IQ අගය කියන්නේ සම්මත පරීක්ෂණ කිහිපයක් මගින් ලබා ගන්නා, පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම තීරණය කෙරෙන ලකුණු සංඛ්‍යාවක්. ඉතින් මේ වන විට ඉහළම IQ අගයක් තිබුණා යැයි මෑත කාලයේ සැලකෙන්නේ ඇල්බට් අයින්ස්ටයින්ට. කොහොම වුණත් දැනට ජීවතුන් අතර සිටින මිනිසුන් අතරින් ඉහළම IQ අගයක් දරන මිනිසුන්ගේ සංගමයක් තිබෙනවා. අපි මේ ලිපියේ පවසන්නේ එම සංගමයට අලුතින්ම එකතු වූ ලාබාලම සාමාජිකයා ගැන.

ලෝකයේ විශාලතම සහ පැරණිතම ජාත්‍යන්තර ඉහළම IQ අගයක් දරන්නන්ගේ සංගමය වන “මෙන්සා UK” වෙත අලුතින්ම එකතු වුණේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන අවුරුදු 3ක්‌ වයසැති මැලේසියානු පිරිමි දරුවෙක්. මොහොමඩ් හැරිස් නඩ්සිම් (Muhammad Haryz Nadzim) නම් මේ දරුවාට මෙන්සා සංගමයට එකතු වීමට ආරාධනා ලැබුණේ ඔහු මනෝ වෛද්‍යවරයකු හමුවී ස්ටැන්ෆෝර්ඩ් – බිනෙට් IQ පරීක්ෂාවෙන් ලකුණු 142ක් ලබා ගැනීමෙන් පසුවයි.

” ඔහු ඇත්තෙන්ම කුඩා බුද්ධිමතෙක්‌. බ්‍රිතාන්‍ය මෙන්සා සංගමයට ඔහුව පිළිගැනීමට අපි ඉතා ආසාවෙන් බලාගෙන සිටිනවා.” බ්‍රිතාන්‍ය මෙන්සා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් ස්ටීවනේජ් පැවසීය. ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව, මෙන්සා සංගමයට ඇතුළුවීමට කෙනෙකු විසින් ඉහළම IQ අගයක් දරන්නන්ගේ 2%ක ජනගහන ප්‍රතිශතයට ඇතුළත් විය යුතුයි. එම 2% ට ඇතුළත් වන පුද්ගලයන් පමණයි මෙන්සා සංගමයේ සාමාජිකයන් බවට පත්වෙන්නේ.

මෙන්සා IQ පරීක්ෂණය නිපදවා තිබෙන්නේ අවුරුදු 10 1/2 ට වැඩි දරුවන්ට සහ වැඩිහිටියන් සඳහායි. අවුරුදු 10ට අඩු දරුවන් සඳහා එම පරීක්ෂණය සිදු කරනවානම් එය අධ්‍යාපන මනෝ වෛද්‍යවරයෙකු විසින් එම අගය තීරණය කළ යුතුයි. හැරිස් විසින් ස්ටැන්ෆෝඩ් – බිනෙට් පර්යේෂණයන් ලබාගත් ලකුණු සංඛ්‍යාව සහ අධ්‍යාපන මනෝ වෛද්‍යවරයාගේ තීරණය, මෙම සංගමය සඳහා ඔහුව බඳවා ගැනීමේ තීරණයට විශාල ලෙස පිටුවහල් වුණා.” සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චාර්ල්ස් බ්‍රවුන් පැවසීය.

හැරිස් ගේ මව නූර් අනීරා ඇස්යිකින්, එංගලන්තයේ ඩර්හැම් හි ජීවත් වන ඉංජිනේරුවරියක්. ඔවුන්ගේ පවුලේ අය පවසන්නේ මෙන්සා ට පෙරම එම දරුවා විශේෂ දරුවකු බව ඔවුන් හඳුනාගෙන සිටි බවයි. කුමොන් (kumon) ලෙස හැඳින්වෙන පාසලෙන් පසු කෙරෙන ගණිත සහ කියැවීම් පාඩම් වැඩසටහනේදි, ඊට වඩා වයසින් වැඩි වැඩිහිටි දරුවන් සඳහා විෂයන් දෙකටම ආදර්ශයට ගැනීමට සුදුසු “ගෞරවනීය චරිතයක්” ( honour roll) ලෙස පසුගිය සැප්තැම්බරයේදී හැරිස්ව නම් කර තිබුණා.

ඔහුගේ මව විසින් ඔහුව ආදරයට “මගේ පුංචි මොළ පෙට්ටිය” ලෙස හැඳින්වුවත් හැරිස් ඇත්තෙන්ම අනෙක් ඕනෑම අවුරුදු තුනක දරුවෙකු මෙන්ම සාමාන්‍ය දරුවෙක්. “ඔහු ඔබගේ අවුරුදු 3 කුඩා ළමයා වගේමයි. ඔහු අනෙක් ඕනෑම දරුවෙකු මෙන් සෙල්ලම් කිරීමට සහ පොත් කියවීමට කැමතියි. විශේෂයෙන්ම ඔහු කලාව සහ අත්වැඩ සම්බන්ධ ඕනෑම දෙයකට කැමතියි. බිල්ඩින්ග් බ්ලොක්ස්/ලේගොස් කැට සෑදීම සහ ක්ලේ වලින් වැඩ කිරීමට ඔහු විශේෂයෙන් කැමතියි.

” හැරිස්ගේ මව නූර් පැවසුවා. “ඔහු චිත්‍ර අඳින්නේවත් අත්වැඩ කරන්නේවත් නැති වෙලාවට ගීත ගායනා කරන්න කැමැතියි. අපිට හැරිස් ගැන ආඩම්බරයි වගේම සතුටුයි. ඔහු දක්ෂ ඉගෙනීම් කටයුතු සඳහා පමණක් නොවෙයි. අනෙක් ඕනෑම සාමාන්‍ය කුඩා දරුවෙකු මෙන් සෙල්ලම් කිරීමට සහ ඉක්මනින් ලොකු වීමට ඔහුත් කැමතියි. අපිට විශ්වාසයි ඔහුට අනාගතයේදී සමාජය වෙනුවෙන් ලොකු සේවයක් කිරීමට හැකි වේවි කියලා.” මව නූර් වැඩිදුරටත් පැවසුවා.