අප අවට සිටින අයගේ අභිප්‍රායයන් සෑම විටම අවංකද? ඇත්තෙන්ම මෙය හඳුනා ගැනීම ඇතැම් වෙලාවට තරමක් අපහසුයි. බොහෝ අය ඔවුන්ගේ වැඩේ කෙරෙන තාක් අපත් සමඟ ඉතාම හිතවත්ව කාලයක් ගත කරත්, අප අසීරු අඩියකට වැටුණු අවස්ථාවකදී ඔවුන් අප මග හරින අවස්ථා අපට ඕනෑතරම් හමුවෙලා තිබෙනවා. ඉතින් මෙවැනි ව්‍යාජ මිනිසුන් හඳුනා ගන්නේ කෙසේද? ඇත්තෙන්ම එය ඉතා සරලයි. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ හැසිරීම ගැන අවධානයෙන් සිටීමයි. මේ ලිපිය කියවා මේ ලක්ෂණ 8 අනුව ඔබ අවට සිටින පුද්ගලයන් සැබැවින්ම ඔබට හිතවත් අයද නැත්නම් ව්‍යාජ ලෙස ඔබට හිතවත්ව සිටින අය දැයි හඳුනා ගන්න.

01. වංක පුද්ගලයන් ධනය සහ බලයට පමණක් හිස නමනවා.

වංක සහ ව්‍යාජ පුද්ගලයන් ධනය සහ බලය ඇති පුද්ගලයන්ට පමණක් ගරු කරන නමුත් අවංක පුද්ගලයන් අනිත් පුද්ගලයන්ගේ ධනය බලය නොසලකා ඔවුන්ගේ පෞරුෂ ගති ලක්ෂණ මත පොදුවේ ඕනෑම පුද්ගලයෙකුට ගරු කරනවා. ඔවුන් පෞද්ගලික ප්‍රතිලාභ බලා තවත් පුද්ගලයකු ආශ්‍රය කරන්නේ හෝ ඔවුන්ට ගරු කරන්නේ නැති අතර ව්‍යාජ පුද්ගලයන් ඔවුන්ට පෞද්ගලිකව ප්‍රතිලාභයක් විය හැකි පුද්ගලයන්ට පමණක් සමීප වීමටත්, ගරු කිරීමටත් පෙළඹෙනවා.

02. ව්‍යාජ පුද්ගලයන් අවට ඇති සියළුම අවස්ථා සහ සියලුම පුද්ගලයන්ගෙන් තමාට වාසි වන දෙයක් බලාපොරොත්තු වෙනවා.

අවංක පුද්ගලයන් කිසිම අවස්ථාවක තමන්ගේ අභිප්‍රායයන් ඉටුකර ගැනිමට අන් අය වංක ලෙස පොළඹවා ගන්නේ නැහැ. නමුත් ව්‍යාජ පුද්ගලයන් තමා අවට ඇති ඕනෑම පුද්ගලයකුගෙන් සහ ඕනෑම අවස්ථාවකදී තමාට වාසි වන දෙයක් ඇත්නම් ඔවුන් පොළඹවා ගෙන, එයින් ඒ පුද්ගලයාට සිදුවන අයහපත් බලපෑමක් ඇත්නම් ඒවා නොතකා තමාට වාසි වන දෙයක් ඔවුන් ලවා කර ගැනීමට උත්සාහ කරනවා.

03. ව්‍යාජ පුද්ගලයන් සෑම විටම අන් අයගේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරනවා.

ව්‍යාජ නොවන පුද්ගලයන්ට තමන් පිළිබඳ සෑම විටම විශ්වාසයක් ඇති බැවින් ඔවුන්ට සමාජය ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට කිසිත් නොමැති අතර, ප්‍රසිද්ධ වීමට අවශ්‍යතාවයක් නොමැති නිසා අන් අයගේ අවධානය දිනා ගැනීමට අමුතුවෙන් උත්සාහ නොකරයි. නමුත් ව්‍යාජ පුද්ගලයා අන් අය ඉදිරියේ තමාගේ වටිනාකම පෙන්වීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් අතර නිතරම අන් අයගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරයි.

04. ව්‍යාජ තැනැත්තා නිතර පුරසාරම් දොඩවයි.

අව්‍යාජ පුද්ගලයන් තමන් සතු දේවල් ගැන අන් අය ඉදිරියේ අමුතුවෙන් පෙන්වීමට උත්සාහ නොකරන නිහතමානී පිරිසකි. නමුත් ව්‍යාජ පුද්ගලයන් නිතරම තමන්ට ‘ඇති’, ‘හැකි’ දේවල්, තමන්ගේ ජයග්‍රහණය ආදිය ගැන අන් අය ඉදිරියේ නිතරම පුරසාරම් දොඩවයි.

