අපිත් මේ ලිපියෙන් කියන්න යන්නේ ජීවිතයේ බොහෝ කලක් ආයුශ වැලඳූ මහත්මයෙක් ගැනයි. වැළඳු කියල කිව්වට ඇත්තෙන්ම ඔහු තවමත් ජීවත් වෙනවා. ඒ වගේම මහත්මයා කියල කිව්වට අපි මේ කියන්නේ ඉබි මහත්මයෙක් ගැනයි. ඔව්! අපි මේ කියන්නේ ජීවිතයේ ශතකයකටත් වඩා දැනටමත් ජීවත් වී ඇති ඉබ්බෙකු ගැන කතාවක්. ඔහු බ්‍රිතාන්‍ය රාජකීයයන් හත්දෙනෙකුගේ ඔටුණු පැළඳීම් දැක ඇති අතර, විදුලි බල්බය සොයා ගැනීමත්, මෝටර් වාහනයක් පළමුවෙන්ම නිපදවීමත්, අයිෆල් කුළුණේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කිරීමත් ඔහුගේ දෑසින්ම දැකලා තවමත් ජීවතුන් අතර සිටිනවා.

අපි මේ කියන ඉබ්බාගේ නම ජොනතන්. ඔහු, වර්ගයෙන් සීෂෙල්ස් යෝධ ඉබ්බන්ගේ වර්ගයේ කෙනෙක්. ඔහුව 1882 වසරේ දී සීෂෙල්ස් වල සිට ශාන්ත හෙලේනා දිවයිනට ගෙනත් තිබෙනවා. දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති මෙම ජනශූන්‍ය සන්සුන් ශාන්ත හෙලන දිවයින වඩාත් ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ නැපෝලියන් බොනපාට්ගේ පිටුවහල් කිරීම සම්බන්ධවයි. 1882 දී එම දිවයිනට ගෙනත් දැමූ දින සිට අද දක්වාම ජොනතන්, ” Plantation house” නම් ශාන්ත හෙලේනාහි නිල ආණ්ඩුකාරවරයාට අයත් භූමියේ ජීවත් වෙනවා.
කිසිවෙකුත් ජොනතන්ගේ වයස පිළිබඳ හරියටම දන්නේ නැහැ. නමුත් පැවසෙන ආකාරයට ඔහුව ශාන්ත හෙලේනා දූපතට ගෙනැවිත් දමන විට, ඔහු ඉබ්බෙකුගේ උපරිම වර්ධන සීමාවට, එනම් වැඩිහිටි වයසට ළඟාවී සිටි බව පැවසෙනවා. එනම් දූපතට ගෙනැවිත් දමන විට ඔහුට අවුරුදු 50 ක් පමණ විය යුතුයි. ඒ අනුව පශුවෛද්‍යවරුන් ගණනය කරන ආකාරයට ඔහු ඉපදී ඇත්තේ දළ වශයෙන් 1832 වසරේදී විය යුතුයි. එසේනම් ඔහු මේ වනවිට අවුරුදු 188ක්‌ පමණ ජීවත් වී තිබෙනවා.

