ක්‍රොඒෂියාවේ ෆ්‍රේන් සීලැක් තමයි දැනට ලෝකයේ වාසනාවන්තම (හෝ අවාසනාවන්තම) මිනිසා ලෙස නම් දරා තිබෙන්නේ. ඔහුට අනුව ඔහු ගුවන්යානා අනතුරක්, මෝටර් රථ අනතුරක් සහ දුම්රිය අනතුරකින් බේරී තිබෙනවා. නමුත් ඒ ඔහු නුලෙන් ජීවිතය ගලවා ගත් අවස්ථා බොහොමයකින් ටිකක් පමණයි. අර්නෝල්ඩ් ශ්වාසනෙගර් ගේ චිත්‍රපට බලලා තියෙන කෙනෙක් නම් මේ විදිහට නූලෙන් ජීවිතය ගලවා ගන්නා අවස්ථා බොහොමයක් දැක ඇති. නමුත් ඒ කෘතිමව නිර්මාණය කළ චිත්‍රපට දර්ශන පමණයි. නමුත් මේ ෆ්‍රේන් සිලැක්ට නම් සැබෑ ජීවිතයේදී ඒවා අත් විඳින්නට සිදුවී තිබෙනවා. අපි ඔහුගේ කතාවල ඇත්ත නැත්ත සොයා බලමු.

ෆ්‍රේන් උපත ලබන්නේ 1929 වසරේ ක්‍රොඒෂියාවේදී. ඔහු එතරම් කැපී නොපෙනෙන ලෙස සමාජයේ ජීවත් වූ අතර සංගීත ගුරුවරයෙක් ලෙස සාමාන්‍ය රැකියාවක් කළා.1962දී ඉරණම් සහගත දුම්රිය ගමනක් යාමෙන් පසු තමයි ඔහුගේ මෙම ත්‍රාසජනක සිද්ධි සමූහය ආරම්භ වුණේ. සරජේවෝ සිට ඩුබ්රොව්නික් දක්වා වූ දුම්රිය ගමනේ අතරමගදී දුම්රිය ගඟකට ඇදවැටී තිබෙනවා. මිනිසුන් 17 දෙනකු මියගොස් තිබූ අතර ෆ්‍රේන් කැඩුණු අතක් සහ ශරීර උෂ්ණත්වය පහළ යන හයිපොතර්මියා (hypothermia) හැරුණු කොට වෙනත් ආබාධයකින් තොරව ගොඩට පිහිනීමට සමත්ව තිබෙනවා.

හරියටම ඊළඟ අවුරුද්දේ ඔහු සැග්රෙබ් සිට රිජෙකා වෙත ගුවන් ගමනක යෙදුණු අතර, අතරමඟදී ගුවන් යානයේ දොරක්‌ ගැලවී, පසුව කඩා වැටී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 19 දෙනෙකු මියගිය අතර, ෆ්‍රේන් පිදුරු ගොඩක් උඩට වැටීම නිසා දිවි ගලවාගෙන තිබුණා. රෝහලකදී අවධි වූ ඔහුට සිදුවීමෙන් ඇති වූ සුළු කම්පන තත්ත්වයක් හැරුණු කොට ඔහුට වෙනත් කිසිදු ආබාධයක් තිබුනේ නැහැ.
ඔහුගේ මීළඟ අනතුර වාර්තා වෙන්නේ 1966දී. ඒ බස් රථ අනතුරක්. එම බස් රථයේ සාමාන්‍ය පුද්ගලයන් 4 දෙනෙකු ගමන් කළ අතර බසය අතරමගදී ගඟකට ඇද වැටී තිබෙනවා. ඒ අනතුරිනුත් ඔහු කිසිදු කරදරයක් නැතිව දිවි ගලවාගෙන තිබෙනවා.