05. ව්‍යාජ පුද්ගලයන් නිතරම ඕපාදූප කියවයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට යම් දෙයක් ගැන දරන මතය වෙනස් විය හැකි නිසා බොහෝ පිරිසක් ඉදිරියේ පොදු මතයට විරුද්ධ තමාගේ මතය විවෘතව ප්‍රකාශ කිරීමට ඉතාම ලොකු ධෛර්යයක් සහ අවංක භාවයක් අවශ්‍යයි. අව්‍යාජ පුද්ගලයන් නිතරම මෙසේ තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර එසේ නොමැතිව ඔවුන්ගේ වෙනස් අදහස් අදාල පුද්ගලයන් නැති තැන්වලදී ඕපාදූප ලෙස කියමින් සිටින්නේ නැත. නමුත් ව්‍යාජ පුද්ගලයන් යම් දෙයක් හෝ කෙනෙක් ගැන ඔවුන් දරන වෙනස් අදහස එම අවස්ථාවේදී නොකියා ඉතාම හොඳ මුහුණක් පෙන්වා ගෙන ඉඳ ඔවුන් නොමැති තැන්වලදී ඕපාදූප කියමින්, විවේචනය කරමින් බොරු ප්‍රචාර පැතිරවීමට උත්සාහ කරනවා.

06. ව්‍යාජ තැනැත්තන් නිතරම පොරොන්දු ලබා දෙන නමුත් ඒවා ඉටු කිරීම කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි.

ව්‍යාජ තැනැත්තන් නිතරම පොරොන්දු ලබා දීමට සූදානම් වී සිටින නමුත් ඒවා ඉටු කිරීම ගැන එතරම් තකන්නේ නැහැ. නමුත් අව්‍යාජ පුද්ගලයා තමාට හැකි දේවල් පිළිබඳ පමණක් පොරොන්දු ලබා දෙන අතර ඒවා ඉටු කිරීමට උපරිම උත්සාහයත් දරනවා. පොරොන්දු කඩ කිරීම මගින් අපට සමීප පුද්ගලයන් රිදවීම සිදුවන අතර, එය වැදගත් අවංක පුද්ගලයන් කිසිසේත් නොකරන දෙයකි.

07. ව්‍යාජ පුද්ගලයන් තමාව විශේෂයෙන් කැපී පෙනීම සඳහා අන් අයට ගැරහීම සිදුකරනවා.

ව්‍යාජ පුද්ගලයන් නිතරම අන් අය විවේචනය කිරීමටත්, ඔවුන්ට ගැරහීමත්, ඔවුන්ගේ අඩුපාඩු හුවාදක්වමින් ඒවා නිතර කියමින් සංසන්දනාත්මකව තමාගේ වටිනාකම ඔප්පු කිරීමට උත්සාහ කළත්, අව්‍යාජ පුද්ගලයා නිතරම අන් අයව වර්ණනා කිරීමටත් ඔවුන්ගේ සුළු දෙය පවා අගය කරමින් ඔවුන් දිරිගැන්වීමට උත්සාහ කරන අතර කිසිසේත්ම තමාව සංසන්දනාත්මකව කැපී පෙනීම සඳහා අන් අය විවේචනය කරන්නේ නැත.

08. තමාට යමක් කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ව්‍යාජ පුද්ගලයන්ට ඔබට විශේෂයෙන් හිතවත්කම් පායි.

ව්‍යාජ පුද්ගලයන්ට ඔබෙන් යම් උපකාරයක් හෝ වාසියක් සිදු කරගැනීමට අවශ්‍ය වූ විට විශේෂයෙන් හිතවත්කම් පෙන්වන අතර එය අවසන් වූ පසු ඔබ‍ට නිකමටවත් කතා කිරීමට ප්‍රතිචාර දැක්වීමට කරදර වන්නේ නැහැ. ඔවුන් ඇතැම් අවස්ථාවලදී ඔබට හානියක් කිරීමේ බලාපොරොත්තුවෙන් විශේෂයෙන් ඔබ‍ට සමීප වීමට උත්සාහ කරන අවස්ථා තිබෙනවා. නමුත් අව්‍යාජ පුද්ගලයන් වාසි අවාසි නොතකා තමාට හමුවන ඕනෑම පුද්ගලයෙකුට එක සේ ගරු කිරීමටත් සමීප බවක් පෙන්වීමටත් ඕනෑම අවස්ථාවක යහපත් ප්‍රතිචාර දැක්වීමටත් කටයුතු කරනවා.

ලිපිය කියවා අවසන් ඔබ, දැන් ඔබ අවට සිටින පුද්ගලයන් ව්‍යාජද අව්‍යාජද යන්න හඳුනාගැනීමට දන්නවා. අව්‍යාජ පුද්ගලයන්ට තවත් සමීප වීමටත් ඔවුන්ව අනුගමනය කිරීමටත්, ව්‍යාජ පුද්ගලයන් සමග ඇති සම්බන්ධතා සම්පූර්ණයෙන් නවත්වා නොදමා ඔවුන්ගෙ තරම දැනගෙන පමණට ආශ්‍රය කිරීමටත් උගත යුතුයි. එසේ නැත්නම්, ඔබ‍ට සමීපම මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ඔබට සිදුවන හානිය ඔබටත් සිතාගත නොහැකි වේවි.