ඔහුගේ වර්ගයේ යෝධ ඉබ්බෙකුගේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය අවුරුදු 150ක් පමණ වෙනවා. ඒ අනුව ජොනතන් ඔහුගේ වර්ගයේ අනෙක් සාමාන්‍ය ඉබ්බෙකුට වඩා අවුරුදු 30ක්‌ පමණ දැනටමත් වැඩිපුර ජීවත් වී තිබෙනවා. එම හේතුව නිසා ජොනතන් “ගොඩබිම ජීවත් වන වයස්ගතම සත්වයා” ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු වෙනවා. ඇසේ සුද ඇතිවීම නිසා මේ වන විට ජෝනතන්ගේ පෙනීම අහිමි වී ගොස් ඇති අතර ගඳ සුවඳ දැනීමේ සංවේදනයද ඔහුට අහිමි වී ඇති නිසා තනියම ආහාර සොයාගැනීමටත් නොහැකි වී තිබෙනවා. මේ ආකාරය වයස්ගත වීම නිසා ඇතිවන තත්ත්ව හැරුණුකොට ජොනතන් තවමත් ඉතා හොඳ සෞඛ්‍යයකින් ශක්තිමත්ව ජිවත් වන බවයි පැවසෙන්නේ. උෂ්ණ දවස් වලදී ඔහු ඔහුගේ දිගු ගෙල සහ පාද කටුවෙන් එළියට ගෙන හොඳින් අව්ව තපින අතර සීතල දවස්වලදී තණකොළ ගොඩක් හෝ කොළ ගොඩක් යටට වී දවසම කල්ගත කරනවා. ඒ වගේම සතියකට වරක් ජොනතන් ඔහුගේ ප්‍රියතම ආහාරයන් වන පිපිඤ්ඤා, ඇපල්, කෙසෙල්, කැරට් සහ ගෝවා සහිත ආහාරයක් ද ලබා ගන්නවා.

කෙතරම් වයස් ගත උනත් ජොනතන් ඉතා ක්‍රියාශීලී වන අතර මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමට කැමැත්තක් දක්වනවා. කවුරුන් හෝ ඔහුගේ ගෙල අතගානවට ඔහු අතිශයින් කැමතියි. ඕනෑම අවස්ථාවක ඡායාරූප වලට පෙනී සිටීමටද ඔහු සූදානම්ව සිටිනවා. ජොනතන් ඔහුගේ දූපත තවත් ගොඩබිම ජීවත්වන, ඔහුට වඩා ළාබාල, ඉබ්බන් තුන්දෙනෙකු සමඟ බෙදාහදා ගන්නවා. ඔවුන්ගේ නම් වන්නේ ඩේවිඩ්, එමා සහ ෆ්‍රෙඩ් ය. ජොනතන්ගේ හොඳම මිතුරා වන ඩේවිඩ් මෙම දූපතේ සිටින දෙවනියට වයස්ගතම ඉබ්බා වුණත් ඇත්තෙන්ම ඔහුට වයස තාම අවුරුදු 80යි. ශාන්ත හෙලේනා දූපත තුළ ජොනතන් සැලකෙන්නේ පුරාවෘත්තයක් ලෙසයි.

මිනිසුන් පරම්පරා ගාණක් තිස්සේ දැක ඇති ජොනතන්, එකම පවුලේ මිනිසුන්ගේ උපත් හෝ මරණයන් සහ පරම්පරා ගණනක දරු මුණුබුරන් පවා දැක තිබෙනවා.මෙවැනි හේතු නිසා ජොනතන් සැලකෙන්නේ ශක්තිමත් බවේ සහ ස්ථාවරත්වය සංකේතයක් ලෙසයි. එසේම සංචාරකයන් ලෝකය පුරා කොතන සිටියත්, ජොනතන් තමන්ගේ ඇස් දෙකෙන්ම දැකබලා ගැනීමට මෙම දිවයිනට පැමිණීමට ඕනෑම මොහොතක සූදානමින් සිටිනවා. ඔබත් සුරතලෙකු ලෙස ඉබ්බෙකු ඇති කරන කෙනෙක්ද? ඉබ්බෙකු වැනි සාමකාමී සත්ත්වයකු සුරතලෙකු ලෙස තබාගැනීම ගැන ඔබේ අදහස කුමක්ද? ඇත්තෙන්ම ඉබ්බන් කියන්නේ ඉතාම අපූරු සත්ත්ව කොට්ඨාශයක්. එ වගේම මේ වනවිට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන මහළු ජොනතන්ට තවත් වසර ගණනාවක් නිරෝගීව ජීවත් වෙන්න ලැබේවායි අපිත් ප්‍රාර්ථනා කරමු !