මහජනතාවගෙන් ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගෙන් ජීවිතය, එම ඡන්දදායකයන්ගේ ජීවිතයට වඩා බොහෝ සුඛෝපභෝගී වීම ඕනෑම රටක දක්නට ලැබෙන දෙයක්. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් වල. නමුත් අද අපි කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ, ගරාවැටුණු ගොවිපලක ජීවත්වෙමින් තමාගේ වැටුපෙන් විශාල කොටසක් නැති බැරි මිනිසුන් වෙනුවෙන් නැවත ලබාදෙන උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකා ගේ කතාවයි. ඔහු රටේ වර්තමාන ජනාධිපතිවරයා නම් නෙවෙයි. මොහු තමයි 2010 – 2015, අවුරුදු පහ ඇතුලත උරුගුවේ පාලනය කළ ජනාධිපතිවරයා.

ඔහුගේ සේදීමට තිබෙන රෙදි නිවසෙන් එළියෙ ගොඩ ගසා තිබෙනවා. ඔහු වතුර ගන්නෙ නිවස අසල ඇති වල්වැදුණු පැරණි ළිඳකින්. ඒ වගේම ඔහුගේ ආරක්ෂාවට සිටින්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ එමානුවෙල් නම් කකුල් තුනේ බල්ලෙක් පමණයි. ඔහු, රටේ පාලකයා සඳහා වෙන් කරවා ඇති නිල නිවාසය ප්‍රතික්ෂේප කර, ප්‍රධාන නගරය වූ මොන්ටිවීඩියෝ වලින් පිටත ගම්බද පරිසරයක පිහිටි තම බිරිඳගේ ගොවිපලෙහි ජීවත් වීමට තීරණය කර තිබුණා. බිරිඳ සහ ඔහු තනිවමයි ගොවිපළෙහි මල් ආදිය වගා කරන්නේ.

ජෝසේ මුජිකාගේ මේ රළු, සරල ජීවන රටාව සහ ඔහුගේ වැටුපෙන් 90%ක්‌, එනම් ඩොලර් 12000ක්‌ පමණ පුණ්‍යාධාර සඳහා ලබා දීම නිසා ඔහු ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස හැඳින්වෙනවා. ” මං ජිවිතේ වැඩි කාලයක් ජීවත් වුණේ මෙහෙම තමයි. මං ලඟ ඇති දෙයින් මට හොඳින් ජීවත් වෙන්න පුළුවන්.” ජෝසේ පවසනවා. දුප්පත් ජනතාවට සහ කුඩා ව්‍යවසායකයින්ට ප්‍රයෝජනවත් වන ඔහුගේ පුණ්‍යාධාර වලට අනූව අදහස් වන්නේ, ඔහුගේ වැටුපත් දළ වශයෙන් මසකට ඩොලර් 775 (ඩොලර් 485) ක සාමාන්‍ය උරුගුවේ වැසියෙක්ගේ ආදායමට අනුරූප වන බවයි.

උරුගුවේ රාජ්‍ය නිලධාරීන් විසින් අනිවාර්යයයෙන් සිදුකළ යුත්තක් වන පෞද්ගලික වත්කම් හෙළි කිරීමේ දී 2010 වසරේ ඔහුගේ සම්පූර්ණ වත්කම වුණේ ඩොලර් 1800ක්‌ පමණයි. ඒ, ඔහුගේ 1987 වොක්ස්වැගන් බීට්ල්ස් මෝටර් රථයේ වටිනාකම පමණි. 2012 වසරේදී ඔහු තම බිරිඳගේ දේපල වලින් අර්ධයක්ද එම වාර්තාවට ඇතුළත් කර තිබුණා. ඒ ඩොලර් 215 000ක්‌ පමණ වටිනා ඉඩම, නිවස සහ ට්‍රැක්ටර් වල වටිනාකමයි. එය උප ජනාධිපති ඩැනිලෝ ඇස්ටෝරිගේ ප්‍රකාශිත වත්කම් වලින් 2/3කට සහ හිටපු ජනාධිපති ටාබරේ වැස්කේස් විසින් ප්‍රකාශ කළ මුළු වත්කම් ප්‍රමාණයෙන් 1/3කට සමානයි.

මුජිකා කියුබානු විප්ලවයෙන් අභාෂය ලත් වාමාංශික සන්නද්ධ කණ්ඩායමක් වන උරුගුවේ ගරිල්ලා ටුපාමරෝස්හි සාමාජිකයෙක් ලෙස 1960 සහ 1970 දශකය ගත කළා. ඔහුට හය වතාවක් වෙඩි වැදුණු අතර වසර 14 ක් සිරගතව සිටියා. 1985 දී උරුගුවේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී වී ඔහු නිදහස් වන තෙක් ඔහුගේ රැඳවුම් කාලය බොහෝමයක් ගත කළේ දැඩි කොන්දේසි වලට යටත්ව සහ හුදෙකලාවයි. සිරගතව සිටි එම වසරවල ජීවිතය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය අලුතෙන් නිර්මාණය කිරීමට උපකාරී වූ බව මුජිකා පවසනවා. ” මම දුප්පත්ම ජනාධිපති යැයි පවසනවා. නමුත් මට දුප්පත් ලෙස හැඟෙන්නේ නැහැ. මම දුප්පත් කියා හිතන්නේ, සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා පමණක් වැඩ කරන, විවිධ දේ තව තවත් වුවමනා කරන පුද්ගලයනුයි.