ඉන්පසු 1970 වන තෙක් කිසිදු විශේෂ සිදුවීමකින් තොරව සාමාන්‍ය ලෙස ගත වී තිබෙනවා. 1970 වසරේදී ඔහු සිය මෝටර් රථය ධාවනය කරමින් සිටින විට එහි ඉන්ධන ටැංකිය පුපුරා විශාල අනතුරක් සිදුවී තිබෙනවා. ෆ්‍රේන් එයිනුත් දිවි ගලවා ගෙන තිබුණා. මීළඟට 1973 වසරේදී හරිහැටි ක්‍රියා නොකරන ඉන්ධන පොම්පයක් මගින් ඔහුගේ වාහනය පුරා තෙල් ඉහිරී පසුව ගිනිගෙන තිබුණා. ඔහු සිටි වාහනය සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසෙද්දී ඔහු ජීවිතය බේරා ගෙන තිබුණා.

මීළඟට දශක දෙකක් පමණ සාමාන්‍ය ලෙස ගත වීමෙන් පසු නැවත 1995 වසරේ දී බස් රථයකට හැප්පුන ඔහු තමන්ගේ ජීවිතය බේරා ගෙන තිබුණු අතර ඔහුගේ හත්වන සහ අවසාන වික්‍රමය සිදුවුණේ ඉන් පසුවයි. කඳු පෙදෙසක සිය මෝටර් රථය ධාවනය කරමින් සිටි ඔහු දුටුවේ විශාල ට්‍රක් රථයක් තමා දෙසට වේගයෙන් එන අයුරුයි. මෝටර් රථයෙන් එලියට පැනීමට සමත් වූ ඔහු ට්‍රක් රථය සහ මෝටර් රථය එකිනෙක ගැටී පුපුරා යන අයුරු භීතියෙන් බලාසිට තිබුණා.

නමුත් ෆ්‍රේන් සිලැක් ලෝකයේ වාසනාවන්තම හෝ අවාසනාවන්තම මිනිසා වන්නේ එකිනෙකා ඒ දෙස බලන කෝණය අනුවයි. එකපිට එක මෙතරම් දරුණු අනතුරු සිදුවීම නිසා ඔහු ලෝකයේ අවාසනාවන්තම මිනිසා ලෙස කෙනෙක් ඔහුව හඳුන්වද්දී, මෙතරම් අනතුරුවලින් දිවි ගලවා ගැනීමට තරම් ඔහු වාසනාවන්ත වීම ගැන ඇතැමුන් ඔහුට ප්‍රශංසා කරනවා. ඒ වගේම ඔහුගේ මෙම ත්‍රාසජනක සිද්ධි දාම වල සත්‍ය අසත්‍යතාවය පිලිබඳවත් ඇතැම්විට ප්‍රශ්න නැගී තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ගුවන්යානා අනතුර සහ ඊට පෙර සිදුවූ දුම්රිය අනතුර වැනි සිදුවීම් වාර්තාවීම සම්බන්ධව යම් යම් ගැටලුකාරී තත්ත්ව තිබුනත් ඒවා ඔහුගේ මතකය සම්බන්ධ ගැටලුද එසේත් නැත්නම් වෙනත් යමක් ද යන්න පැහැදිලි නැහැ.

කොහොම වුනත් ඔහුගේ මෙම වාසනාවන්ත බව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවන ආකාරයේ අපූරු සිදුවීමකුත් පසුව සිදු වුණා. 2000 දශකයේ මැද භාගයේ දී ඔහුට ක්‍රොඑෂියාවේ ලොතරැයි පතක් ඇදුනා! එහි වටිනාකම පවුම් ලක්ෂ 6 කට අධික උනා. ඒ මුදලින් ඔහු සුඛෝපභෝගී නිවසක් මිලදි ගත්තත්, පසුව අදහස වෙනස්කර 2010 දී එම නිවස විකුණා දමා ඔහුගේ 5 වන බිරිඳ සමග සාමාන්‍ය ජිවිතයකට යොමු වුනා. ඔහුගේ මුදල්වලින් අවසාන කොටස ඔහුගේ උකුලේ සැත්කමක් සඳහා සහ ඔහුගේ වාසනාවට ස්තුති කිරීම සඳහා කන්‍යා මරියතුමියට දේවස්ථානයක් ඉදිකිරීමටත් යොදාගෙන තිබුණා.