

උපදින උපදින ජාතියේ අංගප්‍රතයංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්තවීම,ශරීරය වර්ණවත් වීම, සම සිනිදුවීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බොහෝ කල් දුක් විදවන ජනයාට අප්‍රියවන ලාදුරු, පරංගි, කඩුවේගන්, වණ හා නොයෙක් නපුරු කුෂ්ඨරෝග ඇති නොවීම, සුදුකබර, වයුගැට, ඉණිගැට, සුදු ලප, කළු ලප, කුරුළෑ, අළුහන්, තොල් අතුල් පතුල්, පැලීම්, සම ඉරිතැලීම්, යන මේ රෝග හට නොගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියාතිබේ.ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධකිරීම, පරසන්තක වස්තුව පැහැරගැනීම ආදී පව් කම්වලින් කුෂ්ඨ රෝගය හටගන්නා බවත්, කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෙදය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදමෙහිද කියා තිබේ.

කොතෙක් ප්‍රතිකාර කළද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨරෝගයට සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම හොද ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨරෝගය නිෂ්ඨාවටම සුව වේ.ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමටද හේතුවන පින්කමකි. “මාගේ මේ වයායාමයෙන් මේ සිද්ධස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිත්සාදී කෙලෙස් කසලින් මගේ සිත ද පිරිසිදු වේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළයුතුය.

එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධියද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්වයනට ඉතාමත් අවශය දෙයකි. සත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සතයාවබෝධ කොට නිවනට නොපැමිණිය හැකිව සසර රැදී සිටින්නේද සිතෙහි අපිරිසිදු බව නිසාමය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොදම පින්කම සිද්ධස්ථාන සුද්ද පවිත්‍ර කිරීමය.පඤ්චානිසංසා සම්මජ්ජනියා, සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දේවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකංපුඤ්ඤං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති.තේරුම :-ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටුවෙති, රූප ශෝභාව දෙන පිනක් රැස්කරයි, මරනින් මතු දෙව්ලොව උපදී.