මේක නිදහස හා සම්බන්ධ දෙයක්. ඔබ සතුව බොහෝ දේ නැතිනම් ජීවිත කාලයම වහලෙක් මෙන් වැඩ කරමින් ඒවා රඳවා තබා ගන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. ඔබට ඕනෑ තරම් ඔබ වෙනුවෙන් කාලය තිබෙනවා. මම විකාර වයසක මිනිහෙක් ලෙස ඔබට පෙනේවි. නමුත් මෙය නිදහස් තීරණයක්. ” ජෝසේ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මීට සමාන අදහසක් 2012 ජුනි මාසයේ Rio+20 සමුළුවේදී ඉස්මතු කළා. ” අපි බොහෝ වේලාවක් තිස්සේ කල් පවතින සංවර්ධනය ගැන සාකච්ඡා කළා. මිනිසුන් දුප්පත් බවින් මුදවා ගැනීම ගැන. නමුත් අපට වුවමනා වෙන්නේ කුමක්ද ධනවත් රටවල් හා සමානවම පරිභෝජන මට්ටමක් සහ සංවර්ධන ආකෘතියක් අපට අවශ්‍යද? ඔබ ඔබෙන්ම අහලා බලන්න, සෑම ඉන්දියානු නිවසක් ගානේම, සෑම ජර්මානු නිවසක ඇති යාන වාහන ප්‍රමාණය තිබෙනවා නම් කුමක් වේවිද? අපට පෘතුවියේ කොපමන ඔක්සිජන් ප්‍රමාණයක් ඉතිරි වේවි ද?

මේ ලෝකයේ මිනිසුන් බිලියන 7, 8කටම එක සමාන පරිභෝජන මට්ටම් ඇතිකර ගත හැකි තරම් සම්පත් තිබෙනවාද? ධනවත් රටවල කරන ආකාරයෙන්ම ලෝකයේ සෑම රටකටම සම්පත් ඉවත දැමිය හැකිද? මේ අධිපරිභෝජනය තමයි ලෝකයට හානි කරන්නේ.” ජෝසේ විසින් ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් වෙත චෝදනා එල්ල කළේ, පරිභෝජනය සම්බන්ධ දියුණුවක් ඇතිකර ගැනීම සඳහා උමතුවකින් මෙන් කටයුතු කිරීම ගැනයි. නිර්මාංශික මුජිකා සහ මෙම අනෙකුත් නායකයින් අතර කොතරම් පරතරයක් තිබුණද, ඔවුන් තරමටම ඔහුත් දේශපාලන ජීවිතයේදී විවේචනයට ලක් වෙනවා.

“ජනාධිපති මුජිකා ජීවත් වන ආකාරය නිසා බොහෝ දෙනෙක් ඔහුට අනුකම්පා කරනවා. නමුත් එයින් ඔහු රජය කරන ආකාරය ගැන විවේචනයට ලක්වීම නැවතෙන්නේ නැහැ.” උරුගුවේ ඡන්දදායකයෙකු වන ඉග්නේෂියෝ සූවාස්නබාර් පැවසුවා. උරුගුවේ විපක්ෂය පවසන්නේ රටේ මෑත කාලීන ආර්ථිකය හේතුවෙන් සෞඛ්‍ය, අධ්‍යාපනයේ හා රාජ්‍ය සේවාවන් අතින් දියුණුවක් නොලැබුණු බවත්, මුජිකා තේරී පත්වීමෙන් පසු ප්‍රථම වතාවට ඔහුගේ ජනප්‍රියත්වය 50% ට වඩා පහත වැටී ඇති බවත්ය. මතභේදාත්මක පියවර දෙකක් හේතුවෙන් 2012 වසරේ ඔහු ද බොහෝ විවේචනයට ලක්වුනා. ඒ, සති 12 ක් දක්වා වන ගබ්සා කිරීම් නීතිගත කරන පනතක් උරුගුවේ කොන්ග්‍රසය විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද අතර ඔහුගේ පූර්වගාමියා මෙන් නොව මුජිකා එය නිෂේධ නොකළේය.

ගංජා පරිභෝජනය නීතිගත කිරීම පිළිබඳ විවාදයකටද ඔහු සහාය දුන් අතර, එය ගංජා වෙළඳාම සම්බන්ධයෙන් රජයට ඒකාධිකාරය ලබා දෙන පනත් කෙටුම්පතක්ද වුනා. “ගංජා පරිභෝජනය එතරම් කනස්සල්ලට කරුණක් නොවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරමයි සැබෑ ගැටළුව” ඔහු පැවසුවා.කෙසේ වෙතත්, ඔහුගේ ජනප්‍රියත්වය පිළිබඳව ඔහු ඕනෑවට වඩා කරදර විය යුතු නැත්තේ උරුගුවේ නීතියට අනූව ඔහුට නැවත ඡන්දයට ඉදිරිපත් වීමට අවසර නොමැති නිසයි. එසේම 77 වන වියේ පසුවන ඔහු වැඩිකල් යාමට පෙර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට ඉඩ ඇත. එසේ වූ විට ඔහුට රජයෙන් ලබා දෙන විශ්‍රාම වැටුපක් ලැබෙනු ඇති අතර, අනෙක් බොහෝ නායකයන්ට මෙන් නොව ආදායමෙහි පහත වැටීමට හුරුවීමට ඔහුට නම් අපහසුවක් නොවනු ඇත.